දැන්වීමකින් හිත් සසල කළ තාත්තෙක්

August 3, 2017 | 10:58 am    0   174

දැන්වීමකින් හිත් සසල කළ තාත්තෙක්

වුද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පියපුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

මා ආදරයෙන් සිප වැළඳ පෝෂණය කර, රජුන් මැද වුවද මනාව සිටීමට කටයුතු කළ පියතුමන්ගේ පාද මම වඳින්නෙමි. අර්ථය හරි හැටි පැහැදිලි නොවුණු, හරියට වචන හසුරවන්න හුරු වුණ දවසෙ ඉඳලා අපිට පාඩම් තිබූ ගාථා දෙකක් තමයි අම්මට තාත්තට වඳින ගාථා දෙක. ඉන් තාත්තට වඳින ගාථාව තමයි මම මුලින්ම ලියලම කතාව කියන්න පටන්ගත්තේ.

කතාවට අපි එදා ඉඳලා කියන්නෙ අපිට තියෙන්නෙ පීතෘ මූලික සමාජයක් කියලා. ඒත් ප්‍රායෝගිකව ඇත්තම කතා කළොත් අපි ජීවත් වෙන්නෙ මාතෘ මූලික සමාජයක. අටුවා ටීකා ටිප්පනි ඕනම නැහැ ඒ කතාව පුන පුනා සනාථ කරන්න. අම්මගෙ ආදරේ සංඥා, සංකේත, වචන, අංග චලන, හැඟීමෙන් පවා අපට දැනෙනවා. ඒකමයි මේ ලොකේ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ අම්මා මතු දවසක බුදු වෙන්න ඕන කියලා.

ඒත් අපි උපන් දා ඉඳලා නිහඬව ගැඹුරු ආදරයක් සෙහෙනසක් දෙන තාත්තා නිවන් දකින්න ඕන කියලවත් කියවෙන වාර අඩුයි. ඒ තරම් ආදරය කරන අම්ම තාත්තට අපි ඒ තරමටම ආදරය කරනවද, කරාද කියලා හිතන්න ඕන කාලයක් මේ එළඹිලා තියෙන්නේ.

බටහිර සමාජයට වඩා ආසියාතික අම්මා තාත්තලා දරුවන්ට රැකවරණය දෙනවා වැඩියි. මේ විෂය පථය තවත් කුඩා කළොත් ලංකාවේ අම්මා තාත්තා දරුවන්ට වැඩි අදාරයක් සෙනෙහසක් ආරක්ෂාවක් දන්වනවා. අවුරුදු 18 වුණ ගමන් බටහිර සමාජවල දරුවන්ව දෙමාපිය රැකවරණයෙන් ඉවත් කරනවා. ඒත් අපේ රටේ විවාහයෙන් පසුවවත් දෙමාපියන් දරුවන්ව අතහරිනවා අපි දැකලා නැහැ. ඒ තරම් ඒ අයගෙ බැඳීම වැඩියි. ඒත් අපිට ඇත්තටම ඒ ආදරයට සමාන ආදරයක් රැකවරණයක්වත් දෙන්න පුළුවන් වෙලා තියෙනවද? ටිකක් කල්පනා කරලා බලන්න.

පසුගිය දිනයක පුවත්පතක දැන්වීමක් දැක්කා. අපි සාමාන්‍යයෙන් පුවත්පතක දැන්වීමක් දැක්කෙ ගෙයක් දොරක් කුලියට දෙන්න, පරණ බඩුවක් විකුණගන්න. ඒ දැන්වීම්වලට වඩා හිතට ගොඩක් දැනුණ දැන්වීමක් වුණා මේක.

අපි ජීවත් වෙන පරිසරය ඇතුළෙදි මේ වගේ දෙයක් වේවි කියලා හිතන්න බැරි දැන්වීමක්. ඒ තමයි තාත්තා කෙනෙක් දුරකතන අංකයක් සමඟ පුංචි ඡායාරූපයක් සඳහන් කරලා.

මේ දැන්වීම දැකපු ගමන් ඒ තාත්තට call එකක් දෙන්න කියලා දරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා. සමහරු මේ දැන්වීම දැකලා ගත් කටටම කීවේ “අනේ අපේ ඇස් මේවා දකින්නත් පව් කළා නේද?” කියලා.

ඇත්තටම ඒක එහෙම තමයි.

දරුවෝ කුස පිළිසිඳගත්ත දවසෙ ඉඳන් ඒ දරුවා අත් දෙකට එනකම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොයිතරම් නොඉවසිල්ලෙන් ඇඟිලි ගනිනවද? හීන කෝටියක් හිතේ තියන් ඒ අම්මා පුංචි පුංචි ඇඳුම් මහනවා. වෙනදටත් වඩා රුපියල් දහයක් හම්බකරන්න ඕන කියලා ඒ තාත්තා වැඩියෙන් වැඩ කරනවා ඇති.

උඹ ඉපදුණ දවසේ ඉඳලා රැයවල් කීයක් නම් ඒ අම්මා තාත්තා නිදිවරන්න ඇතිද උඹ නිදාන්නකම්. එහෙව් දේවල් කරපු අම්මා තාත්තට ණය ගෙවන්න අපිට මේ සංසාරෙම මදි.

ඔයත් දන්න මමත් දන්න පුංචි කතාවක් කියන්නම් මම. බිම්බිසාර රජතුමාගෙ දේවියට දරුවෙකු ඉපදෙන්න සූදානමින් ඉන්නකොට ඇයට දැනෙන ‍ෙදාළ දුක තමයි රජතුමාගෙ උරය පළලා ලේ බොන්න. මෙය තරමක් කුරිරු ආශාවක් නිසාම නැකැත්කරුවො ගෙන්වලා අදහස් විමසනකොට ඔවුන් කියනවා, අනාගතේ මතු යම් දවසක මේ පුතා අතින් රජතුමා මිය යන බව.

එය දැනගත් වෙලාවේ පටන් දේවිය උත්සාහ කරනවා මේ දරුවා නැති කරගන්න. පොත පතේ සඳහන් වෙනවා ඇගේ කුස අඹ ගසක පවා අතුල්ලා ගත්තා කියලා. ඒත් රජතුමා මේකට කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම අජාසත් කුමරු ඉපදුණාට පස්සේ ඔහුගේ ඇඟිල්ලෙ විශාල සැරව ගෙඩියක් එනවා. ඔහු වේදනාවෙන් කෑ ගහනකොට රජතුමා මේ ඇඟිල්ල තමන්ගේ කටේ දමා ගන්නවා. ඒ සැරව ගෙඩිය කටේම පැළුණත් රජතුමා ඇඟිල්ල ඉවතට ගන්නේ නැහැ කුමරු අවදිවෙයි කියලා. ඒත් ඒ කුමාරයා අතින්ම පස්සේ දවසක ඒ තාත්තාව මරා දැමෙනවා.

ඒ බිම්බිසාර රජතුමන්ලා වගේ සෙනෙහෙවන්ත තාත්තලා අදටත් මේ සමාජේ ඉන්නවා, දරුවන් මොන දේ කළත් ආදරය කරන කිසිම වත්කමක් බලාපොරොත්තු නොවී. ඒක තාත්තා කෙනෙක් පුතාල හොයන්න දැන්වීම් පුවත්පතක පළ කරනකොට, තවත් මාතර දික්වැල්ලෙ පදිංචි තාත්තා කෙනෙක් කෝච්චියට බෙල්ල තියන්න ගිහින් තිබුණා. එතන හිටිය කවුදෝ කෙනෙක් ඒ තාත්තා බේරගෙන තිබුණා. ඒ තාත්තා කඳුළු වගුරවමින් කියල තිබුණේ දරුවො සලකන්නෙ නැහැ පුතේ, බිරිඳට විතරයි ආදරේ කරන්නේ කියලා. මහා ලොකු දේවල් නෙමෙයි, වයසක අම්මලා තාත්තලා ඉල්ලන්නේ පුංචිම පුංචි ආදරයක් විතරයි.

කාර්යබහුලවීමත් එක්කම අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් මගහැරෙනවා. අමතක වෙනවා. දන්නවද ඒ පුංචි වෙලාවකට අපට අතහැරෙන්නෙ අපේ ජීවිතේ වටිනාම දේවල් කියලා. ඔයා මේ කාර්යබහුලත්වයත් එක්ක ඔයාට අම්මගෙන් තාත්තගෙන් එන call එක cut කරාවි.

සමහර විට ඔයා ලොකුවට නොහිතුවට ඒ ඔයාට එයාලගෙන් ලැබෙන අන්තිම ජචතත එක වෙන්න පුළුවන්. අම්මා තත්තා පුවත්පතක දැන්වීමක් දාලා මාව බලන්න එන්න කියන තරමටම අපි කොහේද හැංඟිලා ඉන්නේ.

ඒ තරමටම අපේ හදවතට දැනීමක් නැතිවෙලා තියෙන්නෙ කොහොමද? තරු 7,8ක් ගහගෙන ඉහළ තනතුරුවලට යන්න, ‍ෙදාස්තර නලාවක් අතට ගන්න, ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙන්න, මේ මොහොතේ ඔයා ඉන්න ඕනම තැනකට අපිට එන්න අකුරු කියල දුන්න අම්මා තාත්තා කොහොමද අපිට මඟහැරුණේ? අයේ ආයෙත් අපිට අපි ගැන හිතන්න කාලය තියෙනවා.

ජීවිතේ ගෙවාගන්න බැරි පාප කර්මයකට අත ගහන්න හිතන්නවත් එපා. හිතන්න, ඔයාට මට සිද්ධ වුණොත් ගහක් ගහක් ගාණේ, තාප්පයක් තාප්පයක් ගාණේ අනේ මගෙ දරුවො ඇවිත් මාව බලලා යන්න කියලා දැන්වීමක් අලවන්න. ඒක අපිට කොහොම දැනේවිද? මෙතන තියෙන්නෙ කරපුවට වන්දි ඉල්ලීමක් නෙමෙයි, හුස්ම ගන්න අන්තිම මොහොතට ආදරය පොඩ්ඩක් විතරමයි.

තාත්තා කෙනෙක්ගේ ආදරේ පුතෙක් කෙරෙහි කොයිතරම් තියෙනවද කියලා සිංහබාහු නාට්‍යයේදී සරච්චන්ද්‍ර මහත්තයා හරි අපූරුවට කවි පන්තියකින් කියනවා.

“පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රදා සිට දුක්
දෙයි නිබන්ධා….”

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදියි කියලා අපි තවත් චෝදනා කරන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ඒ අම්මා තාත්තට තව පොඩ්ඩක් ආදරේ කරන්න කියලා විතරමයි.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: