“ප්‍රේමය හොයන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනෙ නැහැ…” වින්දන ආරියවංශ

March 9, 2017 | 1:00 pm    0   379

“ප්‍රේමය හොයන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනෙ නැහැ…” වින්දන ආරියවංශ

කල්පන සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වන ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළවල් 15ක් පමණ නියෝජනය කරමින් පසුගිය පෙබරවාරි  17 වැනිදා රිද්මා සහ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවීම ඇරඹීය. මානසික සෞඛ්‍යය සහ මානව සම්බන්ධතා මත පදනම් වූ අනුවේදනීය ආදර කතාවක් එහි තේමාව බවට පත් ව තිබේ. මෙවර සංවාදය ‘ප්‍රේමය නම්’ සිනමාපටයේ සම අධ්‍යක්ෂක වින්දන ආරියවංශ සමගය.

කලාව කියන්නෙ සත්‍ය සහ කල්පිතයේ එකතුවක්. නමුත් ප්‍රේමය නම් චිත්‍රපටය සත්‍ය කතාවක්. එතකොට මේක කලා නිර්මාණයක් නොවෙයිද?

වෘතාන්ත සිනමාවේ පියා ලෙස සලකන්නෙ ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත්.  ඔහු එක්දහස් නවසිය පහළවේ හදපු ‘බර්ත් ඔෆ් අ නේෂන්’ තමයි කතාංග චිත්‍රපට කලාව සිනමාවට ගෙනාවේ. එදා ඉඳන් අපි හැමෝම උත්සාහ කරන්නෙ සිනමා මාධ්‍යය හරහා ඒ රීතිය පවත්වාගෙන යන්න. මේ සත්‍ය කතාවටත් ඒක පොදුයි. කතාංග කලාව හරහා විඳින්න පුළුවන් දෙයක් නිර්මාණය කිරීම තමයි අපිට අභියෝගය වුණේ. ඇත්තටම මෙහි සියල්ලම සත්‍ය වශයෙන් සිදු වූ දේවල්. සත්‍ය වුවත් කල්පිතය වුවත් සිනමා මාධ්‍යයයෙන් ඉදිරිපත් කරනකොට සිනමාවේ අනන්‍යතාවය රැකගෙන වින්දනීය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට දෙන එකනෙ කරන්න ඕන. නමුත් මානසික රෝග ගැන චිත්‍රපටි හදලා බලන මිනිස්සුන්ට මානසික රෝගයක් හදන්න අපිට ඕනෙ වුණේ නැහැ.

ප්‍රේමය කිව්වාම බොහෝ දෙනෙක්ගෙ මනසේ ඇඳෙන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතරේ ඇතිවන ආදරයක චිත්‍රයක්. එතකොට මේ චිත්‍රපටය හරහා ඔබ කතා කරන්නෙත් ඒ  පිළිබඳව පමණයිද?

පොදු මානව ප්‍රේමය තමයි මේ චිත්‍රපටය හරහා අපි  ගෙනාවේ. ප්‍රේමය ගැන ඇහුවොත් විවිධ පුද්ගලයන් විවිධ දේවල් කියාවි. වාසනාවකි, රමණීය දෙයකි, සැපකි සැනසීමකි, ඛේදයකි, කරුමයකි වගේ දේවල් මිනිස්සු කියන්න පුළුවන්. එක එක්කෙනාගේ පෞද්ගලික අත්දැකීම් මත තමයි ඒක සිදු වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය නරඹන කෙනෙකුට තමන්ගේ අත්දැකීම් අනුව විශේෂ යමක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ චිත්‍රපටය හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට අවසානයේ ප්‍රේමය නම් කුමක්දැයි කියන එක තීරණය කරන්න අපි ඉඩ දීලා තිබෙනවා.

පවතින සමාජ ආර්ථික කාරණා හමුවේ මානව ප්‍රේමය බිඳවැටීම සම්බන්ධයෙන් මේ චිත්‍රපටය තුළ කතා සාකච්ඡා කෙරෙන්නෙ නැද්ද?

අපි පෙන්නුවෙ මේකෙ ධනාත්මක පැත්ත. ඒ කියන්නෙ මානව සන්තානයේ ජයගැනීම. ඛේදවාචකය උලුප්පලා පෙන්වන්න අපට ඕනෙ වුණේ නැහැ. මානව ආත්මයට දරාගන්න පුළුවන් දේවල් සහ කරන්න පුළුවන් දේවල් අසීමිතයි. ඕනකම තියෙනවනම් ඕන දෙයක් ජය  ගන්න පුළුවන්. අපිට පොසිටිව් දෙයක් තමයි ප්‍රකාශනය කරන්න ඕන වුණේ. මනුස්සයෙක් වෙලා ඉපදෙන එකේ වාසනාව දැනෙන්නෙ මනුෂ්‍ය බුද්ධිය මනුෂ්‍ය හදවත පාවිච්චි කරලා මනුෂ්‍ය සංහතියට ජීවන ගුණය වැඩි කරගන්න දායකත්වයක් දැක්වීම මත. ඒකනෙ ජීවත් වීම කියන්නේ. අන්න ඒක තමයි අපිට කියන්න ඕන වුණේ. ප්‍රේමය දිව්‍යමය දෙයක් කිය කියා මිනිස්සු මේ සංකල්පීය දෘෂ්ඨින් දෙන්න යනවා. නමුත් ගෙදර හදන බල්ලා ගන්නකෝ. ඌ කොන්දේසි විරහිතව ආදරෙයි නේද? ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැනේ. හොයල බලනවා නම් අපි ළඟම ප්‍රේමය තියෙනවා. ප්‍රේමය හොයන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනෙ නැහැ. ආදරය කියන එක අපි හඳුනාගන්න ඕනේ. හැබැයි ඒ සඳහා අවබෝධය සහ උවමනාව අවශ්‍යයි.

ප්‍රේමයට අමතරව මානසික රෝගයක් සම්බන්ධ කාරණාවකුත් ඔබ මේ සිනමාපටය තුළ කතා කරනවා. මෙවැන්නක් සිනමාවට නැගුවෙ ඇයි?

මේක සත්‍ය කතාවක්නේ. එතකොට අපි හැම දෙබසක්ම, සිදුවීමක්ම, සෑම අත්දැකීමක්ම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළා. නමුත් අපිට අභියෝගයක් තිබුණා. මොකද අපි මේ චිත්‍රපටය හැදුවෙ ලංකාවට පෙන්වන්නනේ. ලංකාව වගේ අවබෝධය ඉතා පහළ තත්ත්වයක තිබෙන රටකට තමයි අපි මේ චිත්‍රපටය පෙන්වන්නේ. එතකොට පිස්සො කියපුවාම ඔක්කොටම තියෙන්නෙ එකම පිස්සුව කියලා තමයි අපේ රටේ මිනිස්සු හිතන්නේ. එහෙම නෙමෙයි. මානසික රෝගවල ප්‍රභේද ගොඩාක් තියෙනවා. නමුත් අපි උත්සාහ කළේ ඉතා උග්‍ර මානසික රෝගයක් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රේක්ෂකයන්ට පොදුවේ මේ ගැන අවබෝධයක් ලබා දෙන්න. මේ චිත්‍රපටයේ සිටිනවා නියුරෝසියාව කියන මානසික රෝගය උග්‍ර ලෙස වැලඳුණු තරුණයෙක්. ඔහු ඉහළ මධ්‍යම පාංතික දැනුමෙන් බුද්ධියෙන් පිරිපුන් දක්ෂතාවයන් තිබෙන වෘත්තියවේදියෙක්. ජීවිතේ හැම පැත්තෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා. නමුත් ඔහුට මානසිකව තිබෙන ප්‍රශ්නය ඔහුගේ පාලනයේ තිබෙන දෙයක් නෙමෙයි. එතකොට අපට ඕන වුණේ එක සත්‍ය කතාවක් එක රෝගයක් ආශ්‍රයෙන් පොදුවේ මානසික සෞඛ්‍යය ගැන මානසික රෝගීන් ගැන සහ මානසික රෝහල ගැන අවබෝධයක් ලබා දෙන්න. එතකොට මේ චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන්ට පුළුවන් ඒ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එතකොට ඔවුන් ඒ පිළිබඳව සංවේදී වෙනවා. ඒ සඳහා මිනිස්සුන්ව අවබෝධ කිරීමට තමයි අපි උත්සාහ කළේ.

අපේ රටේ මිනිස්සු අටදෙනෙක්ගෙන් එක් අයෙකුට මානසික ව්‍යාකූලතාවයන් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ තත්ත්වය සමාජයක් හැටියට ඛේදනීයයි නේද?

බටහිර වෛද්‍ය විද්‍යාවෙත් මානසික සෞඛ්‍යය කියන එක පරිණාමය වෙමින් පවතින ප්‍රභේදයක්. නඩුවලදී මානසික සෞඛ්‍යය වෛද්‍ය වාර්තා පිළිගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මනෝ වෛද්‍ය විද්‍යාවට නිර්ණායකයක් නොමැති වීම. ඒ නිසා ඒක පිළිගන්නෙ නැහැ. පිළිකාවක් කිව්වොත් ඒක පෙන්වන්න පුළුවන්නෙ භෞතිකව. ඒ නිසා මේක පරිණාමණය වෙමින් පවතින දෙයක්. නමුත් තිබෙන අවාසනාව තමයි බටහිර දියුණු රටවල් ඒ පරිණාමය සමග වේගයෙන් ඉදිරියට ගියත් අපි පරිණාමය වෙන්නෙ ඉතාම මන්දගාමීව. මානසික රෝගියෙක් සමාජයේ ඉන්නවා කියන්නෙ ඒක සමාජයට ප්‍රශ්නයක්. මානසික රෝගියෙක් ප්‍රතිකාර නොගෙන මිනිස්සුත් එක්ක ඇසුරු කරනවා කියන්නෙ කොච්චර දේවල් අවුල් වෙනවද? හිතන්න මානසික රෝගියෙක් රටක් පාලනය කළොත් මොකද වෙන්නෙ කියලා. අපි ඒකෙ ප්‍රතිඵල දැක්කනෙ හතලිස් අටෙන් පස්සේ. අදටත් අපි ඒකෙ ප්‍රතිඵල දකිමින් ඉන්නවනේ. ඇමරිකාවේ දේශපාලඥයෝ, යුරෝපයේ දේශපාලඥයෝ, ඉන්දියාවේ දේශපාලඥයෝ තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරනවා. නමුත් මොකද මේ අපේ රටේ දේශපාලඥයෝ විතරක් මේ විදියට හැසිරෙන්නේ කියල අපි සාකච්ඡා කරනවනේ. ඒකට හේතුව තමයි ඒගොල්ලො බිහි වෙන්නෙත් අපි අතරින්මනේ. රටේ සමස්තයෙන් අටෙන් එකක් මානසික රෝගීන් කියන්නෙ පාර්ලිමේන්තුවේ ගත්තොත් තිහකට කිට්ටුව ඉන්නවා කියන එක. එකසිය පනහක් විතර ඇමතිවරු ඉන්නවා. ඔවුන්ගෙන් විස්සකට වැඩිය මානසික රෝගීන්. එතකොට ඒක හඳුනා නොගෙන ඒකට සංවේදී නොවී පොඩි කාලෙ ඒගොල්ලන්ගෙ දෙමාපියෝ වැඩිහිටියෝ ඒ අයට ප්‍රතිකාර නොකිරීම නිසා අද අපිට ජාතියක් වශයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

අවසන් වශයෙන් මේ ප්‍රශ්නයට උත්තරේ   මොකක්ද කියන කාරණාවට ඔබේ යෝජනාව?

මානසික රෝග සහ මානසික සෞඛ්‍යය පිළිබඳව අවබෝධයක් සමාජගත කළ යුතුයි. ඒ හරහා මේක හඳුනාගෙන අපි ඒකට මුහණ දිය යුතුයි. මොකද මානසික රෝග කියන්නෙ වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු සහ සුව කළ හැකි රෝග. සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන ගණන් වැය කරනවා යටිතල පහසුකම් ගොඩනගන්න. යටිතල පහසුකම් වැඩි කරලා ඕනම භෞතික ලෙඩකට ප්‍රතිකාර කරන්න පුළුවන් තමයි. නමුත් මානසික රෝගයට විසඳුම් හොයන්න යටිතල පහසුකම් දියුණු කරලා වැඩක් නැහැ. ඒගොල්ලො කරන්න ඕනේ ආකල්පීය දියුණුවක් කරන එක. එහෙම වුණොත් මේ තිබෙන ගොඩාක් ප්‍රශ්න විසදෙයි.

සංවාදය හා සටහන – භාතිය ගුණසේන
bhathiyagunasena@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: