පරිවාසෙට එන ළමයින්ට මොකද වෙන්නේ?

March 9, 2017 | 2:00 pm    0   391

පරිවාසෙට එන ළමයින්ට මොකද වෙන්නේ?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියට අනුව නම් සෑම ළමයෙකුටම යහපත් පවුල් වටපිටාවක් තුළ ආදරය හා කරුණාවෙන් යුතුව වැඩීමට අයිතියක් ඇත. එහෙත් ප්‍රශ්නයක් ඇත. ඒ එවැනි පරිසරයක ජීවත්වීමට සෑම ළමයෙකුටම අවස්ථාව ලැබෙනවා ද යන්න ය. ඒ අනුව එම අයිතිය හිමි වූවන්ගේ කතාව වඩා යහපත් වූව ද එම අයිතිය අහිමිවූවන්ගේ කතාව ඛේදජනක ය. ඒ නිසාම අප මේ මොහොතේ කතා බහ කළ යුතු වන්නේ ඒ අයිතිය එනම් ආදරය කරුණාව සහිත යහපත් පවුල් වටපිටාවක් සහිතව ජීවත්වීමට තමන්ට ඇති අයිතිය අහිමි වූවන් ගැන ය. නැතහොත් තමා ඇති දැඩි වුණ පවුල් පරිසරය තුළින්ම එම අයිතිය අහිමිකර වූවන් ගැන ය. සැබවින්ම ළමයි සියලු දෙනා මල් වාගේ යැයි කුඩා කළ සිට අප අසා ඇත. මොවුන් ද අප කතා කළ ඒ කුලකය නියෝජනය කරන්නන් ය. මල් ගැන කතාව කෙසේ වෙතත් ඔවුන් ළමයින් ය. මේ මහපොළව තුළ ඉපදී ලෙයින් මසින් ඇති දැඩි වූ ළමයින් ය. එහෙත් මේ ළමයින්ගේ කතාව වෙනස් ය. ඒ මේ ළමයින් සමාජයේ කුමන හෝ පුද්ගලයෙකු අතින් අපයෝජනයට ලක්ව පරිවාසගත වූ පසු එතනින් ද අපයෝජනයට ලක්වෙන්නේ යැයි තොරතුරක් ඇපල් අප ලද නිසා ය.

ඒ නිසාම ඒ හෝඩුවාව ඔස්සේ අප දිව ගියෙමු. ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය නටාෂා බාලේන්ද්‍රන් මහත්මියගේ දුරකතනයට අවස්ථා ගණනාවකදී දුරකතන ඇමතුම් ලබා දුන්නෙමු. කෙටි පණිවිඩ යවා එතුමිය සම්බන්ධ කරගන්නට උත්සහ දැරුවෙමු. අවසන එතුමිය මුණගැසෙන්නට එතුමිය සොයා එතුමියගේ කාර්යාලයට ද ගියෙමු. නමුත් අප එතුමිය මුණ ගැසෙන්නට ගත් සෑම උත්සාහයක් තරමටම එතුමිය විසින් අපව මඟ හරින්නට ගත් උත්සාහය සාර්ථක විය. ඒ නිසාම අප මේ තොරතුරේ හරි වැරදි සොයන්නට වෙනත් මාර්ග සොයා ගියෙමු.

ඒ අනුව වයස අවුරුදු 18 ඉක්ම නොවූ ඕනෑම පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ළමයෙකු ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී මෙම වර්ගීකරණයට අයත් ඕනෑම පුද්ගලයෙකු අතින් අපරාධයක් සිදු වූ විට හෝ වැඩිහිටියෙකු විසින් ඔහු හෝ ඇය අපයෝජනයට ලක් කළවිට ඔවුන්ට අදාළ පරිසරය තුළ වැඩීමට තව දුරටත් ආරක්ෂාව නැතැයි අධිකරණයට හැඟුණහොත් ඔවුන් පිරිවාස භාරයට ලක් කරනු ලැබේ. එසේම මෙලෙස අපරාධයක් කළ හෝ අපයෝජනයකට ලක් වූවෙකුට නිශ්චිත භාරකරුවෙකු නැති විටදී ද ඔහු හෝ ඇය පවතින නීතියට අනුව පරිවාස භාරයට පත් කරනු ලැබේ. එනයින් බලන කළ යම් දරුවෙකු අධිකරණය මඟින් පරිවාසගත කරනු ලබන්නේ සමාන්‍යය සමාජය තුළ ඔහු හෝ ඇයට හිමි පරිසරයට වඩා වඩාත් සුරක්ෂිත මෙන්ම ආරක්ෂාකාරී පරිසරයක් ඔහුට හිමිකරදීම සඳහා ය. එහෙත් ගැටළුව ඇත්තේ ද එතන ය. එනම් ළමයෙකු පරිවාස ගත කළ පමණින්ම ඔහු හෝ ඇය ආරක්ෂා වනවා ද යන්න ය.

පරිවාස හා ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී චන්දිමා සිගේරා මහත්මිය පවසන ලෙස ශ්‍රී ලංකාවේ පරිවාස යටතේ දැනට ආයතන (නිවස්න) 400 ක් ඇති අතර මේ ආයතන සියල්ලෙහි ළමුන් 14000ක් සිටී. මේ ළමයින් 14000 යටතට අපරාධයකට වරදකරුවන් වූවන් හෝ අපහරණයට ලක්වූවන් පමණක් නොව දෙමාපියන් හෝ වැඩිහිටියන් නැතහොත් නිශ්චිත භාරකරුවන් නොමැති දරුවන් ද සිටී. ඒ අතරිනුත් 1998 අංක 28 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව යම් ළමයෙකු සම්බන්ධයෙන් ඒ ළමයා රැක බලාගැනීම සහ ඔහුට ආරක්ෂාව සැපයීම අවශ්‍යය යැයි ඒ අධිකරණයට පෙනී යන විටක නඩු විභාගය අවසන් වන තෙක් ළමයා රැකබලා ගැනීමට හා ආරක්ෂාව සැලසීමට යම් ආරක්ෂිත ස්ථානයක රඳවා තබන මෙන් අධිකරණය විසින් ආඥා කළ හැකි ය. ඒ අනුව එවැනි රැඳවුම් මධ්‍යස්ථාන ප්‍රමාණාත්මකව ලංකාවේ නම් 10 කි. එසේම යම් ළමයෙකු නිවරදි මඟට යොමු කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් එවැනි මධ්‍යස්ථාන 05ක් ලංකාව පුරා පිහිටා ඇත. එමෙන්ම මීට අමතරව detention home හා approval home නමින් හඳුන්වන මධ්‍යස්ථාන දෙකක් ද පිහිටා ඇත. මෙම මධ්‍යස්ථාන 02හි විශේෂත්වය වන්නේ මෙම මධ්‍යස්ථාන දෙක තුළ යම් අපරාධයකට වරදකරු බවට පත් වූ දරුවන් මෙන්ම වීදී දරුවන් හෝ අනාතභාවයට පත් වූවන් යන දෙපිරිසම එකට රඳවා තැබීම ය. ඒ අනුව සමාජ ස්ථර 02ක් තුළ ජීවත් වූ වෙන් වෙන් සමාජ චර්යාවන්ගෙන් යුතු දෙපිරිසක් එකට ජිවත්වීම තුළ බරපතළ සමාජ ඛේදවාචකයන් නිර්මාණය වීම වැළැක්විය නො හැකි ය. ජාතික පරිවාස හා ළමා රක්ෂණ අධිකාරියේ තොරතුරු නිළධාරීනී නිර්මලී පෙරේරාගෙන් අප විමසා දැනගත් තොරතුරුවලට අනුව මෙම ළමයින් දෙපිරිස වෙන්කිරීම උදෙසා කිසිදු ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වන්නේ නැත. අනෙක් පසින් මෙහි බරපතලම තත්ත්වය මේ දරුවන්හට පාසල් අධ්‍යාපනය ලබා දෙන්නට නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක නො වීම ය. විශේෂයෙන් පරිවාසභාරයේ ඇති නිවාසයකට පැමිණීමට පෙර පාසල් යන දරුවෙකු නම් ඔහු හෝ ඇය දිගින් දිගටම පාසල් යැවීමට ක්‍රියා කරනමුත් එසේ නොවන දරුවෙකු යොමු කරන්නේ වෘත්තීය පුහුණු වෙත හෝ පාසල් අධ්‍යාපනය නොවන වෙනත් අංශයන්ට ය. එය ද පරිවාසභාරයට ලක්වන දරුවන්හට මුහුණ දෙන්නට සිදුවන අයහපත් තත්ත්වයකි. එය පරිවාස සම්බන්ධව ඇති එක් ගැටළුවක් පමණි.

මේ සම්බන්ධයෙන් ඇති අනෙක් බරපතලම තත්ත්වයට මුහුණපාන්නේ පරිවාසභාරයේ සිටන ගැහුණු ළමයින් ය. අප ලද තොරතුරුවලට අනුව දෙමාපිය රැකවරණය අහිමි වූ පසු එම දරුවන් අධිකරණ නියෝගය හරහා පරිවාසගත කළ පසු පරිවාස භාරයේ ඇති ඒ ඒ නිවස්නයන්හි පාලිකාවන් දරුවන් යොදා ගෙන කරන්නා වූ අත යට ගේම් ද විශාල ප්‍රමාණයක් ඇත. විශේෂයෙන් සමාජයේ යම් පුද්ගලයෙකු මඟින් අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව පරිවාසගත වූ පසු අදාළ ආයතනයේ පාලිකාවන් මෙම දරුවන් මුදලට විකිණීම පරිවාස ආශ්‍රිතව සුලභව සිදුවන සිදුවීමකි. අදාළ කරුණ සම්බන්ධව අපට ලැබුණු තොරතුරේ මූලාශ්‍රය හෙළිකිරීමට නො හැකි නිසාම මෙවැනි සිදුවීම් පරිවාසභාරයේ සිටින ගැහැණු දරුවන්ට මුහුණ දීමට සිදුවන සිදුවීම්වලින් එකක් බව පමණක් අපට කිව හැකි ය. මීට අමතරව ගැහැණු ළමුන් බොහෝ දෙනා නැවත නැවත දූෂණයට ලක්වෙන්නේ පරිවාසයේ ඉහළ නිලධාරීන් අතිනි. බොහෝ මඟහැරුණු දරුවන් තම ජීවිතයට පවතින ආශාව හේතුකොටගෙන කිසිවෙකු ඉදිරියේ මේ පිළිබඳව හෙළි කරන්නට මැලිවන බව දන්නා නිසාම ඔවුන් නො බියව මේ පාදඩ ක්‍රියාවේ නිරතවන බව ඒ ගැන දන්නා කාටත් රහසක් නොවේ. ලිංගික අතවරයට අමතරව පරිවාස භාරයේ සිටින බොහෝ ගැහැණු දරුවන්ගේ ඉරණම ඉතා දුක්ඛිත වන්නේ නිවස්න පාලිකාවන්ගේ පහරදීම්වලට හා අඩත්තේට්ටම්වලට නිරන්තර ලක්වීමට සිදුවන නිසා ය. පාලිකාවන් විසින් දරුවන් බිය වද්දා ඔවුන් මුදලට විකිණීමේ ක්‍රියාවේ නිරන්තරව නිරතව සිටින්නේ ඒ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නො වන නිසාය. අනෙක් පසින් මේ ගැහැණු දරුවන්ගේ බොහෝදෙනා පරිවාස භාරයෙන් නිදහස් වූ පසු බොහෝ විට භාරකරුවන් නොමැති පිරිසක් බවට පත්වන අතර ඔවුන් බොහෝ දෙනා නැවත සමාජගත වන්නේ ගණිකාවන් හෝ සල්ලිකාර වෙළෙන්ඳන්ගේ අනියම් බිරින්දෑවරු වශයෙනි. එය විශාල සමාජ ඛේදවාචකයක් වන අතර අදාළ කාරණා සම්බන්ධව තවමත් වගකිව යුත්තන්ගේ අවධානය යොමු වී නැත.

විශේෂයෙන් පරිවාසයෙන් ඉවත් වූ පසු දෙමාපියන් ඔවුන් ප්‍රතික්ෂේප කරන අතරම නිවැසියන් ඔවුන් භාර ගැනීමට කැමති වුව ද නැවත තමා පැමිණි සමාජයට ගොස් මුහුණ දීමට නො හැකි වන නිසාම යන එන මං නැති ගැහැණු දරුවන් ඉහත සඳහන් කළ තත්ත්වයට පත්වන්නේ ඉබේටම ය. පරිවාස භාරයේ සිට ළමයින් ලිංගික අපචාරයන්ට ලක් වූ පසු අදාළ සිදුවීම් සමතයට පත්කොට අදාළ පාර්ශවයන්ට නඩු පැවරූ අවස්ථාවන්හි තොරතුරු ජාතික ළමා රක්ෂණ අධිකාරිය හරහා අප ලබා ගන්නට උත්සහ කළ ද අදාල තොරතුරු ලබාදීමට එහි මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා විසින් ලිඛිතව ඉල්ලීම් කරන ලෙස පැවසී ය. එම ලිඛිත ඉල්ලීම සිදුකොට අවස්ථා කිහිපයකදීම එම තොරතුරු ලබා ගැනීමට උත්සහ කළ ද මේ ලිපිය ලියන මොහොත වන තෙක්ම එම තොරතුරු ලබාදීම ඒ මහතා විසින් මඟහරින ලද බව ද කිව යුතු ය.

අනෙක් පසින් දරුවෙකු පරිවාස ගත කළ පසු දරුවාගේ මානසික මට්ටම යථා තත්ත්වයට ගත හැකි ස්ථාවර උපදේශන සේවා හෝ උපදේශන මධ්‍යස්ථානයක් හෝ ලංකාවේ ක්‍රියාත්මක නොවන බව මෙම ගැටළුව සම්බන්ධව නීතිමය දැනුවත්භාවයක් ලබා ගැනීමට නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාව ඇපල් අප විසින් සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඒ මහතා පැවසීය. අප ඉහතින් දක්වන ලද්දේ ශ්‍රී ලංකාවේ පරිවාස භාරයට පත් කරන දරුවන්ගේ ඛේදවාචකයෙන් අඩක් පමණි. එහෙත් පරිවාස සම්බන්ධයෙන් හෙළි කිරීමට තව බොහෝ කරුණු රැසක් ඇත. ඒ නිසාම ඇපල් අපට බලධාරීන්ට මෙන්ම යහපාලන රජයට ද යෝජනා කිරීමට දෙයක් ඇත. සමාජයේ වරදින් පරිවාසගත වන්නේ ද අපේ රටේ අනාගතයේ එක් කොටසකි. ඔවුන්ට ද සමාජයේ යහපත් ජීවිතයක් ගත කිරීමට අයිතියක් ඇත. ඒ නිසාම අපට කීමට ඇත්තේ පරිවාසය හරහා අපයෝජනයට ලක් වූවන් සම්බන්ධයෙන් අදාළ පාර්ශවයට නඩු පවරා වෙනත් නිවාසයකට මාරු කිරීමට එහා ගිය අලුත් විකල්පයක් සොයන්නට දැන් කාලය එළඹ ඇති බව ය.

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: