පල්ලෙවත්ත ගමරාළලාගේ දර්ශන ලංකා සිරිසේන, දර්ශනී චතුරිකා සිරිසේන වුණ හැටි මෙන්න

September 18, 2017 | 5:25 pm    0   660

පල්ලෙවත්ත ගමරාළලාගේ දර්ශන ලංකා සිරිසේන, දර්ශනී චතුරිකා සිරිසේන වුණ හැටි මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචිත “ජනාධිපති තාත්තා” කෘතිය පසුගිය 15 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළිදක්වන ලදි. එම කෘතිය පිළිබඳව, විවිධ මති මතාන්තර ද, විචාර විවේචන ද, හොඳ නොහොඳ විවිධ තැන්වල දකිද්දී එම කෘතිය පිළිබඳවත්, එයට පාදක වූ කාරණා පිළිබඳවත්, චතුරිකා සිරිසේන සමඟ ඉරිදා ඇපල් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඇයි තාත්තා ගැන පොතකින් කියන්න හිතුවේ?
මම තාත්තා ගැන පොතක් ලියන්න හිතුවෙ මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ මගේ තාත්තා සෞඛ්‍ය ඇමති වෙලා ඉඳිද්දි. නමුත් ඒක මට කරගන්න බැරි වුණා. ඒත් අපි ප්‍රාර්ථනා නොකරපු විදිහට, මගේ තාත්තා පොදු අපේක්ෂකයා වුණා. එයින් පස්සේ ඔහු රටේ ජනාධිපති වුණා. ඉතින් මට හිතෙනවා මේ සංකීර්ණ කතාව ඇතුළෙ මගේ තාත්තගේ තියෙන වීර්යවන්ත සරලකම පොතකින් සමාජගත කරන්න.

හරි, අපි ජනාධිපති තාත්තා ගැන පසුවට කතා කරමු. නමුත් මේ මොහොතේ පොදු තාත්තා සම්බන්ධයෙන් දරන ඔබේ මතය?
මේ වෙලාවේ හැම තාත්තා කෙනෙක්ම කාර්යබහුලයි. දරුවන්ට තාත්තාත්, තාත්තලාට දරුවනුත් මඟහැරෙන වෙලාවක් මේක. නමුත් අපි හැදී වැඩුණෙ ඊට වෙනස් පරිසරයක. අපි ජීවත් වුණේ මහගෙදර. නැන්දලා, මාමලා, බාප්පලා මේ හැමෝම එක්ක. ඒත් කවදාවත්, අපි රණ්ඩුවෙලා නෑ. එහෙම දේවල් අපි දැකලත් නෑ. ඉතින් මේ හැම දෙයක්ම මගේ හිතේ, චිත්‍රපටියක් වගේ ඇඳිලා තියෙනවා. පුංචි කාලේ වෙච්ච පුංචිම සිද්ධි පවා මට තාම මතකයි. ඒ දේවල් තමයි මේ පොතේ ලියවිලා තියෙන්නේ.

පොතක් ලියවෙන්න නම් එයට අදාළ අනුභූතීන්, අත්දැකීම් විතරක් නෙවෙයි බොහෝ දේවල් බලපානවා. ඔබ කොහොමද එක්වරම ග්‍රන්ථ කතුවරියක් තත්ත්වෙට එන්නේ?
මම ඒක පිළිගන්නවා. අත්දැකිම් කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙන දෙයක්. එය මටත් එහෙමයි. මගේ ජීවිතේ පුරාවටම තියෙන්නේ දේශපාලන අත්දැකිම්. මම පුංචි කාලේ ඉඳන් මම දකින පරිසරය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් එක්ක සෙවණැල්ලක් වගේ මගේ තාත්තා හිටපු හැටි. ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය වෙලා හිටපු කාලේ එතුමියත් එක්ක මගේ තාත්තා වැඩ කරපු විදිහ මම දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක මගේ තාත්තා වැඩ කරපු හැටි මම අත්විඳලා තියෙනවා. ඒ හැම නායකයෙකුටම තාත්තා ගරු කරපු හැටි මම අත් වින්ඳෙ පුංචි කාලේ ඉඳලා. ඒ හැම දෙයක්ම මේ පොත රචනයට වස්තු විෂය වෙලා තියෙනවා.

“ජනාධිපති තාත්තා” ලියවෙන්න ආකෘතිය මොකක්ද?
මේක බොහොම සොඳුරු නවකතාවක් විදිහට තමයි ලියවෙන්නේ. මගේ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්. එයා ගම්වලට ගිහින් සමාජ වැඩ ගොඩාක් කරා. ඒ දවස්වල අපේ සීයා තාත්තාගෙන් අහනවලු, “උඹ ඔච්චරට වැඩ කරන්නෙ කවුන්සිල් එකට යන්න ද?” කියලා. ඒ වගේම තාත්තා කවුන්සිලයට තේරෙනවා. නමුත් තාත්තා කවුන්සිලයට යන්න දවස් දෙක තුනකට කලින් සීයා නැති වෙනවා. අපේ තාත්තා සමහර දේවල් දරාගත්තේ මහ පුදුමාකාර විදිහට. ඇත්තටම මට අවශ්‍ය වෙන්නෙ අන්න ඒ තාත්තා ගැන ලියන්න. මේ කතාව ලියාගෙන යද්දි මට උවමනා වෙනවා තාත්තා ළඟින් ඇසුරු කරපු ගමේ යාළුවො. ඊට අමතරව රටේම ඉන්න සමහර අය සොයාගෙන යන්න. අපි කණ්ඩායමක් විදිහට මේ ගවේෂණය කළා. සමහර මිනිස්සු හොයාගෙන ගම් දනව්වලට ගියා.

එතකොට තාත්තා දන්නව ද චතුරිකා මෙහෙම පොතක් ලියනව කියලා?
දැනගෙන හිටියෙ නෑ. නමුත් මේ ගවේෂණය කරද්දි තාත්තට ආරංචි වෙනවා. දවසක් මම හිටියෙ දළදා මාලිගාවෙ. එකපාරටම තාත්තා මට කෝල් කරලා ඇහුවා, “චතූ කණ්ඩායමක් ගම්වලට ගිහින් මගේ ගැන තොරතුරු හොයන්නෙ ඇයි කියලා පොඩ්ඩක් හොයන්න” කියලා. එදා තමයි මම තාත්තාට කිව්වේ මමයි ඒ වැඩේ කරන්නෙ. මෙහෙම වැඩකට කියලා. ඉතිං මේ පොත මම ගොඩක් රසවත්ව ලියන්න උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි අපේ ගම්වල තිබුණු සරලකම්, ගරු කිරීම්, ගහකොළ, ඇළ‍ෙදාළ මේ හැම දෙයක්ම මම ලියන්න උවමනා වුණා. අපේ මහගෙදරට කිව්වෙ “ලක්ෂ උයන” කියලා. ලක්ෂ උයනෙ අපේ ජීවිත මට හොඳට මතකයි. මම පුංචි කාලෙ සිදුවීම්. හැමදාම උදේට අම්මා මිදුල අතුගානවා. එයා හරි අපූරුවට මිදුලෙ රටාවකට ඉරි අඳිනවා. අම්මගෙ පස්සෙන් මමත් පුංචි ඉඳලත් අරන් ඒ ඉරි මකලා අලුතින් ඉරි අඳිනවා. හැමදාම උදේ අම්මා මිදුල අතුගානකොට ගෙදර ‍ෙදාරකඩ ලියුමක් තියෙනවා. අම්මා ඒ ලියුම කඩලා බලනවා. ආයෙමත් ඒ ලියුම අම්ම අතේ පොඩි කරගන්නවා. සමහර දවසට ඒ ලියුම අම්ම කුණු ගොඩට අතුගාල දානවා. ඒ ලියුමෙ තියෙන්නේ තාත්තට ආණ්ඩුවෙ රස්සාවෙන් අස්වෙන්න කියලා බලකිරීම. මට තාම මතකයි. මගේ සෙල්ලම් ගෙදර හදලා තිබුණෙ ගෙදර ඉස්සරහ තියෙන සියඹලා ගහ යට. අපි ඒකට කිව්වේ “සියඹලා ගහ යට ගෙදර” කියලා. 88-89 කලබලවලින් පස්සේ යුද්ධය අපිට දරුණු ලෙස අත්දැකිම් එක් කරනවා. තාත්තාව මරන්න කොටි ත්‍රස්තවාදීන් තුන් වතාවක් උත්සාහ කරනවා. ඉතිං මේ හැලහැප්පීම් මැද මගේ තාත්තා අන්තිමට මේ රටේ ජනාධිපති වෙනවා.

ඔබ කිව්වා “ජනාධිපති තාත්තා” නවකතාවක් කියාල. ඒ කතාව ඇතුළෙ ‘මහින්ද රාජපක්ෂ’ කියලා චරිතයක් නැද්ද?
ඉන්නවා. එතුමා මේ රටේ යුද්ධය නවත්තපු හැටි. අපේ තාත්තා එක්ක ළඟින්ම හිටපු හැටි. මේ හැම දෙයක්ම තියෙනවා. නමුත් මේ කතාව 2015 ජනවාරි 8 වෙනිදායින් ඉවර වෙනවා.

ඇයි ඒ ජනවාරි 8 වෙනිදයින් ඒ කතාව ඉවර කරන්නේ?
අපේ තාත්තා පොදු අපේක්ෂකයා වෙන්න තීරණය කරපු දවස මට හොඳටම මතකයි. අපේ අම්මා, මම, මල්ලි. අපි හැමෝම තාත්තව හයියෙන් අල්ලගත්තා. එදා තමයි මම අපේ අම්මගේ ඇතුළෙ හිටිය ධෛර්යවන්ත ගැහැනිය දැක්කෙ. නමුත් තාත්තා ළඟ හිටිය හැමෝම තාත්තව ඒ වෙලාවෙ අතහැරියා. එයාලා අපිට කියන්න තියෙන, කරන්න තියෙන හැම විදිහටම බාධා කළා. නින්දා කළා. නමුත් අපි කවදාවත් දන්නෙ නැති මිනිස්සු තාත්තාව හයියෙන් අල්ලගත්තා. තනි නොකර මේ රටේ ජනාධිපති දක්වා ඔවුන් රැගෙන ගියා. ඒ නිසාම මේ කතාවෙ අවසානෙ තියෙන්නේ ඒ ජයග්‍රහණය කියලා මට හිතෙනවා.

ඔබේ කතාව පුරාම තියෙන්නේ ජීවිතයට ආ පීඩන, බිය, භීතිය වගේ දේවල්?
ඔව් ඇත්තටම අපේ ජීවිත කොයි වෙලාවෙද කියලා අපිට තිබුණෙ මර බියක්. 88-89 යුගයෙත් එහෙමයි. යුද්ධයෙදිත් එහෙමයි. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළාමත් එහෙමයි. ඒ නිසා ජයග්‍රහණ වගේම මර බියක් අපේ ජීවිතවල තිබුණා. ඒක ඇත්තක්.

මේ පොතේ පිටු 335ක් තියෙනවා. ඇත්තටම මෙච්චර පොතක් ලියන්න කොහොමද වෙලාව හදාග්තතේ?
ඇත්තටම මම මවක්. ඊට අමතරව ව්‍යාපාරිකාවක්. සමාජ සේවිකාවක්. ඒ නිසාම මට මේ පොත ලියන්න වසර දෙකහමාරක් පමණ ගියා. මොකද තාත්තගේ තරුණ විය, ගැටවර විය, 71 කැරැල්ල, මේ හැම දෙයක් ගැනම සත්‍ය තොරතුරු හොයන්න මට ගොඩක් මහන්සිවෙන්න වුණා. ඇත්තටටම මම විතරක් නෙවෙයි. මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයත් මේ වැඩේට සෑහෙන්න මහන්සි ගත්තා.

මේ පොතේ තියෙනවා. ජනාධිපතිතුමා මුලින්ම බලාපොරොත්තු වුණේ දුවෙක් නෙවෙයි පුතෙක් කියලා කතාව ඇත්ත ද?
ඔව්… මේ කතාව කියන්නෙ මගේ අම්මායි, මගේ නැන්දලයි. තාත්තාට උවමනා වෙලා තියෙන්නේ කොල්ලෙක් ගෙදරට ගේන්න. තාත්තා, නමකුත් හදලා “දර්ශන ලංකා සිරිසේන” කියලා. නමුත් හම්බුණේ කෙල්ලෙක්. ඒ නිසා මම “දර්ශනී චතුරිකා සිරිසේන” වුණා.

මේ පොතේ කතාව 2015 ජනවාරි 8න් ඉවර වෙනවා. ඉන් කියන්නේ ඉතිරි පරිච්ඡේදය ගැන තවත් කතාවක් ලියවෙනව ද?
අපි පරම්පරාවෙන් දේශපාලනය කරපු අය නෙවෙයි. ගොඩක් සරල ගැමි පවුලක්. එහෙම තරුණයෙක්, ග්‍රාමසේවක කෙනෙක් වෙලා රටේ ජනාධිපති දක්වා ආපු කතාව මේ රටේ මිනිස්සු කියවිය යුතුයි. විශේෂයෙන් තරුණ පරම්පරාවට ලොකු ආදර්ශමත් කතාවක්. නමුත් එතුමා මේ තොරතුරු සියල්ල අත්හැරිය දවසක ආයෙමත් අපිට විතරක් තාත්තා වුණ දවසට මම ඒ දෙවනි කතාව ලියනවා.

හැබැයි ඔබේ තාත්තා තරම් ගැරහීමට ලක්කරන, නින්දාවට ලක්වෙන, විහිළුවට ලක්වෙන වෙනත් තාත්තා කෙනෙක් නැතිව ඇති. ඔබට ඒ ගැන තියෙන්නෙ මොන වගේ අදහසක් ද?
අපි දේශපාලනයත් එක්ක ඉපදුණු මිනිස්සු. අපි දේශපාලනයත් එක්ක මියැදෙන මිනිස්සු. ඒ වගේම තමයි මේ නායකකම් හිමිවෙනවා වගේම නැතිවෙන දවසකුත් එනවා. බුද්ධ දර්ශනය අනුව නින්දා ප්‍රශංසා කියන්නේ පොදු ධර්මතාවයක්. ඒවයින් තමයි අපි පන්නරය ලැබිය යුත්තේ. හැබැයි අපේ තාත්තා ඒවා දැකලා එක තත්ත්පරයක් ජීවිතය පස්සට ගනියි කියලා මම හිතන්නේ නෑ. හැබයි මේවා දැකලා අපිට හඬන්නවත්, හිනාවෙන්නවත්, සුසුම් හෙළන්නවත් අපේ ජීවිතවල අයට ඉතිරි වෙලා නෑ.

එතකොට මේ පොත විකුණල ලබන ලාභයෙන් ඔබ මොකද කරන්නේ?
මේ පොතෙන් ලැබෙන හැම සතයක්ම මම වැය කරන්නේ ගම්වල ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදවන එක. විශේෂයෙන් තාත්තා “සුජාත දරුවෝ” කියලා පදනමක් හදලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කෙ ගොඩක් දරුවන්ට අපි ඒ හරහා උදව් උපකාර කරනවා.

මේ කෘතිය ඉතිහාසයට එකතුවෙන කෘතියක් ද? එහෙමත් නැත්නම් වර්තමානය වෙනුවෙන් ලියවෙන කෘතියක් ද?
මම මුලිනුත් මේ ගැන කිව්වා. ඉතිහාසය තුළින් වර්තමානයට කියන්න කතාවක් මට තියෙනවා. ඒ කතාව තමයි, “ජනාධිපති තාත්තා” හරහා මම ගෙන එන්නේ. අපි වර්තමානෙ ජීවත්වෙන්නෙ අපිට අපිවත් අයිති නැති යුගයක. මිනිස්සු මිනිස්සු දිහා බලලා හිනාවෙන්නේ නෑ. තාත්තලාට පුතාලා නෑ. පුතාලට තාත්තලා නෑ. සෙල්ලං කරන්න වෙලාවක් නෑ. සෙල්ලං ගෙවල් නෑ. ඉතිං ඒ සරල සංස්කෘතිය සමාජගත කරන එක තමයි මම කළේ. ඉස්සර අපේ අම්මා තාත්තා ගොඩක් දේවල් අපිට ඉගැන්නුවා. තාත්තා කොයි ලෝකේ ගිහින් ආවත් තාත්තා වෙනුවෙන් බත් පිඟානක් වෙන්වෙලා තිබුණා. ඉතිං මේ තුළින් මට සමාජයට පණිවුඩයක් ගෙනියන්න, විශේෂයෙන් කාන්තාවන්ට පණිවුඩයක් ගෙනියන්න අවශ්‍ය වුණා.

ඔබ තාත්තා වෙනුවෙන් පොතක් ලියනවා. නමුත් අම්මා වෙනුවෙන් මොකුත්ම නැද්ද?
ඇත්තටම මේ හැම දෙයක් පිටුපසම හිටපු යෝධ සෙවණැල්ල මගේ අම්මා. මේ හැම පිටුවක් ඇතුළෙම එයාගේ සරලකම, සුන්දරකම, ධෛර්යවන්තකම මුසුවෙලා තියෙනවා. සේවකයෝ, ආරක්ෂකයෝ කොච්චර හිටියත්, තාමත් එයා තමයි තාත්තාගේ කෑම එක හදන්නේ. තාම අම්ම ගෘහණියක්. අදටත් තාත්තා ඇඳගෙන එළියට බහිද්දී සපත්තු දෙක පිහිදාලා තාත්තාගේ කකුල් දෙක ළඟින් තියනවා. ඒ අම්මා දුක සතුට බෙදාගත්ත හැටි මේ පොතේ මම ලියලා තියෙනවා.

2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළිය හරියටම අත්වින්දෙ ඔබ. ඒ පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමක් මේ කෘතියේ සිදුවෙනවා ද?
ඔව්. මේ පොතේ එක් පරිච්ඡේදයක් වෙන්වෙන්නේ ඒ වෙනුවෙන්. අපි දිස්ත්‍රික්ක විසිපහක් සටන් කරපු විදිහ. විඳපු දුක් ගැහැට. වැටුණු තැන්, නැඟිටපු තැන් මේ හැම දෙයක්ම මම ඒ පරිච්ඡේදයේ හෙළි කරලා තියෙනවා.

ඔබේ තාත්තාගේ චරිතය මේ පොතේ ගොඩ නඟන්නේ, නිල් පාට තාත්තා කෙනෙක් විදිහට ද? කොළ පාට තාත්තා කෙනෙක් විදිහට ද? රතු පාට තාත්තා කෙනෙක් විදිහට ද?
නෑ. පක්ෂ පාට නැති නිර්භීත, සරල, අවංක තාත්තා කෙනෙක් විදිහට.

සටහනසංජක ප්‍රසාද් ‍දොලේවත්ත
ඡයානිශාන්ත යටගම්පිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: