පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරලා අපි ආණ්ඩුවෙන් යනවා -ඇමති අරුන්දික ප්‍රනාන්දු

September 12, 2017 | 2:05 pm    0   390

පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරලා අපි ආණ්ඩුවෙන් යනවා -ඇමති අරුන්දික ප්‍රනාන්දු

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමඟ ඉරිදා ඇපල් පුවත්පත සංවාදයක යෙදුනේ මෙලෙසිනි.

මොකද්ද මේ වෙන්න යන්නේ ඇමතිතුමා?
කාලෙක ඉඳලා අපි පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ වෙනම කණ්ඩායමක් ලෙස මෛත්‍රිපාල ජනාධිපතිතුමා යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න වැඩ කටයුතු කරපු කණ්ඩායමක්. ඉන්පසු තමයි අපි ගම් ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. හැබැයි අපිට දවසින් දවස තේරුණ කාරණාවක් තමයි ජනාධිපතිතුමා හැරුණු කොට එජාපේ සමහර මැති ඇමැතිවරු කරපු විශාල දූෂණ සහ හොර මැරකම් සහ දේශපාලන යාන්ත්‍රණයේ අක්‍රියකම්. ඒ හැමදේම නිසා කළකිරුණු අපි කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් තනතුරුවලින් ඉවත් වෙන්න ඕනේ කියන තැනට ආවා.

එතකොට හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුවට මොකද්ද වෙන්නේ?
අපි දහයක් පහළොවක් එළියට යන එක තුළ ආණ්ඩුවට බලපෑමක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අය ඉන්නවා. හැබැයි ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුව ගිහිල්ලා තියෙන විනාසකාරී තත්ත්වෙත් එක්ක අපිට මේ ආණ්ඩුවේ තවදුරටත් ඉන්න බැහැ.

හදිස්සියෙම ජනාධිපතිතුමා සහ ආණ්ඩුවෙන් ඉවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පැවැත්වුණු හමුවේදි මොකද වුණේ?
ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෛ් මධ්‍යමකාරක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳෙව්වා. ඉන්පස්සේ ජනාධිපතිතුමා සහ ඔබ කියපු කණ්ඩායමේ සාකච්ඡාවක් සිදුවුණා. මධ්‍යමකාරක සභාවෙදිත් විශේෂයෙන්ම මම ප්‍රසිද්ධියේ කියපු කාරණාව තමයි. “මේ විදිහට යන්න බැහැ එළිපිට හොර මැරකම් වෙනවා.” කියලා. අපිට මේකේ කරන්න තියෙන්නේ වෙනස්කම් දෙකයි. එක්කෝ ආණ්ඩු හදන්න ඕනේ. එක්කෝ ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් විකල්පයක් දෙන්න ඕනේ. එසේ නැතිනම් තමයි අපි අනිත් පැත්තෙන් වාඩි වෙන්නෙ. ජනාධිපතිතුමා අපි කියපු කාරණා පිළිගත්තා. ඒ වගේම එහිදි ජනාධිපතිතුමාගේ සාධනීය ප්‍රතිචාර දැක්කා.

ජනාධිපතිතුමා සතුට ඒ පිළිබඳ තීන්දු තීරණ තියෙනවා ද?
ඔව්. ජනාධිපතිතුමා කිව්වා “මේ අය සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී අනිවාර්යෙන්ම තීරණයක් ගන්න වෙයි” කියලා. මේකෙදි මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉහලම අයගේ නම් කියවෙයි. මේ මාසේ පාර්ලිමේන්තුවෙ වෙන සිදුවීම් එක්ක අණපනත් සම්මත කිරීම් එක්ක ඉදිරි දින කිහිපය තුළදී යම්කිසි තීන්දුවකට එයි.

ඒ වුණාට මහින්ද අමරවීර ඇමතිතුමා කියන්නේ ඊට වඩා වෙනස් කතාවක් නේද?
මේ දේවල් ප්‍රසිද්ධියේ මධ්‍යමකාරක සභා රැස්වීමේදී කියපු දේවල් ජනාධිපතිතුමා කිව්වා “වෙන් වුණොත් ලොකු අවුලක් වෙනවා. ඒ නිසා එකතු වෙන්න” කියලා. මහින්ද අමරවීර කියපු ඡන්ද කතාවක් එතුමා කිව්වා “ඉස්සරහට පළාත් පාලන මැතිවරණ එනවා. ඒ නිසා බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරලා මැතිවරණෙට සූදානම් වෙන්න ඕනේ කියලා.”

මේ මොනවා වුණත් එක්සත් ජාතික පක්ෂයේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වෙන එක ඉක්මණින් කරන්න නේද?
රනිල් වික්‍රමසිංහයේ සැබෑ උවමනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කරලා ඊළඟ ඡන්දෙ දිනන එක. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය වගේ අයත් බලන් ඉන්නේ ඉදිරි කාලෙදි රනිල් වික්‍රමසිංහව මේ රටේ නායකයෝ කරන්න බලාගෙන. ඒ වුණාට අපි කියන්නේ මේ ජනාධිපතිතුමාව 2020 දී නැවත ජනාධිපති කරන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාර්ශවයත් එකතු කරගෙන දෙගොල්ලන්ගෙම කැමැත්තෙන් එකමුතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිත් කරන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ.

හිටපු ජනාධිපතිතුමාවයි වත්මන් ජනාධිපතිතුමාවයි එකතු කරන්න ඔබට කුමක් හෝ වැඩපිලිවෙලේ තියෙනවා ද?
හිටපු ජනාධිපතුමා එක්ක සාකච්ඡා කරන්න කියලා අපේ කණ්ඩායමට වත්මන් ජනාධිපතිතුමා අවස්ථාව ලබාදීලා තියෙනවා. අපිට වෙන්න ඕනෙත් මේ එකමුතුකමම තමයි. ඒ සාකච්ඡා ඉදිරියේදී පටන් ගන්නවා.

වරෙකත් ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එක් වෙන්න ආරාධනා ලැබුණට ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. ඔබතුමා හිතනවා ද මේ නායකයො එකමුතු කිරීමේ වැඩපිලිවෙල සාර්ථක වෙයි කියලා?
ඇත්තටම මෙතන විරසකයක් තියෙනවා. සමහරු හිතනවා පෞද්ගලික පලිගැනීමේ තියෙනවා කියලා. දෙපාර්ශවයේම ඒ විරසකය තියෙනවා. දෙගොල්ලොම අවංකවෙලා, පටු පරමාර්ථ අමතක කරලා මේදේට ඉදිරිපත් වුණොත් නායකයන් එකතු කිරීම කරන්න පුළුවන්. මේ එකට ආණ්ඩු කරපු එකට හිටපු කණ්ඩායම. එකතුවෙලා කතා කරලා විසඳුම් හොයන්න බැරිකමක් නැහැ.

එහෙම එකතු වුණොත් නේද එක්සත් ජාතික පක්ෂය පරද්දන්න පුළුවන්?
අනිවාර්යෙන් ඔව්. අපි අද එකතු වුණොත් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂෙට ඔළුව උස්සන්න හම්බෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දෙකම වෙලා දැන් තුන් කඩක් වෙන්න යනවා. කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති?
බණ්ඩාරනායක මහත්තයත් සියලුදෙනා එකතු කරගෙන තමයි ජයග්‍රහණය කරා ගියේ. බණ්ඩාරනායක මහත්තයටත් විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ දෙකම වු කණ්ඩායම් දෙක එක්කාසු කරන කණ්ඩායම තමයි අපි. ඒක තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය.
ඔබතුමන්ලාගේ කණ්ඩායම මාධ්‍යවලින් කලකිරුණු කණ්ඩායමක් විදිහට තමයි ප්‍රචාරය කරන්නේ. ඇත්තටම කලකිරිලා ද ඉන්නේ?
කලකිරිලා තියෙනවා ආණ්ඩුව ගැන. පක්ෂෙ ගැන නෙමෙයි.

ඔබතුමා හොර රහසේ මහින්ද මහත්තයාවත් හමුවෙන්න ගියා කියලත් පහුගිය කාලේ ආරංචියක් තිබ්බා?
හොර රහසේ හැමදාමත් හම්බෙනවා. අද උදෙත් හම්බුණා. අපිට එහෙම හොර රහසේ හම්බෙන්න ඕනේ නැහැ. එයා අපේ පක්ෂේ හිටපු නායකයා. ඒ වගේම එජාපෙන් යන්න බලාගෙන ඉන්න පසුපෙල මන්ත්‍රීරුවන් එක්කත් හොර රහසේ නෙමෙයි අපි එළිපිට සාකච්ඡා කරනවා.

මෙහෙම ගියොත් අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම ඔබේ කණ්ඩායමට නැති වේවි ද?
ඔව් ඉත්න එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා නම් අපි හිතනවා ඒක මේ රටේ අවාසනාවක් කියලා. අපි තනතුරුත් දාලා යන්න හදන්නේ මේ රටේ පොදු මහජනයා වෙනුවෙන් යම්කිසි භූමිකාවක් කරන්න සහ අපේ පක්ෂය නැවත බලයට ගේන්න.

ඇත්තටම ඇමතිතුමා දැන් යන්න ද හදන්නේ?
අන්තිමට යන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපි යනවා. මේ වාසේ විසි ගණන්වල අපි ආණ්ඩුවෙන් යනවා. මේක නතර කරන්න දැන්නම් කාටවත් බැහැ. ඔබතුමන්ලාගේ පාර්ශ්වයට ජනතාව චෝදනා කරොත් දැන් ද යන්න මතක් වුණේ කියලා?
ඕනම දෙයක් විසඳගන්න උත්සාහ කිරීම් කරනවා. මේ ආණ්ඩු දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හැදුනු අවස්ථාවේ ඒක පටන් ගද්දිම ඒක කඩාකප්පල් නොකර අපි රැඳෙන්න උත්සහ කළා. ඒ දැන් වෙන දේවල් එක්ක ඒ උත්සාහය අත් හරින්න සිද්ධ වෙලා තියෙනවා.

ඔබේ කණ්ඩායමට පරිභාරිව ශ්‍රීලනිපේ අනිත් මන්ත්‍රීවරු මේ ගැන මොකද හිතන්නේ?
ශ්‍රීලනිපේ මන්ත්‍රීවරු හුඟදෙනෙක් ඉන්නේ මේ කලකිරීමත් එක්ක තමයි. විවිධ අයට විවිධ ප්‍රශ්න. ඇත්තටම මේ ඇමතිකමත් දාලා යනවයි කියන්නේ අපිටත් ලොකු ප්‍රශ්නයක්. සමහර මන්ත්‍රීවරු ඉන්නවා අපි වගේ එකපාරම තීන්දු නොගෙන ඉන්න. ඒ අයත් ඉදිරිකාලේදී ඒ තීන්දු ගනීවි.

මොනා වුණත් පරාද වෙලා ඇමතිකම් ගත්ත ශ්‍රීලනිපේ මන්ත්‍රීවරුන්ට ඊළඟ මැතිවරණෙදි මොනා වෙයි ද?
පරාද වෙලා ඇමතිකම් ගත්තේ ජාතික ලැයිස්තුවෙන් ආපු අය. ඒ අය දැන්වත් තේරුම් ගත්තොත් ජනතා හදගැස්ම, පක්ෂේ තිබිය යුතු තැන, එයාලට කොතැන ද වැරදුණේ කියලා නැවත වතාවක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. මොකද ඒ හැම නායකයෙක්ම දැවැන්ත ජනතා බලයත් තිබුණු අය. දැන් පැරදුණාට.

බොරුකාරයෝ වංචාකරායෝ ඉන්නවා කියලා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යන ඔබතුමාට රටේ මහජන මුදල් භාවිතා කරපු අධිකරණ වරෙන්තුකරවෙක් සමඟ සතුටු සාමිචියේ යෙදිලා අධිකරණයට අපක්ෂපාතී වුණා කියලා චෝදනාවක් තිබුණා?
ඒ තමයි අපේ රුසියාවේ හිටපු තානාපතිතුමා. මට එයාව හම්බෙන්නේ අහම්බෙන්. හැබැයි හම්බෙද්දි මම දන්නේ නෑ වරෙන්තු කරලා තිබුණා කියලා. ඒත් වරෙන්තු කරලා තියෙනවා නම් එයාට එහෙම පිටරට යන්න බැහැ.

තමන්ගේ ආසනේ පුරා භීෂණය, චණ්ඩිකම් පතුරපු දේශපාලකයෙක් විදිහට ඔබට සමහරු චෝදනා කරනවා නේද?
එහෙම එකක් නෑ. මට එකම හමුවක්වත් නැහැ. කවදාවත් දේශපාලනික වශයෙන් චණ්ඩිකම් කළා කියලා, ගහලා, මිනීමරලා අපිට නඩු නැහැ.

දේශපාලන චණ්ඩීන් සහ බොරුකාරයෝ මේ කාලේ ප්‍රතික්ෂේප වෙමින් යනවා නේද?
අද වෙනකොට ඉස්සරට වැඩිය සමාජේ එන්න එන්න දියුණු වෙනවා. බලය කියන කාරණාව ජනතාවගේ සුබසිද්ධියටත් පාවිච්චි කරන්න පුළුවන්. චණ්ඩිකං කරලා අහිංසක මිනිසුන්ව අසරණ කරනවා නම් වැරදියි. අපි ඒ දේවල් කරලා නැහැ. ඒ බලය අපි භාවිතා කළේ ජනතා සුබසිද්ධිය සඳහා. දැන් ඉන්න ජනතාව හරි බුද්ධිමත්. එයාලා අවසානයේ තීන්දු කරයි හරි කවුද වැරදි කවුද කියලා.

පසුගිය කාලේ මහත් ආන්දෝනලයකට ලක්වුණු දෙයක් තමයි අතුරුදහන් වුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශෙදි දැක්කා කියන කතාව. ඒක පට්ටපල් බොරුවක් නේද?
එක බොරුවක් කියන්න කරුණු ඔප්පු වෙලා නැහැ. හමුදා නිලධාරින් ගෙන ප්‍රශ්න කළා. ඒත් අද වෙනකං කිසිම සාක්ෂියක් ඔප්පු කරගන්න බැරිවුණා. අත්අඩංගුවට ගත්ත හමුදා නිලධාරින්ට ඇපත් දුන්නා. මට තවත් මගේ මිතුරෙක් තමයි එයාව පෙන්නුව‍ෙ. මට පෞද්ගලිකව එක්නැලිගෛාත් එක්ක කෝන්තරයක් නැහැ. මේකෙදි එයාලේ පවුලට කරන සාධාරණය තමයි එක්නැලිගොඩව සොයාදීම. ඒකෙන් අගතියට පත්වුණු හමුදා නිලධාරීන්ගේ පාර්ශ්වයෙනුත් ඒක ඔවුන්ට කරන සාධාරණයක්. ඔයිටත් වඩා රහස් කතා තියෙනවා. ඒත් ඒවා අපි කියන්න් නැහැ.

අවසාන වශයෙන් 2020දි කාගේ ආණ්ඩුවක් එයිද?
2020දි අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රීලනිපේ සමගි කරගෙන නැවත අපේ ආණ්ඩුවක් ගේන්න. අපේ ප්‍රාර්ථනාව ඒක. ජනතාවට දැන් ඇත්ත තේරෙන්න පටන් අරන්.

සංවාදය – නිර්මාණි බණ්ඩාරනායක
ඡායාරූප – හෂාන් අනුරාධ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: