චිත්‍රපට කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ලංකාවේ වැඩිම මුදලක් අය කරන කලා අධ්‍යක්ෂ බිමල් දුෂ්මන්තකියන කතාව

“බිල් ගේට්ස්” නම නොදන්න කෙනෙක් නැහැ. ඔහු ලෝක ප්‍රකට මයිකේ‍රා්සොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා. ලෝකයේ ධනවත්ම පුද්ගලයින්ගේ නම් අතර බිල් ගේට්ස්ගේ නමත් තියෙනවා. ඔහු උපත ලබන්නේ 1955දී. ළමා අවදියේ ඔහු පාසල් අධ්‍යාපනයෙන් හෙම්බත් වුණා. පන්ති කාමරයේ වැඩවලට උනන්දු වුණෙත් නැහැ. බිල් ගේට්ස්ගේ හිත නතර වුණේ පරිගණක ළඟ. ඔහු වැඩි කාලයක් ගත කළේ පරිගණක කාමරයේ.

උසස් අධ්‍යාපනය සඳහා බිල් ගේට්ස් ඇතුළත් වුණේ හාවඩ් විශ්ව විද්‍යාලයට. ඔහු තෝර ගත්තේ ගණිතය පාඨමාලාවක්. හැබැයි පාඨමාලාවේ විෂය කරුණු හැදෑරීම වෙනුවට බිල් ගේට්ස් නැවත වතාවක් වැඩි කාලයක් වෙන් කළේ පරිගණකයට. ඔහුගේ සිහිනය වයස අවුරුදු 30 දී මිලියනපතියෙක් වීම. ඒ සිහිනයට යන්න ඔහු තෝරගත්තේ ඔහු ආස කරන පරිගණක ශිල්පය. ආසාව වෙනුවෙන් කැපවුණ බිල්ගේට්ස් අන්තිමට නතර වුණේ වයස අවුරුදු 31දී මිලියන පතියෙක් නෙමෙයි බිලියනපතියෙක් වෙලා.

බිල් ගේට්ස්ගේ ජීවිතය සහ බිමල් දුෂ්මන්තගේ ජීවිතය අතර සමානතා මුණ ගැහුණු නිසා බිල් ගේට්ස් ගැන මුලින් කිව්වේ. බිල් ගේට්ස් වගේම බිමල් පාසල් කාලයේ දක්ෂයෙක් නෙමෙයි. ඔහු ගණිතයට දුර්වලයි. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය ඔහු අසමත් වෙනවා. පන්ති කාමරයේ තුළ අදක්ෂයෙක් වුණත්, විභාග අසමත් වුණත් කලා ලෝකය ඇතුළේ ගමනක් යන්න ඔහු ඉව අල්ලමින් හිටියා. ඉස්කෝලේ කාලේ ඉඳන්ම රත්නපුරේ නාට්‍ය කණ්ඩායම් සමග වැඩ කළා. බිල් ගේට්ස්ට වගේ බිමල්ටත් හීනයක් තිබ්බා ඒ කවදා හරි කළා අධ්‍යක්ෂවරයෙක් වීම. ඒ හීනයට යන්න ඔහු විසින්ම පාර කපා ගත්තා.

දෙවැනි වතාවටත් සාමාන්‍ය පෙළ ගණිතය විෂය ලියලා උසස් පෙළ වරම දිනාගත්ත බිමල් නගරයේ ඉස්කෝලේ ඉඳන් ගමේ ඉස්කෝලෙට යනවා. ඒ චිත්‍ර ශිල්පය විෂයක් විදිහට හදාරන්න. ඒ සඳහා රත්නපුර ඉඳන් ඇලපාත ගියත් ඔහුට උසස් පෙළට චිත්‍ර ඉගෙන ගන්න නම් වුණේ නැහැ. ඒකට හේතුව ඒ පාසලේ චිත්‍ර ගුරුතුමිය එම වසරේදීම වෙනත් පාසලකට මාරු වීම. අවසානයේ චිත්‍ර වෙනුවට බිමල් ඉගෙන ගත්තේ භූගෝල විද්‍යාව
මේ වෙනකං Change The Game කියවපු ඔබට හිතෙනවා ඇති බිමල් දුෂ්මන්තගේ ජීවිතය හා බිල්ගේට්ස්ගේ ජීවිතයේ සමානතා එච්චරද කියලා. බිමල් රත්නපුර ඉඳන් කොළඹ ඇවිත් විවිධ දේවල් කළා. ඒ සියල්ල කලාවට සම්බන්ධයි. ඔහු සහාය කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට රුපියල් 5000ටත් වැඩ කරපු කාලයක් තිබුණා. ඒත් අද ඔහු අපේ රටේ චිත්‍රපටයකට වැඩිම මුදලක් අයකරන කලා අධ්‍යක්ෂවරයා. බිල් ගේට්ස්ට ඕන වුණේ මිලියනපතියෙක් වෙන්න, ඒ පරිගණක ක්ෂේත්‍රය හරහා. බිමල්ට ඕන වුණේ කලා අධ්‍යක්ෂවරයක් වෙන්න මිසක් බිලියනපතියෙක් වෙන්න නෙමෙයි. ඒත් අද වන විට ඔහු ඒ හැකියාව වෙනුවෙන් අපේ රටේ ඉහළ මිලක් නියම වෙලා ඉවරයි.

බිල් ගේට්ස් තමන්ගේ දේශනයකදී කියනවා ජීවිතයට වැදගත් වෙන කරුණු 11ක් ගැන. ඒ කරුණු අතරින් පළවෙනි කාරණය වර්තමාන පරම්පරාවට වැදගත්. ඔහු කියනවා පාසලෙන් අස් වෙලා ගිය ගමන් ඩොලර් 60000ක රස්සාවක් ඔබට ලැබෙන්නේ නැතිවෙයි කියලා. ඒ වගේම දුරකථනයක්. මෝටර් රථයක් ලබාදෙන ආයතනයක උප සභාපති වෙන්න එක පාරට බැරිවෙයි කියලත් ඔහු ඒ දේශනයේදී කියනවා.

උසස් පෙළ විභාගයෙන් පස්සේ අධ්‍යාපන කටයුතු කරපු බිමල් දුෂ්මන්ත මුලින්ම ඩොලර් 60000ක රස්සාවක් හෙව්වේ නැහැ. හැබැයි ඔහු රත්නපුර. තරුණයින්ට හිමි සුපුරුදු පතල් රස්සාවටවත් මැණික් රස්සාවටවත් ගියෙත් නෑ. ඒකේ ගෞරවය ලැබෙන්න ඕන මහප්පට කියලයි බිමල් අදටත් කියන්නේ.

 

“අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි,මමයි.අම්මයි තාත්තයි හිටියට අපේ පවුලේ දුර දක්නා නුවණ තිබ්බේ මහප්පට. A/L ඉවර වුණාම මහප්පා එක්ක මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න තිබුණා. මොකද එයත් ඒ කාලේ ව්‍යාපාරවලට සම්බන්ධයි. ඒත් මහප්පා මාව කලාවට යොමු කළා. මහප්පා දැනගෙන හිටියා මට කලාවෙන් යමක් කරන්න පුළුවන් කියලා.”
බිමල්ගේ ජීවිතට මහප්පගේ සෙවණැල්ල වැටුණේ එහෙම. ඔහුගේ මගපෙන්වීමත් එක්ක බිමල් රෙදි බෑග් එකකුත් අරන් කොළඹ එනවා. ඒ 2006 අවුරුද්දේ. කොළඹ එන බිමල්ගේ එකම හීනය කලා අධ්‍යක්ෂවරයෙක් වීම. ඒ වෙන කොටත් පසුතල නිර්මාණවලට, වේදිකා පරිපාලනයට සම්බන්ධ වෙලා හිටපු සුනිල් පතිරණ, එහෙත් නැත්නම් තට්ටු ගෙවල් ටෙලි නාට්‍යයේ ”බංකු බංකු” තමයි බිමල්ගේ ගමන් සගයා. සුනිල් පතිරණ තමයි බිමල්ට කොළඹ යමු කියන යෝජනාව ගේන්නේ. කොළඹ අය බිමල් මුලින් වේදිකාව පැත්තකට වෙලා නාට්‍ය කරනවා බලන් හිටියා. රාජිත දිසානායකගේ “වීරයා මැරිලා” වේදිකා නාට්‍ය ඒ විදිහට බලපු හැටි බිමල්ට තාම මතකයි. ඔය විදිහට බිමල් නාට්‍යය කණ්ඩායම්වල වැඩ කරන්න පටන්ගත්තා. හැබැයි බිමල්ට තේරුම් ගියා. ඒ නිසාම බිමල් ප්‍රතිඵලයක් විදිහට තමයි බිමල් ආපසු ගමට යන්නේ. ගමට ගිහින් ඔහු තමන්ගේ මිත්‍ර සමාගමක් එක්ක දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් හදනවා. පෝස්ටරයේ සිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වෙනකං සියලු දේ නිර්මාණය කරන්න බිමල් ඇතුන් කණ්ඩායමට පුළුවන් වුණා. වැඩ කළා. මුදල් ලැබුණා. ඒත් ඔහුගේ හීනය වුණේ වෙන දෙයක්. ඒ හීනයට යන්න සමහර දේවල් අත්හරින්න වුණා. එහෙම තමයි ජීවිතයේ එක දෙයක් ලබාගන්න නම් තව දෙයක් අත්හරින්න වෙනවා. ඒකට උදාහරණයක් අපේ රටේ ජනාධිපති. එතුමා දේශපාලනයට එන්න කලින් ග්‍රාම නිලධාරි. ග්‍රාම නිලධාරි තනතුර අත්හැරලා ආපු නිසා දේශපාලනයට එන්න පුළුවන් වුණා. මහ ලේකම් තනතුර අත්හැරලා ආපු නිසා ජනාධිපතිවෙන්න පුළුවන් වුණා. ඔබේ අතේ තිරුවානා ගල් හුගාක් තිබුණොත් මැණික් ගල් හමුවුණත් ඔබට ඒවා ගන්න බැරි වෙයි. මැණික් ගල් අහුලා ගන්න නම් තිරුවානා ගල් අත්හරින්න වෙයි.

බිමල් රත්නපුරයෙන් ආපහු කොළඹ එන්නේ කලා අධ්‍යක්ෂ සුජීව ගුණරත්න මුණගැහෙන්න. ඒ බිමල්ගේ මිත්‍ර ප්‍රභාත්ගේ දැනුම්දීමකට අනුව. ඒ මුණ ගැසීමෙන් පස්සේ බිමල්, සුජීව සමග වෙළෙඳ දැන්වීම් වැඩ කළා. දැන්වීම් 400කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිර්මාණ ගොඩට එකතු වුණා. ඒත් රෙදි බෑග් එකකුත් අරන් කොළඹ ආපු බිමල්ට ඕන වුණේ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමවත්, ගීතවලට රූප රචනා කිරීමවත් නෙමෙයි. ඔහුගේ හීනය සිනමාව. සිනමාවේ කලා අධ්‍යක්ෂවරයෙක් වීම. ඒ හීනයට පාර කැපුවේ සංජීව පුෂ්පකුමාර. ඔහු ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට තෝරගත්තේ බිමල් දුෂ්මන්තව. ඒත් බිමල් ඒ වෙනකොට කිසිම චිත්‍රපටයක කලා අධ්‍යක්ෂණය කරලා තිබුණේ නැහැ. බිමල්ගේ කලා අධ්‍යක්ෂණය දැක බලාගන්න ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය ප්‍රචාරය වුණෙත් නැහැ. ඒ එම චිත්‍රපටය තහනම් වුණ නිසා. ඒත් මේ චිත්‍රපටයෙන් පස්සේ බිමල් දුෂ්මන්තට චිත්‍රපට ලෝකයේ පාරක් විවර වුණා. ඒ පාර දිගේ බිමල් ඉස්සරහටම ගියා.

“මම කලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතන් කොළඹ ආවා. ඊට පස්සේ කොහොම කොහොම හරි මම සිනමාවට ආවා. සිනමාවට ආවම තමයි මට තේරුණේ කලා අධ්‍යක්ෂවරයෙක් වීමට වඩා සිංහල සිනමාවට අවශ්‍ය නිෂ්පාදන සැලසුම්කරණය කියලා. ඒ නිසා අද මම වැඩිපුර හිතන්නේ නිෂ්පාදන සැලසුම්කරණ කලා අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදන සැලසුම්කරණය කරන්න පුළුවන් වෙන්න ඕන. මම පත්තිනි චිත්‍රපටය භාර ගත්තේ අභියෝගයක් විදිහට. ඉතිහාස කතාවලට ගුණාත්මක බවක් ගේන්න ඕන කියලා මම හිතුවා. පත්තිනි හරහා ඒක මට කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.”
ඉගිලෙන මාළුවෝ, පත්තිනි චිත්‍රපටය ගැන විතරක් කතා කළාට ඔහුගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ තවත් චිත්‍රපට ගොන්නක් තියෙනවා. කර්ම භූමි, අලි කතාව, වර්තමානයේ තිරගත වන යශෝධරා ඊට අයත්. SOLAR ECLIPSE වැනි විදෙස් චිත්‍රපට රූගත කිරීම්වලදී ඔහු මෙරට කලා අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළේ 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට නායකත්වය දෙන ගමන්.

සිග්නිස් සම්මාන උළෙලේ හොඳම නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය බිමල් දුෂ්මන්තට ලැබෙනවා. ඒ පත්තිනි චිත්‍රපටය වෙනුවෙන්. අද වන විට ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිචාර්යවරයෙක්. කිසිදාක විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලද බිමල්ට අවස්ථාව ලැබුණේ ආසාවට එහා ගිය කැපවීම නිසා. ඕක අද තමන්ගේ අත්දැකීම් අනාගත පරපුරට බෙදා දෙනවා.

 

 

 

ඇඳුම් මල්කුත් අරන් කලා අධ්‍යක්ෂවරයෙක් වෙන්න කොළඹ බිමල් දුෂ්මන්තගේ හීනය අද වෙනකොට ඉටු වෙලා ඉවරයි. ඒත් අද ඔහු අලුත් හීනයක් දකිනවා. ඒ වගේම අපේ රටේ චිත්‍රපට කර්මාන්තය ගෙන යා යුතු අපේ රටේ චිත්‍රපට කර්මාන්තය ගෙන යා යුතු දිශාව පිළිබඳවත් ඔහුට අදහසක් තියෙනවා.
“අපේ රටේ හොඳ චිත්‍රපට 5ක් හදනකොට දුර්වල චිත්‍රපට 50ක් හදනවා. නිෂ්පාදන පිරිවැය ගැන හිතලා අඩු මුදලින් හො¼ද චිත්‍රපටයක් කරන්න අමාරුයි. සංජය ලීලා බන්සාලි පද්මාවත් වෙනුවෙන් යොදවපු මුදල අපිට හිතාගන්නවත් බෑ. පාඩු නොවෙන්න හොඳ චිත්‍රපටයක් කරලා දෙන්න කියන නිෂ්පාදකවරු බිහි වෙනකං අපි බලන් ඉන්නවා. මගේ ඊළඟ අරමුණ සිනමා අධ්‍යක්ෂණය. 2019 දී මගේ චිත්‍රපටය රූගත කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඒ හීනය යථාර්ථයක් වෙන දවස වෙන කම් අපි බලං ඉන්නවා. බිමල් කියන්නේ ලංකාවේ විතරක් පෙන්නන්න චිත්‍රපට කරලා වැඩක් නෑ කියලා අඩුම තරමේ ඉන්දියාවේ දවස් 10ක් හරි පෙන්නන්න පුළුවන් මට්ටමට අපේ චිත්‍රපට කර්මාන්තය දියුණු වෙන්න ඕන කියලයි ඔහු කියන්නේ. ඒක කවදා ඉටුවෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙන්නේ බිමල්ම කියපු කාරණයක් නිසා.

බිමල් අපිට කිව්වේ ඔහුගේ මුල් ගම රත්නපුර ගොරොක්ගොඩ කියලා. ඒත් 83 ආපු ගංවතුරක් නිසා ඔවුන් වෙන තැනක පදිංචියට ඇවිත්. ඒ 1983. එදත් රත්පුරට ගංවතුර. මේ 2018 ගිය සතියෙත් රත්නපුරට ගංවතුර. සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා දවස් 45ක් ඇතුළත ගංවතුරක් එනවා කියලා රත්නපුර ජනතාව අදටත් දන්නවා. බලධාරිනුත් දන්නවා. ඒත් ගංවතුර එනවා.

ගිහාන් කාලිංග

What do you think of this post?
  • නියමයි (50%)
  • වටිනවා (50%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 7 =