තෛපොංගල්වලට තලෛමන්නාරම් අපි ආවා

January 22, 2017 | 6:14 am    0   431

තෛපොංගල්වලට තලෛමන්නාරම් අපි ආවා

තාරුණ්‍යය සමඟ තෛයිපොංගල් සමරන්න යන ගමනට මම එකතු වුණේ යාළු තෝලන් කියන ජාතීන් එකතු කරන සංහිඳියාව අතුරාලන පිටුවට යමක් ලියාගන්න පුළුවන් ද කියල හිතලා.

ඉතින් ඒ ගමන යන්න මගේ ළඟම මිත්‍රත්වයට මං ආරාධනා කරනවා. ඔහු තම රාජකාරී ජීවිතය වන බන්ධනාගාර නිලධාරී ධූරය ගමනට බාධාවක් නො කරගෙන මං එක්ක යන්න කොළඹට එනවා කුරුවිට ඉඳලා.අපි දෙන්නම තම තම රැකියා ජීවිතය පසෙක තබලා සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් වගේ මෙම තලෛමන්නාරම් ගමන එකතු වෙන්න පාන්දරම කොටුව දුම්රියපොළ වෙත යනවා. යද්දි යෞවන සමාජවල යෞවන යෞවනියන් එතැනට ඇවිත් ඉන්නවා. විට්ටච්චි කියන තරුණයා එක්ක රත්නපුර පිරිසත් ඇවිත් ඉන්නවා මට හමුවෙනවා. මමයි යහළුවයි දෙන්නම ගොඩකවෙල නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කට්ටියටම එකතුවෙලා ඔවුන් සමඟ ගමනට එකතු වෙනවා. මට ඔය යන අතරතුර මතක් වුණේ ගිය වසරේ මෙම තෛිපොංගල් සැමරුමට යාපනේ ගිය ගමන. එහිදී අපි දෙමළ නො දැන ඔවුන් සමඟ ආදරයෙන් සහයෝගයෙන් ජීවිතය බෙදාගත්තා. ඔවුන් කියල සිංහල උගෙන ගෙන හිටියේ නෑ. හැබැයි අපට සාපේක්ෂව ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිංහල දැනගෙන හිටියා. ඉතින් යාපනයට ගියා වගේ නො වුණට මේ යන්නෙත් උතුරුකරයේ මන්නාරම් ප්‍රදේශයට. ඔය යන අතරතුර සියලුම ප්‍රධාන දුම්රිය නැවතුම්වලින් ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාල තරුණ තරුණියෝ ගොඩ වුණා. මුස්ලීම් දෙමළ සිංහල අය එකට එක ගොඩේ ඉඳගෙන කලවමේ සිංහල දෙමළ සිංදු කිව්වා.

දවල්ට ආහාර ලැබුණේ අනුරාධපුරයෙන්. ඊට පස්සේ එන්න එන්න සෙනඟ වැඩි වුණා. නමුත් කවුරුවත් නෝක්කාඩු වුණේ නෑ. ලස්සනටම නැටුවේ දෙමළ කොල්ලෝ. අපි ඒවා බලලා ඇඟිලි දෙක කටේ ගහල විසිල් ගැහැව්වා ගොඩක් සද්දෙට. මොකද ඒවා දෙමළ ටඪතථවල නැටුම් වගේ ලස්සන නිසා. දන්නව ද ඔයාලා මම මේ ලියන කතාව, මාධ්‍යවේදී කතාව තාමත් ඔවුන් දන්නැතිව ඇති. මමත් මගේ මිතුරු ප්‍රභාතුත් කිසිම විටක අපි දෙදෙනා ගැන නො කියා රත්නපුරයෙන් ආපු තරුණයන් වගේ අර ගොඩට වැටිලා සිංදු කිව්වා. දන්නව ද ඔබ මේ පත්තරය කියවන විටත් ඔවුන් හිතනව ඇති කවුද මේක ලිව්වේ කියලා. මොකද මේ විදිහට සියලු කරුණු කාරණා එකතු කරන නිසා. එහෙම එකතු කරන්න පුළුවන් වුණේ ඇත්තටම කියනව නම් මං එතැන කවුරුත් නොවී මම වෙලා අනේකාව වින්ද නිසා. ඔතන ඔහොම ඉද්දි අපි තෙලෛමන්නාරමට ළංවෙන්න ළංවෙන්න සිංහල සිංදුවලට තාල ඇල්ලුවේ දෙමළ අය. අපි දෙමළ සිංදුවලට තාලය අල්ලලා දුන්නා. ඒවා නිරායාසයෙන්ම වුණ මානසික හැඟීම්. පුදුමේ අපි හවස් වෙනකොට නො දැනම කෝච්චිය තුළම සංහිඳියාව, එකමුතුකම හැදිලා. අපි දෙමළ කෙල්ලන්ට කොල්ලන්ට අපේ ජීවිත සහ එයාල එයාලගේ ජීවිතවල තොරතුරුත් හුවමාරු වෙලා. දැන් තලෛමන්නාරමෙන් අපි බැස්සේ සියල්ලෝම එකට. එතකොට අවට පේසාලය ගම්වල සියලුම දෙමළ මුස්ලීම් මිනිස්සු එක පොකුරට මේ තරුණ අය පිළිගන්න තොරණ් බැඳලා ඉවරයි.

ඔවුන්ගේ සංස්කෘතික කාරණා එක්ක සිංහලකම මුසු කරලා කෝවිලකට ගිහින් ආපු සියලු පිරිසට නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු යෙදුවේ තරුණ සේවා සභාව. දැන් එතැන මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මොකක් ද එහේ පුංචි ළමයගේ ඉඳලා ලොකු ළමයා වෙනකම් වැඩිහිටි අය පවා තමන්ට ගෙදර තියා ගත හැකි ළමයින් ගණන කියනවා. එහෙම කිව්වහම කොයි පළාතේ, කවුරු ද කියල දන්නේ නෑ. ඉල්ලන ගාණට ළමයි ඔවුන්ට බාර කරනවා නම කියලා. ඉතින් එහෙම ගිය අය එදා රැය ගත කරන්නේ ඒ ඒ තැන්වල. ප්‍රභාතුයි, මමයි එහෙම අරගෙන යනකං බලාගෙන හිටියා. හැබැයි අපි දෙන්න පොඩි හොර වැඩක් කරල එකටම හිටිය ළඟට වෙලා. මොකද එකම ගෙදරකට යාමේ අදහසකින්. ඔන්න ඔහොම බලාගෙන ඉද්දි අපි දෙන්නව බාරගන්න එන්නේ මුස්ලීම් ගම්මානයක මුස්ලීම් මාමා කෙනෙක්. මුහුණ පුරා රැවුල වවපු, කකුලක තුවාලයක් තිබ්බ ඔහු දුප්පත් බව අපට මුලින්ම තේරුණා.

}ඳභධබ;පුතේ මගේ ගෙදර මහා සැප නෑ. පොල්අතු පැල්පතක්. කැමති නම් යං. මොකද මං මේ හන්දියට ආපුවහම මේ වැඩේ ආරංචි වෙලා තමයි ඔයාල කවුරු හරි එක්කන් යන්න හිතුවේ}ඳභධබ; ඒ ඔහු කියවාගෙන ගිය කතන්දරයයි. ඒ ඔවුන් තුළ තිබ්බ මනුස්සකම. ඔහුට හොඳට සිංහලත් පුළුවන්. අපි දෙන්නට අමතරව පොළොන්නරුවෙ කොල්ලෙකුත් මේ මාමාට භාරදුන්නා. }ඳභධබ;අනේ එහෙම එකක් නෑ මාමේ. අපිත් ඔහොම ගෙවල්වල තමයි ඉන්නේ. අනික මාමාට සිංහලත් පුළුවන්. අපි මොනව හරි කාලා නිදාගමු}ඳභධබ; ප්‍රභාත් අපේ පැත්තෙන් දිය යුතු පිළිතුර හෙමිහිට දුන්නේ ඔහුගේ සිතේ පවතින හීනමානය දුරු කිරීමටයි.

එදා රැය එහේ ගතකිරීම ගැන අපිට ඇත්තේ සැබැවින්ම නො මැකෙන මතකයකි. ඔහුගේ කුඩා බයිසිකලේ කිලෝමීටර් 7 ක දුරක් පේසාලයට ධාවනය කර අපට රෑ කෑමට කෑමත් මධුපානය සඳහා මීවිතක් ද රැගෙන ඇවිත් තිබිණි. ඒ ඒ අවස්ථා එලෙස ගත විය. ඔහු අප සමඟ කතා නො කළේ දෙවියන් යාඥා කරන විටදී ය. ඔහුගේ ගෙදර ටකරංවලින් වටකර පොල්අතු සෙවිලි කර වටේටම වැටක් ගසා තිබුණා. තනිකරම වැලි පමණක් ඒ පොළොව වසාගෙන තිබුණා. අපි හෙමීට නිදාගෙන පාන්දර ඇහැරලා අපේ තෛපොංගල් උත්සවයට යෑමට සූදානම් වුණා. එහිදී ඒ මාමාව දමා එන්නට නොහැකි වග හිතට දැනුණේ මට විතරක් නො වන වග මට තේරුණේ අනෙක් උන් දෙන්නාගේ ද ඇස්වල තිබුණ පාළුව නිසයි.

පස්සේ අපි කෑමත් කාලා මන්නාරම් වරාය දෙසට යන විට දුවගෙන ඇවිත් ගෙදරක නැන්දා කෙනෙක් කතා කළා මුහුණ හෝදන්න. අපි එය ප්‍රතික්ෂේප කරලා ආදරයෙන් තෛපොංගල් උත්සව භූමියට ආවා. මම ඔය හැමතැනම ගියේ මගේ යාළුවා එක්ක විතරයි. කිසිම පුද්ගලයෙකු අදාල නො කර ගත්තේ මොකද දන්නව ද එතකොට මට මේ ඇත්දැකීම මඟහැරෙන නිසා. ක්‍රීඩාපිටිය තුළ සියලුමදෙනා එකතු වෙලා පොංගල් පිළිවෙත් කළා. අපට ඒවා සියල්ල කියල දුන්නේ ඇත්තට දෙමළ කෙල්ලෝ. මොකද සිංහල කොල්ලෝ වගේම දෙමළ කොල්ලොත් ඒවා කෙල්ලන්ට බාරදීලා බලාගෙන හිටියා. මම හෙමිහිට දෙමළ කෙල්ලෙක්ට කියල ඔය අතර පොට්ටුවක් තියාගත්තා. එයා බෑ කියලා දිව්වේ නෑ. විනාඩියකට හරි ආදරයෙන් එහෙම ළංවෙලා නළලට අත තියල තද කළා. ඒක පපුව හරහා තද වුණ බව මට දැනුණා. එදා යාපනයේදි එහෙම කළ කෙල්ල මට මතක් වුණා ඒ ශාන්තිනී කියන ලස්සම ලස්සන කෙල්ල.

ඇයගේ පින්තූර අදත් මා ගාව තියෙනවා. හැබැයි ඇය නෑ. ඉතින් දවල් වෙද්දි මට ඕන වුණා අත පුරා මරතොණ්ඩිවලින් රටා මවන්න. ඉතින් හැමෝගේම නැතත් අපි කීපදෙනෙක් අත්වල එහෙම අඳින්න ලක්ෂ්ණා කියන පුංචි කෙල්ල හිටියා. පස්සේ ඇය අපව ගෙදරත් අරන් ගියා. දන්නව ද ඒ අර අපට මුහුණ හෝදන්න කතා කරපු නැන්දගේ ගෙදර. එයත් එහෙ ලු ඉන්නේ. අම්මා, තාත්තා කවුරුත් නැති බව කිව්වේ අර නැන්දා. දන්නව ද ඒ ලක්ෂ්ණාගේ පුංචි. ඒ පුංචි කිව්ව විදිහට ලක්ෂ්ණාගේ ගෙදර අය නවයක් මැරුව ලු යුද්ධය කාලේ කොටි ගහලා. ඉතින් මට හීල්ලුනේ මේ මුළු ගමනම මට සතුටක් නැති බව දැනගෙන. මං ලක්ෂ්ණාගේ දුක මගේ කරගෙන දුක තුරුළු කරගෙන ප්‍රභාත් එක්ක නැවත මුහුදු යනවා. බෝට්ටු පදින්න. එතකොට ලක්ෂ්ණාත් ඇවිත් ඒ බෝට්ටුවටම නැග්ගා. ඒ වියදම මගේ යාළුවා ගෙව්වා. ඒත් මං අර නවදෙනා මරපු තැන උන්නා. පස්සේ අපි දෙන්නම කල්පනා කර කර ඇවිත් ලක්ෂ්ණාගේ ගෙදරින් කාලා ක්‍රීඩා පිටියට ආවේ දෙමළ අයගේ සුන්දරත්වය විඳගන්න. ඔවුන් තාච්චි පනිමින්, කණාමුට්ටි බිඳිමින්, ගෝනි පනිමින් උත්සවය සැමරුවා. මම ඒවා දිහා බලාගෙන කල්පනා කළා ඔවුන්ට මේ තරම් ලස්සන හිනාවක් හා දරාගන්න පුළුවන් හිතක් දුන්නේ කවුද කියලා. මොකද කළුම කළු ඔවුන් අනෙක් හැම අතින්ම සුදු චරිත වුණ නිසා.

ඒ දුක අපිට තියාගෙන යාළුතෝලන් කියන සංකල්පයට සංවේදනා හා මතකයන් අරගන්න මං ගියපු ගමන මට ජීවිතයේ තවත් මොහොතක් නෙවෙයි ජීවිතයම වුණා. ප්‍රභාතුයි මායි හවස කාටත් හොරා තල් රා හොයාගෙන ගියේ බොන්න එහෙම නෙවෙයි. හැබැයි ඒ තල් බාර් එකක් දකින්න ආස නිසා. කොහොම හරි කෝප්පයක් අරන් ප්‍රභාත් බොද්දි මං උගුරක් කටට අරගෙන බැලුවා. ඇත්තටම රහයි. හැබැයි අන්න ඒ රහ වගේ ජීවිත මන්නාරමේ ඉන්නවා කියලා අපි හිතුවට එහෙම නැතිව ඇති කියලත් හිතුණා. මොකද ලක්ෂ්ණා වගේ අය දුක හිර කරගෙන හිනාවෙලා ජීවත් වන නිසා. මං ලියාගෙන ගියේ ආවේගයෙන් වගේ. ඒකට ඔබ තරහ නො වන්න. මන්ද මම එකදු බොරුවක් හෝ කියා ඔබ ළඟ මම වීරයෙක් වෙන්න නුවුවමනා නිසයි. මේ ලිපිය කියවන වෙලාවෙත් අපේ
පත්තරයේ සංජක ප්‍රසාද් කතෘතුමා සහ දසුන්, දුවීන්, ආශ්චර්යා කියන අය පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආරක්ෂක සේනාධිපති මහේෂ් සේනානායක සමඟ විශාල මිනිස් ක්‍රියාන්විතයක නියැලී සිටිනවා. ඒ අපේ තාරුණ්‍යයේ පත්තරයේ වගකීමයි. අපි ජාතීන්ට ආදරය කරන ආගම්වලට ගරු කරන මිනිසාට උදවු කරන පරපුරක් හැදීමේ අරමුණ නිසයි. අපට අතපසු වූ මෙම සංහිඳියාවේ කතාන්දරය සංකල්පයෙන් තොරව ක්‍රියාත්මක කරවන්නේ අහිමි ආදරය නොව හිමි ආදරය වෙනුවෙන් ජීවත් වීමටයි.

ඉතින් මම තල්අරණෙන් නැවත කෝච්චියට ගොඩවන විට තිබූ සැහැල්ලුව ලක්ෂ්ණා වැනි අයට ද ඒ දුක මා රැගෙන දකුණු දෙසට ගමන් කළේ පුදුම සංයමයෙන් හා ආදරයෙන් යුතුවමයි. අප අප ආයේ කවදාවත් මුණ නො ගැසුණ ද ඒ ඒ ආදරයෙන් හැමදාම රට පුරා විහිදීමට ඉඩතැබුවෙමු.

නුවන් හෙට්ටිආරච්චි
ඡායාරූප – රසික සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: