තාත්තාගේ ටොක්ක නැත්නම් අද සුනිල් කෙනෙක් නෑ – සුනිල් පෙරේරාගේ අම්මා කියන කතාව

November 27, 2017 | 1:20 pm    0   151

තාත්තාගේ ටොක්ක නැත්නම් අද සුනිල් කෙනෙක් නෑ – සුනිල් පෙරේරාගේ අම්මා කියන කතාව

සිංහල භාෂාවේ අපි එදිනෙදා හරඹ කරන වචන ගත්තම ඒ වචනවලින් වැඩිමනක් හැඟීම් එක්ක, බැඳීම් එක්ක ගනුදෙනු කරන වචන හැදිලා තියෙන්නේ “අ” යන්නෙන්. ආදරය, ආසාව, අනුකම්පාව මේ හැමදේම මොළෙත් එක්ක නෙමෙයි හදවතත් එක්ක ගනුදෙනු කරන වචන. මේ වචන අතරින් “අම්මා” කියන්නේ ලෝකේ තියෙන සියලුම හැඟීම් කැටි කරලා වර නඟපු ස්වර ව්‍යාංජන එකතුවකට. ඒ වචනේ එච්චරටම හරි බරයි. “අම්මා” කියපු ගමන්ම ඒ හඬ හදවතට කිදා බැහැලා මොකද්දෝ කියාගන්න බැරි හැඟීමකින් හිත පිරිලා යනවා. ලෝකේ මොන භාෂාවකින් වර නැඟුවත් ඒ හැඟීම එක ලෙසමයි දැනෙන්නේ.

මනුස්සයෙක් හුස්ම ගන්න, හැඟීම් දැනීම් දැනෙන ජීවියෙක් වෙන්නේ ඉපදුණාට පස්සේ නෙමෙයි. ඉපදෙන්න කලින් අම්මාගේ උදර කුහරේ ඉඳන්ම මිනිස්සු හුස්ම ගන්නවා, ගනුදෙනු කරනවා, සංවේදන දැනෙනවා, සන්නිවේදනය කරනවා. ඔබ පුදුම වෙයි. ඔව්… ඒත් ඒක එහෙම තමයි. මේ හැමදේම කරන්නෙ අම්මාගේ පෙකණිවැල කියන අරුම පුදුම ජීව නාලිකාවෙන්. ඒකයි ඒකට පෙකණිවැලේ බැදීම කියන්නේ.

ඒ බැඳීමෙන් මිනිස්සු අත්පත් කරගන්න දේවල් මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. මිනිස්සු සංවේදන ග්‍රහණය කරගන්නේ අම්මාගේ ඒ පෙකණිවැල හරහා. කෙනෙක් සංගීතයට ලැදි නම් ඒ හුරුවට සංවේදී වෙන්නේ අම්මගේ සවන් වැකෙන නාද රටා ඔස්සේ. මනුස්සයෙක් මේ ලෝකේ එළිය දැකපු දා ඉ¼දලා හඬට සංවේදී වෙනවා නම් ඒ අම්මාගේ හඬට. මුලින්ම අහන්නේ හිතේ තියෙන සෙනෙහස වචනවලටයි ස්වරවලටයි මුහු කරලා අම්මා කියන නැලවිලි ගී… සිංහලෙන් “‍ෙදායි ‍ෙදායි ‍ෙදායි ‍ෙදායිය බබා” කිව්වත්, දෙමළෙන් “ආරාරෝ ආරිරරෝ” කිව්වත් ඒ විශ්ව භාෂාව හැම දරුවෙක්ටම දැනෙනවා.

සුමියුරු නාද රටාවලට හඬ මුහු කරලා ඒ වයින් උඩු පිණුම්. කරණම් ගහපු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෝ හැමෝම වගේ පොඩි කාලේ ඉඳන් ඒ විශ්ව භාෂාවට ඇහුන්කම් දීපු අය. ලංකාවේ ජනප්‍රිය ගීත කලාව ගත්තම කාලෙකදී ඒක උඩු යටිකුරු කරපු කට්ටියක් ඉන්නවා. “ජිප්සීස්” කියන නම ඇහිච්ච ගමන් කැරලි ගැහුණු කොණ්ඩෙට දාපු තොප්පියයි, මූණ පුරා වැවුණු රැවුලත් එක්කම කට පුරා ඇඳුණු හිනාවයි ඕනෙ කෙනෙක්ට මතක් වෙනවා. සුනිල් පෙරේරා කියන්නේ ගීත කලාව උඩුයටිකුරු කරපු “ජිප්සීස්” සංගීත කණ්ඩායමේ නියමුවානන්ට.

නොයෙක් දෝෂාරෝපණ, අවලාද මැද ප්‍රසංග වේදිකාවට නව වෙනසක් එකතු කරමින් රසික රස වින්දනය නව මානයකට යොමු කරපු “ජිප්සීස්” කණ්ඩායමට වගේම නායක සුනිල් පෙරේරාටත් ලොකු කුඩා භේදයකින් තොරව හැමෝම හරි ආදරෙයි.

ඒ හැමෝම ආදරේ කරන සුනිල් පෙරේරාගේ පෙකණිවැලේ කතාව හොයාගෙන යන්න හිතුණේ වයසත් එක්කම බොහොම ඉපැරණි ආදර ගනුදෙනුවක් ඒ අම්මාගෙයි පුතාගෙයි තියෙනවා ඇති කියලා හිතුණ නිසා. සබඳතා ගිලිහෙමින් පවතින ලෝකයේ ඉපැරණි පරම්පරා දෙකක් නියෝජනය කරන මේ අම්මගෙයි, පුතාගෙයි බැඳීම හරි හෘදයාංගම ඇති කියලා හිතුණ නිසා.

කලින් කතා කරගත්ත වෙලාවටම යන්න බැරි වුණත් ඊට මඳක් පමාවෙලා හරි රත්මලානට අපි ළං වෙනකොට හැන්¼දෑ යාමට එළඹෙමින් තිබුණේ.

නිදහසේ පිළිසඳරක යෙදෙන්න හොඳම වෙලාව තමයි හැන්¼දෑ යාමය කියන්නේ. ඕනෙම විඩාබර හැන්¼දෑවක් කියන්නේ විවේකී රාත්‍රියට බලාපොරොත්තු ඇති කරන වෙලාවක්. ඒ නිසාම ද කොහෙද කොළඹ පාරවල්වලට හැන්¼දෑවට වැඩ වැඩියි. මිනිස්සු ඒ තරමටම විවේකී රාත්‍රියට හැන්¼දෑවේ හීන මවනවා.

“ජිප්සීස්” කාර්යාලයේ ඇත්තන්ටත් හැන්¼දෑව කියන්නේ වෙන වෙලාවන්වලට වඩා ටිකක් වැඩ වැඩි වෙලාවක්. මොකද මිනිස්සුන්ගේ ඒ විවේකී රාත්‍රිය සුමියුරු නාද රටාවලින් සතපවන්නේ ඔවුන් නිසා. ඉතින් හරි හරියට වැඩත් එක්ක කලබල වෙලා හිටපු සුනිල් පෙරේරා ඒ ඔක්කොම නතර කරලා අපිත් එක්ක කාර්යාලයට එහායින් තියෙන ඔවුන්ගේ මහගෙදරට ගියේ අම්මව අඳුන්නලා දෙන්න හිතාගෙන.

පැරණි තාලේ උඩුමහල සහිත දැවැන්ත ගෙදර, විශාල ආලින්දයේ කොනකට වෙන්න තිබුණ සෝපාවක පහසුවට වාඩිවෙලා ඉන්න අම්මව දකිනකොටම මට තේරුණා අෑ මඳක් අසනීපෙන් ඉන්නේ කියලා.

“අම්මා ටිකක් අසනීපෙන් ඉන්නේ. දැන් වයසත් ටිකක් වැඩියි. ඒත් අම්මා ඔයාලත් එක්ක කතා කරයි. එයා ආසයි එහෙම කතා කරන්න.”
ඒ සුනිල් පෙරේරාගේ හඬ.

සුනිල් පෙරේරාගේ හැඩහුරුකම්වලටම සමාන වුණු අම්මා ඉඳගෙන ඉන්න සෝපානය අසළම තිබුණේ රෝද පුටුවක් සහ හැරමිටියක්. ජීවිතේ සැ¼දෑ සමයේ අග්ගිස්ස ගත කරමින් ඉන්න ඇය සමඟ අෑ එතරම් වෙහෙසට පත් නොකර ඇගේ යටගියාව හාරවුස්සන්න පටන් ගත්තේ ඇය අසළම පුටුවක වාඩිවෙන ගමන්.

එලනෝ එලිසබත් පෙරේරා. ඒ අම්මාගේ සම්පූර්ණ නම. උපතින්ම කිතුණු භක්තික වුණු ඇයගේ ගම් ප්‍රදේශය කළුතර. කළුතර ඉපදුණාට පියා රජයේ වෛද්‍යවරයෙක් වුණු නිසාවෙන් ලංකාවේ නොයෙකුත් තැන්වල තමයි අම්මාගේ කුඩා කාලේ ගතවෙලා තියෙන්නේ.

සහෝදරයෙකුගෙන් සහ සහෝදරියෝ පස්දෙනෙක්ගෙන් සමන්විත පවුලක උපත ලබපු අම්මගේ කුඩා කාලේ සහෝදර සහෝදරියන් එක්ක බොහොම කෙළිලොල්ව ගත කළාලු. අෑ අධ්‍යාපන හදාරලා තියෙන්නේ හැඳල යහපත් එ‍ෙ¾ඩ්රාගේ කන්‍යාරාමයෙන්. කන්‍යා සොහොයුරියන්ගේ ඇසුර සමඟ ගත කළ ඇගේ පාසල් කාලේ රසමුසු තැන් අපිත් එක්ක බෙදාගන්නත් අම්මා අමතක කළේ නැහැ. ඒ අතීත මතකයන්වල රස මොහොතකට අමතක කරන්න වුණේ හදිස්සියේ දැකපු ඡායාරූපයක් නිසා.

ඒ ඇගේ තරුණ කාලයේ උඩුකය ඡායාරූපයක්. හරි ලස්සන හිනාවකට උරුමකම් කියන හැඩකාර රූමතියක් වුණ­ ඇගේ තුරුණු වියේ ඡායාරූපය දිහා බලාගෙනම මගේ හිතේ නලියන ඒ නොඉවසිලිමත් ප්‍රශ්නේ අම්මගෙන් ඇහුවා.

“අම්මා ඒ කාලේ හරි හැඩයිනේ. ඒ දවස්වල අම්මට ගොඩක් විවාහ යෝජනා, ආදර ඇරයුම් එහෙමත් එන්න ඇති නේද?”
“අපොයි ඔව්. ගොඩක් ආවා. ඒත් මගේ පප්පා (තාත්තා) ඒ අයට කැමති වුණේ නැහැ.”
වෘත්තියෙන් රජයේ වෛද්‍යවරයෙක් වෙන ඇගේ පියා රජයේ රැකියාවක නිරත වන්නෙක්ට තම දුවව දෙන්න කැමැත්තෙන් හිටියා කියලා තමයි අම්මා කිව්වේ.
“එතකොට අම්මා විවාහ වෙන්නේ කාත් එක්කද?”
ඒ මගේ ඊළඟ ප්‍රශ්නය.

“ඇන්ටන් පෙරේරා. එයා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. පප්පා එයාට තමයි ඉතින් කැමති වුණේ.”
කොහේදෝ බලාගෙන තම තුරුණු වියේ ලස්සන මතක හරි ආසාවෙන් දිගහරින අම්මා දිහා මොහොතක් මම බලාගෙන හිටියා. අපි එනකොට මළානික වෙලා තිබුණු මූණේ ඉරියව්වල ලොකු වෙනසක් තිබුණා. මූණේ ලස්සන හිනාවකින් සැරසුණු ඇගේ ඇස් දෙකත් ප්‍රීතිමත්. ඒ මතක ඒ තරමටම සුන්දර ඇති කියලා හිතුණා.
අවුරුදු 19දී විවාහ දිවියට ඇතුළත් වෙන අම්මා තමන්ගේ ජිවිතේ ඉතිරි තුරුණු විය ගත කරලා තියෙන්නේ ඇගේ දරුවන් වෙනුවෙන්.

“අවුරුදු දහනවයෙන් බැඳලා මම දරුවෝ නම දෙනෙක් හැදුවා. පුතාලා පස්දෙනයි දුවලා හතර දෙනයි. ලොකු පුතාගේ තමයි ‘ග්ලූකෝරස’ ෆැක්ටරි එක. දුවලාගෙන් එක්කෙනෙක් පොඩි කාලෙම නැති වුණා.”

කතාව මොහොතකට නතර වුණා. හිස් හැඟීමකින් කොහේදෝ අෑතක අම්මා බලාගෙන ඉන්නවා. හුරතල් බලන පොඩි වයසින්ම දුවෙක් අම්මා කෙනෙක්ට අහිමි වෙනවා කියන්නේ මොන තරම් වේදනාවක්ද? මේ හිතුවිලිවල අතරමං වෙලා ඉන්න එක වෙන අතකට හරවන්න හිතාගෙන මම කතාව අපේ කතානායකයාගේ පැත්තට හැරෙව්වා.

“එතකොට අම්මේ සුනිල් පෙරේරා පවුලේ කීවෙනියාද?”
“එයා තමයි පවුලේ දෙවෙනියා. පළවෙනියා හරි තැම්පත්. දෙවෙනියා කොහොමත් දඟයිනේ.”
ඔහුගේ කුඩා කළ මතකයන් දිග හරින්න අම්මා පටන් ගත්තේ එහෙමයි.

තම සහෝදරයෝ එක්ක දඟ වැඩ කරමින් ගතවුණු සුනිල් පෙරේරාගේ පොඩි කාලේ මතක අම්මා එකින් එක කියනවා.

“පොඩි කාලේ ඉඳන්ම අයියලා මල්ලිලා එක්ක සෙල්ලං කරන එකමයි වැඩේ. ඔක්කොම එකතුවෙලා එකට තමයි දඟවැඩ කරන්නේ. හැබැයි මොනා කළත් මගේ දරුවෝ හැමෝම හරි සමඟියි.”

ඒ අන්තිම වචන ටික ඉවර කළේ අහිංසක ආඩම්බරයකින්. දරුවෝ ඔක්කොම සහයෝගයෙන්, සමගියෙන් ඉන්නවා දකින එක තමයි අම්මලාගේ ආසාව.
“එතකොට අම්මේ සුනිල් පෙරේරා පොඩි කාලේ ඉඳන්ම සංගීතයට කැමති ද?”

“පුංචිම කාලේ නම් එතරං නැහැ. හැබැයි ඉස්කෝලේ යද්දි නම් එයා ර්භඵජඪවලට හරි කැමතියි. එයා ඉස්කෝලේ ගියේ සෙන්ට් පීටර්ස් එකට. ඉස්කොලේ සංගීත ප්‍රසංගවල එයා සිංදු කිව්වා. ඒ වගේම පල්ලියේ ගීතිකා කියන්නත් යන්න කැමතියි.”

සංගීතයට ඔහුගේ කැමැත්ත අංකුර කාලේ ඉඳලා තිබ්බ බව සාක්ෂියක් තමයි ඒක. මේ දේවල් කියන අතර අම්මා එක්තරා විශේෂ තැනකින් කතාව නතර කළා.
“සුනිල්ගේ තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කළාට සංගීතයට හරි ලැදි. ඒ වගේම ලොකු දැනුමක් තිබුණ කෙනෙක්. එයාගේ ඒ හැකියාව තමයි සුනිල්ටයි එයාගේ අයියලා මල්ලිලාටයි එන්නේ. ඒ ළමයි පොඩි කාලේ ඉඳන්ම දැක්කේ ගිටාර් එක.”

“ජිප්සීස්” කියන්නේ සහෝදරයින් පස්දෙනෙක්ගෙන් හැදුණ සංගීත කණ්ඩායමක් කියලා කවුරුත් දන්නවා. ඉතින් ඒ කණ්ඩායම ගැන මතකත් අම්මගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.

“ජිප්සීස් හැදුවේ සුනිල්ගේ තාත්තා. ජිප්සීස් හදලා ඒකේ නායකයා හැටියට සුනිල්ව පත් කළා. මට මතකයි මුලින්ම ඒ පස්දෙනා අපේ ගෙදර තාප්පේ ළඟ තියලා ර්ථීඩධබධ එකකුත් ගත්තා.”

ඒ අතීත මතක හරි රහයි. දශක ගණනාවකට පෙර වුණු දේවල් නිසාම ද කොහෙද ඒ හැඟීම්වල පිරිලා තියෙන්නේ අතීත රසය. මේ අතීත රස රසවිඳින එක මඳකට නතර කළේ අම්මා කියපු හරි අපූරු කතාවක් නිසා.

“සුනිල්ගේ තාත්තට ළමයි හැමෝම බයයි. එයාලාට තරුණ කාළේ වුණාට රෑට ෆිල්ම් එකක්වත් බලන්න යන්න දෙන්නේ නැහැ. මම තමයි තාත්තගෙන් පර්මිශන් අරගෙන එයාලට යන්න දෙන්නේ. තාත්තා වස නිසාම තමයි එයාලා මට ළංවුණේ. එයාලා සිංදුවකුත් කළානේ “තාත්තා මට ඇනපු ටොක්ක” කියලා. ඒ තාත්තා වස නිසා තමයි. හැබැයි එයාලා අද ඔතන ඉන්නේ තාත්තා නිසා.”

තාත්තලා සැරට ඉද්දි ළමයි කිට්ටු වෙන්නේ අම්මාට. කොහොමත් තාත්තලා හැඟීම් හිතේ හිර කරගෙන ආදරය නොපෙන්නලා හිටියාට අම්මලා එහෙම නෙවෙයි. හිතේ තියෙන බැමි, ඉවුරු කඩාගෙන මව් සෙනෙහස, ආදරය දෝරේ ගලනවා.

සංගීතයට නව රැල්ලක් බිහි කරමින් ආරම්භයේ පටන්ම “ජිප්සීස්” කියන්නේ ප්‍රසංග වේදිකාව මියුරු නදින් දෙවනන් කරපු සංගීත කණ්ඩායමක්. ඉතින් ජනප්‍රිය තලයක වැජඹෙන තමන්ගේ දරුවෝ දිහා බලාගෙන හිටපු මේ අම්මාගෙන් ඒ හැඟීම ගැන අපි ඇහුවා.

“මට ගොඩක් සතුටුයි එයාලා ඉන්න තැන ගැන. කාලයක් එයාලා ගොඩක් ජනප්‍රිය වුණා. එයාලාගෙ සිංදුවලට රටේ මිනිස්සු ගොඩක් ආසා වුණා.”
ඒ අම්මා කෙනෙක්ගේ විඳපු, විඳින සතුට, සොම්නස. තමන්ගේ කුසෙන් බිහි කරලා ලෝකේ දකින්න කියලා දීපු දරුවෝ දවසින් දවස ලොකු මිනිස්සු වෙද්දි, දවසින් දවස ජනප්‍රිය වෙද්දි, රටම ආදරේ කරද්දි අම්මා කෙනෙක් ඒ ප්‍රීතිමත් හැඟීම කොහොම දරා ගන්න ඇත්ද?

කණ්ඩායමක් කියන්නේ හරි එකමුතුවෙන් සමගියෙන් ඉන්න පිරිසකට. “ජිප්සීස්” කණ්ඩායමත් එහෙමයි. ඉතින් ඒ කණ්ඩායමේ අතීත මතක අපි හාරවුස්සන්න පටන්ගත්තා.

“එයාලා ඔක්කොම එකටම තමයි ඉන්නේ. එයාලා ප්‍රැක්ටිස් කරන්නෙත් ගෙදර තමයි. කන්නෙ බොන්නේ, රෑ ශෝස්වලට ගිහින් ඇවිත් නිදාගන්නේත් අපේ ගෙදර. මම ඉතින් ඒ හැමෝගෙම අම්මා.”

ඒ අන්තිම වචන ටික හරි බරයි.තමන්ගේ දරුවොන්ට විතරක් නෙමෙයි අනිත් දරුවන්ටත් තමන්ගේ දුදරුවන්ට වගේ මව්වත්කමෙන් සලකන්න, ආදරය පෙන්වන්න පුළුවන් අම්මා කෙනෙක් ලබන්න දරුවො කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනේද?

සුනිල් පෙරේරා කියන්නේ කලාවට බොහොම ලැදි ඒ වගේම හරි රැඩිකල් චරිතයක්. ඒ හැමදේම එයාගේ තාත්තාගෙන් දායාද වුණු දේවල් කියලා තමයි කිව්වේ. ඉතින් මේ විප්ලවාදී කලාකාමියා හිටපු ගමන් විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරනවා. රටේ හැමෝගෙම අවධානේ ඒ ගැන යොමු වෙනවා. ඉතින් මේ දේවල් ගැන අම්මා හිතන්නේ මෙහෙමයි.

“එයා කොහොමත් ටිකක් රැඩිකල්. ඒත් එයා දේශපාලනයට කැමති කෙනෙක් නෙමෙයි. එයා දෙයක් කියන්නේ ගොඩක් හිතලා බලලා. වැරදි දෙයක් කියන්නේ නෑ එයා. විවේචනය කරන්නේ මොකක් හරි හේතුවක් තියෙන නිසා.”

කවුරු කොහොම කිව්වත්, විවේචනය කළත් අම්මලට දරුවෝ, දරුවෝ විතරයි. ඒ හැමදේ දිහාම උපේක්ෂාවෙන්, මව්වත්කමෙන් බලනවා අරුණුකොට අම්මලා ඒ කිසිවක් හාරවුස්සන්න යන්නේ නැහැ.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා. අම්මා සෙනෙහස හිතේ දරාගෙන තමන්ගේ පුතා ගැන විස්තර, බැරි අමාරුවෙන් හරි අපිත් එක්ක කියනවා.
දැන් අම්මාගේ වයස අවුරුදු 88ක්. අම්මා විතරක් නෙමෙයි කාලයත් එක්ක දැන් ජිප්සීස්ලත් වයසට ගිහින්. නායක සුනිල්ටත් අවුරුදු 65ක්ම වෙලා ඉවරයි. පහුගිය දවසක ඒ උපන්දිනේ හරි උත්සවාකාරයෙන් සැමරුවා අපි දැක්කා.

ඉතින් “ජිප්සීස්” නායක සුනිල් පෙරේරාගෙනුත් අම්මාගෙයි පුතාගෙයි බැඳීම ගැනත් අහන්න අපි අමතක කළේ නැහැ.
“මගේ අම්මා බොහොම ආදරණීය, ලෙන්ගතු, දරුවන්ව හරි ආදරෙන් හදපු කෙනෙක්. එසේ මෙසේ ළමයි ගාණක් නෙමෙයිනේ. ළමයි 9ක් හදනවා කියන එක පොඩි කෙලියක්ද? අපිට බොහොම කිට්ටු අම්මා තමයි.”

ඒ ආදරණීය වචනවලින්ම ඒ බැඳීම ගැන හිතාගන්න පුළුවන්. සහෝදරයෝ එකාට එකා නැති කාලෙක වෙනසක් නොකර එකිනෙකාට ආදරෙන් ඉන්න දරුවෝ ටිකක් හදන්න අම්මා කරපු කැප කිරිම අගේ කරන්නම ඕනේ.

“1989 භීෂණේ කාලේ රෝහණ විජේවීරව මැරුණට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අපිට ආරාධනාවක් ආවා වැඩකට. දවසක ගෙදරට කෝල් එකක් ඇවිත් මට මරණ තර්ජන කළා. කැම්පස් එකේ වැඩේට ගියොත් මරණවා කියලා. ඒ කාලේ ඉතින් මමත් බය නෑ. මමත් ඒ කෝල් එකට උත්තර දුන්නා බය නැතුව. ඒක අම්මා අහගෙන හිටියා. ඊටපස්සේ අම්මා හොඳටම බයවුණා. මට යන්නම දුන්නේ නැහැ. අන්තිමටම එහෙම භීෂණයක් දැන් නෑ. මට ආරක්ෂාව තියෙනවා කියලා ඔප්පු කළාට පස්සේ තමයි අම්මා යන්න දුන්නේ.”

ලංකාවේ හැටදහසකට අධික අම්මලාට තම දරුවන් අහිමි වෙනවා දැක දැක බයෙන් පිච්චි පිච්චි ඉන්න අම්මලා කොච්චර නම් ඉන්න ඇත්ද? තම පුතු කෙතරම් සාර්ථක තරු ගමනක් ගිය ද සුනිල් පෙරේරාගේ අම්මාත් අන්න ඒ අම්මලා වගේ බයෙන් දිගු රාත්‍රීන් කීයක් නම් ගත කරන්න ඇත් ද?
අම්මත් එක්ක තියෙන සමීපත්වයට ගැන විස්තර කිය කිය ඉද්දි සුනිල් අයියා හරි අපූරු කතාවක් කිව්වා.

“මං දැන් කොල්ලා වගේ හිටියට වයසයි. රැවුලම සුදු වෙලා තියෙන්නේ. මම රැවුල පාට කරන්නේ මොකක් හරි වැඩක් තියෙනවා නං විතරයි. අනිත් වෙලාවට මුළු රැවුලම සුදුයි. අම්මා කැමති නෑ මගේ රැවුල සුදු වෙනවාට. දවසකට දෙතුන් පාරක් අහනවා මොකද ඔය රැවුල සුදු කියලා.”

තමන් කොච්චර වියපත් වුණත් තමන්ගේ දරුවෝ වයසට යනවා දකින්න අම්මලා කැමති නැහැ. කොච්චර වියපත් වුණත් අම්මාට තමන්ගේ දරුවෝ දරුවොම තමයි. එයාලා දරුවෝ දකින්න කැමති විදිහක් තියෙනවා.

මේ කතාබහ අතරතුර හදිස්සයේ අප වෙත ආවේ නිවසේ සේවිකාවයි.
“නෝනා… පහට සීනි බලන්න තියෙනවා… ඉක්මනට යමු…”

ඒ ඇගේ විධානයයි. ඒත් එක්කම සන්ධ්‍යාවේ පහේ කණිසමටත් පැමිණ ඇති බව මට පසක් විය. ඇයට තව කියන්න තොරතුරු බොහෝමයක් ඇති බව ඇගේ කතා ශෛලයෙන් වටහා ගන්න පුළුවන්. ඒත් කාලය විසින් පාලනය කරන අපේ ජීවිත කාලයේ අණසකට යටත් විය යුතුයි. එම නිසා සුනිල් පෙරේරාටත් අම්මාටත් සමුදී ඒ සුහද පිළිසඳර එතෙකින් නිමා කළෙමු.

ඉතින් ජිවිතේ කියන පාඩම් පොතේ ගොඩක් පාඩම් එක එක විදිහට ඉගෙන ගනිමින් සුනිල් පෙරේරාගේ අම්මා දැන් එහි අවසන් පරිච්ඡේදය කියවමින් සිටින්නීය. දරු මුණුබුරන් විතරක් නොව මී මුණුබුරන් ද දැක හමාර මිත්තනියක් වන්නීය. රෝගාතුරව පසුවුණ ද තම දරු මුණුබුරන් ලබන කිත්පැසසුම් දෙස නෙත් යොමා සතුටු සිතින් කල් ගෙවන්නීය. ඒ සියල්ලටමත් වඩා ඇය ප්‍රීතිමත්, සහයෝගිමත් ආදරණීය පවුලක “අම්මා” වන්නීය.

නිර්මාණි බණ්ඩාරනායක
ඡායාරූප _ හෂාන් අනුරාධ

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: