ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂිකා මංගලිකා බින්දුසාර මහත්මිය අත්අඩංගුවට ගන්න වරෙන්තු

June 8, 2017 | 1:40 pm    0   287

ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂිකා මංගලිකා බින්දුසාර මහත්මිය අත්අඩංගුවට ගන්න වරෙන්තු

By Editor

2008 වසරේ අප්‍රේල් 11 වැනි දින සිට ජූලි 24 දින දක්වා කාල සීමාව තුළ කල් ඉකුත්වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙන්වා රජයට පාඩු සිදුකිරීම සම්බන්ධව සහ ඒවා රෝගීන් අතර බෙදාහැරීමෙන් රෝගීන්ට අගතියක් සිදුකල බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාලව ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂිකා මංගලිකා බින්දුසාර මහත්මිය අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

ඇප මත මුදාහැර සිටින මේ විත්තිකාරිය ඊයේ (07) මෙම නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඒ පිළිබඳව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චාමර වනිගසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායිකාව මේ වනවිට ඕස්ට්‍රේලියාවේ අසනීපව ප්‍රතිකාර ලබන බවයි. ඒ බව තහවුරු කරමින් ඇය විසින් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් එවනු ලැබූ වෛද්‍ය සහතික කිහිපයක් ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සියලු කරුණු සලකා බලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තිකාරිය අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත්කළේය. තව ද ඇයගේ ඇපකරුවන්ට ද මීළඟ නඩු දිනයේ දී අධිකරණයේදී පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කළේය.

මෙම නඩුවේ දෙවැනි විත්තිකාරිය වශයෙන් නම්කර සිටින ජාතික ලේ බැංකුවේ සේවය කළ වෛද්‍ය චම්පා මංචනායක නැමැත්තිය ද මේ වනවිට අධිකරණය මගහැර සිටින අතර ඇය නොමැතිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වැනි වගන්තිය යටතේ ඉල්ලීමක් කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඉල්ලීමක් කළාය.

එම ඉල්ලීම සලකාබැලීමට තීරණය කල මහේස්ත්‍රාත්වරයා එම විභගයට අවශ්‍යකරන සාක්ෂිකරුවන් අගෝස්තු 9 වැනි දින කැඳවන ලෙස ද අල්ලස් කමිසමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: