දරුවො හදන් නැති අම්මා… සම්මානෙත් ගිල දැම්මා

February 21, 2017 | 10:20 am    0   359

දරුවො හදන් නැති අම්මා… සම්මානෙත් ගිල දැම්මා

සම්මාන උළෙලවල් යනු, බොහෝ වර්ණවත් ප්‍රියජනක දිනවල යම් කිසි මාධ්‍යයක පැවැත්මට උරදුන් මිනිස් කොට්ඨාශයක් ඔසවා තබන ලෝකෙටම අයිති සන්තෝසයකි. එය ජාත්‍යන්තර භාෂාවක් නො වුණාට එහි වටිනාකම ලබන්නාට ලෝකයක් තරම් විය හැකි ය.

1929 මැයි 16 සිට Academy සම්මාන පිදෙන්නට විය. 1959 මැයි 04 සිට Grammy සම්මාන පිදුණි. 1954 මාර්තු Film Fare සම්මාන ඉන්දියාවේ තම ගමන අරඹන විට 1964 මැයි 9 සරසවි නමින් අපි ද සම්මානනීය වුණෙමු.
චිත්‍රපට, නාට්‍ය, ටෙලි නාට්‍ය, පුවත්පත් සහ බොහෝ වර්ණවත් මාධ්‍යයයන් සම්මානනීය වෙනු අපි ද බලා සිටියෙමු.

ගුවල්විදුලිය 1923 ජර්මානු සබ්මැරීනයකින් ගලවා ගත් උපකරණ තුළින් පටිගත කළ වැඩසටහනක් විකාශනය කළ ද, 1924 ජූලි සිට ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක කෙලවර 1925 දෙසැම්බර් 16 ආසියාවේ පළමු රේඩියෝවට නමක් ලැබුණි. Colombo Radio පසුව 1949 Radio Ceylon ලෙසත් 1972 මැයි 22න් පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසත් තම කෙටි තරංග මාලා තුළ මහත් වූ අපූරු ගමනක යෙදුණි. 1990 වන විට කෙටි තරංගවලින් ජ්.ර්. තරංග ලෙස ද අද වෙන විට Online Radio ලෙසත් ඉදිරියට ඇදෙමින් ඇත.
එම ආදරණීය මාධ්‍යකරුවන් වෙනුවෙන් පසුගියදා රාජ්‍ය සම්මාන උළෙලක් පැවැත්වුණි.

එය තවත් එක් කලකිරීම් සහිත රාත්‍රියක් නොව ගුවන්විදුලි ඉතිහාසයම විනාස කරමින් සම්මාන උළෙලවල් යනු විහිළු සපයන මහා බොරුවක් බව ඔප්පු කරනට ගත් තවත් උත්සාහයකි.

කාලානුරූපව තාක්ෂණික වෙනස්කම් මැද රසිකයාට හොඳ යමක් කරනට ගුවන්විදුලි සංස්ථාව ඉතිහාසයේ කළ කී දේ අපි වන්දනාමානව සිහි කරන්නෙමු.

ඒ වගේම අද දින තාක්ෂණය ගැන අඩුවෙන්ම දන්න අදක්ෂ පාලනයෙන් එන එන ආණ්ඩුවල කසල සෝදන ශ්‍රී ලංකා ගුවන්විදුලිය අහන කෙනෙක් නැත. පැරණි වූ බැවින් ආලෝකමත් වෙන්නේ පෞරාණික අගයට යටත්ව මිස දින දින දළු දමන තාක්ෂණික ලෝකය තුළ ශ්‍රී ලංකා ගුවන්විදුලිය යනු කුහක මහල්ලෙකි. වයස්ගත ඉසිරියාකාරයෙකි. කොටින්ම ගීත දහසක් ඕනි කරපු ඉතිහාසයක. ගුවන්විදුලියෙන් නම් හදාගෙන රටට තම ගීත දායාද කළ තරුණ ගුවන්විදුලි සුන්දරයා අද අවුරුදු විස්සකින් මෙහාට ගායකයෙක් නොව ගීතයක් ජනප්‍රිය නො කළ කුහක මහල්ලෙකි.

අලුත් පරපුරේ තියා පරණ පරපුරේ එකක්වත් අලුත් නිර්මාණ මිනිස් හිත තුළ පළ නො කරන මේ මහල්ලා මිය යන කලාකරුවන්ට පෙට්ටිය තියන්න සලසන මල්ශාලා හිමියෙකි. ඉඳගන්න පුටුවල පස්ස අලවාගෙන මියනතුරු අරක් ගෙන සිටින භූත බංගලාවට ගල් ගසන්නට බැරි ඉතිහාසයේ ගුවන්විදුලිය කළ අතිමහත් සේවාව අප හට අමතක කරනට බැරි බැවිනි.

ගුවන්විදුලි වංශ කතාව වෙනස් කරනට මහත් වූ උත්සාහ ගන්නන් පුද්ගලික මාධ්‍ය තුළ මේ මොහොතෙත් අලුත් දේ සිතමින් ඇති. මෙම සම්මාන උළෙල ගැන ඔවුන්ගෙන් අහන්න වෙලාවක් ලද නැති මුත් “නෙත් FM” හි මා මිත්‍ර නුවන් අපූරු ලියවිල්ලක් ෆේස්බුකියට මුදා හැර තිබුණි.

සමස්ත සම්මාන උළෙලේ සම්මාන 45න් 22 මේ කිසිත් නො කරන, ගායකයන් බිමි නො කරන, වැඩසටහන් සමාජගත නො කරන නිර්මාණ වඳභාවයෙන් පෙලෙන එන එන ආණ්ඩුවේ හොරණෑව වුණ පිනට මෙවර ද ගිල ගත්තේ ය.
මේ ආදරණීය ගුවන්විදුලිය එක්කෝ විරූපී මහල්ලෙක් ලෙස මිය යනු ඇත. අපේ ප්‍රාර්ථනාව පෙර කළ පිනට රටේ ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට තව එක්වරක් මේ රටේ බැබලෙන්නට ඉඩ දී එහි අරක්ගෙන සිටින භූතයන් එම දයාබර ආයතනය වඳ පියෙක් නොව දරුවන් වදන කලා කුසක් කළ යුතු වේ.
එසේ කරනට පුළුවන් තරුණ දක්ෂයන් නැවත කවදාක හෝ මරා දමනට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පණ දේවි යන්න පැතුමයි. එකම එක ගායකයෙක් ගායිකාවක් නිවේදකයෙක් නිවේදිකාවක් වාදකයෙක් බිහි කළා ද ඔබට මතක ඇති කාලයක.
ආදරණීය ගුවන්විදුලි අම්මේ…
එපමණයි මට අහන්න ඇත්තේ… ඔබෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: