“චන්ද්‍රිකා විනාශ කරපු අධිකරණ පද්ධතියෙන් ප්‍රයෝජන ගත්තේ මහින්ද” – ගාමිණී වියන්ගොඩ

January 4, 2017 | 7:38 pm    0   604

“චන්ද්‍රිකා විනාශ කරපු අධිකරණ පද්ධතියෙන් ප්‍රයෝජන ගත්තේ මහින්ද” – ගාමිණී වියන්ගොඩ

අද 2017 ජනවාරි මස 01 වනදා. ඒ කියන්නේ තවත් නව වසරක ඇරඹුමක් සිදුවෙනවා. අද නව වසරක ඇරඹුම සිදුවෙද්දී තව දින 08ක් ඉක්ම යන තැන 2015 ජනවාරි 08 රටේ ජනතාව විසින් තෝරාගත් යහපාලන ආණ්ඩුව බලයට පත් වී 03 වන වසර ඇරඹෙනවා. යහපාලනය බලයට පත්වීමට පෙර රටේ ජනතාව සිවිල් සංවිධාන මෙන්ම රටේ සියලු පාර්ශව එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල ජයග්‍රහණයක් ලෙස විශ්වාස කළා. එහෙත් බලයට පත් වී වසර 02ක් ගෙවී යන තැන අප බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය විසින් ඉටු කළා ද? කා තුළත් කැකෑරෙන මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න අලුත් අවුරුද්ද පටන් ගන්න පලවැනි දවසේම ඇපල් අපි උත්සාහ කළා. ඒ අනුව යහපාලනය බලයට ගෙන එන්න විශාල කාර්යයක් ඉටුකළ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සමඟ යහපාලනයේ පසු විපරම ගැන කතා කරන එක වඩාත් සුදුසුයි කියලා ඇපල් අපි හිතුවා. ඒ යහපාලනයේ දැන් ක්‍රියාකාරීත්වය ගැන වැඩිදුර විවේචන කරන්නේ එය බලයට පත් කරන්න මහන්සි වුණ උදවියම වෙන නිසා. ඒ අනුව ඒ කතාබහ මේ විදියට දිගහැරුණා. මේ සාකච්ඡාව සියලුම පාර්ශවයන්ට වැදගත් වන සාකච්ඡාවක් යැයි ඇපල් අපි සිතන නිසා ලබන සතියට ද මේ සාකච්ඡාව ගෙනයාමට ඇපල් අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ 1980 ජූලි වර්ජකයෙක් ද?
80 වර්ජනයෙන් පස්සේ මාස තුනක් විතර මම කෘෂිකර්මයට සම්බන්ධ පර්යේෂණ කටයුතු කරා. ඊටපස්සේ ප්‍රංශයට යනවා.

ඔබ ප්‍රංශයට ගියේ කොහොම ද?
PHD කරපු මගේ මිතුරෙක් කිව්වා ප්‍රංශයේ දී PHD කරන්න පුළුවන් කියලා. ඉන්පසුව අවුරුදු 27ක් මම ප්‍රංශයේ ජීවත් වුණේ.

ඔබට තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවයක් ද?
නැහැ. මට තියෙන්නේ ස්ථාවර පදිංචියක්. එය වසර 10න් 10ට අලුත් වෙනවා. මට තියෙන්නේ ලංකාවේ පුරවැසිභාවය පමණයි.

ඇයි ඔබ ප්‍රංශ පුරවැසිභාවය ඉල්ලන්නේ නැත්තේ?
මට හිතෙන්නේ එක රටක පුරවැසිභාවයත් වැඩී කියලා. ලංකාවෙත් පුරවැසියෙක් නො වී ලෝක පුරවැසියෙක් වෙන්නයි මම කැමති. ඒත් නීතියට අනුව අවම වශයෙන් එක රටක පුරවැසියෙක් වෙන්න ඕන. ඒ නිසා ඒ සඳහා ලංකාවේ පුරවැසි බව හොඳටම ඇති.

රාවය පුවත්පතකට ඔබ බොහොම ජනප්‍රිය column එකක් ලියනවා. ඒක පටන් ගන්නේ මොන කාලෙ ද?
1997 චන්ද්‍රිකා බලයට පත් වුණාට පසුව.

ඔබ ලංකාවෙ හිටපු නැති වසර 25 පුරාවට විවිධ පක්ෂ ඇති වුණා. දේශපාලන වෙනස්කම් වුණා. ඒ වගේම ආණ්ඩු මාරු වුණා. මේ තත්ත්වයන් දකින්නේ කොහොම ද?
මම හොඳ පැතිත් දකිනවා. විවෘත ආර්ථිකය 78 ඇති වෙනවා එක්කම තමා මම රටින් පිටවුණේ. ඒ කාලේමයි ලංකාව ලෝකයට විවෘත වුණේ. ලංකාව ලෝකයට විවෘත වීමත් සමඟ විශාල ඉදිරි පිම්මක් තිබ්බා. උදාහරණයක් ලෙස 70 තිබ්බ ආණ්ඩුව 77 දිත් තිබ්බ නම් මේ ඉදිරි පිම්ම මේ විදියට දකින්න ලැබෙන්නේ නෑ. මොකද ඒකට හේතුව එදා අපිට තිබ්බ මතවාදය වුණේ සමාජවාදය සහ දේශීය ආර්ථිකය. ඒ විදියට දිගට හිටියා නම් අපේ ගමන තව ප්‍රමාද වෙන්න තිබ්බා. නමුත් 78 ආර්ථිකය විවෘත වුණාම අපි හැම පැත්තකින්ම ලොකු පිම්මක් තිබ්බා කියලා කියනවා.

ඒත් බොහෝදෙනෙක් තර්ක කරනවා රට විනාශ වුණේ විවෘත ආර්ථිකය නිසා කියලා?
මගේ අදහස විවෘත ආර්ථිකය නිසා රටට හොඳක් වුණා කියන එක. නරකක් වුණා නම් ඒ 10% ක් විතර ප්‍රමාණයක් විතරයි. ඒක නරක් වුණේ විවෘත ආර්ථිකය නියාමනය කිරීමේ අපට තිබුණු අඩුව නිසා. ඒක හරි ගස්සගත්තා නම් මේ කතාව මීට වඩා වෙනස් සාර්ථක කතාවක් වෙන්න තිබුණා.

විවෘත ආර්ථිකය ලැබුණු හොඳ දේවල් විදියට ඔබ දකින්නේ මොනව ද?
විශේෂයෙන්ම විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ඇති වුණු විපර්යාසය ඇතුළු බොහෝ දේ ලැබුවේ මේ තුළින්. අපි මේ දේවල් වහගෙන හිටියා නම් අපිට වෙන්නේ මියන්මාරය වගේ රටක් බවට පත් වෙන්න.

ඔබ ඔහොම කිව්වට අපිට තර්ක කරන්න පුළුවන් විවෘත ආර්ථිකය නිසා අපේ රටේ විශාල දේශපාලන පිරිහීමක් ඇති වුණා කියලත්?
ඒකට විවිධ හේතු බලපානවා. නමුත් මූලික වශයෙන් අපිට 48 ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය දිගටම පවතිනවා. 1931 සර්ව ජන ඡන්දබලය ලැබෙනවාත් එක්කම අපි ප්‍රජාතන්ත්‍රවාදී අභාෂයක් ලැබෙනවා. ඉන්පසුව මේ නිදහස් පාර්ලිමේන්තුවයි දෙකම අපට ලැබෙන්නේ. ඒත් ඒ කාලය ප්‍රමාණවත් මදි ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මුල් ඇදීම සඳහා.

එහෙම කියන්න හේතුවක් තියෙනව ද?
යුරෝපය ගත්තොත් එහි ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ගොඩනැඟෙන්නේ ශතවර්ෂ ගණනාවක ඉඳලා. ඒ අනුව තමා ආයතන පද්ධතිය ගොඩනැඟෙන්නේ. ඒත් අපේ රටේ වුණේ මූල්‍ය ආයතන පද්ධතිය ලැබිලා පසුව ඊට ගැලපෙන විදියට ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මුල් අද්දගන්න සිදුවීම.

ඒ කියන්නේ ලැබෙනකොටම ප්‍රශ්න තිබුණා කියන එක ද?
ඔව් තිඹිරිගේම ප්‍රශ්නයක් තියෙනවා. 1948 මේක ලැබෙනකොට ඒ පුහුණුව තිබුණේ නෑ. 78 ලෝකයට විවෘත වීම සමඟ මේ තත්ත්වය උත්සන්න වුණා. ඉන්පසුව තමයි පරීක්ෂාවට ලක්වෙන්න පටන් ගත්තේ කොච්චරදුරට අපි ශක්තිමත් ද කියලා සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම එක්ක විවෘත වුණ ආර්ථිකයක් ගෙන යන්න. ඒක හැදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පෝෂණය වීමත් එක්ක. ප්‍රජාතන්ත්‍රවාදී සංස්තීයක් පෝෂණය නැතිවුණ නිසාම දේශපාලන හැඩගැසීම දිගටම සිදුවුණේ අධිකාරීවාදී, මජර ක්‍රමයකට අනුව.

ඉන් පසුවත් අපි විශාල ගැටළුවක් ළඟ නතර වෙනවා නේද?
ජාතික ප්‍රශ්නය, ඒක තීරණාත්මක එකක් වෙන්නේ එතනින්. එය උඩුදුවන තැන තමයි යුද්ධය ඇතිවෙන්නේ. යුද්ධයට ගියාහම නැවත අපේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම test වෙන්න පටන් ගත්තා. එතනදිත් අපි fail වුණා අර වගේම. ඒ සියල්ලේම ප්‍රතිඵලය විදියට 2010 මහින්දගේ ආණ්ඩුව කාලේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියත් ආපස්සට පෙරලෙනවා.

ඒකෙන් ඔබ අදහස් කරන්නේ මොකක් ද?
අපිට ස්වාධීන අධිකරණයක් තිබුණා. 1970 වෙනකම් තිබ්බ අධිකරණය 70 ගණන්වලම ක්‍රමක්‍රමයෙන් පිරිහීගෙන ගියා කියන එක.

ඒ තත්ත්වය වැඩි වෙන්නේ මහින්දගේ කාලයේ කියල ද ඔබ කියන්නේ?
චන්ද්‍රිකාගේ කාලේ අධිකරණය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය තවත් නරක් වුණා. විශේෂයෙන් සරත් නන්ද සිල්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු කෙනෙක් මූලික නීති උල්ලංඝණය කරලා පත් කිරීම වැනි දේවල් කරලා චන්ද්‍රිකා විසින් එයාට ඕන විදියට ඒ වසර 10 තුළ අධිකරණය හැඩගස්වා තිබුණා.

ඔබ සෘජුවම කියන්නේ අධිකරණයේ ස්වාධීන බව බිඳෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ කියන එක ද?
චන්ද්‍රිකා හැඩගහලා දුන්න එකේ උපරිම ප්‍රයෝජන වින්දේ මහින්ද. මහින්දත් ස්වභාවික ගතිවලට අමතරව යුද්ධයේ වාස්තවික තත්ත්වයත් හොඳ තල්ලුවක් කරගත්තා. යුද්ධය ප්‍රයෝජනයට අරන් අධිකරණයේ ස්වාධීන බව නැති කරා. සම්පූර්ණයෙන්ම යුද්ධය නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය මහින්ද විසින් විනාශ කරලා දැම්මා.

වසර 10 මහින්ද පාලනයට ඔබ කරන්නේ දැඩි චෝදනාවක්?
ඒ පාලන කාලයේ මුල් වසර 05ට සමාව දෙන්න පුළුවන්. මොකද යුද්ධයෙන් දැඩි පීඩනයක් තිබුණ කාල සීමාවක් නිසා. නමුත් 2009න් පස්සේ වසර 06ක් ඔහු නැවත බලයේ ඉන්නවා. ඒ කාලයේ J.R.ගේ විධායක ජනාධිපති ක්‍රමයට ඔහු තවත් එහාට අරගෙන යනවා. ඒ තත්ත්වයට සමාවක් දෙන්න කොහොමටවත් බැහැ.

ආණ්ඩුවක් පෙරලන්න මෑත කාලේ කරපු ලොකුම පෙරළිය ඔබ ඇතුළු සිවිල් සංවිධානවල මැදිහත්වීමෙන් සිදුවෙනවා. ඔබ මේ ගැන දැන් සෑහීමකට පත් වෙනව ද?
ඔව් සහ නැහැ කියන උත්තර දෙකම තියෙනවා. නැහැ කියන එක ගැන කතා කරන හැම වෙලාවෙම ඔව් කියන පිළිතුරත් තියනවා.

ඔව් සහ නැහැ කියන පිළිතුරු දෙකටම පැහැදිලි හේතු ඇති?
අපි 2015දී මකර කටකට යමින් හිටියේ. එතනට වැටුණත් ආය අපිට එන්න බැරි විදියට කට වැහෙන්න ඉඩ තිබ්බා. අපි එයින් බේරුණා. ඒක විශාල ජයක්. ඒකට හේතුව ඕනෑම අධිකාරීවාදී ආණ්ඩුවකින් වැඩි කාලයක් බලය අල්ලා සිටිද්දී එය කඩා දැමීම වඩාත් විනාශකාරී. කලින් කඩා දාන තරමට වියදම අඩුයි. පරක්කු වෙන තරමට වියදම වැඩියි. මෙතනදී අපිට බැරි වුණා නම් මේ ආණ්ඩුව බිඳ දමන්න. 88,89 ලංකාව තිබුණ තැනට ආයෙත් රට පත්වෙන්න ඉඩ තිබුණා. අපි ඒ තත්ත්වය වැළැක්වුවා.

ඒ ආරක්ෂාව බිඳ දමලා, මේ ආණ්ඩුව පත් කිරීමෙන් අමුතුවෙන් ඇති වුණ වෙනස මොකක් ද?
අපි ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න විශාල ජයග්‍රහණයක් මේක. ඒ නිසා අපිට පුළුවන් වුණා මහින්ද ආපස්සට ගෙනිච්ච ප්‍රජාතන්ත්‍රවාදී ආසන පද්ධතිය නැවත මේ තාක්දුරට පිළිසකර කරන්න. විශේෂයෙන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරගන්න එක. පාලනතන්ත්‍රය ස්වාධීන කරගන්න එක ගැන බොහෝ ප්‍රගතශීලී දේවල් එහි තියෙනවා. එය නැති කරලා තමයි මහින්ද 18 වන සංශෝධනය ගෙන ආවේ.

19 වන සංශෝධනය මොන වගේ ප්‍රජාතාන්ත්‍රීය වෙනසක් ද ඇති වුණේ?
දැන් අපට ස්වාධීන කොමිෂම සභා තියෙනවා. අනෙක් පසින් ජනාධිපතිවරයෙකු සතු අසීමිත බලතල අපි යම්තාක් දුරට පාලනය කළා. ස්වාධීන කොමිෂන් සභා ප්‍රජාත්නත්‍රවාදයට අවශ්‍ය දේවල්. තනි අතකට තිබුණ බලතල පාලනයවීමක් මෙහිදී සිදුවෙනවා. දැන් අගමැතිටවත් ජනාධිපතිටවත් මහින්දගේ කාලේ වගේ ඇඟිලි ගහන්න බැහැ. ඒ වගේම තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබීමත් අපි ලබපු විශාල ජයග්‍රහණයක්.

තොරතුරු දැනගැනීමේ අයිතිය මහින්දගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා කියන එක ද ඔබ ඔය කියන්නේ?
අවස්ථා දෙකකදී මහින්ද එය ප්‍රතික්ෂේප කරා. කරූ ජයසූරිය අවස්ථා දෙකකදී මේක ගෙනාවා. ඒ අවස්ථා දෙකේම මහින්ද එයින් ලිස්සලා ගියා. මහින්ද රාජපක්ෂ හිටියේ ජනතාව තොරතුරු දැනගන්න ඕන නෑ කියන තැන. ඔහුගේ වචනවලින් කියනවා නම් ඔහු ජනතාවට කිව්වේ තොරතුරු ඕන නම් මගෙන් අහන්න කියලා. තොරතුරු ඒ තරමටම හෑල්ලු කළා.

මහින්දගේ ආණ්ඩුවේ නො තිබුණ මේ ආණ්ඩුව යටතේ ලබාගත්ත අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ මොනවා ද?
තොරතුරු පනත මූලික නීතියට ඇතුළත් කිරීමම විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්. ඒ වගේම බටහිර රටවල් සහ මානව හිමිකම් කවුන්සිලයත් අපිට විරුද්ධව අපි සම්බන්ධව විවිධ යෝජනා ගෙනවිත් තිබුණා. ඒ වගේම GSP+ වගේ දේවල් නිසා ආර්ථික තත්ත්වයටත් විශාල වශයෙන් බලපාල තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ ඒවා පොඩ්ඩක් තුලනය වෙලා තියෙනවා.

ඔබ කියපු අතිවිශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අතරේ තවමත් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මේ ආණ්ඩුව ඉදිරියෙන් ප්‍රශ්නාර්ථයක් නේද?
මහින්දගේ ආණ්ඩුව කාලේ මාධ්‍යවේදීන්ට මෙහෙම නිදහසක් තිබුණේ නෑ. මාධ්‍ය කතා කළොත් එක්කෝ ඒවට වෙඩි තිබ්බා. නැත්නම් බෝම්බ දැම්මා. ඒ වගේම ලියපු අය ඝාතනය කළා. නැත්තම් උස්සන් ගියා. ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග මීට හොඳම උදාහරණ. නැත්නම් උස්සන් ගිහින් අතපය කැඩුවා. මේ වගේ තත්ත්වයක් මාධ්‍යයට තිබ්බේ. මේ ආණ්ඩුව යටතේ එවැනි තත්ත්වයක් මාධ්‍යයට නැහැ. බැනීම්, විවේචනය වැනි පොඩි දේවල් හැර විශාල දේවල් වෙන්නේ නෑ.

මහින්දගේ ආණ්ඩුව මාධ්‍ය වාරණය කරන්න පටන් ගන්නේ පොඩි දේවල්වලින්ම නේද?
ඔව් පොඩි දේවල්වලින් තමයි පටන් ගත්තේ. ඒත් එදා වුණ සිදුවීම් මීට වඩා බොහොම දරුණුයි. එදා වාරණය කළේ මාධ්‍ය විතරක් නෙවෙයි. සුදුවෑන් සංස්කෘතියත් මාධ්‍යවේදීන් අරන් යනකොට ආණ්ඩුවට විරුද්ධ වෙන මිනිස්සුත් අරන් යනවා. එදා තිබුණේ මුළු සමාජයම මර්දනය කිරීමක්. ඒක මේ ආණ්ඩුව යටතේ වෙන දෙයක් නෙවෙයි.

නමුත් දැනටමත් මේ ආණ්ඩුව යටතේ වෙබ් අඩවි කිහිපයක් block කරන්න පටන් අරන් තියෙනවා. මෙය ආරම්භය නෙවෙයි ද?
මෙය ආරම්භය වෙන්නත් පුළුවන්. එතනම නතර වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ සමාජය විසින් දීර්ඝ කාලීනව ගෙන යන සමාජ අවබෝධ හා තත්ත්වයන් මත. ඒක ගැන එකහෙලා ප්‍රකාශයක් කරන්න බෑ.

ඔබ දකින්නේ එය මොන වගේ තත්ත්වයක් ලෙස ද?
උදාහරණයකට මෙහෙම කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදියෙක් විවේචනය කරනවා කියමු. එහෙම කළා කියලා ඒ මාධ්‍යවේදියා සුදුවෑන් එකකින් පැහැරගෙන යයි කියන එක අපිට කියන්න බෑ. එහෙම හිතනවා නම් එය ප්‍රශ්නය දුරදිගට ඇදගෙන යාමක්. අනික් පැත්තෙන් ඒකට මාධ්‍ය පැත්තෙන් හා සමාජයෙන් එන ප්‍රතිචාරය දරුණුයි. ඉස්සර එහෙම ප්‍රතිචාර සමාජයේ ආවේ නෑ. ඒ නිසා අර වාගේ තත්ත්වය ඇති වෙයි කියලා කියන්න බෑ.

ඒ කියන්නේ මහින්දට වඩා රනිල් ෂුවර්?
රනිල්ව විතරක් නෙවෙයි මෛත්‍රීපාල ජනාධිපති ප්‍රමුඛ යහපාලන කණ්ඩායම ගැන මහින්දට වඩා විශ්වාස තියන්න පුළුවන්. මොකද ජනතාවට එදාට වඩා සංවේදී නායකයන් ඉන්නවා. එදාට වඩා ජනතාව බුද්ධිමත්. ජනතාව හිතන්නේ නැති වෙලාවට තීන්දු තීරණ දෙනවා කියලා එයාල දන්නවා.

සංවාදය – ප්‍රගීත් මානියංගම
සටහන – චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: