නඩුකාරවරයා ඉකිගැස්සු පොලිස් නිලදරුවා

August 3, 2017 | 3:21 pm    0   471

නඩුකාරවරයා ඉකිගැස්සු පොලිස් නිලදරුවා

සංහිඳියාව මිනිසුන්ගේ හිතේ හැඟීමක් පරිදි ගොඩනැගිය යුතු වග අප කියනවට කීවත්, නල්ලූර් වෙඩි උණ්ඩයෙන් මතුවූ සැබෑ සංහිඳියාවේ උතුම් මානුෂීය ගුණාංග අපි යාපනය මහාධිකරණ විනිසුරු මනික්කවාසගර් මහතා තුළින් අපි දුටුවෙමු.

එතුමන් දමිළ ජාතිකයෙක්. හින්දු භක්තියෙකි. එහෙත් එතුමන්ට සිංහල, දමිළ කියා වෙනසක් නොතිබිණි. සංහිඳියාව වෙනුවෙන් උත්තුංග මිනිසෙකුගේ සංවේදීතාව මුළු ලොවක් හමුවේ කියා පෑවේ රුදුරු උණ්ඩයකට යට නොවන මානුෂීය ගුණදම්වලින් හෙබි රාජ්‍ය නිලධාරින් අතලොස්සක් හෝ මෙරට තමන් සිටිනා වග නොවේද?

යාපනය නල්ලූර්හි සිදු වූ වෙඩි තැබීම තමාව ඉලක්ක කරගෙන සිදු කරන්නට ඇතැයි විනිසුරුතුමා සැක පළකරත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට අනුව මෙය අනපේක්ෂිත සිද්ධීන් දාමයකි.

විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ ප්‍රධාන විනිසුරුතුමන් වන මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා එකී නඩුව යාපනය අධිකරණය තුළ කැඳවමින් අදාළ දැරියගේ මව ඇතුළු අගතියට පත් පාර්ශවයට සිය උපරිම සාධාරණය ඉටු කිරීමට ක්‍රියා කළේය. ඒ අනුව සාක්ෂි කැඳවන මොහොතේදී මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් උසාවියෙන් ඉවත් කර අගතියට පත් වූවන් අපහසුතාවයට පත් නොවීමට වග බලාගත්තේය.

එවන් පසුබිමට එතුමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලවේ යැයි සිතීමට ඔහුව කෙනෙකු පෙළඹවීම සාධාරණය.

එසේම ඝාතනය සිදු වූ නල්ලූර් ප්‍රදේශය ජනතාව නිතර ගැවසෙන ප්‍රදේශයකි. නල්ලූර් කෝවිල වැඳපුදාගන්නට දහස් සංඛ්‍යාත පිරිස් සෑම දිනකම පාහේ නල්ලූර් වෙත පැමිණෙති. එසේම අදාළ වෙඩි තැබීම සිදු කිරීමට යොදා ගන්නා ගිනි අවිය ද පොලිස් සැරයන්වරයාගේ ඉණේ රඳවා තිබූ පිස්තෝලයයි.

ගිනි අවි පිළිබඳ දන්නා අයෙකු හැර වෙන කිසිවෙකුට එලෙස ඉණේ රඳවා තබා ඇති ගිනි අවියක් උදුරා ගැනීමට හැකියාවක් නොමැත. එසේම තවත් කෙනෙකුගේ ඉණේ ඉතා සුරක්ෂිතව රඳවා තබා ඇති පිස්තෝලයක් ක්ෂණයකින් තමන් සන්තකයට උදුරා ගැනීමට හසළ දැනුමත් තිබීම අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙම සිදුවීම අහඹු සිදුවීමක් විය හැකිද?

වෙඩිතැබීමෙන් පසු අසල නවතා තිබූ යතුරු පැදියක් ගෙන එය පණ ගන්වාගෙන සැකකරු පැන ගොස් ඇත්තේ ක්ෂණයකිනි. බීමත්ව සිටියත් යුද හරඹ පිළිබඳ හාන්කවිසියක්වත් නොදන්නා අයෙක්ට කිසිවිටෙකත් එවැනි පලායාමක් සිදු කරලීමට සිතා ගැනීමටවත් නොහැකිය.

එසේ නම් මෙකී ඝාතනය පිළිබඳව සුළුකොට තැකීමට නොහැකිය. එසේම 2009 වසරේ මැයි මස 16 වැනිදා නිහඬ කළ වෙඩි හඬ නැවත උතුරේ ඇසෙන්නට කිසිසේත්ම රටේ ත්‍රිවිධ හමුදාව ඉඩ නොතබන්නේ සංහිඳියාව හා මානුෂීය ගුණාංග යාපා පටුනේ ජනතාවගේ සිත් තුළ ජනිත කරවමිනි. එවන් වටපිටාවක මෙවැනි සිදුවීම් කිසිසේත්ම අනුමත කිරීමට හැකියාවක් අපට නොමැත.

යාපනය ප්‍රදේශය භාර ජේ‍ය්ෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නල්ලූර් වෙඩි තැබීම පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර මිය ගිය පොලිස් සැරයන්වරයාගේ පවුලේ උදවිය අමතා සිය බලවත් ශෝනය පළ කර තිබේ. එසේම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම අපරාධය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද හෙතෙම අවධාරණය කර තිබේ.

තම රාජකාරීය නිසි ලෙස ඉටු කරන මෙවන් නිලධාරීන් සමස්ත පොලිස් සේවයටම ආදර්ශයක් බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූ නිලධාරිවරයාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

නල්ලූර් වෙඩි තැබීමත් සමඟ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර යාපා පටුනේ සිදු වූ අමිහිරි සිදුවීම් ගොන්නට මෙම සිදුවීමත් එක්වී හමාරය.

නල්ලූර් වෙඩිල්ලෙන් මතුවූ සැබෑ සංහිඳියාවේ හැගුම්බර කතාව එලෙස සිදුවෙද්දී තමන් වෙනුවෙන් ජීවිත පූජා කළ සිංහල පොලිස් නිලධාරියාගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිඳ ඉදිරිපිට හඬා වැටෙන්නට කිසිඳු අවශ්‍යතාවක් විනිසුරුතුමන්ට නැත. එහෙත් සිය උත්තුංග මානුෂීය හැඟීම් එතුමන්ව ඒ සඳහා පොළඹවා තිබේ.

සැබෑ සංහිඳියාව අපගේ හිත්වල සැබැවින්ම ජීවමානය. සංහිඳියාව ගොඩගැනීමට භෞතිකව සිදු කරන සංවර්ධනය මෙන්ම මෙකී ක්‍රියාදාමයන් වෙනුවෙන් සිදු කරනු ලබන අනෙකුත් වැඩසටහන්වලට වඩා මානුෂීය හැඟීම් මුසුවූ සංහිදියාව සැබැවින්ම කාලෝචිතයි.

එසේම සංහිඳියාව ගොඩනැගීම පසෙකලා මෙවන් සිදුවීම් තුළින් සැබෑ සංහිඳියාව මරණ මංචකයට දක්කන්නට උත්සාහ කරන ඇතැම් දේශපාලකයින් මෙවන් මානුෂීය සිද්ධීන් හරහා වළපල්ලට ගෙනයන වග නම් සක්සුදක් සේ පැහැදිලිය.

පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතා වෙඩි වැදී සිය දිවි පූජා කරන විට, එකී ආරංචිය මුළු උතුරුකරයේම පමණක් නොව සමස්ත රටෙහිම ක්ෂණයකින් පැතිර ගියේය. උතුරේ ජනතාව සැබවින්ම මෙම සිදුවීමෙන් කම්පා විය. බොහෝ දෙනා දන්නා කාරණය වූ මහේස්ත්‍රාත්තුමා වැළපුණ බව එකී සංවේදී සිදුවීම් මාලාවේ ඇරඹුම විය. 24 දින සවස හේමචන්ද්‍ර මහතා දිවි පිදූ නල්ලූර් කෝවිල අසලට තරුණ තරුණයින් විශාල වශයෙන් එක්වූයේ බලා සිටි සැමට ද තවත් කුකුසක් සිතට නංවමිනි.

එහෙත් ඔවුන් එකට එක් වූයේ අන් කිසිවක් නිසාවෙන් නොව වසර ගණනාවක් සිය දමිළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියාගේ දිවි රැකීමට දිවි පිදූ සිංහල පොලිස් නිලධාරියා මියගිය ස්ථානයේ පහනක් පත්තුකරන්නටය. ඔවුන් කොතරම් මානව හිතවාදීන්ද? සමාජ ජාලා හරහා කළ දැනුම්දීමකින් යාපනයේ දමිළ තරුණ තරුණියෝ එතනට එක්වූයේ සැබැවින්ම තවත් සංවේදී වූ සංහිඳියාවේ නියම අරුත ලොවට කියා දන්නට නොවේද?

යාපනය මහාධිකරණ විනිසුරු ර්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් යාපනය හා චාවකච්චේරි උසාවි සංකීර්ණවල සේවයේ නියුතු විනිසුරුතුමන්ලා ප්‍රමුඛ කාර්ය මණ්ඩල ද නිහඬ විරෝධතාවයන්හි නිරතවන්නට වූයේ මෙවන් පරිසරයක් තුළය. සැබවින්ම යාපා පටුනේ සංහිඳියාව එක් වර්ගයකට පමණක් සීමා නොවීම ප්‍රසංශනීයය.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා යාපනය පොලීසියට අනියුක්තව සේවය කළ අතර ඔහු හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය. මිලිමීටර 12 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදු කර තිබිණි. වෙඩි තැබිමෙන් පසුව අදාළ ගිනි අවියේ පතොරොම් ගැබද අතුරුදහස් වී තිබීම තවත් සැක සහිත වන්නේ සැබවින්ම මෙම සිදුවීම අනපේක්ෂිතව යන වග සැකයට බඳුන් කරවමිනි.

මුළු ලංකාවම කැලඹීමටත්, කම්පනයටත් පත්වූ මේ සිදුවීම පිළිබඳව ඉරිදා ඇපල් අපි විනිසුරු – ඉලන්චේලියන් මහතාගෙන් අදහස් විමසීමක් සිදුකළා.

“යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ සිද්ධිය දැන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙනවා. මෙම නඩුව ආරම්භ කිරීමට තීරණය කළ දිනයේ පටන්ම නීතීඥයින්ටත් සාක්කිකරුවන්ටත් විවිධ තර්ජන එල්ල වූ බව මට දැනගන්නට ලැබුණා. මීට මාස කිහිපයකට ප්‍රථමයෙන් යාපනය මහාධිකරණයේ විභාග වූ නඩු කීපයක් සඳහා මා ලබාදුන්න නඩු තීන්දු කිහිපයක් වෙනුවෙනුත් මට තර්ජන එල්ල වෙලා තිබුණා. මේ පිළිබඳව මම අධිකරණ සේවා කොමිෂන් එකටයි, අමාත්‍යංශ ලේකම්වරයාටයි දැනුම් දුන්නා. මෙම වෙඩි තැබීම මම දකින්නේ සමස්ත අධිකරණ පද්ධතියටම එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ලෙසයි.”

විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබූ අතර යාපනය ප්‍රදේශය පුරා කළ සෝදිසියකින් අනතුරුව ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව එම සැකකරු හිටපු LTTE සාමාජිකයෙකු බව අනාවරණය වී තිබෙනවා. 39 හැවිරිදි සිවරාසා ජයන්තන් නමැති මෙම සැකකරු 1994 වසරේ LTTE ට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16දීය. 2012 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මොහුව මුදාහැර තිබෙනවා. මෙලෙස පොලීසියට වෙඩි තැබීමේ සිද්ධියට මොහු සම්බන්ධ වී ඇත්තේ එලෙස ඇප මත සිටින විටයි. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව අගෝස්තු මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සරත් හේමචන්ද්‍ර මහතා දෙදරු පියෙකි. දියණියක හා පුතෙකුගේ ආදරණීය පියෙකි. සමාධි අමන්දා හේමචන්ද්‍ර හා සදෙව් අමින්ද දරු දෙදෙනා සිය පියා නැති සොවින් වැළපෙන්නේය. හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ ද කලක් පොලිස් සේවයේ හිඳ විශ්‍රාම ලබා ඇත.
වැරදිකරුවන් මුදවාලීමට මාන බැලූ පොලිස් ලොක්කන් මුණගැසුණු කාලයක නීතිය හා තම රාජකාරිය අකුරටම ඉටු කරන පොලිස් පොඩ්ඩන් වෙනුවෙන් ජාතියේ උත්තමාචාරය පිරිනැමෙන්නේ නිතැතින්මය.

එසේම විද්‍යා දියණියගේ අපරාධය වසන් කිරීමට උඩගෙඩි දුන් පොලිස් ලොක්කා යාපනයෙන් සිය කෙරුවාව හමාර කරගනිද්දී රාජකාරියට සිය ජීවිතය දෙවනි කරගත් පොලිස් නිලධාරියෙකුගේ අනුවේදනීය කතාවක් ද යාපා පටුනෙන්ම ඇසෙන්නේ දෛවයේ ලියවූවක් ලෙසිනි.

කෙසේ වෙතත් දශක තුනක් අප රට බේරාගැනීමට අපගේ රණවිරුවන් කටයුතු කරද්දී ඒ හා සමානව නීතියේ පරමාදිපත්‍ය සුරකින දමිළ විනිසුරුවරයා එකී ත්‍රස්තවාදයෙන් මුදාගත්තේ ද සිංහල පොලිස් නිලධාරියෙකි. සිංහල විරුවන්, දමිළ විරුවන් එකට එක්ව ජාතික විරුවන් ලෙස අපේ රටට මා හැඟි සේවයක් ඉටු කර, මළ හිරු බසින සන්ධ්‍යාවේ සියල්ල අතහැර ගියත් ඔවුන් සදා අමරණීය විරුවන් වනු නොඅනුමානය.

අකලංක රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: