පච්ච කෙටූ තරුණයින් මහණ කරවන කවුද මේ තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවෝ..

October 30, 2017 | 12:03 pm    0   652

පච්ච කෙටූ  තරුණයින් මහණ කරවන කවුද මේ තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවෝ..

හුස්මක් ගන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හිනාවෙනවා. හිනාවෙන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හඬා වැටෙනවා. මොකද්ද මේ ජීවිතේ? අපි, අපෙන්ම ප්‍රශ්න කරගන්නවා. කනවා, බොනවා, අඳිනවා, පලඳිනවා. මේ හැමදේම කරනවා. ඒ මොනවා කළත්, කුමක්දෝ අඩුවකින් ආයෙමත් හදවත මොනවද ඉල්ලනවා. ඒ ඉල්ලන දේ අපි හැම තැනම හොයනවා. අහසෙ, පොළොවෙ, හිස් අවකාශේ, ගෙදර ‍ෙදාරේ, මග තොටේ, මේ හැම තැනම හොයනවා. හිත හොයන්නේ භෞතිකයක් ද? පාරභෞතිකයක් ද? හිත නැවත, නැවත ප්‍රශ්න කරනවා. අපිට එක දෙයක් වැටහෙනවා. ඒ කොහේ හරි තැනක වැරදිලා තියෙන වග. ඔව්. අපිට කොහේ හරි වැරදිලා තියෙනවා.

වර්තමානයේ මේ මොහොතෙ වනවිට වැඩිපුරම අවධානයට ලක්වෙන පිරිසෙන් වැඩිමනක් නියෝජනය වෙන්නේ තාරුණ්‍යය. යහපත්, අයහපත් කියන දෙපැත්තකටම සමාජය ඇතුළේ සිද්ධවෙන නොයෙක් නොයෙක් කතාබහට විවිධ මාතෘකා සපයන පිරිස බවට තාරුණ්‍යයට ලොකු ඉඩකඩක් ලැබිලා තියෙනවා.

පසුගිය දවසකත් එවැනිම සිදුවීමක් හා සම්බන්ධ පුවතකින් සමාජ මාධ්‍යය ඇතුළතත්, ඉන් පරිබාහිර සමාජයේත් සංවාදයක් ගොඩනැගුණා. මාදම්පේ කාතියාන නමින් මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පැවදි දිවියට එළඹුණු තරුණයෙක් හා සම්බන්ධ ඒ පුවත, ඉරිදා ඇපල් අපිටත් විශේෂ වුණා. ඉරිදා ඇපල් තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්නට හරවත් වටිනාකම් සොයා යනවා. ඒ වෙනත් කිසියම් හෝ ලාබ අපේක්ෂාවක් පෙරදැරිව නම් නොවෙයි. හෙට දවසේ ජාතියේ කොඳු නාරටිය වන්නේ, තාරුණ්‍යයේ පිබිදීමයි.

එවැනි පසුබිමක, මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානය සොයා ගොස් ඉරිදා ඇපල් සිදු කළ විශේෂ මාධ්‍ය ආවරණය, සමාජයටත්, තාරුණ්‍යයටත් හෙට දවසේදී අර්ථ සම්පන්න සංවාදයකට ප්‍රස්තුතය ලබාදීමක් වනු ඇති.

අවස්ථා කිහිපයක උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට, මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේව දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ සංවාදයේ අවසරයෙන්, අපේ ගමනාන්තය යෙදුණේ මෙත් බෝ සෙවණ මධ්‍යස්ථානයටයි.
ගාල්ල නගරයෙන් තරමක දුරක් ඇතුළට ගමන්කොට, ඉමදූව මාර්ගය ඔස්සේ පැයක පමණ ගමන් කාලයකින් පසුව අපි ගමනාන්තයට ළඟා වුණා. බැලූ බැල්මට ආරණ්‍ය සේනාසනයක සලකුණක් නම් පෙනෙන්නට තිබුණේ නෑ. තවමත් ඉදිකිරීම්, කටයුතු සිදුවෙමින් පවතින කාර්යය බහුල වටපිටාවකුයි අපට මුණගැසුණේ. ඒ අතරතුර ඇස ගැටෙන්නේ සාමාන්‍යයෙන් වෙනයම් ආරණ්‍යයකින් හෝ අසපුවකින් හෝ සාමාන්‍යයෙන් දකින දර්ශන නම් නොවෙයි.

මෙහි ස්වාමින්වහන්සේලා ශ්‍රමය කැප කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා උනන්දු වන ආකාරය පුදුම සහගතයි. භික්ෂු, භික්ෂූණී දෙපිරිසම ඒ කාර්යයන්වලදී අනලස්ව යෙදී සිටීම, ඉතාම විරල දර්ශනයක්.
“මම ගල්වැටියක් බඳින ගමන් හිටියේ, සුදුසු තැනක් බලලා වාඩිවෙන්න. මම අත්, පා සෝදාගෙන එන්නම්.”

සෘජු, පැහැදිලි හඬකින් සිදුකෙරුණ ඒ ආමන්ත්‍රණය, ඒ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේ බව අපට ප්‍රත්‍යක්ෂ කරවන්නට වුණා.

උන්වහන්සේ බොහෝම සාමාන්‍ය ස්වාමීන්වහන්සේ නමක්. ඒ සාමාන්‍ය බව උන්වහන්සේ අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තක් මිසක ආභරණයක් කරගත් අයෙකු නොවෙයි.

අවස්ථා කිහිපයකදීම උන්වහන්සේව නාසා ආයතනයට පවා වැඩමවාගෙන යන්නේ, උන්වහන්සේගේ බෞද්ධ දර්ශනය පිරිසිදු, නිර්මල බුද්ධ දර්ශනයම බව ඔවුන්ට පසක් වූ නිසා විය යුතුයි.

අන්තර්ජාතින වශයෙන්, ශ්‍රී ලාංකිකයන් හටත්, විදේශිකයන් හටත් ආනන්දසිරි ස්වාමින්වහන්සේ යනු මහාර්ඝ සම්පතක්. ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා මේ වනවිට භාෂා ගණනාවකටම පරිවර්තිතයි. ඒ උන්වහන්සේගේ අවශ්‍යතාවයකට නොව උන්වහන්සේ සොයා එන විවිධ ආගමිකයන්ගේ, විවිධ ජාතීන්ගේ අවශ්‍යතාවයෙන් බව අන්තර්ජාලය ඔස්සේ ඔබටත් පිරික්සා බලන්නට පුළුවන්.

“හොඳයි, ඉතිං මොනවද මගෙන් දැනගන්ට උවමනා” තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේ අප අභිමුඛයෙන් අසුන්ගන්නේ මුලදී දුටු සාමානන්‍ය පිළිවෙලහි අංශූමාත්‍රයක හෝ වෙනසක් නැතුවයි.
“හාමුදුරුවනේ මේ තමයි අපේ පත්තරේ.”

“ආ.. ඉරිදා ඇපල්. හොඳ නමක්, වෙනස් නමක්.”උන්වහන්සේ එහෙම කියන ගමන් මදහසක් පෑවා.

“අපි උනන්දුවෙන් ආවේ මෙත් ‘බෝ සෙවණ’ පිළිබඳව තොරතුරු දැනගන්න වාගේම පසුගිය දවසක අන්තර්ජාලයෙන් ප්‍රචාරණය වෙලා තිබුණු මාදම්පේ කාතියාන ස්වාමින්වහන්සේවත් මුණ ගැහෙන්නයි.”
“මෙත් බෝ සෙවණ ආරම්භය නම් ටිකක් දිග කතාවක්.

මගේ අම්මා රට හිටියේ, අපිව බලාගත්තේ ආච්චි, ඒ නිසා අනිත් අයට නැති නිදහසක් මට ලැබුණා. මම A/L Maths වලින් කළේ. University යන්න ලකුණු තිබුණා. ඒත් ගියේ නෑ, නාවල තියෙන Royal Ceramic එකේ Job එකට ගියා.

ඒ කාලේ Club යනවා, Cassino යනවා, Hikka Dance…. ඒ ඔක්කොටම ගියා. සල්ලිවලින් කිසි අඩුවක් තිබුණෙත් නෑ. ඒ ගිහිං Drugsවලට පුරුදු වුණා. එහෙම ටික කාලයක් යනකොට Life එක සාමාන්‍ය විදිහට ගත කරන්න අමාරු වුණා. ඒකෙන් ගොඩ යන්නේ කොහොමද කියලා ක්‍රමයක් හොය හොය ඉන්නකොට, Medical Facultyයේ හිටපු මගේ යාළුවෙක් එක්ක දවසක් දෙහිවල Book Shop එකකට යනවා. එතැනදී රේණුකානේ හාමුදුරුවන්ගේ පොතක් හම්බ වෙනවා. මට ඒ පොත අරගෙන කියවන්න හිතුණා. ඒක කියවනකොට හිතුණා මේකෙන් ජීවිතේ වෙනම පැත්තක් ගැන කියනවා නේද කියලා.

ජීවිතයේ වෙනම පැත්තක් මතු කරලා දුන්නා. පස්සේ විවිධ තැන් හොය හොය ගියා. ආරණ්‍යවලට ගියා. සිරීපාදේ ගියා. එතකොට මට වයස අවුරුදු 19යි. එහෙමෙ ටික කාලයක් යනකොට මනස යථා තත්ත්වයට ආව. ඒ අතරේ ගොඩක් බෞද්ධ පොත් කියෙව්වා. ඒ වයස වෙනකොට මං සාමාන්‍ය මනුස්සයෙක් විඳින්න පුළුවන්. හැමදේම විඳලා තිබුණේ. ඒ Life එක ඇතුළේ මම අසීමාන්තිකව Enjoy කළා. ඉතින් ඒ Life එක ගැන මං හැම දෙයක්ම දන්නවනේ, ඉතිං මේකට වඩා දැන් මේ මුණගැහුණ අවස්ථාව වටින බව තේරුණා. ඒ කාලෙදි වැටහිච්ච දෙයක් තමයි කොච්චර දේවල් කළත් අවසානේ ඒක අපට එපා වෙනවා. ඉතිං ඊට වඩා මොකක් හරි වෙනස් දෙයක් මේ ලොකේ නැද්ද කියලා හිතුණා. නැවත වතාවක් අර කලින් Life එකට ඇතුළු වෙනවා කියන්නේ, ආයෙත් ආයෙත් මේ එපාවීම් මේ විදිහටම තමයි කියලා හිතුණා. ආන්න ඒකත් එක්ක තමයි මහණ වෙන්න මට හිතුණේ.

එහෙම හිතලා මම මුලින්ම අසපුවකට ගියා. එතැන ටික කාලයක් ඉන්නකොට තේරුම් ගියා මම හොයන දේ එතැන තිබුණත්, සීමා පනවලා හිරකරලා තියෙන බව. පස්සේ එතැනින් සිංහරාජ කැලේ ආරණ්‍යයකට ගියා. එතැනදී මහණ වුණා. ඒත් මම හොයන දේ නැති බව තේරුණා. පස්සේ සිවුරු හැරියා. වෙන ආරණ්‍යයකට ගියා ආයෙත් මහණ වුණා. ඒත් ඒ නායක හාමුදුරුවන්ට බයක් තිබුණා එහේ අයිතිය මට ලැබෙයිද කියලා. මම ආවේ ඒවා හොයන්න නෙවෙයිනේ. ඉතින් මම ඒ බව පහදලා කියලා එතැනිනුත් සිවුරු හැරලා ගිහි වුණා. පස්සේ මම ත්‍රීකුණාමලේ ගිරිහඬු සෑයේ මහණ වුණා.

ඒ යුද්ධේ කාලෙ. යුද්ධේ ඉවර වුණාට පස්සේ ඒ පන්සල සම්පූර්ණයෙන්ම ගොඩනැගුවා. ඒ ඉන්න කාලේ මම අභිධර්මය, පට්ඨානය, ධම්මපදය, සෙන්කතා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරනවා. ථේරවාදය, මහායාන, තන්ත්‍ර, යෝගසම්, සෙන් බුදු දහම ගැන මම ඒ රට රටවල්වලට ගිහින් අධ්‍යයනය කළා. ක්‍රමයෙන් මම හොයන් ආව සත්‍යය මම සොයාගන්නවා. ඒ කාලේ යුද්ධේන් පීඩාවට පත් වුණු ජනතාවට ජාති ආගම් භේදයක් නැතුව මම පිහිට වුණා. ධර්මයෙන් පිහිට වුණා. විවිධ දේශපාලන බල අධිකාරීන් ඇවිල්ලා එහේ වනාන්තර විනාශ කරද්දි මම ඒවට විරුද්ධව කතා කළා. ඒ නිසා සමහර තැන්වලදී ඔවුන් මාව රිමාන්ඩ් කළා. මට මරණ තර්ජන එල්ල කළා. එහෙම වෙද්දි මගෙන් ධර්මය අහන පිරිස ඉල්ලීම් කරනවා මෙහෙන් ඉවත් වෙලා ගිහින් ජීවිතය රැකගන්න කියලා. අන්න ඒ වගේ වෙලාවක තමයි හිතුවේ ගමට එන්න ඕනේ කියලා. මෙතැන ගොඩනැගෙන්නේ එහෙම තමයි.

අවුරුදු 4 1/2ක් වගේ කාලයක් වෙනවා, දැන් මෙතනට ඇවිල්ලා. මම ලංකාවේ නිකාය තුනේම මහණ වෙලා තියෙනවා. ඒ නිකාය තුනෙන්ම මම ඉවත් වුණා. අපි ගෙනියන මතය පිළිගන්න ඒ නිකාය තුළදී හැකියාවක් නෑ. මතය කිව්වට මේක දෘෂ්ටිවාදයක් එක්ක පටලවාගෙන නෙමෙයි කියන්නේ. නිවැරදි දර්ශනය නිවැරදිව කියනවා. කාලෝචිතව පහදලා දෙනවා.”

“හාමුදුරුවනේ මෙතැන පැවිදි වෙලා ඉන්න බහුතරයක් ස්වාමින්වහන්සේලාගේ ඇඟේ පච්ච කොටලා. එහෙම අය ශාසනයට පැවිදිකරගන්න අවසර තියෙනවද?”

“පච්ච තියෙන අය මහණ කරන්න එපා කියලා බුදු හාමුදුරුවෝ කියලා නෑ. විනය පිටකයේ තියෙනවා ඒ කාලේ බුදුහාමුරුවන්ට ප්‍රතිකාර කරන්න ජීවක වගේ Special වෛද්‍යවරු එනවා. ඒ අය ධර්මයට ලැදිව ඒ වෙනුවෙන් ඒ දේ කරන්නේ. ඉතිං නොයෙක් රෝගාබාධ තියෙන අය බැලුවා මෙතැන මහණ වුණොත් නම් ජීවකගෙන් බෙහෙත් කරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා එහෙම මහණ වුණා. ආන්න එතැනදි බුදු හාමුදුරුවන්ට නීතියක් දාන්න සිද්ධ වෙනවා රෝගාබාධ තියෙන අයට පැවිදි වෙන්න දෙන්න එපා කියලා. තවත් තැනකදී අත පය නැති, කන්න බොන්න නැති අය හිතුවා මෙතැන මහණ වුණොත් නම් සත්කාර සංග්‍රහ ලබාගන්න පුළුවන් කියලා. එහෙම හිතලා පැවිදි වෙන්න ආවා. එතැනදිත් බුදු හාමුදුරුවන්ට නීතියක් පනවන්න සිද්ධ වුණා ශරීරයේ කොටස් අහිමි, අංග නැති අය පැවිදි කරවන්නෙ නෑ කියලා. මොකද ඒ අය පැවිදි වෙන්නේ ධර්මය සොයා යන්න, සත්‍යය සොයා යන්න නෙමෙයි.

හැබැයි පච්ච කියන්නේ වර්තමාන ලෝකයේ කලාවක්. ඉස්සර කාලේ Tattoo එක ගැහුවේ සිරගත කරපු අයව හඳුනාගන්න තමයි. හැබැයි අද Tattoo කියන්නේ කලාවක්. ඉතිං ඒ කලාවක් එක්ක හිටපු කෙනෙක් මහණ කරගන්න බැරි කමක් නෑ.

ඉතිං අපි කවදාවත් මීට 2500ට එහා තිබ්බ History එකේ ජීවත් වෙන්නේ නෑ. මේ 2017, 21 වැනි ශතවර්ෂය. අපි පරණ නෑ.”

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේ බොහොම නිරවුල් මනසකින් ඒ පැහැදිලි කිරීම සිදු කරනවා.
හාමුදුරුවනේ අපිට මාදම්පේ කාතියාන හාමුදුරුවොත් එක්ක කාත බහ කරන්න අවසරද?”
“ඔව්, කිසි ප්‍රශ්නයක් නෑ.” උන්වහන්සේ ඒ අවස්ථාවේම තවත් තරුණ භික්ෂුවක් අත, කාතියාන ශික්ෂුවට පැමිණෙන්නට පණිවිඩය යවනවා.”

“අපි නූතනයේ හිතුවට, ශාසනික සම්ප්‍රදායට ගරු කරනවා. එක උදාහරණයක් කියන්නම්. මඩොල් දූව පොත කියවලා ඇතිනේ. ඒගොල්ලෝ මයියොක්කා එහෙම වවලා ඒවා අරන් හංගන්කන්දේ පොළට ගෙනිහිල්ලා බඩු හුවමාරු කරගන්නවා. ඒ කාලේ තිබුණේ භාණ්ඩ හුවමාරු සංස්කෘතියක්. මීට අවුරුදු 60ක් ගත්තත් ඒ යුගයේ. දැන් අද අපිට බස් එකකට ගොඩවෙලා ඒකට මුදලක් ගෙවන්නේ නැතුව යන්න අවසර නෑ. එතකොට අපිට ඒ අවශ්‍යතාවයකදී මුදලක් ළඟ තබාගන්න ප්‍රායෝගිකව හිතන්න වෙනවා. සල්ලි එකතු කරන්න ගොඩගහන්න අවසරයක් නෑ. හැබයි ප්‍රායෝගිකව බලලා අවශ්‍ය තැනකදී මුදලක් භාවිතා කළාට කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ඒ වගේ නූතනයට ගැළපෙන විදිහට සකස් වෙනවා. අපි තේරුම්ගන්න ඕනෙ මේ අපි ජීවත් වෙන කාලය. ඒ කාලය පිළිබඳව අවබෝධයක් අපිට තියෙනවා.”
අපේ කතාබහ අතරතුරදී මාදම්පේ කාතියාන හාමුදුරුවොත් වැඩම කරනවා.

“හොඳයි එහෙනම් විස්තර අහලා දැනගන්න.”

තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ, මාදම්පේ කාතියාන හාමුදරුවන්ට අවස්ථාව ලබාදීලා පිටතට වඩිනවා.

උන්වහන්සේලා බදාගෙන ගොඩගසාගැනීම් නැතිව සවිඥානිකව ධර්මය ප්‍රගුණ කරන ආකාරය පුදුම සහගතයි.

ඒ අවසරයෙන් අපි මාදම්පේ කාතියාන ස්වාමීන්වහන්සේගේ ගිහි ජීවිතය විමසා දැනගත්තා.

“මගේ ගිහි කාලේ නම සමන් කුමාර, ආණමඩුවේ තමයි මුල් පදිංචිය. පසුකාලීනව හලාවත මාදම්පේ තමයි පදිංචි වෙන්නේ. මගේ තාත්තා මං කුඩා කාලෙදිම අනතුරකින් මියයනවා. මම අධ්‍යාපනය ලබනවා. ඊට පසුව හොටෙල් මැනේජ්මන්ට් අංශයෙන් ඩිප්ලෝමාවක් හදාරනවා.

ඒ අංශයෙන්ම ලංකාවේ හෝටල් කිහිපයක රැකියාව කරන අතරතුර රියාද්වල Rich Carton කියන Hotel Chain එකට සම්බන්ධව රැකියා අවස්ථාවක් ලැබෙනවා.

මුලින්ම මගේ Basic එක 50000, ලක්ෂය, ලක්ෂ දෙක, තුන හමාර, හතර එහෙම Achieve කරනවා. ටික ටික මගේ හීනවලට මම යනවා. ඒ අතරතුර කාලයේ මගේ අම්මා අන්තරා වෙනවා Cancer එකකින්. කාලය ඔහොම ගතවෙලා යනවා. මම ඒ Life එක උපරිමයට Enjoy කරනවා. සාමාන්‍ය මනුස්සයෙක් විඳින්න ඕන හැම සැප පහසුවම මම විඳිනවා. අපි කුඩා කාලේ ඉඳන්ම පුරුදු වෙලා තිබුණේ හීන හොයන්න. එකකින්, තව එකක්…. තව එකක්… එහෙම එහෙම යනකොට අන්තිමට මට තේරෙනවා මේකේ මොකක්දෝ හිඩැසක් තියෙනවා, මේ යන විදිහට ඒක පුරවාගන්න බැරි බව. එතකොට මට වයස අවුරුදු 22යි. ඔය කාලේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්නේ. ඒ ඔස්සේ අවුරුදු දෙකක්ම එහෙම දේශනා අහනවා. එතැනදී හිතෙනවා හිත නතර කරගන්න සුදුසු තැන මෙතැන කියලා. දැං මට වයස අවුරුදු 24යි. මේ භෞතිකේ ඇතුළේ අපි හැමදාම හොයනවා හොයනවා විතරයි, මෙතැනින් එහාට තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න එක තමයි අමාරුම වැඩේ.”

උන්වහන්සේ වයස අවුරුදු 24කට ජීවිතය සෑහෙන දුරකට සොයාගෙන අවසන්. අපි තවමත් ජීවිතය හොයනවා. මාදම්පේ කාතියාන ස්වාමින්වහන්සේ වාගේම මෙත් බෝ සෙවණේ, තවත් භික්ෂූන්වහන්සේලා ඉන්නවා, එහෙම ජීවිතේ, අලුතින් සොයා යන්නට පැමිණි ඒ හැමදෙනාම අතිසුඛෝපභෝගී ජීවිත ගත කරපු, ඒ අතිශය සතුට කියන ගිහි ජීවිත අත්හළපු අය.
ඒ අතරින් අපිට මුණගැහුණා මිරිස්සේ සීවලී ස්වාමීන්වහන්සේ. උන්වහන්සේ ජීවිතය ගැන කියාදුන්නේ හරිම අපූරු අදහසක්.

“මෙහෙම හිතමු, අපිට කෝපි එකක් බොන්ඩ උවමනාවක් එනවා, ඒ කෝපි එක බොන සීමාව ඇතුළේ හොයපු හිස්තැන වැහෙනෙවා. බීල ඉවර වුණාට පස්සේ, ඒ හිස්තැන ආපහු ඇරෙනවා. භෞතිකය ඇතුළේ ඒ හිඩැස සම්පූර්ණ වෙන්නේ නෑ. අපි දැන් උත්සාහ කරන්නේ, ආන්න ඒ හිඩැසට එකතුවෙන්න.

සම්පූර්ණ කරන්න නෙමෙයි. මේ භෞතිකය තුළ කවදාවත් පරිපූර්ණත්වයක් නෑ. මේ බුදුරජාණන්වහන්සේගේ දර්ශනය, ආදීනවය ගොඩක් තියෙන කෙනාට වටහාගන්න හරි ලේසියි. ඒ තුළින් නිස්සරණය පහසුයි. (අත්හැරීම)”.

අපි හිතුවා, ඔබ වෙනුවෙන් තිත්ගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ සමඟින් කාලීන ධර්ම සංවාදයක් අරඹන්න. ලබන සතියේ සිට ඉරිදා ඇපල් වෙතින්, හිත නතර කරන බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික කාරණා ගළපමින් ගෙන එන්නට සූදානම්.

අන්තිමට සටහන් කරන්නට අවශ්‍යයයි බෞද්ධ දර්ශනය කියන්නේ MCQ Paper එකක් වගේ එකක් නෙවෙයි. අවංක සිතින්, ඔබේ සිතට ගළපාගත යුත්තේ ඔබයි.
කැමති අයට විවෘතයි.

අනුපමා ගල්කඩවල
ඡායාරූප _ ජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: