පච්ච කෙටීම සහ ශරීරය හිල් කිරීම

March 29, 2017 | 3:00 pm    0   438

පච්ච කෙටීම සහ ශරීරය හිල් කිරීම

20 වැනි සියවස මැද භාගයේදී ලංකාවේ පච්ච (tattoos) කොටන ලද්දේ ලියාපදිංචි කරන ලද අපරාධකරුවන්ය (IRC). ‘පච්ච’ එකල සළකන ලද්දේ පහළ පන්තියේ සංකේතයක් ලෙසිනි. නමුත් අද අප මේ ජීවත් වන 21 වැනි සියවසේ දෙවැනි දශකය වනවිට පච්ච කොටන්නේ මැද පන්තියයි. සමකාලීන ගෝලීය යතාර්ථය තුළ යම්කිසි සමාජ පන්තියක ආර්ථික සුචිය පිළිබඳ විවාද පැවතිය හැක. නමුත් පච්ච කොටන බහුතර දෙනා අපට හමු වන්නේ කර්මාන්තශාලා හෝ යුධ හමුදාව තුළින් නොව Colombo Hilton, ODEL, ක්‍රෙස් කැට් වැනි සුපිරි පන්තියේ සාප්පු සහ තරුපහේ හෝටල් තුළය.

මධ්‍යම පන්තිය සමකාලීන සමාජ යතාර්ථය තුළ පච්ච කොටන්නේ ඇයි? එයට ස්ත්‍රී-පුරුෂ භේදයක් නැත. සමලිංගික, විෂමලිංගික භේදයක් නැත. තරුණ/ මහලු භේදයක් නැත. පච්ච කොටන බොහෝ දෙනෙක් ඉංගී්‍රසි භාෂාව කතා කරයි. මීට අමතරව මෙකල බොහෝ දෙනෙක් ඉංගී්‍රසී භාෂාව කතා කරයි. මීට අමතරව මෙකල බොහෝ මැද පන්තිකයන් ශරීරය හිල් කර එම හිල තුළ විවිධ ලෝහ එල්ලා ගනියි. එයට piercing යනුවෙන් හැඳින්වීමක් කර ඇත. එම ක්‍රියාවට සිංහල වචනයක් ද නැත. පච්ච කෙටීම සහ piercing යනු ශරීරයට වේදනාව එන්නත් කිරීමකි. ගැටළුව වන්නේ බාහිර ආධිපත්‍යයන්ට සාකල්‍යයෙන් විරුද්ධ වන ලිබරල් සිතුම් පැතුම් සහිත මැදපන්තිකයන් තම ශරීරවලට මුදල් ගෙවා වේදනාව එන්නත් කර ගන්නේ මන්ද යන කාරණයයි. පච්ච කෙටීම සහ ශරීරය හිල් කර කරාබු සහ අවි ආයුධ එල්ලා ගැනීම ගැන මනෝවිශ්ලේෂකයාට කියන්නට ඇත්තේ කුමක්ද?

පළමුවෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ පච්ච යනු විලාසිතාවක්ද යන්නය. 70 දශකයේ ලංකාවේද බෝවී ගිය බෙල්බොටම් නම් කලිසම ඒ යුගයේ විලාසිතාව විය. නමුත් ඇඳුමක් යනු ශරීරය මත ලිවීමක් නොවේ. විලාසිතාවට හිමි යුගය අවසන් වී අලුත් විලාසිතාවක් ආදේශ වූ විට අපට කරන්නට තිබෙන්නේ පරණ විලාසිතාව විසි කිරීම පමණි. නමුත් ‘පච්ච’ යනු ස්ථීර දෙයකි. එය ඇඳ ඇත්තේ ශරීරය මතය. එය විලාසිතාවක් නම් යුගය අවසන් වූ පසු එය මකා දැමීමට අපට සිදු වෙයි. නමුත් එය බොහෝ විට  කළ නොහැක්කකි. එනිසා පච්ච යනු හුදු විලාසිතාවක් නොවේ. එය සමාජීය අවශ්‍යතාවයකි. පච්ච කොටන්නාගේ පැත්තෙන් එය කලාවක් (Art) වුවත් පච්චය අඳින ශරීරය පැත්තෙන් එය හැඟෙවුම්කාරකයකි. එය නමකි(Name). බොහෝදෙනෙකුට හිමි ‘නම’ අපට පැමිණෙන සංකේතය පියාගෙනි. මිනිසා යනු සතෙක් නොවේ. අපට ඉපදීමට සිදු වී ඇත්තේ සොබාදහමට නොව සංකේත ලෝකයකටය. හඬා, ‍ෙදාඬා, පලි ගසා අපි කෙසේ හෝ මේ පවතින සංකේත ලෝකයට අනුවර්තනය වෙන්නෙමු. එනිසා මේ සංකේත ලෝකය තුළ ජීවත්වීම වෙනුවට සංකේත සමඟ ගණුදෙනු කරමින් ජීවත්වීමට සිදුවීම අපගේ කැමැත්තට අනුව සිදු වී නැත. උදාහරණයක් ලෙස අප දුප්පත් පවුලක ඉපදීම වරණයකි. එය වාරණයකි. තෝරා ගැනීමකි. මේ නිසා මේ සංකේත ලෝකය ගැන අපට ඇත්තේ අවුලකි.

එසේ නම් සමකාලීන ගෝලීයකරණ සමාජය තුළ මැද පන්තියේ පච්ච කොටන්නේ ඇයි? එමඟින් අප බලාපොරොත්තු වන අභිප්‍රාය කුමක්ද? මේ සඳහා කාටත් පිළිගත හැකි තාර්කික හේතු දෙකක් ඉදිරියේ කළ හැක.

ආගම හෝ රොමැන්තික ආලයට අප මේ ජීවත්වන යුගයේ දී මිනිසාට ස්ථීරසාර පැවැත්මක් ලබා දිය නොහැක. මිනිසාට අසිහියකින් තොරව ජීවත් වීමට අවශ්‍ය නම් ස්ථීර වූ ‘දෙයක්’ මේ අස්ථීර සහ චලනය වන ලෝකය තුළ හමු විය යුතුය. පච්චය විසින් අපට මෙම අවශ්‍යතාවය ඉතා සරලව ඉටු කරයි.

පච්චය ශරීරය මත කොටා ඇති සංඥාවක් නිසා අපගේ නමට වඩා එය සමාජ අවකාශය තුළ අපගේ අනන්‍යතාවය තහවුරු කරයි. පච්චය යනු නමකි. මෙම නම අපට පියා දුන් පෙලපත් නාමයට වඩා සමාජ අවකාශය තුළ අචලය. සමාජය අපට දෙන නමට වඩා (ක්‍රීඩකයා, බුද්ධිමතා, කලාකරුවා, ගුරුවරයා, පූජකයා, දේශපාලකයා…) මෙම පච්චය වෙනසකට භාජනය නොවී ස්ථීරව පවතියි.

අප මේ ජීවත්වන පාරිභෝගික භාණ්ඩ ඉතිරී ගිය යුගයක සියල්ල අධික ප්‍රවේශයකින් චල්‍යකාරී වෙයි. මේ නිසා මිනිසාට තම අනන්‍යතාවය පවා විශ්මිත ලෙස අස්ථාවර වෙයි. එබැවින් ඔහුට/ ඇයට ස්ථීරසාර විසඳුමක් අවශ්‍යය. පච්චය විසින් අපව මෙම අවිනිශ්චිත භාවයෙන් ගලවා ගනියි. අද අප ජීවත් වන්නේ තහංචිය අහිමි ලොවකය. එහි කණපිට අර්ථය වන්නේ සියල්ලට ඉඩ දී ඇත යන්නය. එවිට සිදු වන්නේ සීමාවකින් තොරව ‘විනෝදය’ හැර අපට වෙන කිසිවක් හමු නොවීමයි.

මිනිසුන් සමකාලීන යුගයේදී තම තමන්ගේ ශරීර හිල් කර ගන්නේ (කණ, තොල්, ක්ලිමෝරිසය) ඇයි? අප මේ ජීවත් වන යුගයේ ඊළඟ ලක්‍ෂණය වන්නේ බාහිරින් කඩා වදින ‘සැබෑව’ (සුනාමිය, අධික වර්ෂාව, නායයාම්, ටොර්නාඩෝ, සැබෑ ලෙස ආදරයේදී සහ ලිංගිකත්වයේදී හමු වන අනෙකා) දියාරු වී යාමයි. විද්‍යාව සහ තාක්‍ෂණයේ දියුණුව නිසා බාහිරින් මිනිසාගේ සංකේත ලෝකයට කඩා වැදී එය කඩා බිඳ දමන ‘සැබෑව’ එන්න එන්නම තනුක වෙමින් පවතියි. මේ හේතුව නිසා මෙම සැබෑව මිනිසාට සංකේතනය තුළින්ම සොයා ගැනීමට සිදු වී ඇත. ඒ අනුව නහය හෝ කණ විදීමෙන් ලබන වේදනාව අර්ථ දැක්විය හැක්කේ කෙසේද? අද දවසේ අපට විශ්වාසදායක ලෙස ලිංගික සබ¼දතා පවත්වන්නට අනෙකෙකු නැත. එබැවින් ඒ සඳහා අපට තෝරා ගැනීමට සිදු වී ඇත්තේ රත්තරන් හෝ රිදී හෝ ප්ලැටිනම් නම් ලෝහමය වර්ගය. අස්ථීර මිනිස් අනෙකා වෙනුවට ස්ථීර මල නොකන ලෝහමය අනෙකෙක් ආදේශ වී ඇත. මේ හේතුව නිසා අප නැවතත් ආදිතම සමාජ ව්‍යුහ නැවත වැළඳ ගනිමිනි සිටිති.

සමකාලීන මිනිසාට නැවත පූජනීයත්වයක් අවශ්‍ය වී ඇත. වෙනස් නොවන ස්ථීර ආත්ම අභ්‍යන්තරයක් අවශ්‍ය වී ඇත. මෙවැන්නක් ගවේෂණය කරන විට නිරායාසයෙන් අපව යොමු වන්නේ ‘නව ආදිතම සමාජයක්’ (Neo- Primitive)කරාය. Face book වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුළ රාගීභූත වන්නේ නව සමාජ සම්බන්ධයක් නොව පුරාණ ගෝත්‍රීක සමාජ සබඳතාවන්ය. Face book හරහා සති අන්තය තුළ එකතු වන නන්නාඳුනන පිරිස් මෝටර් සයිකල්වලින් යළි සොබාදහම නෛජක්‍රමණය කිරීම සුදු මිනිසාගේ අප්‍රිකාව කරා යළි ගමන් කිරිම සිහිපත් කරයි. ජාතික අර්බුදයකදී විහාරමහාදේවිය මෙන් ඔවුහු මුහුදට පැන සමාජය ව්‍යසනයකින් ගලවා ගනියි.
දීප්ති කුමාර ගුණරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: