පන්දුවෙන් පන්දුව කෝටි ගණන් උපයන ක්‍රිකට් ඔට්ටු සෙල්ලම

August 2, 2017 | 1:13 pm    0   364

පන්දුවෙන් පන්දුව කෝටි ගණන් උපයන ක්‍රිකට් ඔට්ටු සෙල්ලම

බුකීකාරයෝ එහෙමත් නැත්නම් සූදුකාරයෝ පිළිබදව වත්මන් සමාජයේ කතාබහ එන්න එන්නම වැඩිවෙලා. විශේෂයෙන්ම පසුගියදා නිමාවුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පස්සේ අපේ රටේත් මේ පිළිබඳව අලුත් සමාජ කතිකාවතක් ඇතිවෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත්වෙනවා. ඒකත් හරියටම දෛවයේ සරදමක් වාගේයි.

මා එහෙම කියන්නේ මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වැනි ජේ‍ය්ෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම නැතිව සිම්බාබ්වේට ගිහින් ඔවුන්ව පරාජය කරලා එන්න උපුල් තරංග ඇතුළු අපේ සිංහ පැටව් සමත් වුණ නිසායි. ඒ විතරක් නෙවෙයි සති කිහිපයකට පෙර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ප්‍රබල ඉන්දියානුවන් දණගැස්වූ අප, ලංකාවේදී සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් හමුවේ තරගාවලි පරාජය ලැබුවේ කෙසේද යන්න ගැන තවමත් ඇත්තේ ගැටලුවක්.

එහෙනම් ශ්‍රී ලංකාව ඇත්තටම සිදුවූයේ කුමක්දැයි අප සොයා බැලුවා. තරගාවලි පරාජයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා හරහා ලැව් ගින්නක් සේ පැතිර ගිය පුවත වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රකට බුකීකරුවෙකු රුපියල් කෝටි 500 (බිලියන 5ක) මුදලතට එම තරගාවලිය පාවාදුන් බවයි.

මොහොතින් මොහොත ක්‍රීඩාංගණය තුළ පන්දුවත් පිත්තත් අතර ගැටුම පවතිත්ද, ක්‍රීඩාංගණයේ එපිට සුඛෝපභෝගී කාමරවලට වී තප්පරයෙන් තප්පරය මුදල් එහා මෙහා වෙන්නේ බොහොම සීරුවට. ඒ වගේම තමයි හරිම සූක්ෂමවයි.

මේ ක්‍රියාවලිය මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාවේ. ඊට අමතරව පාකිස්ථානය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වාගේ රටවල් වලත් මේක බොහොම සංවිධානාත්මක ක්‍රියාත්මක වෙනවලු.

ක්‍රිකට් තරගාවලියක් ආරම්භවීමට මාස ගණනකට පෙර තරගාවලියට සහභාගී වන ප්‍රබල කණ්ඩායමේ ක්‍රීඩකයන් කළමනාකරුවත් හෝ එම කණ්ඩායමට බලපෑමක් කළ හැකි අයෙක් හමුවීමට ඒජන්තවරයෙක් පිටත් කර හරිනවා බුකීකරුවන් විසින්. ඔහුගේ කාර්ය තමයි ඉටියෙන් හෝ මැටියෙන් බුකීකරුගේ අදහසට ඔහුව කැමතිකරවා ගැනීම. මේ වෙනුවෙන් මුදල් හෝ වෙන ඕනෑම දෙයක් කැප කිරීමට බුකීකරුවා සූදානම්. මොකද තමාගේ අදහසට එම පුද්ගලයා කැමති වුවහොත් එක මොහොතකින් වියදම් කළ මුදල වගේ සිය දහස් ගුණයෙන් මුදල් තමන්ට ලැබෙන බව ඔවුන් දන්නවා.

ඔට්ටු ඇල්ලීම සඳහාම සකස් කළ පරිගණක වැඩසටහන් තිබෙනවා. මේවා සකස් කරලා තියෙන්නේ ඉන්දියාව, එංගලන්තය වාගේ රටවල්වල. මේවායේ ආධාරයෙන් තමයි ඔට්ටු ඇල්ලීම සිදුවෙන්නේ. මෙම ක්‍රියාවලියේ ප්‍රාථමික අවස්ථාව තමයි ජයගන්නා කණ්ඩායම නම් කරලා ඔට්ටු ඇල්ලීම. මුල් කාලයේදී සිදුකෙරුණේ මෙයයි.

එනමුත් තාක්ෂණික දියුණුවත් එක්ක ඒ හැමදේම වෙනස් වෙලා. දැන් පන්දුවෙන් පන්දුවට ඔට්ටු අල්ලනවා. ඒ කියන්නේ තරගයේ 20වැනි පන්දු වාරයේදී 3 වැනි පන්දුවට පිතිකරු ලකුණු කීයක් ලබාගන්නවාද, දැවී යනවාද, නිපන්දුවක්ද ආදී ලෙස ඔට්ටු ඇල්ලීම සිදුවෙනවා.
මෙම ක්‍රියාවලිය පහසු කිරීම තමයි පරිගණක වැඩසටහන් මගින් සිදුකරන්නේ. මුලින්ම ඔට්ටු අල්ලන පුද්ගලයා අදාළ පරිගණක වැඩසටහනේ ලියාපදිංචි විය යුතුයි. සාමාන්‍ය ඊ මේල් පිරවුමක් සඳහා ලියාපදිංචි වන ආකාරයට මෙය සිදුකළ හැකියි.

විශේෂයෙන්ම තමාගේ රට, එම රටේ වේලා කලාපය, වැනි දේ නිවැරදිව සටහන් කළ යුතුයි. ලොව ඕනෑම තැනක සිටින කෙනෙකුට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. වේලා කලාපය නිවැරදිව සටහන් නොකළහොත් තරගයේ සජීව දර්ශන නිසි වේලාවට නොලැබී යාමට පුළුවන්.

නිසිලෙස එම ගිණුම සාදාගැනීමෙන් පසු එම වැඩසටහනට පිවිසීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ සදහා ඔහුට ලැබෙන මුරපදය (password) භාවිතා කළ යුතුයි.

වැඩසටහනට පිවිසීමෙන් අනතුරුව තමන් තෝරාගන්නා තරගය තෝරාගත (select) යුතුයි. ඉන් අනතුරුව එම තරගවල සජීවී දත්ත බලාගැනීමට පුළුවන්.

උදාහරණයක් විදිහට මුළු ලකුණු ගණන, කඩුලු ගණන, පන්දුවාර ගණන, පන්දු යවන්නා තරගයේ මීට පෙර යැවූ පන්දුවාරවල විස්තර, පන්දු යවන්නාගේ අවසන් පන්දු 6හි තොරතුරු, පිතිකරුගේ ඉතිහාසය පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා.

ක්‍රීඩකයන් ගැන කිසිවත්ම නොදන්නා කෙනෙකු පවා ඔට්ටු ඇල්ලීමට පොළඹවාලන ආකාරයේ සියලු තොරතුරු මෙහි ඇතුළත්. මේ සියල්ල බැලුවට පස්සේ කාට වුණත් ඊළඟ පන්දුවට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පහසුවෙන්ම අනුමාන කරනන් පුළුවන් කියලා බුකීකරුවන් පවසනවා. මේ නිසාම ආධුනිකයන් පවා බොහොම ඉක්මනින් මෙම සූදු කෙළියට එකතු වෙනවාලු.

මෙම පරිගණක වැඩසටහනේ ඊළඟට ලැබෙන අතුරු මුහුණතේ තියෙනවා Quick Bet කියලා බොත්තමක්. ඒක on කරලා ඔට්ටු අල්ලන්න පුළුවන්. ඊට පහළින් ඇති බොත්තම ඔබලා තරගයේ සජීවී විස්තර ප්‍රචාරයට සවන් දෙන්න පුළුවන්.

ඔට්ටු අල්ලන්නේ මෙන්න මේ විදිහට. ඊළග පන්දුවට ලකුණු 6ක් ගහනවා කියලා අපි සටහන් කරනවා. 6ක් ගැහුවොත් අපි ඔට්ටුව දිනනවා. හැබැයි අපි පැරදුණොත් ඔට්ටු ඇල්ලූ මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා.

ඒක සිද්ධවෙන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් ඔට්ටු අල්ලන්නේ 40:42 අනුපාතයට. දිනන කෙනාට ඔට්ටු ඇල්ලූ පන්දුවට ලැබුණු සම්පූර්ණ මුදලින් 40%ක් ලැබෙනවා. පැරදුණොත් ඔට්ටු ඇල්ලූ මුදලට වඩා වැඩිපුර 2%ක මුදලක් ගෙවිය යුතු වෙනවා.
සාමාන්‍යයෙන් මේ විදිහට ඔට්ටු ඇල්ලීම සිද්ධ වුණොත් සමහර විශේෂිත තරගවල මෙම අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාව සහභාගී වන තරගයකදී මෙම අනුපාතය 7:10 අනුපාතයට වෙනස් වෙනවා. එනම් මෙම තරගාවලි පරදින පුද්ගලයින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පෙරට සාපෙක්ෂව වැඩියි.

මෙලෙස සිදුවීමට මූලිකම හේතුව තමයි ලොව වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවේ වීම. ඒ වගේම තමයි මුදලට ඔට්ටු අල්ලන්නන් වැඩිම ගණනක් ඉන්නෙත් ඉන්දියාවේ වීම. ඒ නිසාම ඉන්දියානු තරගාවලියක් යනු බුකීකරුවන්ට රජ මඟුලක්. කුමන රටක් දිනුව ද අවසානයේදී සැබෑවටම දිනන්නේ බුකීකරුවායි.

මෙලෙස බුකීකරුවන් මුළු ලෝකයම සිය ග්‍රහණයට ගනිද්දී පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට ද බුකීකරුවන්ගේ ඇල්ම බැල්ම වැටුණු බව අසන්නට ලැබුණා. එම තරගාවලිය අතරතුර සූරියවැව ක්‍රීඩාංගණයේදී ඔට්ටු අල්ලන්නන්ගේ නියෝජිතයන් හෙවත් තරගයේ සත්‍යය තත්ත්වය දුරකතන මඟින් බුකීකරුවන්ට දුරකතන මගින් දැනුම් දුන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කළ පුවතක් ද වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය එසේ නම් මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු සමාජයේ ද කුමකින් කුමක් සිදුවේ දැයි අපට සිතාගන්නටවත් අපහසුයි.

අපේ රත්තරන් කොල්ලෝ ටික නම් කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ. මොනවා නැතත් අපට ඒ විශ්වාසය තියෙනවා. ඒත් ක්‍රීඩකයන්ගේ කළමනාකරුටත් ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් ක්‍රීඩකයන්ටත් කොළේ වහලා මුදලටම ගිජු වීමට නම් බැරිකමක් නෑ..
ආන්න ඒ නිසා අදාළ බලධාරීන් මේ පිළිබඳව වහ වහා සොයා බැලිය යුතුයි. එහෙම නැතිවුණොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යළි ගොඩගත නොහැකි තරමටම වළ පල්ලට යන දිනය නම් වැඩි අෑතක වෙන්නේ නෑ.

සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: