දේශපාලනය, Business , ආදායම් බදු සහ තාරුණ්‍යය

March 14, 2017 | 11:00 am    0   286

දේශපාලනය, Business , ආදායම් බදු සහ තාරුණ්‍යය

දේශාපාලනය ස්වභාවයෙන්ම චංචලය. නිතර නිතර වෙනස් වන තත්ත්වයන්ගෙන් හටගන්නා දේශපාලනය මිනිස් සමාජයෙන් ඉවත් කිරීම හෝ ගලවා තැබීම කළ නොහැකිය. නමුත් මිනිසාට අවශ්‍ය මෙන්ම එපා වූ යමක් වේ නම් ඒ ද දේශපාලනයයි. එනිසා බිහි වූ දා සිට සංවිධාන වන්නට වූ තැන සිට ආරම්භ වූ දේශපාලනය ජනතා ප්‍රගමනය උදෙසා ක්‍රමානුකූලව වර්ධනය කරගත් උප සංස්කෘතියක් වශයෙන්ද හැඳින්විය හැකිය. මේ දේශපාලනය තරම්ම පැරණි මිනිස් සංස්කෘතියක් වශයෙන් Business හඳුන්වා දිය හැකිය.

එසේම මානවයා දියුණු ශිෂ්ටාචාරයකට පත්වීමේදී ඔහුගේ සියල්ල කාලානුරූපීව වෙනස්වීම්වලට භාජනය වීම ස්වභාවික සිද්ධාන්තයකි. මේ තත්ත්වය නිසාම රාජ්‍යයක සිටින මිනිසා උපයන ධනයෙන් කොටසක් අයබදු ලෙස රජයට ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම පිළිබඳව ද ඓතිහාසික මූලාශ්‍රවල සටහන්ව ඇත. අය බදු වර්තමානයේ ආදායම් බදු වශයෙන් ගෙවිය යුතු ක්‍රමවේදයක් ලෙස දියුණු කර ඇත. එය වැඩි වශයෙන් ආදායම් ලබන්නන් තමන්ගේ ආදායම්වල සමරූපතාවයට අනුව ගෙවිය යුතු ආකාරයට ගණිත විද්‍යාවෙන් ගණනය කර ඇත. ආදායම් බදු නොගෙවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පවා පත්කර ඇත. ඒ කැපවීමෙන් බදු ගෙවන ජනතාවක් නිර්මාණය කර, ආදායම් බදු උපයෝගී කරගෙන රට සංවර්ධනය කිරීමටය.

කලටිපොල් තීරයෙන් හදිසියේම දේශපාලනයට අමතරව ව්‍යාපාර ආදායම් බදු පිළිබඳවත් එහි ඉතිහාසය කෙටියෙන් වුවත් සොයා බලන්නට සිතුණේ පසුගිය සතියේ අහම්බෙන් වගේ හමු වූ දේශපාලන චරිතයක් නිසාය.
මුලින්ම කිව යුත්තක් ඇත. මේ ලිපිය ඔහුගේ ක්‍රියා කලාපයන් හා හැසිරීම නිසා ලිවීමට අදහස් කළ එකක් මිස ඔහුගේ චරිතයට සුදු හුණු ගෑමට කරන ලද උත්සහයක් නොවේ.

දැන් නම් ඔහු ගැන ලිව්වා වැඩිය. අපි අදාළ මාතෘකාවට බසිමු. නූතන දේශපාලකයන් බෙහොමයක් සිය ජීවන පැවැත්ම පිණිස ව්‍යාපාර කරන්නෝ වෙති. ඉන් වැඩිපුර ප්‍රමාණයක්ම නීතිවිරෝධී ව්‍යාපාර කරන අය වන අතර සුළු පිරිසක් නීත්‍යානුකූලව කරන අයවලුන් වේ යැයි කීම අවශ්‍ය නොවේ. නමුත් ඒ අතරින්ද ඉතා සුළු පිරිසක් ආදායම් බදු ගෙවන්නෝ වෙති. ඉතාම සුළු පිරිසක් තම ආදායමට සරිලන නිවැරදි ආදායම් බදු ගෙවන්නෝ වෙති යැයි අනුමාන කරමි.

තරුණ දේශපාලකයන් සිය ජීවන පැවත්මට ව්‍යාපාර කිරීම වැරැද්දක් ලෙස නොදකිමු. ඔවුන් තරුණයන් වශයෙන් රට සංවර්ධනය කිරීමට දේශපාලනිකව දායක වන විට සිය ආර්ථිකය නංවා ගැනීමට රැකියාවක් කිරීමට හැකියාවක් නැත. එවිට ඔවුන් ස්වභාවයෙන්ම කොන්ත්‍රාත්වලින් කොමිස් ගැසීමටත්, ටෙන්ඩර් සූරා කෑමටත්, රැකියා මුදලට දීමටත් හුරුවිය හැකිය. නැතහොත් මගෝඩිකම්වලින් අයථා ලෙස මුදල් ඉපයීමේ ක්‍රම සොයා යාමටත් නීති විරෝධී කටයුතුවලටත් හුරුවිය හැකිය.

තරුණ දේශපාලකයන් හොරකමට, වංචාවට, අයථා මුදල් ඉපයීමේ මාර්ගවලට යොමුවීමට වඩා හොඳම ක්‍රමය වන්නේ රටේ පිළිගත් නීතිවලට යටත්ව, අනෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයන් මෙන් ව්‍යාපාර කිරීමට යොමුවීමය. ඉන් සිදුවන්නේ තමන්ටත්, රටටත්, සාමාජයටත් යහපතකි. එනිසා අපි කලටිපොල් තීරයෙන් ශ්‍රී ලංකාවේ එවන් ව්‍යාපාරික දේශපාලකයන් පසසන්නෙමු. නමුත් අරක්කු බාර් පර්මිට් අරගෙන කරන ව්‍යාපාරික දේශපාලකයන්ට හෝ තැබෑරුම් සහිත ගෙස්ට් හවුස් පවත්වාගනෙ යන, ඒවායේ කාන්තාවන්ගේ ඇඟ මස් විකුණන තරුණ ව්‍යාපාරික දේශපාලකයන්ට ඒ පැසසුම හිමි වන්නේ නම් නැත.

තාරුණ්‍යය නියෝජනය කරන දේශපාලකයන් අනාගත පරපුරට පූර්වාදර්ශයන් විය යුතුය. එවිට දැයේ නියමු තරුණ දේශපාලන නායකත්වයක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇත. සාමාන්‍යයෙන් රටක ව්‍යාපාර කරමින් ධනය රැස් කරන ඕනෑම පුරවැසියකු තමන් ලබන ධනයෙන් කොටසක් ආදායම් බදු ලෙස ගෙවීම කළ යුතු වුවත් එය නොකර සිටීම ද පහසුය. එසේම ඒවා ගෙවීමට අදාළ වන්නේ තමන් ලබාගන්නා ආදායම් සත්‍ය වශයෙන්ම සටහන් කළහොත් පමණි. නැතහොත් ගෙවන ආදායම් බදු ප්‍රමාණාත්මකව අඩුවෙයි. නැතහොත් සම්පූර්ණයන්ම නැතිවෙයි.

කෙසේ වුවත් දේශපාලකයාගේ ක්‍රියාවලිය වන්නේ යහපත් ආකාරයෙන් දේශපාලනය කිරීමයි. එය එසේ වුවත් නූතනයේ තරුණ දේශපාලකයන්ගේ ක්‍රියාදාමයන් ඇතැම්විට හාස්‍යයට ලක්වෙයි. තවත් සමහර තරුණ දේශපාලකයන් උපහාසයට පත්වෙයි. තවත් සමහර තරුණ දේශපාලකයන් හොරුන්, ස්ත්‍රීදූෂකයන්, මිනීමරුවන්, බේබද්දන්, club ගානේ යන පිස්සු නටන සමාජය ගඳ ගස්වන අයවලුන් ලෙස නම්ගත වෙයි.

මේ කියන සබරගමු පළාත් සභා මන්ත්‍රීවරයා මා සමඟ කළ කෙටි සංවාදයෙන් පසු ඒ ඇත්තදැයි සොයා යාමෙන් ද පසු මෙම ලිපියේ දළ සටහනක් තැබීමට කැමැත්තක් ඇතිවුණි. ඒ ඔහු ආඩම්බරයෙන් තමන් ව්‍යාපාර කරන බවත් ඉන් සතේටම ආදායම් බදු ගෙවන බවත් දැක්වීම සත්‍යය වූ නිසාවෙනි. ඔහු දේශපාලකයෙකු මෙන්ම ආදායම් බදු ගෙවන්නෙක්ද වෙයි. ඔහු දෙඩූ පුරසාරමේ තරමටම වැඩත් තියෙන බව පසුව පැහැදිළි කරගතිමි. ඔහු ප්‍රභාත් මහේෂ් ද අල්විස් නැමැති තරුණ ව්‍යාපාරික දේශපාලකයායි.

ඔහුටත් හොරෙන් සබරගමුවේ පළාත් සභාවට රිංගූ අපි තවත් වැදගත් තොරතුරක් දැනගත්තෙමු. එනම් පළාත් සභාවේ සිටින තරුණ මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු දෙන්නෙකු හැරුණු විට ව්‍යාපාර කරන අන් කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් ආදායම් බදු ගෙවීම මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

කලටිපොල් තීරුවෙන් අපි ආමන්ත්‍රණය කරන්නේ තරුණ ව්‍යාපාරික දේශපාලකයනි ඔබටයි, ඔබ අනිසි මාර්ගවලින් ධනය නොඋපයා නීත්‍යානුකූලව මුදල් උපයන්න. හොරකම් කිරීමට, කොමිස් ගැසීමට, අයථා මාර්ගවලින් ධනය ඉපයීමට උත්සහ නොකර නීත්‍යානුකූව ව්‍යාපාරවලින් ධනය උපයන්න. රටේ සංවර්ධනයට ආදායම් බදු නියමිත පරිදි ගෙවන්න. එවිට ඔබත් රටත් මිනිසුන් ගහකොළ පරිසරය සතා සිව්පාවා සියල්ලම රැකෙනු නියතය.

ඒ සියල්ලේ ආරම්භය සටහන්ව ඇති බව ඉහත සටහනෙන් අපට පැහැදිළිය. එය වර්ධනය වී රට තුළ ව්‍යාප්ත වනතුරු කලටිපොල් අරගලය සීරුවෙන්!

කාෂ්‍යප බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: