‘තෙල් ටැංකි තියා ගන්නෙ කෞතුක වස්තු හැටියට වඳින්නද?’

April 27, 2017 | 11:00 am    0   228

‘තෙල් ටැංකි තියා ගන්නෙ කෞතුක වස්තු හැටියට වඳින්නද?’

වසර ගණනාවක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑ වැදීමට ඉඩ හැර ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමේ කිසිදු වරදක් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

එමෙන්ම මෙම තෙල් ටැංකි මෙසේ නටබුන් බවට පත් වීමට ඉඩ හැර තිබෙන්නේ කෞතුක වස්තූන් ලෙස සලකා ඒවාට වැඳුම් පිදුම් කිරීමට දැයි විමසිය යුතු බවද ඇමැතිවරයා කියයි.

මෙම තෙල් ටැංකි කිසිම රටකට හෝ කිසිම සමාගමකට තනි අයිතියට පැවරීමක් සිදු නොවන බවද මෙය ඉන්දු ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස වසර 50ක් සඳහා බදු දීමක් පමණක් බවද කී ඇමැතිවරයා, එයින් රටට ආදායමක් ලැබෙන බවද පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් විරෝධය පල කරන ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිය පැවති රජය එම තෙල් ටැංකි විදේශීය සමාගම්වලට කොන්දේසි විරහිතව පවරා දෙන විට කට සෙලවූයේ නැතැයිද කියයි.

පිරිසක් රටේ දේශපාලන වශයෙන් ගැටුම් ඇති කිරීමට කෙනෙකුට පාරේ බැස යාමට නොහැකි අන්දමින් උද්ඝෝෂණ කරන බවත් පවසන ඇමැතිවරයා මේවා දඩමීමා කරගෙන තවත් කට්ටියක් ජනතාව රැවටීමට බොරු මවාපෑම් සිදුකරන බවද සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ වෛද්‍ය ගැටලු ගැන කතා නොකර තෙල් ප්‍රශ්නය ගැන කතා කිරීම මෙයට හොඳම උදාහරණයක් යැයිද කියයි. එමෙන්ම යහපාලනය ගෙනාවේ එදා රට කෑ හොරුන්ට නැවත මේ රට භාර දීමට නොවේ යැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: