දස්කොන්ගෙන් FCIDය පැය 4ක් ප්‍රශ්ණ කරයි

February 17, 2017 | 9:58 am    0   490

දස්කොන්ගෙන් FCIDය පැය 4ක් ප්‍රශ්ණ කරයි

අද F.C.I.D එකට එන්න කිව්වේ අන්දරේට. රජ වාසලෙන් කෝල් කරලා කිව්වා අන්දරේ, අද රජතුමා එක්ක භාරත දේශයට යනවලු. ඕන්නං අන්දරේගේ පුතාව එවන්නං කියලා. තාත්තා ඕන වැඩේට පුතාව යොදවන්න එපා කිව්වාම රජවාසල නිළධාරියාට තරහා ගිහිල්ලා පටාස් ගාලා ෆෝන් එක තිබ්බා. පැයක් ගියේ නෑ ෆැක්ස් එකක් ආවා. ඒකේ මුලින්ම තිබුණේ මෙහෙම. තව දුරටත් F.C.I.D පුවත්පත් විශේෂාංගය පවත්වාගෙන යන්න ඕනනං මේ ලිපිය සංස්කරණයෙන් තොරව පල කරන්න. අපි ආපහු කතා කරලා ඇහුවා දස්කොන්ද ඇත්තටම මේ උත්තර දුන්නේ කියලා. එතකොට කිව්වා “පිස්සුද අයිසේ, මෙහේ මොන දස්කොන්ලද? ඔය අන්දරේගේ පුතාගේ මාධ්‍ය ලේකම් ලියලා එවපු එකක්” කියලා.
ඔබ දස්කොන් වුණේ කොහොමද?
මගේ පියා නැවියෙකු බවත්, දකුණු ඉන්දීය මුහුදේදී ඔහු ගමන්ගත් රුවල් නැව කුණාටුවකට අසුව දැඩි අලාභ හානි සිදුවී ශ්‍රී ලංකා වෙරළට පැමිණි බවත් මා අසා තිබෙනවා. එවකට පැවති නීතිය අනුව විදේශිකයන් තාවකාලිකව හෝ ලංකාවේ ලැඟුම්ගන්නේ නම් රජුගෙන් ඒ සඳහා අවසර ලබාගත යුතුයි. නැව නැංගුරම් දැමූ ස්ථානයේ සිට රජ වාසලට බොහෝ දුරක් තිබූ නිසා, මගේ පියා තවත් සේවකයන් දෙදෙනෙකු සමඟ අශ්වයන් ආධාරයෙන් රජ වාසලට එන අතරමඟ එක් නිවසක රාත්‍රිය පහන්කර තිබෙනවා. මේ නිවසේ සිටි තරුණියට හිත ගිය ඔහු අනෙක් සේවකයන් දෙදෙනා රජවාසලට යවා ඇය විවාහ කරගත් අතර ඉන්පසු ඔවුනට දාව මා බිහි වූ බව ඉතිහාසයේ සඳහන්. ඇතැමුන් මගේ පියා ගස්කොන් ලෙසත් මා දස්කොන් ලෙසත් හඳුන්වනවා. ඒත් ඇතැම් ඉතිහාස පොත්වල මේ නම් දෙකෙන්ම මා හඳුන්වනවා. මව ශ්‍රී ලාංකික වීමත් පියා විදේශිකයෙකු වීමත් නිසා මගේ මේ පැහැයේ සාමාන්‍යය ශ්‍රී ලාංකිකයන්ට වඩා පැහැපත්. ඒ නිසාවෙන් බොහෝ අය ඉදිරියේ මා කැපී පෙනුනා.
ඔබ සහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු අතර හිතවත්කමක් ඇතිවුණේ කොහොමද?
මම ශිල්ප හැදෑරූ ඇඳුරුතුමා ළඟ තමයි රාජ කුමාරයත් ඉගෙන ගත්තේ. අපි දෙන්නම කඩු, දුනු ශිල්පයේ දක්‍ෂයෝ වුණා. අනෙක් විෂයන්ටත් එලෙසමයි. මේ නිසා මුලින් ඇතිවූ ඇඳුරුම්කමට පසුව බොහොම තදින් වැඩුණු මිත්‍රත්වයක් දක්වා වර්ධනය වුණා. එතුමා පොරොන්දු වුණා රජ වූ පළමුව සිදු කරන්නේ මා හට මහ අදිකාරම් තනතුර පිරිනැමීම බව. එය කියූ අයුරින්ම සිදුවුණා.
ලැබෙන රාජකාරිය පසෙකලා කාන්තාවන් වෙත හිත යොමු කිරීම සාධාරණද?
පැහැදිලි නෑ මට ඔබේ ප්‍රශ්ණය.
ඔබේ පියා මෙරට සිටීමට අවසර ගන්න යන ගමනේදී කාන්තාවක් දැක ඇය හා හාද වුණා. ඔබත් ලැබෙන රාජකාරිය පසෙකලා රජුගේ මෙහෙසියට ළංවුණා. ඒ පැහැදිලි කිරීම ඇති කියලා විශ්වාස කරනවා.
මගේ පියා රාජකාරිය අමතක කරේ නෑ. ඔහු නැවියන්ගේ සියලු අවශ්‍යතා සොයා බැලුවා. මම ගැන සියල්ල නොදැන ඔබ කරන චෝදනාව භාරගන්න සූදානම් නෑ.
මොනවද අපි නොදන්න කරුණු?
ප්‍රමිලා බිසවට උවමනා වුණේ අගමෙහෙසියක් වෙන්න නෙමෙයි. ස්වාමියෙකුට හොඳ බිරිඳක් වෙන්න. ඒත් රජතුමා හැම වෙලාවෙම ඇය දිහා බැලුවෙත් සේවකයෙකු දෙස බලන ආකාරයට. බිරිඳකට ස්වාමියා පමණයි අවශ්‍යය. ඒත් ඇය අග බිසව ඔහු රජතුමා. මම මේ බව ඇයට පැහැදිලි කර වාර ගණන අනන්තයි.
යහපත් බිරිඳක් නම් සැමියාගේ රාජකාරී ස්වභාවය හඳුනාගත යුතුයි නේද?
වටහාගන්න තිබුණා. ඇතැම් රාජකාරී අන්ත–පුරයේ නොතිබුණානම් ඇයට මේ පීඩනය, දුක කියන්න කෙනෙක් හිටියේ නෑ. ඇය විශ්වාස කරා මම රජතුමාගේ කුඩා කළ සිට හොඳම යාළුවා නිසා මා හරහා රජුට ඇගේ හිත කියන්න.
ඒ අවසරයෙන් ඔබ ඇගේ හිතට ඇතුල් වුණා?
කොහෙත් ම නෑ. ඇයට තිබුණ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ඉලක්ක රජතුමා හා සැසඳුනේ නෑ. ඒත් බිසව රජතුමාට බොහෝ සෙයින් ආදරේ කරා. මේ හැම දේකම පුපුරා යාමක් තියෙනවා. මම කීපවිටක් රජතුමා සමඟ මේ ගැන කතා කරා. ඔහු ඒ සෑම අවස්ථාවකම රටක් පාලනය කරන එකේ අසීරුතාව බිසවට විතරක් නොවෙයි දස්කොන්ටත් තේරෙන්නේ නැහැ නොවැ” කියලා මඟඇරියා. ගෙදර පාලනය කරගන්න බැරිකෙනා රට කොහොම පාලනය කරයිද කියලා ඒ හැම අවස්ථාවකම මමත් හිතුවා.
ඔබ බිසවගේ පීඩනය පුපුරායාමක් ගැන සඳහන් කළා?
ඔව්. අපි දෙන්නා අතරේ තිබුනේ ආදරයක් නෙමෙයි පැහැදීමක්. මිත්‍රත්වයක්. ඒත් ඇගේ හිත, මා පතන ස්ත්‍රියගේ හිතට සමානයි. මට වෙලාවකට හිතෙනවා රජතුමා ඇය පාලනය කිරීමට මා හිතාමතාම යෙදෙව්වද කියලත්. කෙසේ වෙතත් අපිට අපි නොදැනීම ළංවුණා. බොහොම තදින් ලංවුණා. ඉතා තදින් ශක්තිමත් ආදරයක් දක්වා මෙය වර්ධනය වෙමින් පැවතියේ. මොකද මට ඇය පිළිබඳවත් ඇයට මා පිළිබඳවත් මහා වැටහීමක් තිබුණා. මා විශ්වාස කරනවා ඒ කාලය තුළ ඇය සතුටින් ජීවත් වුණා කියලා. එදා, අද වගේ රටේ අධිකරණයක් තිබුණානම් ප්‍රමිලා බිසව නීතියෙන් වෙන්වෙලා මා සමඟ විවාහ වෙනවා.
ඔබ මිත්‍රද්‍රෝහියෙක් කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම වෙන්න තිබුණා මම බිසවට බලපෑමක් කරානම්. මම සෑමවිටම උත්සාහ ගත්තේ ඔවුන්ට ඔවුන් පිළිබඳව අවබෝධයක් ලබාදෙන්න. ඒත් අවසානය වෙනස් වුණා.
කොහොමද මෙය රජතුමා දැනගත්තේ?
බිසවට හදිසියේම රෝගයක් හැදුනා. විවිධ වෛද්‍යවරුන් ලවා බෙහෙත් කරත් සුව වුණේ නෑ. පසුව යාගයක් පවත්වා එය සුව කළ හැකි බව ඇඳුරන් පැවසුවා. එහෙත් ඒ අවස්ථාවේදී ආතුරයා නිරුවතින් සිටිය යුතු බව පැවසූ විට එය තරමක් සංකීර්ණ ප්‍රශ්ණයක් වුණා. රජුගෙන් නම් එයට බරපතල විරෝධක් ආවේ නෑ. ඒත් මම රජතුමාට එහි ඇති අමිහිරි අපහසුතාව බිසව වෙනුවෙන් කරුණු දක්වලා වෙනත් ක්‍රමයක් මේ වෙනුවෙන් සෙව්වා. අතිශය රහසිගත ලෙස මූර්ති ශිල්පීන් දෙදෙනෙක් සිරියහන් ගබඩාවට ගෙන්නලා බිසවගේ රූපයක් ඇඹුවා.
මොකද්ද එතකොට උපන් ලපේ කතාව?
මම කැමති නෑ බිසවගේ නාරි දේහය වෙන කිසිම කෙනෙක් දකිනවට. ඔබ යොමු කළේ ඉතා වැදගත් ප්‍රශ්ණයක්. මම බිසවගේ වගේම, රූපයෙන් සමාන ස්ත්‍රියක් සොයාගෙන ඇයව රහසිගතව සිරියහන් ගබඩාවට කැඳවා මූර්ති ශිල්පීන්ට ඇය බිසව ලෙස හඳුන්වා දුන්නා. බිසවගේ කලව උඩ ලොකු උපන් ලපයක් තිබුණා. නමුත් මේ කාන්තාවගේ එසේ කිසිම දෙයක් තිබුණේ නෑ. මූර්ති ශිල්පීන් රූපය අඹා පිටව ගිය පසු මම ගොස් කලු තීන්ත පැල්ලමක් අදාළ තැන සටහන් කරා. ඒත් මම පැමිණෙන්න පෙර රජතුමා මේ රූපය බලලා ගිහිල්ලා තියෙනේනේ. මා ඒ පිළිබඳව දැන සිටියේ නෑ. දෙවනවර රජතුමා බිසව ද සමඟ පැමිණ රූපය නරඹද්දී කලින් නොතිබූ පැල්ලමක් දැන් පැමිණියේ කෙලසදැයි සැක මතුකර තිබෙනවා.
ඒ කියන්නේ රජතුමාට පළමුව රූපය බලන වෙලාවේ මේ ලපය මතක් වෙලා නෑ කියන එකද?
ඔව් ඒක තමයි. එහෙම වුණානම් මූර්ති ශිල්පීන්ගෙන් ඒ පිළිබඳව විමසනවානේ. රජතුමාටත් ඒ පිළිබඳව මතක්වෙලා තියෙන්නේ ඒ වෙලාවේ. දැන් ඔබට තේරෙනවද රජතුමාගේ බිසව පිළිබඳව තිබූ අවධානය.
එවැනි දෙයක් ඉතිහාසයේ සඳහන් වී නෑ. ඔබ ඉතිහාසය විකෘති කරනවා.
අහල තියෙන්න විදියක් නෑ තමයි. මොකද ඔබ ‍ෙමි කියවන ඉතිහාසය පොත් රචනා කළ කිසිවෙකු මගෙන් ඒ පිළිබඳව අහලා නෑ. පුළුවන්නම් ඔබ මට පිළිතුරු දෙන්න රජ අණකින් සිදුවන වැඩකදී අඩු පාඩු සිදුවෙන්න පුළුවන්ද? සිරුරේ සෑම ඉරියව්වක්ම, රෝම කූපයක්ම

ඒ විදියටම නිර්මාණය කළ මූර්ති ශිල්පීන්ට ඒ ලක්‍ෂ මඟ ඇරුණේ කොහොමද?
අනිත් කාරණේ ඔබ අද මේ කියවන ඉතිහාසය ලියවුණේ විජය කුමාරයා තම්බපන්නියට පය තබපු මොහොතේ සිට නෙවෙයිනේ. ඇතැම් දේවල් මුඛ පරම්පරාවෙන් ආවේ. මඟ ඇරුණු කාර්්‍යය මොන තරම් ඇතිද?

රජුටත් උපන් ලපය ඒ තරම් අවධානයට ලක් නොවුනා නම් ඇයි ඔබ එය තැබුවේ?
බිලි ඇඳුරන් කිව්වා රූපය 100% සමාන වෙන්න ඕන කියලා. නැත්නම් ඒක රජතුමාටත් බලපානවලු. ඒ වෙලාවේ මගේ මිත්‍රත්වයත් එළියට එන්න ඇති.

රජතුමා මෙය දැනගත්තට පස්සේ මොකද කරේ?
මට සංදේශයක් එවලා තිබුණා කවියකින්.

අකුරු කළේ කුමටද නුවණ මද ගුරු
හතුරු කැලේ දමතිද දියට යන තුරු
කපුරු මලේ සුවඳට නසිනව බඹරු
නපුරු මලේ දැන දැන නොකරන් වියරු

මට ඒ කවිය දැක්කම ටිකක් කේන්ති ගියා. මොකද ඔහු බිසව ගැන සඳහන් කළ ආකාරයට මම අකමැතියි. මමත් ඔහුට කවියකින්ම සංදේශවක් යැව්වා.

රන් මාලය පැළඳගෙන ඇත සුවිපුල්ලා
ඉන් ආලය වඩවයි සිත නුඹ පල්ලා
හිමි දසකට මැද තිබුණත් උඹ පල්ලා
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා

රජතුමා ඊට ප්‍රතිචාර දැක්වුයේ කොහොමද?
මාව රාජ සභාවට ගෙන්නලා නිදසහට කරුණු විමසුවා. නිදහසට කරුණු කියන්න ඕන නම් එවැනි පිළිතුරක් එවන්නේ නෑ කිව්වම ඔහු මට මරණීය දණ්ඩනය නියම කළා.

ඔබට ඊට බය වුණේ නැත්ද?
මම මේ ආදරය ඇරඹෙන කොටම දැනගත්තා කවදා හරි මේ ටික වෙනවා කියලා. මම මෙය බලාපොරොත්තු වුණා. ඉතිං මගේ බලාපොරොත්තු ඉටු වුණා.

ප්‍රමිලා බිසව මේ සම්බන්ධයෙන් මොකද කිව්වේ?
ඇය බොහෝ ලෙස කලබලයට පත් වෙලා හිටියේ. මාව උල තියලා මරන්න තීරණය කරා කිව්වාම නොසෑහෙන්න කම්පාවට පත්වෙලා තියනවා. බිසව සියලු හැඟීම් සංදේශයකින් මා වෙත දූතයකු අත එව්වා.

තුන් කල තුමුල වනයේ මල් සර නොවිඳ
මත් කල ගනන් කොපුලක බිඟු රොනට වැද
කන් කල පහර වැනි නිරිඳුට හසුව ඉඳ
පින් කල හිතනුවනි දැන් තැවෙනු කුමටද

සක්මන් කරන මලුවෙදි බැඳි හාද
සිත්පිත් තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමි ඔබ අද යනවාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද

ඔබ ඊට ප්‍රතිචාර දැක්වූවාද?
ඔව්. ආත්මයක් ආත්මයක් පාසා ඔයා මගේ වෙන්න වගේ බොළඳ කතා කියලා මැරෙන්න මට උවමනා වුණේ නෑ. ජීවත්වුණ කාලය තුළ ලබපු ආදරය ඇති ආත්ම හතකට. රාවණා රජුට සීතාවගේ ස්පර්ශයවත් ලබන්නේ නැතුව ප්‍රේමය වෙනුවෙන් හිස් දහසම නැතිවුණා. ඒත් මම එහෙමද? ප්‍රමිලා බිසවගේ ආලිංගන චුම්බනයේ සිට සියළු ආදර නහර සංතර්පණය වන ස්පර්ශයන් ලැබුවා. ඉතිං මගේ මේ බෙල්ල ගහලා ගියාට මොකද වෙන්නේ? මමත් ඇයට ඒ පිළිබඳව කියලා සංදේශයක් යැව්වා.

වියැස් සීතාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පෙරණ ඇස දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් පෙමා
මහිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිම

ඊට ටික දිනකට පසු මාව උල තියලා මැරුවා. අපේ ආදරයට ලංකාවේ ගොඩක් අය ආදරෙයි කියලා දන්නවා. ආදරයට සීමා මායිම්, සංස්කෘතික රාමු නෑ. බොරුවට සුචරිතවාදී වෙස් පෙරට ගෙන රටේ තියන හැම අවලං වැඩක්ම කරන අය අපිම පොළොවෙ ගහ ගහ පතුරු යැව්වට ඒක තමයි ඇත්ත.
පසු සටහන
දස්කොන් F.C.I.D තුළ පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කිරීම් වලට ලක්වුණා. දස්කොන් එළියට එනවිට, දස්කොන් සමඟ පැමිණි ඔහුට හිතවත් කුමාරිකාවන්, කුමාරවරුන්, රාජ වාසල නිලධාරීන් එළියෙ බලාගෙන හිටියා. දස්කොන් එනකොටම අපේ මාධ්‍යවේදීන් ඔහුව වටකරගත්තා. ඔවුන් දස්කොන්ව නැවත ප්‍රශ්න කලා.
මාධ්‍යවේදියෙක් – ඔබට මොනවද කියන්න තියෙන්නේ?
දස්කොන් – මම හිතන්නේ ඉතිහාසය සංස්කෘතිය පවා මේ මොහොතේ F.C.I.D ය ප්‍රශ්න කරනවා නම් අපේ වංශ කතාව කොහොම වෙනස් කරන්න වෙයි කියලා හිතා ගන්නවත් බෑ. ඉතිහාසයේ වැරදි සිදුවෙලා තිබුණත් දැන් එම ඉතිහාසයට එකතු වෙලා සංස්කෘතියක් වෙලා ඉවරයි. මම දැන් ඉන්න වර්ථමාන ජනාධිපතිතුමාටත් කියන්නේ මේ ගැන නැවත වතාවක් හිතන්න කියලා.

සුපුන් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: