දෙවියන් නොමැති සමාජයක තරුණයා යනු කුමක්ද?

April 17, 2017 | 1:00 pm    0   304

දෙවියන් නොමැති සමාජයක තරුණයා යනු කුමක්ද?

 

අතීතයේ දී ප්‍රකාශයට පත් කරන ලද ‘තරුණයා’ පුවත්පත සහ සහ ‘Apple’ පුවත්පත අතර වෙනස කුමක්ද? මීට දශක කිහිපයකට පෙර තරුණයා සම්බන්ධයෙන් සූත්‍රයක් සමාජයට පැවතියේ ය. 80 දශකය අවසානයට පත් වී ඊඪබචදඪජ නම් චිත්‍රපටයට පසුව මෙම ‘තරුණයා’ නම් ‘අදහස’ විශාල වේගයකින් අතුරුදහන් වීම ආරම්භ විය. 80 දශකයේ තරුණයා නමින් අදහස් කරන ලද්දේ කුමක්ද?

තරුණයා යනු රැඩිකල් පුද්ගලයෙකි.
තරුණයා යනු සමාජ සම්මතය නොතකන්නෙකි.
තරුණයා යනු දේශපාලන අදහසකි.
තරුණයා යන අදහස වඩාත් අර්ථවත් වන්නේ ‘සමාජවාදය’ නම් සංකල්පය සමඟ සංකලනය කළ විටය.
තරුණයන් දේශපාලනිකව සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය තරුණ සේවා සභාව නිර්මාණය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය බිහි කළේය.
තරුණයා ආදරය කළ අතර දේශපාලනය ද කළේය.
තරුණයා තම ආත්ම ප්‍රකාශණය සඳහා ‘කලාව’ යොදා ගත්තේය.

1989 වර්ෂයේදී බර්ලින් තාප්පය බිඳ වැටී ගිය අතර සමාජවාදය පිළිබඳ සිහිනය ද මිය ගියේය. දැන් ‘සමාජවාදය’ නිල වශයෙන් මිය ගොස් දශක 2 1/2ක් පමණ කාලය ගත වී ඇත. තාරුණ්‍යය සහ තරුණයා යන සංකල්ප ‘සමාජවාදය’ සමඟ ගැට ගැසී තිබූ බව අපට අවධාරණය වූයේ 21 වැනි සියවසේදීය. මන්දයත් අද දවසේ ‘තරුණයා’ යන්නට ‘වෙළෙඳපොළ’ තුළ සහ ‘අන්තර්ජාලය’ තුළ හැර වෙන තැනක අර්ථයක් නැති නිසා ය.

අද දවසේ තරුණයා හෝ තරුණිය යනු සමාජීය වශයෙන් ගත් කළ රෝග ලක්‍ෂණ්‍යකි. (symptom) අර්ථයක් වශයෙන් ‘තරුණයා’ යනුවෙන් සංකල්පගත කිරීමක් ධනවාදී වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින්නේ නැත.

මේ ඉහත හේතුව නිසා 80 90 දශකවලදී ‘මිනිසා’ මුහුණ නොදුන් අභියෝගයක් Apple පුවත්පතට සම්මුඛ වී ඇත. තරුණයා යන්න නිදහස සමඟ සමපාත වෙයි. මෙම නිදහස යන්න ඉතිහාසයේ මේ දක්වා නිර්චනය වූයේ බාහිර මර්ධනය නම් සංකල්පය සමඟය. සරලව කිවහොත් තරුණයා සහ පවුල අතර ආතතියක් ඇත. නැතහොත් තරුණයා සහ ෆැක්ටරිය හෝ කර්යාලය අතර ආකෘතියක් ඇත. නමුත් අද අප මේ ගත කරන 21 වැනි සියවසේ දෙවැනි දශකයේ මැද දී අපට සම්මුඛ වී ඇත්තේ කුමන යථාර්ථයක් ද? අද තරුණයා ඉදිරිපිට මර්ධනය යනුවෙන් කිසිවක් නැත. අද සමාජයේ වැඩිහිටියන්, පියවරුන් යනුවෙන් පුද්ගලයන් නැත. ඒ වෙනුවට අද සිටින සියළුදෙනාම තරුණයන්ය. අද සමාජයේ අම්මලා නැති අතර සියළුදෙනාම තරුණියන් වී ඇත. බාහිර බාධාව සමාජය විසින් ඉවත් කර සියල්ලට ඉඩ දෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා ‘ඇතුලත’ (inside) යනුවෙන් දෙයක් නැති වී බාහිරත්වය බවට සියළුදෙනා පරිවර්තනය වී ඇත. ‘තරුණයා’ නමින් සංකල්පයක් නිෂ්පාදනය වීමට ‘මර්ධනය’ යනුවෙන් දෙයක් අවශ්‍ය වන අතර එවැන්නක් නොමැති තැන තරුණයා යනුවෙන් පුද්ගලයෙක් ද නිර්මාණය නොවෙයි. එතැනට අද පරිභෝජනය ආදේශ වී ඇත.

Apple පුවත්පත ඓතිහාසික වශයෙන් මුහුණ දෙමින් සිටින කටුක යථාර්ථය සැකෙවින් විදාරණය කළහොත් ඉහත පරිදිය. දැන් ‘තරුණයා’ නම් පුද්ගලයා සමඟ සම්පාත වන්නේ සමාජවාදය, රැඩිකල්වාදය, කලාව යන සංකල්ප නොවේ. අද දවසේ ‘තරුණයා’ නම් සංකල්පය සමඟ සමපාත වන්නේ වෙළෙඳපොළයි. සමකාලීන තරුණයා අපේක්‍ෂා කරන ‘නිදහස’ යනු භාණ්ඩ පරිභෝජනය කිරීමේ නිදහසයි.

එබැවින් මෙම සුවිශේෂ ඓතිහාසික මොහොතේදී ‘තරුණයන්’ වෙනුවෙන් පුවත්පතක් නිර්මාණය කිරීමට අතීත පූර්වාදර්ශ නැත. සන්නස්ගලගේ ‘සිංහල පන්තිය’ ආත්ම ප්‍රකාශණයට විවර වූ කලු ලෑල්ලක් නම් සජීව සිරිමෙවන්ගේ සිංහල පන්තියට ඇත්තේ තිරයකි. (Screen) අද දවසේ තරුණයාගේ මනස තුළ ෆැන්ටසි පහළ නොවන අතර ඒ වෙනුවට ඔවුන්ගේ මනස තුළ පහළ වන්නේ ෆැන්ටාස්මැතිකයත්ය. ෆැන්ටසිය සහ ෆැන්ටාස්මැතිකය අතර ප්‍රබල වෙනසක් ඇත.

ෆැන්ටසිය යනු මේ ලෝකය තුළ ඇති යම් අඩුවක් පිරවීම සඳහා අප විසින් පරිකල්පනයෙන් නිපදවන පුංචි කතාන්දරයයි. ෆැන්ටාස්මැතිකය යනු අපගේ ජාගර සිත තුළ පහල වන අඳුර අපගේ සමීප අනෙකෙකු හරහා සාක්‍ෂාත් කර ගැනීමට දරන වෑයමයි. සමකාලීන තරුණයා යනු තම සමීප අනෙකාව ෆැන්ටස්මැතිකයක් කොට ගන්නා පුද්ගලයෙකි. එවැන්නකු සමඟ සමාජ වැඩක් කිරිමට නොහැක. මේ හේතුව නිසා පැරණි අර්ථයෙන් තරුණයා යනුවෙන් කෙනෙක් නොපවතියි. පවතින්නේ වෙළෙඳපොළ යථාර්ථය විසින් නිපදවන ලද විලාසිතාවය නම් පාරිභෝගිකයෙකි. පාරිභෝගිකයන් අතර වෙනසක් නැත. අවසාන වශයෙන් පාරිභෝගිකයා තමාටම කුණුගොඩක් බවට පත් කර ගනියි. ලංකාවට ගෘහ උපකරණ ආනයනය කරන සමාගම විසින්ම කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාර ගෙන ඇත. එම පරස්පරය අප ජීවත්වන යථාර්ථයේ ශෝකය හෙළිදරව් කරයි.

පසුගිය දිනෙක ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බෑණා වන කූෂ්නර් විසින් ඇමරිකානු යතාර්ථය කදිමට විග්‍රහ කරන ලදී. ඇමරිකානු සිහිනය පිළිබඳ නව අර්ථකථනය ඔහු මෙසේ සාරාංශගත කරන ලදී.

“ඇමරිකාව කියන්නේ සමාගමක්. අපගේ රටේ පුරවැසියන් කියන්නේ මේ සමාගමේ පාරිභෝගිකයන්. ගැටළුව වන්නේ මේ අයගේ අඛණ්ඩ තෘප්තිය පවත්වාගෙන යාම.”

තමන්ගේ පුතුන්ව little Maher නමින් හඳුන්වන පරිභෝජන සමාජයක නිදහස මිය යනවා මිස නිදහස බිහි වන්නේ නැත. එවන් සමාජයක ‘තරුණයා’ යන්න යළි උත්පාද කිරීම බිහිසුණු කටයුත්තකි.

දීප්ති කුමාර ගුණරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: