චුයින්ගම් එකෙන් රට වටේ යන හෙරොයින්

March 29, 2017 | 2:00 pm    0   336

චුයින්ගම් එකෙන් රට වටේ යන හෙරොයින්

කිසිවෙකු කිසිදා නොසිතු ආකාරයේ මාෆියා ජාවාරම් වර්තමානයේ සිදුවෙමින් ඇත. නීතිය දැඩි වන්නට වන්නට නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නට වන්නට නීතියේ රැහැනින් රිංගා යාමට අවශ්‍යවුන් ඒ සඳහා භාවිත කරනු ලබන උපක්‍රමද වෙනස් වෙනස් ආකාර ගනී. කෙසේ වෙතත් පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ රට පුරා පැවතියේ අතිශය බැරෑරුම්කාරී උණුසුම්කාරී තත්ත්වයකි.
ලෝකයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳපොල තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ද කාලයෙන් කාලයට වෙනස් ආකාර ගනිමින් අඛණ්ඩවම සිදු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේද එය එසේම ක්‍රියාත්මක වෙමින් ඇත.
මහා පරිමාණ වශයෙන් හෙරොයින් ඇතුළු අනෙකුත් මත්කුඩු රට පුරා බෙදාහැරීමේ ජාලයේ ක්‍රමවේදය මේ වන විට වෙනස් වී ඇත. එහි භයානකකම නම් නිර්දෝෂී ඔබද නොදැනුවත්වම හෙරොයින් බෙදාහැරීමේ වරදකරුවෙකු බවට පත්වීමේ අතිවිශාල සම්භාවිතාවයි.
මන්දයත් ඔබ නොදැනුවත්ව ඔබගේ මෝටර් රථයේ, වෑන් රථයේ, බස් රියේ, යතුරු පැදියේ අංක තහඩුවට ආලෝකය ලබාදෙන ටේ ලයිට් එකෙහි කුඩා පොලිතින් උරයක පැකට් කරන ලද හෙරොයින් පැකට්ටුවක් චුයින්ගම් නැතහොත් බබල්ගම් එකක් භාවිතයෙන් අලවා තිබිය හැක.
විස්තරය මෙසේය. චුයින්ගම හපන සියල්ලන් දෙස වපර ඇසින් නොබැලිය යුතු වුවද අවධානය වඩා හොඳය. ගමන යන්නට පෙර වාහනයේ වටේ පොඩි සර්ච් එකක් දැම්මත් පාඩු නැත. මෙය ත්‍රස්තවාදීන් කොළඹට බෝම්බ ගෙනාවාට වඩා බරපතල කාරණයකි. රටේ අනාගත තරුණ පරපුර සම්බන්ධයෙන් පවතින අතිශය භයානක තත්ත්වයකි.
කෙසේ හෝ ගුවනින් සහ මුහුදෙන් මෙරටට ගෙනෙන විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණ වශයෙන් දිවයින පුරා බෙදා හැරීම ජාවාරම්කරුවන්ට ඇති ගැටළුවකි. ආරක්ෂක අංශ අතට පත්වුවහොත් විශාල අවුලකි. එය වළක්වා ගැනීම සඳහා ඔවුන් භාවිත කරනු ලබන නවතම ක්‍රමය මෙයයි. පිටකොටුව ප්‍රධාන තිප්පොල බවට පත් කරගනිමින් අනෙකුත් තදාසන්න බස් නැවතුම්පොළවල්ච මෙම ජාවාරම සඳහා යොදාගනිමින් ඇත. මේ හරහා පැය පහක් හයක් තුළ රටේ ඕනෑම තැනකට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටි. මත්ද්‍රව්‍ය යැවීමට අවශ්‍ය ප්‍රදේශයට ගමන් කරනු ලබන බස් රථයක් හඳුනාගෙන අනතුරුව එම බස් රථයේ අංක තහඩුවට ඉහළ ටේ ලයිට් එකෙහි කිසිසේත් නොගැළවෙන සේ කුඩු පැකට්ටුව ඇලවීමට හැකි වන තරම් පදමට හපා ගත් බබල්ගම් එකකින් එය සවි කරනු ලබයි. කිසිවෙක්ට නොදැනෙන සේ හොර රහසේම සිදුවන මෙම කාරණය ඇස ගැටුණද කිසිවෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැත. බොහෝ විට බස් රථයේ කොන්දොස්තරවරයා මෙන් ව්‍යාජ ලෙස හැසිරෙමින් ඔවුන් මෙම ජාවාරමේ නිරත වේ.
කිසිවක් නොදන්නා බස් රථ සේවකයින් බස් රථය ධාවනය කළ පසු අදාල නැවතුමේ සිටින අනෙක් ජාවාරම්කරුවාට අදාල බස් රථයේ අංකය SMS මාර්ගයෙන් දැනුම් දෙයි. එහිදී ඔහු අංක තහඩුවට සවිකර ඇති හෙරොයින් පැකට්ටුව ගලවාගෙන යන්නේ කාටත් රහසේමය. එහිදී අදාල මුදල් easy cash මාර්ගයෙන් ජාවාරම්කරුවන් අතර හුවමාරුවන බැවින් මෙම සුක්ෂම ජාවාරම නීතියට හසුකර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත.
මෙහි භයානකම තත්ත්වය වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන්නේ වාහනයේ හිමිකරුහෝ රියදුරු බැවින් නොදැනුවත්වම නිවැරදි පුද්ගලයින් අපහසුතාවයට පත්වීමය. පෞද්ගලික වාහන මෙම ජවාරාමට ඔවුන් යොදාගනු ලබන්නේ දිනපතා එකම මාර්ගයක ගමන් කරනු ලබන ආකාරය නිරික්ෂණය කර හදුනාගැනීමෙන් අනතුරුවය. අදාල එක එක ප්‍රදේශවලට ගමන් කරන පුද්ගලික වාහන කලින් හඳුනාගෙන පෙර පරිදි මත්කුඩු පැකට් එහි අලවා අදාල ප්‍රදේශවලට යවනු ලබයි. කුඩා පැකට් ලෙස හෙරොයින් ඇතුළු මත්කුඩු අති විශාල ප්‍රමාණයක් දිනකට මේ හරහා රට පුරා සංසරණය වෙයි.
මෙම ජාවාරම ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා නීතියේ රැහැනට කොටු කරගැනීමට අපහසු වී ඇත. මේ හේතුවෙන් දිවයින පුරා අතිශය සීඝ්‍රයෙන් සහ කාර්යක්ෂමව විෂ මත්ද්‍රව්‍ය බෙදාහැරෙමින් ඇත. ආරක්ෂක අංශ සහ සියලු දෙනා මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් නොකළ වැරදි සඳහා නිර්දෝෂිතයින් හිරේ විලංගුවේ වැටීම පමණක් නොව රටේ ගම්බිම්වල අහිංසක තරුණ පරම්පරාව විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වාගත නොහැකිවනු ඇත.
කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: