ප්‍රේමය නම්; ග්‍රස්ථික නියුරෝසියාවට ප්‍රවේශයක්

March 7, 2017 | 3:00 pm    0   426

ප්‍රේමය නම්; ග්‍රස්ථික නියුරෝසියාවට ප්‍රවේශයක්

ලංකාවේ ප්‍රථමවරට සිංහල චිත්‍රපටයක් සඳහා අලුත් පෙරවදනක් නිර්මාණය කර ඇත. කල්පනා සහ වින්දන ආරියවංශ විසින් නිර්මාණය කරන ලද ඔවුන්ගේ ප්‍රථම චිත්‍රපටය නම් කර ඇත්තේ මෙසේය. “මානසික සෞඛ්‍ය සහ මානව සබදතා මත පදනම් වූ අනුවේදනීය ආදර කතාවකින් නිර්මාණය වූ චිත්‍රපටයක්.” චිත්‍රපටයේ නම වන්නේ ‘ප්‍රේමය නම්’. එහි ප්‍රධාන භූමිකා රඟ දක්වන්නේ ෂ්‍යාම් ප්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකාය.

අප මේ ජීවත් වන යුගයේ දී යම්කිසි කලා කෘතියක් ‘යථාර්ථය’ පිළිබඳව අපට සත් අවබෝධයක් ලබා දෙනවාද යන්න (යථාර්ථවාදය) ද්වීතියික කාර්යයකි. වඩා වැදගත් පණිවිඩය වන්නේ චිත්‍රපටයේ කතා නායකයාගේ ආත්මීය ක්‍රියාවයි. තම ආත්මයට වඩා අව්‍යාජ වන ක්‍රියාවට මුල්තැන දීම සමකාලීන කලා කෘතිවල මුඛ්‍ය ලක්‍ෂණයකි. කලා කෘතියක් එය අවට යථාර්ථයට ලක් වන්නේ නැත. ඉන් අදහස් වන්නේ නූතන කලාත්මක නිෂ්පාදනයේදී සෞන්දර්යයට (කලා කෘතියක සප්‍රයෝජනවත් බව) වඩා සදාචාරයට (පුළුල්ව ගත් විට ආචාර ධර්ම) ප්‍රමුඛ තැනක් ලැබේය යන්නයි. මෙම හේතුව නිසා නූතන කලා විචාරයේදී අධිපති ආස්ථානය හිමි වන්නේ දේශපාලනයට නොව සදාචාරයටය. වඩා වැදගත් වන්නේ කලා කෘතියේ දේශපාලනය නොව ප්‍රධාන චරිතයේ හැසිරීමයි. වගවිභාග කරන්නේ මේ හැසිරීම සදාචාර සම්පන්නද? යන ගැටළුවයි. මේ ප්‍රශ්නය “ප්‍රේමය නම්” චිත්‍රපටය අරබයා වඩා වැදගත් වී ඇත.

චිත්‍රපටයකට මානසික ගැටලුවක් සම්බන්ධ කළ විට එය සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙයි. ප්‍රේමයට මානසික ගැටළුවක් සම්බන්ධ කළ විට එය සමාජ ගැටළුවක් බවට පරිවර්තනය වෙයි. මීට  කලින් අප ‘ඇපල්’ පුවත්පත කළ විධිමත් මානසික රෝග ගැන සාකච්ඡා කළ නිසා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවේ චර්යාව ගැන යම් අවබෝධයක් අපට ලැබිය හැක. සෘජු ලෙසම යම් මානසික අපගමනයක් සහිතව පැවැති ප්‍රථම සිංහල චිත්‍රපටය වන්නේ ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ “තුන්වැනි යාමය” චිත්‍රපටයයි. කුඩා කාලයේදී තමන් දුටු මාපිය සම්භෝගය නිසා රෝගී වූ චරිතයක් ගැන චිත්‍රපටයෙන් සාකච්ඡා වෙයි.

“ප්‍රේමය නම්” චිත්‍රපටය සඳහා ද පාදක වී ඇත්තේ මානසික ගැටළුවකි. මානසික ගැටළුවක් සහිත පුද්ගලයකු සමාජයෙන් ඉවත තැබීම සමකාලීන යථාර්ථය තුළ කළ නොහැක්කකි. අද අප ජීවත් වන සමාජය තුළ ‘මානසික රෝගීන්’ සමඟ එකට ජීවත් වීමට බලකෙරී ඇත. චිත්‍රපටය තුළම අපට පෙන්වන මනෝවෛද්‍යවරු යනු ‘උමතුව’ පිළිබඳව නොදන්නා උදවියයි. ලංකාව නම් රටෙහි මනෝවිශ්ලේෂකයන් නැත. චිත්‍රපටය අපව යොමු කරන මුඛ්‍ය දෘෂ්ටිවාදය වන්නේ මනෝ වෛද්‍යවරුන්ට (පැහැදිලිව කිවහොත් මනෝ චිකිත්සකයකු) මානසික රෝග ගැන විද්‍යාත්මක වැටහීමක් ඇත යන්නය. නමුත් අවාසනාවකට මෙන් ‘උමතුව’ (Madness) යනු ශාරීරික රෝගයක් නොවේ. ඒ නිසා උමතුව ප්‍රතිකාර කිරීමට විශේෂඥ දැනුමක් ලංකාවේ මනෝචිකිත්සකයනට නැත. උමතුව ප්‍රතිකාර කරන විට ව්‍යතිරේකමය අවස්ථාවකදී හැර ඔෟෂධ පාවිච්චි වන්නේ නැත. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරු ‘උමතුව’ සඳහා දැනුම ඇත්තන් ලෙස සලකන්නේ මනෝචිකිත්සකයන්ය. මෙය න්‍යායිකව වැරදිය.

උමතුව අදාලව ගත් විට ප්‍රධාන මූලධර්ම දෙකක් ගැන අප දැනුවත් විය යුතුය.

උමතුව යනු ‘යථාර්ථය’ සමඟ සබඳතා අතහැර දැමූවෙකි. එනිසා උමතු පුද්ගලයකු ‘යථාර්ථය’ (මෙතැන යථාර්ථය යනු බහුතර දෙනාගේ එකඟතාවය මත නිර්මාණය කළ ප්‍රබන්ධය යන්නය) සමඟ ගනුදෙනු කරන්නේ වෙනත් ආකාරයකටයි.

චිත්‍රපටයට අදාලව ගතහොත් එහි සාකච්ඡා වන්නේ නියුරෝසියාව කාණ්ඩයට අයිති උප විශේෂයක් වන ග්‍රස්ථික නියුරෝසියාවයි. (Obsessional Neuroses) නියුරෝසිකයා යනු සංකේත නීතිය පිළිගෙන තමන්ගේ ලිංගික ආශාව අවිඥානයට තල්ලු කර එම පීඩාව ශෘංගාරකරණය කරන්නාය.

හිස්ටීරියාව ස්ත්‍රීන් ආශ්‍රිත මානසික ව්‍යුහයක් නම් ග්‍රහස්ථික නියුරෝසියාව යනු පිරිමි මානසික ව්‍යුහයකි. සරලව කිවහොත් ග්‍රස්ථික නියුරෝසියාව යනු පිරිමි රෝගයකි. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ නිර්වචනයට අනුව මානසික රෝගයක් යනු ‘යථාර්ථයට’ අනුව හැඩ නොගැසුණු පුද්ගලයාගේ මානසික ස්වභාවයයි. නමුත් සමකාලීන මනෝවිශ්ලේෂණයට අනුව මානසික රෝගය සහ යථාර්ථය අතර අයලෙක්නික ගැටුම අවධාරණය කරනවා මිස රෝගය බාහිර යථාර්ථයට යටත් විය යුතුය යන අදහසෙන් නිදහස්ය. මේ වන විට වඩා වැදගත් වන්නේ ‘රෝගය’ අර්ථකතනය කිරීම නොව ඉන් ලබන ‘වින්දනය’ තරණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමයි. එබැවින් අප චිත්‍රපටය හරහා සාකච්ඡා කළ යුතු වන්නේ ‘රෝගය’ ගැන නොව ඉන් ලබන ‘වින්දනය’ තරණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමයි. එබැවින් අප චිත්‍රපටය හරහා සාකච්ඡා කළ යුතු වන්නේ ‘රෝගය’ ගැන නොව ඉන් ලබන ‘වින්දනය’ ගැනය. ඊට ප්‍රථම අප ග්‍රස්ථික නියුරෝසියාව යන මානසික අපගමනය නිර්වචනය කරමු.

‘ග්‍රස්ථික නියුරෝසියාව’ අදාල මිනිසාව පාලනය කරන ව්‍යුහයකි. ව්‍යුහය (Structure) යනු අපව පාලනය කරන, එනමුත් අපට සිහි කටයුතු කරගැනීමට දුෂ්කර නිර්නාමික, අවිඥානික බලාවේගයයි. ග්‍රස්ථික ව්‍යුහයක් ඇති පුද්ගලයා උත්සාහ කරන්නේ ‘යථාර්ථය’ යන්න අවබෝධ කර ගැනීමට නොව එය වෙනත් ප්‍රශ්නයක් බවට පත් කරන්නටය.

බොහෝවිට අපට විද්‍යාමාණ වන්නේ ග්‍රස්ථික නියුරෝසියාව එහි රෝග ලක්‍ෂණවලට සීමා වීමයි. බොහෝ විට මෙම රෝගය එහි සිතුවිලි, චාරිත්‍ර-වාරිත්‍ර, අනිවාර්යකාරණයන්, පුනරාවර්තනයන් බවට උෟනනය වෙයි. නොනවත්වා අත් සේදීම, මළපහ කිරීමෙන් පසු ඉවරයක් නොවන පරිදි එය පිරිසිදු කිරීම, ඇඟිලිවලින් කොණ්ඩය පිටුපසට විටින් විට පීරීම, මුදල්වලින් අන්‍යයන් පාලනය කිරීමට උත්සාහ කිරීම. නමුත් අවාසනාවකට මෙන් ‘රෝගය’ යනු රෝග ලක්‍ෂණ නොවේ. ඒවා හුදු ග්‍රස්ථිකයකුගේ ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තුවකි. රෝගයේ අවසාන ලක්‍ෂණය වන්නේ හුදෙකලාවයි.

ග්‍රස්ථික නියුරෝසියාව යනු පියාගේ සංකේතීය නම පිළිබඳ ප්‍රහේලිකාවකි. ග්‍රස්ථිකයකුගේ ගැටළුව වන්නේ තම පියාට සංකේතනය තුළ හිමි තීන්දුව ගෞරවයක් දක්වා විස්ථාපනය කිරීමයි. එය කුලහීනයකු (ඊනියා) තමන්ට අහිමි සමාජ තත්ත්වය මුදල් හෝ බලය හරහා යළි අත්පත් කර ගැනීමට දරණ ව්‍යාජ උත්සාහයක් හා සමකය.

ඉතිරිය ලබන සතියට

දීප්ති කුමාර ගුණරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: