‘නික්ම ගිය වසන්තය’ හෙවත් සිංහල සිනමාවේ ඔබේසේකර ලකුණ

April 17, 2017 | 11:00 am    0   172

1947 තිරගතවුණු ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටිය සිංහල සිනමාවේ ආරම්භය විදියට හැඳින්වුණත් එතන තියෙන එකම සුවිශේෂත්වය ‘කඩවුණු පොරොන්දුව’ සිංහල භාෂාවෙන් නිෂ්පාදනය වීම විතරක් බවයි ගොඩක් සිනමා විචාරකයන්ගෙ මතය. ඒකට හේතුව විදියට දැක්වෙන්නෙ කඩවුණු පොරොන්දුවේ ඉඳලම අපේ සිනමාවේ ඔඩු දුවල තිබුණු ඉන්දියානු බලපෑම. ජයවිලාල් විලේගොඩ කියන විචාරකයා එක තැනක සඳහන් කරනවා, ‘කඩවුණු පොරොන්දුව’ හරහා සිද්ධවුණු එකම දේ, භාෂා 12 ක් කතා කරපු ඉන්දියානු සිනමාවට තවත් එක භාෂාවක් අලුතෙන් එකතු වීම විතරක් බව.

ඉන්දියානු අනුකාරකවාදී සිනමාවක් විදියට මුල ඉඳලම හංවඩු ගැහුණත්, සිංහල සිනමාව මේ දක්වා ආව ගමන් මග දිහා බලද්දි, ඇත්ත සිංහල සිනමාවක් වෙනුවෙන් සිද්ධ වුණු යම් යම් හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක් අපට නිරීක්ෂණය කරන්න පුළුවනි. වර්තමානයේ ඉඳලා ඉතිහාස පාඩමක් හරහා ඒ අතීත මං සලකුණු එකින් එක කියවීම පහසු කාරණයක් වුණත් ඒ වෙනස සිද්ධ වෙන මොහොතේ ඒක ඒ තරම් සුළුපටු වැඩක් නෙමෙයි. වටපිටාවෙ තියෙන සමාජ, දේශපාලනික සාධක, අටුවන් බැහැපු ඉන්දීය රුචිකත්වයක් සහිත ප්‍රේක්ෂකාගාරය සහ ඊට නොදෙවෙනි නිෂ්පාදකයො වගේ අටෝරාසියක් බාධක මැද උඩුගං බලා පිහිනීමක් කියන්නෙ සිනමාකරුවෙකුට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම, ඉන්දියාවට සාපේක්ෂව දැවැන්ත කර්මාන්තයක් විදියට දියුණු නැති සිංහල සිනමාව වගේ තැනක ඒ ජාතියේ අභියෝග ටිකක් බරපතලයි.

එහෙව් පසුබිමක වැඩකරමින් සැබෑ සිනමාවක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතයම කැප කරපු, දහඩිය හෙළපු හිතුවක්කාර දැවැන්තයො කිහිප දෙනෙක්ම පහුගිය කාල සීමාව ඇතුළත ජීවිත සිනමාවෙ තමන්ගෙ භූමිකාව අහවර කරලා යන්න ගියා. ඒ අය අතරට මෑතකදිම එකතු වුණු නම තමයි වසන්ත ඔබේසේකර කියන්නෙ.

ඒ නම මුල් වතාවට සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ගෙ ඇහැ ගැටෙන්නෙ සිරි ගුණසිංහයන් අධ්‍යක්ෂණය කරපු ‘සත්සමුදුර’ චිත්‍රපටියෙ නාමාවලිය හරහා. සත්සමුදුරේ සහය අධ්‍යක්ෂණයට වගේම තිර රචනයටත් දායක වෙන්නෙ වසන්ත ඔබේසේකර කියන තරුණයා. ඒ නාමාවලිය ඇතුළෙම කැමරා ශිල්පියා විදියට මුණගැහෙන තවත් අලුත් නමක් තමයි ඩී.බී. නිහාල්සිංහ කියන්නෙ. ‘සත්සමුදුර’ සිරි ගුණසිංහයන්ගෙ අධ්‍යක්ෂණයක් වුණත් ඒ කෘතිය පුරාවටම වැටිල තියෙන්නෙ වසන්ත ඔබේසේකර සහ ඩී.බී. නිහාල්සිංහ කියන පසුකාලීන සිනමා දැවැන්තයො දෙන්නගෙ හෙවණැලි බවයි විචාරක මතය. ඒ දෙන්නා පස්සෙ කාලෙක තමන්ගෙ චිත්‍රපටි ඇතුළෙ ප්‍රකට කරන ප්‍රශස්ත ලක්ෂණ වගේම සත්සමුදුරෙන් පස්සෙ සිරී ගුණසිංහයන් සිනමාව ඇතුළෙ නිහඬ වීම හරහාත් ඒ කාරණය සනාථ වෙන බව තමයි අපටත් පිළිගන්න වෙන්නෙ.

70 දශකය පුරා සිංහල සිනමාව ඇතුළෙ ව්‍යාප්ත වුණු වාමාංශික ප්‍රවණතාවක් සහිත සිනමා කෘති ගැන මෙතනදි කතා නොකර බැහැ. සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු කාරණා හරහා අගාධයට තල්ලු වුණු, පරාරෝපිත තාරුණ්‍යය ගැන ඒ චිත්‍රපට හරහා වැඩි වශයෙන් කතාබහ කෙරුණා. ධර්මසේන පතිරාජයන්ගේ අහස්ගව්වෙන් ඇරඹෙන ඒ ප්‍රවණතාව සිංහල සිනමාවට සුවිශේෂී කෘති ගණනාවක් දායාද කරනවා. (‘අහස්ගව්ව’ නිල ආරම්භය වුණත් ‘නිම්වලල්ල’, ‘හන්තානේ කතාව’ වගේ තවත් චිත්‍රපට කීපයක් ඒ ප්‍රවණතාවයේ ආසන්න උදාහරණ විදියට දක්වන්න පුළුවනි.)

 

‘සත්සමුදුර’ චිත්‍රපටයෙන් පස්සෙ වසන්ත ඔබේසේකරයන් ස්ථානගත වෙන්නෙත් සිංහල සිනමාවේ මෙන්න මේ කියන කලාපය ඇතුළෙ. ‘වල්මත් වූවෝ’ (1976), ‘පළඟැටියෝ’ (1979) වගේ චිත්‍රපටි යථාර්ථවාදී සිංහල සිනමාව ගැන කතා කරද්දි අමතක කරන්න බැරි සුවිශේෂී මං සලකුණු විදියට හැඳින්වීම අතිශයෝක්තියක් නෙමෙයි. විරැකියාවෙන් පෙළෙන ග්‍රාමීය තාරුණ්‍යය ගැන කතාබහ කරන ‘වල්මත් වූවෝ’ චිත්‍රපටිය ඇතුළෙ ප්‍රශ්න කරන්නෙ ඒ ජීවිත වල්මත් වෙන්න බලපාන ඇත්ත හේතුව ගැන. රස්සාවක් නොකර ගම පුරා ඇවිදින ජීවිත ගම අතහැර යාම, හිරේ යන්න සිද්ධවීම, අකල් මරණයන්ට ගොදුරු වීම සහ රා පොළවල් වල නතර වීම වගේ කාරණා හරහා පවතින ක්‍රමය විසින් තාරුණ්‍යයට ලියල දීල තියෙන ඉරණම ගැන ගැඹුරින් කතා කරන චිත්‍රපටියක් හැටියටයි ‘වල්මත් වූවෝ’ හැඳින්වෙන්නෙ. ගමේ ඉඳලා නගරයට සංක්‍රමණය වුණු තරුණ ජීවිත නගරය ඇතුළෙ නන්නත්තාර වෙන ආකාරය සහ සියළුම වටිනාකම් අහෝසි කරගන්න ආකාරය ගැන කතා කරන ‘පළඟැටියෝ’ චිත්‍රපටියත් සුවිශේෂී විචාරක අවධානයක් හිමි කරගන්න සමත් වුණු නිර්මාණයක්.

අධ්‍යක්ෂවරයෙක් හැටියට  1970 තිරගත වුණු ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටියෙන් බෞතීස්ම ලබන අපේ කථානායකයා එතන ඉඳලා 2007 අවුරුද්දෙ තිරගත වුණු ‘ආගන්තුකයා’ දක්වා තවත් චිත්‍රපටි 12 ක් අධ්‍යක්ෂණය කරනවා. ඒ හැම නිර්මාණයක්ම වෙන වෙනම අරගෙන කතාබහට ලක් කරන්න පුළුවන් කෘතීන්. ඒ වගේම ඒ නිර්මාණ අතරින් බහුතරයක් ආන්දෝලනාත්මක සත්‍ය කතා පදනම් වුණු චිත්‍රපටි. හැබැයි කිසිම මොහොතක තමන්ගෙ චිත්‍රපටියක් ප්‍රවෘත්ති වාර්තාවක් කරන්න ඔහුට ඕන වෙන්නෙ නැහැ. මාධ්‍යවේදියෙකුගෙ සහ කෙටිකතාකරුවෙකුගෙ සංකලනයෙන් වසන්ත ඔබේසේකර කියන සිනමාකරුවා බිහිවීම ඒකට හේතුවක් වෙන්න ඇති.

‘වෙස් ගත්තෝ’ (1970), ‘වල්මත් වූවෝ’ (1976), ‘දියමන්ති’ (1977), ‘පළඟැටියෝ’ (1979), ‘දඩයම’ (1983), ‘කැඩපතක ඡායා’ (1989), ‘මාරුතය’ (1995), ‘දොරකඩ මාරාව’ (1998), ‘තීර්ථ යාත්‍රා’ (1999), ‘සළෙළු වරම’ (2001), ‘අසනි වර්ෂා’ (2005), ‘සෙව්වන්දි’ (2006) හරහා ‘ආගන්තුකයා’ (2007) දක්වා ගලාගෙන ආව ඔහුගේ සිනමා භාවිතාවේ වැඩිපුරම මුණගැහෙන්නෙ මැදමාවතේ සිනමාවක ලක්ෂණ. කර්මාන්තයක් විදියට සිනමාව පැවතිය යුතු ආකාරය ගැන පැහැදිළි අදහසක් සහිතව නිර්මාණකරණයේ නිරත වුණු සිනමාකරුවෙක් විදියට ඔහු ව  හැඳින්වීමේ වරදක් නැහැ. ප්‍රේක්ෂකාගාරයේ මැස්සො ඇහිරෙන සම්භාව්‍ය සිනමාවකින්වත්, විසිල් ගගහා හූ කියන, කිසිම බරක් පතලක් නැති ජනප්‍රිය සිනමාවකින්වත් සිංහල සිනමාව සම්පූර්ණයෙන්ම ගොඩ දාන්න බැරි බව තේරුම් අරගෙන වැඩ කරපු අධ්‍යක්ෂකවරු කිහිප දෙනා අතරෙ වසන්ත ඔබේසේකර කියන නම සුවිශේෂී වෙන්නෙ ඒ නිසයි.

ඔබේසේකරයන්ගෙ ආඛ්‍යාන රටාවත් සිංහල සිනමාව ඇතුළෙ සුවිශේෂී එකක්. තවත් සරලව පැහැදිළි කළොත් ඔහුගෙ චිත්‍රපටියක් විඳින්න නම් ප්‍රේක්ෂකයට සිද්ධ වෙනවා මුල – මැද – අග පිළිවෙලට ගලාගෙන යන හුරු පුරුදු ආකෘතිය අමතකම කරල දාන්න. තැනින් තැනට පනිමින්, අතනින් මෙතනින් උලුප්පමින් කතාව කියන ඒ ආකෘතියට ඔහු තෝරගන්න කතා තේමාවත් එකතු වුණාම එතන මැවෙන්නෙ  Pulp Fiction පන්නයේ අමුතුම රහක්. සිනමා භාෂාව සහ ව්‍යාකරණ පරතෙරටම නොදන්න කෙනෙකුට ඒ තරම් මටසිලිටි ආකාරයෙන් තමන්ගෙ කෘතිය හසුරුවන්න පුළුවන් කමක් නැහැ. සිංහල සිනමාවෙ බිහිවුණු සුවිශේෂීම තිර රචකයො අතළොස්ස අතරෙ වගේම අධ්‍යක්ෂකවරු අතළොස්ස අතරෙත් වසන්ත ඔබේසේකරයන්ට ඉහළම තැනක් හිමි වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔහු සතුව තිබුණු ඒ සිනමා දැනුම. හැබැයි පුස්තකාලයක් තරම් පිරුණු පුද්ගලයෙක් වුණත් ඔහු කිසිම වෙලාවක තමන්ගෙ කිසිම කෘතියක් හරහා අනවශ්‍ය විදියට ඒ පාණ්ඩිත්‍යය එළියට දාන්න උත්සහ කරන්නෙ නැහැ. බාගෙට පිරුණු කලයක් වගේ සද්දබද්ද ඇහෙන්නෙ නැති, මොකක්දෝ පිරුණු බවක් ඔහුගේ කෘති ඇතුළෙ නිතරම රැඳෙන්නත් ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ ඒක.

සිනමාව ගැන හදාරන විද්‍යාර්ථීන්ට ඒ වගේ දැනුම් සම්භාරයකින් අංශු මාත්‍රයක් හරි කාන්දු කරවගන්න පුළුවන් විදියේ විධිමත් සිනමා අධ්‍යයන ක්‍රමවේදයක් තවමත් අපේ රටට නැති වීම බරපතල අඩුවක්. සිංහල සිනමාවේ වසන්තය දවසින් දවස ඉවර වෙමින් යද්දි නොස්ටැල්ජියානු හැඟීමකින් අතීතය දිහා බලාගෙන හූල්ලනවා වෙනුවට අනාගත සිනමාවේ අලුත් වසන්තයක් උදා කරගන්න ඕන නම් හැමෝටම තම තමන්ගෙ අහස් මාලිගාවලින් බිමට බැහැලා ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. ඒ වගේම ලෙස්ටර්, පතිරාජ, නිහාල්සිංහ, ඔබේසේකර වගේ අපේ සිනමාවෙ සුවිශේෂී පරිච්ඡේද නැවත නැවතත් ස්පර්ෂ කරන්න, හදාරන්න වෙනවා. එහෙම නොවුණොත් සිද්ධ වෙන එකම දේ, මහ ගස්  එකින් එක ඇදගෙන වැටෙද්දි ඒ තැන්වල දැවැන්ත හිස් තැන් ඉතුරු වීම විතරයි.


සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: