ප්‍රංශ දේශපාලන කරළිය කැළඹූ සත්ව හිතවාදී නජාට්

April 16, 2017 | 4:00 pm    0   306

ප්‍රංශ දේශපාලන කරළිය කැළඹූ සත්ව හිතවාදී නජාට්

 

ශක්තිය විවිධාකාර වශයෙන් විමසිය හැකියිනේ. එය අතීතයේදී නම් පුද්ගල දේහධාරී ස්වභාවය මත උරගා බලන්නක් වුණා. නමුත් වර්තමාන සමාජයේ ඇතැම් සංසිද්ධීන් නිසා පුද්ගල ශක්තිය අභිබවා යමින් අධිෂ්ඨානය, චින්තනමය ප්‍රබලත්වය, නොපසුබස්නා උත්සාහය ආදී වූ කාරණා මතින් ගොඩ නැගෙන ශක්තීන් ගැන කතා කරන මං විවර වෙලා තියෙනවානේ. එවැනි චරිත පාඩම් රැසක් කියා දෙනවා විතරක්ම නොවේ අමරණීය ගුණයන් වර්ධනය වෙනුවෙන් ද සිය මතකයන් මේ පොළොව තුළ රඳවා යන්නට ද අමතක කරන්නේ නම් නැහැ. මේ කියන්නට යන්නෙත් ඒ වගේම කතාවක්. ආරම්භය සුන්දර මාවතකින් ආරම්භ නොවුණු කතාවක්.

කතාවේ චරිතය කාන්තාවක්. නමින් ඇය නජාට් බෙලාකෙම්. සත් හොයුරු පවුලේ දෙවැන්නා වූ මැය 1977 වසරේදී මොරොක්කෝවේ ග්‍රාමීය පෙදෙසක් වූ බ්නි චිකර් හි තමයි උපත ලබා තියෙන්නේ. බෙලාකෙම් දැරියෙක්ව සිටි කාලයේ දී අදට වඩා වෙනස් වූ දින චර්යාවක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. සැබැවින්ම පසුකාලීන ව එනම් වසර 1982 දී සිය පවුලේ අය ද සමඟින් තදාසන්න ප්‍රදේශයක පැවැති ඇමියන් බලා පිටත් වන නිසා එහිදී එළුවන් බලා ගන්නට, ඔවුන්ට ආහාර සපයන්ට, වතුර ආදී දේවල් දෙමින් ගත කරන්නට සිදු වෙලා තියෙන්නේ.

බෙලාකෙම් ගේ පියා වෘත්තීයෙන් පෙදෙරේරුවෙක්. ආදරණීය තාත්තා කෙනෙකු වශයෙන්ම ඔහු තම දරුවන්ට රාත්‍රී සමාජ ශාලා වෙත යාම, අසීමිත ආකාරයට යහළුවන් ඇසුරු කිරීම තරුණියක් ලෙස සමාජ ගත වන අවදිය වන තෙක්ම තහනම් කර තිබුණා. පසුකාලීනව ප්‍රංශයට සංක්‍රමණය වන්නට මේ බෙලාකෙම් පවුලේ උදවියට සිදු වනවා. ඒත් සමගම කෙටි කාලයකින් ප්‍රංශ භාෂාව චතුර ලෙස හැසිරවීමට සමත් වූ නජාට් ප්‍රංශ දේශපාලනය සම්බන්ධව දක්වන ඇල්ම දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රතිඵලය වශයෙන් 2002 වසරේදී පැරිස් දේශපාලන විද්‍යා අධ්‍යන ආයතනයෙන් උපාධි ලබාගන්නවා. නජාට් ජීවන ගමනේ සහකරුවාද මේ අවදියේදීම සොයා ගන්නවා. ඒ සුන්දර ආදරය 2005 වසරේදී විවාහය දක්වා රැගෙන යාමට සමත්වන අතර ඇයගේ හිමිකරුවා වන්නට බොරිස් වොලේඩ් වාසනාවන්ත වෙනවා.

ජීවිතය කොයි තරම් සුන්දරද, බාධාක මැදින් ඉදිරියට යාම කොයි තරම් චමත්කාරජනක ඇත්දැකීමක්ද යන්න ආපසු හැරී බලන විට බෙලාකෙම්ට සිතෙනවා ඇති නේද.. පසුව ක්‍රියාකාරී දේශපාලනය වෙනුවෙන් කැපවන නජාට් 2002 දී සමාජවාදී පක්‍ෂයට සම්බන්ධ වී වෘත්තීමය අයිතීන්, නිවාස අයිතීන් මානව අයිතීන් වෙනුවෙන් ජනයා නැගී සිටුවීමෙහිලා මහඟු මෙහෙයක් ඉටු කරන්නට සමත් වෙනවා. 2005 දී එරට සංස්කෘතික කොමිසමේ මුලසුනට පත් වුවත් 2008 දී ඉල්ලා අස්වෙනවා. කෙසේ වෙතත් 2014 වසරේදී ප්‍රථම අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරිය ලෙස ඇය තේරී පත්වෙනවා. එරට දේශපාලන ඉතිහාසයේ නව මාවතක් කාන්තාවන් වෙනුවෙන් විවර කොට දීමට සමත්කම් දක්වන මේ දිරිය ලියගේ ජයග්‍රහණයෙන් ඇගේ අප්‍රතිහත ධෛර්යය මුසු ගමන් මාවත පිළිබඳව ඔබට පසක් වෙනවා නොවේද?

සංක්‍රමණික වශයෙන් ප්‍රංශයට ආ පසුවත් නොපසුබස්නා උත්සාහයක් ඇතිව රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දක්වා ආ ගමන් මග එතරම් සුලුපටු නොවන බව තවදුරටත් කියන්නට අවැසි නොවේ යැයී සිතෙයි. ජීවිතයක් ලබනා මොහොතේදී අපි කිසිවක් රැගෙන ආ අය නොවන නමුත් ඉන් පසුව අත්වන බොහෝ දෑ දිළිඳුකම, සාම්ප්‍රදායික බව, කාන්තාවක් වීම යන කාරණා මත යැපී පවතින්නක් නොවන බව තවදුරටත් කිව යුතු නොවේ. ඒ බව නජාට් තම ජීවිතයෙන් ඔප්පු කර අවසන්ය.

හිරුණි බස්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: