දංගල් හෙවත් මල්ලවපොර දාංගලය

January 4, 2017 | 12:30 pm    0   779

දංගල් හෙවත් මල්ලවපොර දාංගලය

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය ඇරඹූ නිතේෂ් තිවාරිගේ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව බිඳ දමනු ප්‍රේක්ෂක විචාරක අනාවැකි පළවනු දැකිය හැකි ය. කාන්තා ශක්තිය සහ කාන්තාවන්ට හිමි සාමානාත්මතාවය තේමා කරගත් අමීර් ඛාන් සිය රංගන නිපුණත්වය සහ සිය දැක්ම විදහාපානා මෙම සිනමා කෘතිය ගැන සරල විවරණයක මෙසේ යෙදෙන්නෙමු.

චිත්‍රපටයේ කතාන්තරය
හර්යානාව ඉන්දියාවේ දුප්පත් ගම්මානයකි. එහි වෙසෙන මහාවීර් සිං පොගාත් ඉන්දියානු ජාතික තලයේ මල්ලවපොර ශූරයෙකි. විදුලිබල සේවකයෙකු ලෙස රැකියාවේ යෙදෙන ඔහුගේ එකම අපේක්ෂාව දුප්පත් හර්යානාවෙන් ඉන්දියාවට රන්පදක්කමක් හිමිකරදෙනු වස් මල්ලවපොර ක්‍රීඩකයෙකු නිර්මාණය කිරීමයි. නිරන්තරව සිය ජයග්‍රහණ සහ පදක්කමක් දෙස බලා සිටින මහාවීර් (අමීර්)ගේ සිහිනය තමන්ගේ පුතෙකු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කමක් ලබාගනු දැකීමයි. පළමු දරුවා ගැන මහා බලාපොරොත්තුවක් තබාගෙන සිටියත් ආයම්මා එළියට පැමිණ පවසන්නේ දුවක් ලැබුණා යනුවෙනි. එහිදී මුහුණ ඇඹුල් වෙන මහාවීර්ට ගම්මු නොයෙකුත් කෙම්ක්‍රම කියාදෙති. කළු එළදෙනකට පාන්දරින් කෑම දීම, ඉරිදා දිනයේ සංවාසයේ යෙදීම, දේව පූජාවට තැබූ ලඩ්ඩු කෑම වැනි දේ පුතෙක් පතා අනුගමනය කරන ලෙස උපදෙස් ලැබෙයි. මහාවීර් සහ බිරිඳ ඒ සියල්ල කළත් දෙවැන්නා ද දියණියක වීම නිසා මහාවීර් සිය අදහස අත්හැරගෙන සිය සම්මාන, පදක්කම් සහතික සියල්ල පෙට්ටගමක බහා වසා දමයි.

ඒ අතරතුර අපූරු දෙයක් සිදුවෙයි. අසල්වැසි කාන්තාවක් සිය පුතුන් දෙදෙනාට කෙලින් සිටින්නට පණ නැති වෙන තරමට මහාවීර්ගේ දියණියන් දෙදෙනා පහර දුන් බවට පැමිණිල්ලක් කරයි. තමුන්ට යක්දෙස්සියන් යැයි පැවසූ නිසා එසේ පහර දුන් බව ගීතාත්, බබිතාත් (ෆාතිමා, සාන්යා) පවසති. ඔවුන්ට දඬුවම් නො කරන මහාවීර් පසුදා පාන්දර පහේ සිට සිය දියණියන්ට මල්ලවපොර පුහුණුව ලබාදෙන්නට තීරණය කරයි. ‘පාන්දරම ගැහැණු දරුවො පාරෙ දුවවන්න, ව්‍යායාම කරවන්න මහාවීර්ට පිස්සු ද?’ යනුවෙන් ගම්මු විමසද්දි හිරිමල් යුවතියන් දෙදෙනා දැඩි පීඩනයට පත් වෙයි. පාසලේ වැඩ කරන විට නින්ද යාමත්, අනෙකුත් අයගේ උසුළු විසුළුවලට ලක්වීමත්, ලස්සන කොණ්ඩය කපා දැමීමට සිදුවීමත් නිසා ඔවුන් පියාගේ පුහුණුව ගැන කලකිරෙයි. නොයෙකුත් බාධක හමුවේ ඔවුන් පුහුණුව ලබන අතර අවසානයේ ගීතා ජාතික මල්ලවපොර ශූරතාව ජයග්‍රහණය කරමින් ගමට පැමිණීමත් ඉන්පසු වැඩිදුර පුහුණුව සඳහා පතියාලාහි ජාතික ක්‍රීඩා පුහුණු අකෑඩමියට තේරීපත්වීමත් සමඟ සියල්ල කණපිට හැරෙයි.

ගීතා එහිදී නිදහස් ජිවිතයකට හුරුවෙයි. නිවසේ පියාගේ පාලනය යටතේ පැවැති දරදඬු ක්‍රමයට වඩා ඇකෑඩමියේ ජීවිතය ප්‍රියවෙයි. නිරන්තරයෙන් පවුල හා බැඳුණු ඇගේ ජීවිතය ක්‍රමයෙන් දුරස්වන අතර අලුත් පුහුණ­කරුවා විසින් ඇගේ සාම්ප්‍රදායික සටන් උපක්‍රම සහ පියාගේ විධික්‍රම සමච්චලයට ලක් කරයි. ඒවා අත්හරින ඇය, පියා කපා දැමූ කොණ්ඩය වවා ගනිමින් කෙළිලොල් ක්‍රීඩිකාවක් බවට පත් වෙයි. කලකට පසු ගමට පැමිණෙන ඇය, පියාගේ පුහුණුව යටතේ සිය සොහොයුරිය දුර්වල උපක්‍රම අනුගමනය කරන බවත් ඒවා යල්පැන ගිය ඒවා බවත් පවසන ඇයව, මහාවීර් සිය සටන්ක්‍රම මඟින් එක්වරම බිම දමයි. ඉන්පසු කෝපයට පත් වන ඇය, සිය පියාට අභියෝග කරන අතර ඒ සටනින් පියා පැරදෙයි. එය ඉතා සංවේදී අවස්ථාවක් වන අතර බාල දියණිය පියා සමඟම රැඳෙමින් සිටිනා බවට සපථ කරයි.

ලෝකශූරතා තරග සියල්ලේම ගීතා පරාජය ලබන අතරතුර බබීතා ජාතික මල්ලවපොර ශූරතාව දිනා ජාතික ඇකැඩමිය වෙත තේරීපත් වෙයි. ඇය සිය අක්කා මෙන් වෙනස් නො වන අතර පියාගේ ශිල්පක්‍රම පමණක් අනුගමනය කරයි. පරාජයෙන් පසුව ගීතා තමාට වුණු වැරදීම වටහා ගනී. ඉන්පසු ඇය පියාගේ පිළිසරණ පතයි. ඉන්පසු දැඩි අභියෝගවලට මුහුණදෙමින් පියාත් දියණියත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙත ඉදිරිපත් වෙයි. ඉන්පසුව සිදුවන්නේ කුමක් ද? නිලධාරීන්ගේ වෙනස්කම්වලට මහාවීර් කෙසේ මුහුණ දෙයි ද? එය සිනමාපටය නරඹා ඔබ තීරණය කරන්න.

පසුබිම් කතාව
මෙය ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි. මහාවීර් සිං පොගාත් යනු අසූව දශකයේ ඉන්දීය පළාත් මල්ලවපොර ශූරයෙකි. ඔහුට සිටියේ සිව්දෙනෙක් වූ ගැහැණු දරුවන් ය. අවසානයේ පස්වැන්නා ලෙස පිරිමි දරුවෙකු ලැබෙයි. හෙතෙම සිය වැඩිමහලු දියණියන් හට මල්ලවපොර ක්‍රීඩාව උගන්වා ඔවුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙන එයි. ගීතා පොගත්, 2010 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය යටතේ රන්පදක්කම දිනා දුන්නා ය. එමෙන්ම ඇගේම සහෝදරිය වූ බබීතා කුමාරි 2014 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ රන් පදක්කම දිනාගත්තා ය. දෙදෙනාම ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූවෝ වෙති. මෙය ඉන්දියාවේ හර්යානාව නැමැති පුංචි ගම්මානයේ ධෛර්යවත් පියෙකු රටේ කීර්තිය වෙනුවෙන් දියණියන් නිසිමඟට යොමු කරවූ තෘප්ති කර වූ කඳුළු කතාවකි. මහාවීර් සිං හට ඉන්දීය ජාතික මල්ලවපොර සම්මේලනය විශිෂ්ටතම පුහුණුකරුවන් වෙත ලබාදෙන ‘ද්‍රෝනාචාර්ය’ සම්මානය පුදකර ඇත.

‘මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට්’ ලෙස විරුදලත් අමීර් මෙම චිත්‍රපටය සඳහා කළ කැපවීම අඩංගු වීඩියෝපට අන්තර්ජාලයේ සංසරණය වෙයි. සිය බර කිලෝග්‍රෑම් තිහකින් අඩුකරගන්නා හෙතෙම මහාවීර්ගේ තරුණ අවධිය ද, වයස්ගත තරබාරු මහාවීර්ගේ චරිතය නිරූපණය පිණිස විශාල ලෙස ආහාර ගෙන සිය පෙනුම සහමුලින්ම වෙනස් කරගනියි. ඉන්දීය රුපියල් කෝටි 70ක වියදමක් දරා තනා ඇති මෙය මුල් දින දෙක තුළ ඉන්දීය රුපියල් කෝටි 135ක වාර්තාගත ආදායමක් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: