පාංශුකූල සිවුරු අද හැදුවොත් පහුවෙනිදට අත්අඩංගුවට – සිරි සමන්තභද්‍ර හිමි

April 8, 2017 | 11:00 am    0   7526

පාංශුකූල සිවුරු අද හැදුවොත් පහුවෙනිදට අත්අඩංගුවට – සිරි සමන්තභද්‍ර හිමි

ඔබවහන්සේ කියන විදියට රහත් බව කියන්නේ මොකක් ද?
ඒ කියන්නේ දුක නැති කිරීම. එයා නැවත ඉපදෙන්නේ නෑ. අපි රහත් බව කියන්නේ උඩින් ඇවිදීමට. රහත් වීම කියන්නේ කෙනෙක්ගේ දර්ශනය එයාට තමා නැවත උපදින්නේ නෑ කියලා උගන්වලා තියෙන එකට. ඒ හැර අනික් දේවල් සම්ප්‍රදායිකයි.

එය විද්‍යාව සමඟ බද්ද ද?
ඇත්තට එහි තියෙන විද්‍යාව නැවත උපතක් නැති එක. නමුත් නූතන විද්‍යාවේ එය ගැඹුරට හදාරලා නැහැ. විද්‍යාවේ හදාරලා තියෙන්නේ යෝග ඕරා එක. අපි එය ඉදිරියේ දී හදාරනවා. ඕරා එකක් තියෙනව ද නැද්ද කියලා. අපි ඒකෙන් කිහිපයක් කළා. ඒත් එය පත්තරේකට කියන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ලංකාවේ එහෙම දෙයක් කරන්න තරම් බුද්ධියක් තියෙන කෙනෙකුත් නැහැ. ඒවා විද්‍යාගාරයක පිටරටක කරන්න ඕන දෙයක්.

ඔබවහන්සේ පටන් ගත්තාම ලංකාවේ අතිබහුතරයක් දෙනා ඔබව ප්‍රතික්ෂේප කළා?
ලංකාවේ ජීවත් වෙන හැමෝම එය ප්‍රතික්ෂේප කළා. නමුත් මම එය නිවැරදි බව දැනගත්තා.

දැන් තත්ත්වේ මොන වගේ ද?
එය දැන් වෙනස් වෙලා. මට අවශ්‍ය වුණා මෙය දෙකට කඩන්න. එකම අන්ධයෝ රැලක් කවදාවත් ළගා වෙන්න බැරි යථාර්තයක් හොයන් යනවා. මමත් කාලයක් එය පිටිපස්සේ ගියා. ඒක පස්සේ යනකොට කකුල් දෙකම රිදෙන්න ගත්තා. ඒ වෙලාවේ මම තීරණය කළා නතර වෙන්න. සාක්ෂාත් කරගත නො හැකි නිවනක් පසුපස අනික් හැමෝම යද්දි මම එහි අනික් පැත්තට ගිහින් එය හොයා ගෙන කෑගහලා කියනවා මම හොයාගත්තා කියලා. එතකොට හැමෝම මට කිව්වා පිස්සෙක් කියලා. ඒත් වසර 05කින් තත්ත්වය වෙනස් වෙලා. අද දෙගොල්ලක් ඉන්නවා. සමහරු මං කියන එක ඇත්ත කියලා, සමහරු කියනවා බුදු කෙනෙක් කියලා. සමහරු කියනවා පිස්සෙක් ඔල්මාදකාරයෙක් කියලා. මට ඕන වුණේ මේ සමාජය දෙකට පලන්න. දෙකට පැලුණේ නැති සමාජයක දර්ශනයක් හෝ තර්කයක් නෑ. එහි ඉන්නේ කුහකයෝ. දර්ශනයක් හදන්න සමාජය දෙකට පලලා මිනිස්සුන්ට තර්ක කරන්න ප්‍රශ්න කරන්න අවශ්‍ය වපසරිය හදන්න ඕන. අපි ඒ තත්ත්වය ඇති කළා. එදා අනික් අය ගහලා බැනලා ගරහද්දි පසුබැස්සා නම් මේ සාර්ථකත්වය ඔබට හෝ මට දැකගන්න හැකි වෙන්නේ නෑ.

මෙවැනි ප්‍රශ්නයක් වුණාම මාධ්‍ය කරන්නේ ප්‍රශ්නය වුණ දෙපිරිස එක තැනකට ගෙනත් ප්‍රශ්නයට වේදිකාවක් හදලා දෙන එක. ඒත් මෙතනදි එහෙම වෙලා නැහැ?
අනික් පාර්ශ්වය ගෙනාවොත් ඒ අය මං ඉස්සරහ පරදිනවා. මාධ්‍ය කියන්නේ ඒකමතික සංස්කෘතික දේකට.

ඔබවහන්සේ ඕනම අවස්ථාවක වාදයකට යන්න ලෑස්ති ද?
අනිවාර්යෙන් ලෑස්තියි මේ දැන් වුණත්. අපිට අවශ්‍ය අපි දන්න දේ ප්‍රශ්න කරන්න. ගෞතම බුදුන් පහළ වුණ වෙලාවෙත් උන්වහන්සේ තර්ක කරලා වාද කළා. අපිත් ඕන වෙලාවක ඒ දේට ලෑස්ති.

මේ පන්සලට එන තැනම ඔබවහන්සේගේ පිළිමයක් තියෙනවා. ඒක මොකක් ද?
එය ගොඩනැඟුවේ මට නිදහසේ ඉන්න ඕන නිසා. මම මෙතන ඉන්නකොට කවුරු හරි කියනවා උන් වහන්සේට වදින්න ඕන කියලා. මන් කියනවා මට වදින්න ඕන නෑ පිළිමෙට වැන්¼දාම ඇති කියලා. මට එය ලේසි නැද්ද?

නමුත් වඳින්න ආපු කෙනාගේ බලාපොරොත්තු බිඳෙනවානේ?
මම කාගෙවත් බලාපොරොත්තු ඉටු කරන්න ආවේ නෑ. මම ආවේ හිත විනාශ කරලා රහත් බවට පත් කරලා යන්න. අපිට අවශ්‍ය වන්නේ මිනිස්සු බොරුවට කොටු කරන එක නෙවෙයි. ඇත්ත පෙන්වන එක. දැන් මට මිනිස්සු වඳින ප්‍රමාණය වැඩී. මම ඒකට ආස නෑ. මම හැමෝටම කියන්නේවත් පිළිවෙත්වලදී මට වඳින්න ඕනම නම් වෙනම වෙලාවක් තියාගන්න. ඒක මට බැරි නම් පිළිමෙට කරන්න. අපි ඉන්නේ 21 වන ශතවර්ෂයේ. මම යටත්විජිත මානසිකත්වයක් තියෙන කෙනෙක් නෙවෙයි. විවෘත කෙනක්.

මුළු ලෝකේම අපේ ආගමික සන්දර්භය තුළ වැඳුම් පිදුම් ලබන ජීවමාන පුද්ගලයා ඔබ ද?
මම විතරයි. අපේ ශ්‍රාවකයෝ විශ්වාසය මතයි වඳින්නේ. මට වඳින්නේ මම යමක් දන්නවා කියන විශ්වාසය මත. යේසුස් වහන්ස්ටත් එහෙමයි. බුදුන්ටත් එහෙමයි. එයාල තුළ දන්නවා කියන විශ්වාසය තියෙනවා. නමුත් ඔවුන් හරියටම දන්නේ නෑ ඒ ශාස්තෘවරු එය දන්නවාම ද කියලා. මගේ අවබෝධය ගැන දන්නේ මම. මගේ අවබෝධය ගැන ඔබ දැන ගන්නේ සාකච්ඡාවෙන්. ඒ තුළින් මා ගැන විශ්වාස කරනවා. මේ ලෝකේ වැඩිපුර විඳින්නේ හා බනින්නේ මට. ඒ දෙකම ප්‍රශ්නයක් නැහැ.

පිළිමේ හදන්න තවත් කාරණා බලපෑව නේද?
මිනිස්සු හිතනවා ගෞතම බුදුන් අඩි ගණනක් උස කෙනෙක් කියලා. මම දිහා බලලා පිළිමේ දිහා බැලුවම ඔබට අපිව වෙනම අඳුනගන්න පුළුවන් ද? මාව නො දැක පිළිමේ විතරක් දැක්කොත් ඔබට මාව අඳුනගන්න පුළුවන් ද? පැහැදිලිවම අපි දෙන්නා දෙන්නෙක්. පිළිමයක් කියන්නේ කලාකාරයගේ නිර්මාණයක් මිසක් ඇත්තම මිනිහා නෙවෙයි. එය කියාගන්න ඕන වුණා මට. මම කවදාවත් ඔළුවේ කොන්ඩේ තියාගෙන නැහැ. නමුත් පිළිමේ කොන්ඩේ තියනවා. මම අහන්නේ ගෞතම බුදුන්ට කොන්ඩේ තිබ්බ ද නැද්ද කියලා.

ඒ කියන්නේ ගෞතම බුද්ධ රූපය අපි වැඳුම් පිදුම් කරන රූපෙ නො වෙන්න පුළුවන්?
ඇත්තටම නැහැ. උන් වහන්සේට කොන්ඩේ තිබුණේ නෑ. පුන්ඩරික සූත්‍රය කියවන්න සූත්‍ර නිකායේ. බමුණෙක් සීතලට උදේ පාන්දර ඉන්නවා. යාග කරනවා. එතකොට බමුණා හොයනවා ඉතුරු වුණ දානේ පූජා කරන්න කෙනෙක්ව. උන්වහන්සේ ඉන්නේ හිස වහගෙන. හිස ඇරියම බමුණා කියනවා මේ ඉන්නේ මුඩු මහනෙක් කියලා. තත්තේ‍ර්ව මුන්ඩක, තත්‍රව සමනක ආදී නම්වලින් උන්වහන්සෙට බනින තැන් සූත්‍ර කිහිපයකම තියෙනවා. අපි දකින මේ බුදු පිළිමය ග්‍රීක අභාසයෙන් ආපු දෙයක්. ප්‍රශ්නයක් නෑ. අපි කලාවට ගරු කරනවා. බෞද්ධාගම කියන්නේ කලාගාරයකයට. බුදුවරයෙකු ප්‍රතිමාවට සමාන කරන්න බැහැ. මං දන්න විදියට මේ මිනිස්සු ඒ ප්‍රතිමාවට මල් පූජා කරනවා. ගෙවල්වල ගිහිනුත් ඒක කරනවා. මට බනිනකොට වගේම වඳිනකොටත් මම කිසිම දෙයක් කියන්නේ නෑ.

අපි අහලා තියෙන ගෞතම බුද්ධ දර්ශනයට අනුව නම් උන් වහන්සේ කිව්වේ අධික කාමභෝගි දිවිපෙවෙත අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා. නමුත් මේ වටපිටාව තුළ අපි දකින්නේ කාමභෝගි දිවිපෙවෙතක් ගෙවන භික්ෂූන් වහන්සේ නමක්?
අකැපැයි කියලා උන් වහන්සේ කියපු දේ හැමදාම අකැපයි. නමුත් අකැප දේ විස්තර කරන්න බැරි වීමේ පොඩි අවුලක් තියෙනවා. මොකක් ද කාමභෝගි කියන්නේ. බුදු දහමේ කාමභෝගි කියලා දෙයක් නැතිකම. බුදු දහමේ කියන්නේ බැඳෙන්නේ නැතුව ඉන්න කියලා. අල්පේච්ඡ කියන්නේ අඩුවෙන් පරිහරණය කිරීම නෙවෙයි. බැඳෙන්නේ නැතුව ඉන්නවා කියන එක. ඒ සේරම තියෙන්නේ තමන්ට තියෙන ප්‍රමාණය අනුව. විශාල කෑමවේලක් හැමදාම කන මිනිහට ඒක කාමභෝගී නෑ. කාලා කාලා එපා වෙන තැන හිඟන්නෙකුට ඒක දෙනවා. එයා ඒක භුක්ති විදින්නේ එක දවසයි. එතකොට ඔහුට එය කාමභෝගී දෙයක්. අත් නො විඳින තාක් ඒක ප්‍රශ්නයක්. කාමභෝගි වෙන්නේ හිත. ද්‍රව්‍ය නෙවෙයි.

දැනට ඔබවහන්සේ යටතේ තියෙන්නේ මේ පන්සල විතර ද?
උමන්දාව. එය කැලයට හැදුවේ. මේ පන්සල හැදුවේ නගරයට. ඒ දෙක කන්සෙප්ට් දෙකකට ගොඩනැඟුවේ.

මෙතනින් එහාට ලංකාව පුරා එය ව්‍යාප්ත කරන්නේ නැද්ද?
ලංකාව පුරාම පන්සල් ව්‍යාප්ත කරලා වැඩක් නෑ. ධර්මයයි ව්‍යාප්ත කළ යුතු වන්නේ. පන්සල් ඕන තරම් තියෙනවා හැබැයි ධර්ම ශාලාවේ ලගින්නේ බල්ලෝ. ඊළග එක ටියුෂන්. අනික ග්‍රාමසේවක. මේ හැමදේම තියෙනවා. නමුත් පන්සල ඇතුළේ ධර්මය නෑ. අපට යමක් කියන්න තැනක් විතරයි ඕන.

ඔබවහන්සේ ගමක් ගානේ ගිහින් ධර්මය දෙන්න කැමති ද?
අපි හැම මාසෙම එහෙම වැඩසටහන් කරනවා. නමුත් මම සම්ප්‍රදායික බණකාරයෙක් නෙවෙයි. මම කාලයක් පිටරටවලත් ලංකාවෙත් බණ රවුමේ ගියා. එහෙම ගිහින් බණ කියන එකෙන් වැඩක් නෑ. මම නැවත ඒ මෝඩ වැඩේ කරන්නේ නෑ.

මොකක් ද ඒකට දෙන වැඩපිළිවෙල?
ඒ තමයි දර්ශනය. මිනිස්සු හදනවා මිසක් බණ කියලා පිරිකර එකතු කරන එක කරන්නේ නෑ. අපි එහෙම කළොත් අපේ අතමිට සරුවෙන්නේ නෑ. නමුත් අපි කියපු දේ අවුරුදු දහස් ගණනක් පවතීවි. බොරු කර කර මායාකාරී ලෝකයේ ඉන්නේ නැතුව තමන්ට කැමති දේ කියලා විප්ලවයක් ඇති කළ යුතුයි.

පන්සල නඩත්තු වෙන්නේ කොහොම ද?
පන්සල නඩත්තු කරන්න විධායක සභා හා කැපකරු සභා කියලා කොටස් දෙකක් තියෙනවා. කැපකරු සභාවේ හැමෝම රුපියල් 100 මාසෙකට දෙනවා. විධායක සභාවේ අයත් දෙනවා. ඊට අමතරව අපිට ආධාර දෙනවා. උමන්දාවේ සල්පිල් පවත්වනවා.

පන්සලට දානේ ගේනව ද?
කෙනෙක්ට දානේ ලැබෙන්නේ මාස 03 කට වරක්. ඒ තරම් සෙනඟ ඉන්නවා. කවුරු අපහාස කළත් ලැබෙන දේ අඩුවක් වුණේ නෑ. ලංකාවේ මිනිස්සු වැඩිපුර කැමති හැමෝම බනින කෙනෙක් කියන දේ අහන්න කියලා මට තේරුණා. එයාල හිතනවා හැමෝම හොඳ කියන කෙනාට වඩා නරක කියන කෙනා ළඟ යමක් තියෙනවා කියලා. මම මේ අන්ත දෙකම අත් විඳපු නිසා මම කියන දේ ඔබට පිළිගන්නම වෙනවා.

ඔබවහන්සේ එදා ඇන්ඳ සිවුර හා දැන් අඳින සිවුර අතර භෞතිකව වෙනසක් තියෙනවා?
මිනිහෙක් වටින්න වටින්න එයාට පොරවන්න ඕන වටින දේවල් ද නොවටිනා දේවල් ද? එය අධ්‍යාත්මික නො වන භෞතික කාරණයක්. එක එක්කෙනාගේ පින. ගෞතම බුදුන් ඇන්ඳේ බාල සිවුරු නෙවෙයි චීනපටසළු. කෝණාගමන බුදුන්ට උන්වහන්සේ චීනපටසළු සමඟ රන් මිරිවැඩිසඟල පූජා කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ගෞතම බුදුන් පරිනිර්වානයට ඇඳන් ගියේ පුක්කුස පූජා කළ මංගල ඇඳුමක්. චීවරය සංස්කෘතික කාරණයක්. මම දායකයෝ පූජා කරන දේ අඳිනවා.

ලංකාවේ ජනප්‍ර්‍රිය පන්සල් අතර මෙයත් එකක්. දේශපාලඥයෝ මේ ජනප්‍රිය තැන්වලට හරිම කෑදරයි?
මෙහේ දේශපාලඥයෝ පුම්බන්නේ නෑ. ආවඩන්නේ හෝ පිරිත් නූල් ගැට ගහන්නේ නෑ. දායකයෙක් විදියට ආවොත් ඇවිත් කතා කරලා යන්න පුළුවන්. ආවා හෝ නාවා කියලා අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ආවොත් අවශ්‍ය උපදෙස් දෙනවා. හාමුදුරුවෝ පක්ෂවලට බෙදිලා ඉන්න ඕන නෑ.

මේ කාලේ ශාසනය පිරිහෙන්නේ ඇයි?
භික්ෂුවගේ ක්‍රියාකාරකම් නිසා. අපි ඒක නවත්වන්න තමා අපි ඇවිත් ඉන්නේ. තව අවුරුදු 10කින් විතර එය වෙයි. දැන් මේක හැමෝටම විවෘත වුණ තැනක්. ඒ විවෘත බව ඇති වුණේ අපි ඇති කරපු තත්ත්වය නිසයි. හාමුදුරුවොන්ගෙන් දැන් බය නැතුව ප්‍රශ්න අහන්න පුළුවන්. එතනදි භික්ෂුව නිවැරදි වෙනවා.

අපේ රටේ පවුල් සංස්ථාව ගැන මොකද හිතන්නේ?
අපේ පවුල් සංස්ථාව විඩාබරයි.

තරුණයන්ගේ රටට දායකත්වය?
දර්ශනයක් නැති නිසා බිංදුවයි.

තරුණයන්ගේ ප්‍රේම සම්බන්ධතා?
කිසිම අවුලක් නෑ. ඕනවට වඩා වැඩී.

තරුණයා ඉන්නේ තාක්ෂණික ලෝකෙක. මේකේ අවසානය?
එය මහා විනාශයක්.

නමුත් ඔබවහන්සේගේ බණ එන්නේ වැඩිපුරම තාක්ෂණය හරහා?
තාක්ෂණය හරහා බණ ගියාට තාක්ෂණයට හිරවිය යුතු නෑ. ලෝකේ හොයාගැනීම් කළ හැම විද්‍යාඥයෙක්ම ඒ කළේ ස්වභාවධර්මය සමඟ.

ඔබවහන්සේ කලින්ට වඩා දැන් නිවුන කෙනෙක්?
කෙනෙක් ආවේගශීලී වෙන්නේ යුද්ධයක් එළියේ තියෙනකොට. සත්‍ය අවබෝධ කරලා කාලයක් යනකොට නිවෙනවා.

දැන් ඔබවහන්සේට විරුද්ධව තිබුණ යුද්ධය ඉවර ද?
දැන් ඒක ඉවරයි. ඒකට විරුද්ධව දැන් කෙනෙක් ආය පහල වෙන්නේ නෑ.

බුදුන් වහන්සේ දේශනා කරපු පාංශකූල සිවුර අමු සොහනක මිනී ඔතපු රෙදිවලින් කහ දියර ඉහලා සකසා ගත යුතු දෙයක්. නමුත් ඔබ කියන දේ මෙයට පරස්පරයි? තාක්ෂණය ඉස්සරහට යන්න යන්න සිවුර මොඩර්න් විය යුතු ද?
සිවුර මොඩර්න් වෙලා ඉවරයි. පාංශකූල චීවර ගන්න බොරැල්ලේ කනත්තේ මිනී ඔතපු රෙදි අද නැහැනේ. එතකොට ඒක ප්‍රැක්ටිකල් ද? සිවුර කඩෙන් ගෙනත් මහන එකයි අද කරන්නේ. මොඩර්න්වීම පිළිගන්නේ නැති එකයි අවුල. ඒ කාලේ අපිත් සිවුරට පඬුු ගහලා ඇන්¼දා. දැන් පඬුු ගහන්න ඕන නෑ හොඳට පාට තියෙද්දි. ඒ කාලෙට ඒක ගැලපුණාට අදට ගැලපෙන්නේ නෑ. මිනිස්සු ආගම දකින්නේ ගෙවුණුු වර්ෂවලින්. අද පාංශකූල සිවුරු හදන්න බැහැ. ඒක අද හැදුවොත් පහුවෙනිදට අත්අඩංගුවට ගනී. මරණ ගොඩ අරන් ඒ වගේ රෙදි අරන් සිවුරු මහන එක රටේ නීතියට අනුව අද පටහැනි දෙයක්.

සිවුරට හැඩතල තියෙනව ද?
රටෙන් රටට සංස්කෘතියට අනුව වෙනස්. සිවුරු ඇන්ඳට රහත් වෙන්නේ නෑ. සිවුර කියන්නේ සංකේතයක්.

අපේ රට මේ වෙලාවේ සබඳතාවලින් ඉන්නේ පොඩි අර්බුදයක. මේ වෙලාවේ අපි ගෙවන ජීවිතය ගැන ඔබ වහන්සේගේ අදහස මොකක් ද?
එය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. ආගම, දේශපාලනය, ආදරය හැමදේම වෙනස් වෙන්න ඕන. හැබැයි එය කරන්න දර්ශනයක් ඕන. දේශපාලනයෙදිත් ඒ දර්ශනයත් එක්ක වෙනස් විය යුතුයි. දර්ශනයට අනුව ඕන දෙයක් කරන්න. පිහිටි දේශපාලන පක්ෂ ක්‍රමය නෙවෙයි ඒ වෙලවට හරි කියලා හිතෙන දේ තෝරාගන්න.

මේ යන විදියට ඔබවහන්සේට දේශපාලනයට එන්න කියලා ආරාධනා කළොත්?
මට ඡන්දේ ඉල්ලා ගන්න දෙයක් නෑ. ඒක අරන් යන්න තැනකුත් නෑ.

මිනිස්සු ඇවිත් කිව්වොත් අපි වෙනුවෙන් කරන්න කියලා?
මම කවුරුත් වෙනුවෙන් නොව මම මම වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්.

වැඩිපුරම මේ වෙලාවේ සිංහල බෞද්ධකම ගැන කතා කරන්නේ සිවුර පොරවාගත් ස්වාමින් වහන්සේලා. මේක ගැන ඔබවහන්සේගේ දැක්ම මොකක් ද?
ජාතියක් දියුණු කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. ජාතිය ධනවත් කිරීම හා ප්‍රඥාවන්ත කිරීම. ඔය ගෙන යන ක්‍රමයෙන් ජාතිය ඉක්මණින් නැති වෙනවා. අපි දියුණුු කරන්න ඕන අපේ ජාතිය නොව මනුෂ්‍ය ජාතිය. මානව හිතවාදියා සේවය කරන්නේ මනුෂ්‍යාට. අපි කෑගහන එකෙන් කළ හැකි එකම දේ පොල්ලක් අතට අරන් ගහන එක. ඒක දුර දිග නො බලා කරන අත්තනොමතික දෙයක්. මිනිස්සු ධනවත් වෙන එක හොඳයි. එය හරහා තමන් දියුණු වෙනවා. ශාසනයටත් යමක් දෙනවා. ඒ නිසා ප්‍රඥාව හා ධනය පමණයි ජාතියක දියුණුවට අවශ්‍යය. එය නිවැරදි දර්ශනයකට අනුව යා යුතුයි.

සංවාදය – ප්‍රගීත් මානියංගම
සටහන – චමෝදි කලුආරච්චි
ඡායාරූප – ජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: