පාළු නිවසක රඳවාගෙන සිසුන් 8කට නවකවදය දුන් සිසුහු 15ක් අත්අඩංගුවට

February 21, 2017 | 12:22 pm    0   368

පාළු නිවසක රඳවාගෙන සිසුන් 8කට නවකවදය දුන් සිසුහු 15ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂී පීඨයේ දෙවන වසරේ සිසු පිරිසක් පේරාදෙණිය මෙගොඩ කළුගමුව ප්‍රදේශයෙන් නිවසක් කුළියට ගෙන එම පීඨයට ඇතුළත්වූ නවක සිසුන් අට දෙනකු එහි රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර පොලු මුගුරු වලින් පහරදී අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් සිටියදී පෙරේදා (19) රාත්‍රී 11.20 ට පමණ පේරාදෙණිය පොලීසිය විසින් අදාළ නිවස වටලා නවක සිසු පිරිස බේරාගෙන ඇත.

වධකාගාරයක් ස්වරූපයෙන් මේ නිවස පවත්වා ගෙන ගිය කෘෂීපීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනකු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අදාළ නිවසේදී අමානුෂික ලෙස නවක වදයට ලක්වූ බව කියන සිසුන් අට දෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර සිසුන් මාසයකට රුපියල් 10000.00 ක කුලී පදනමක් යටතේ මාස ‍තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.ඔවුන් මේ සඳහා රුපියල් 30000.00 ක් ගෙවා තිබෙන බවද දැන ගන්නට ඇත.

මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවට පොලීසිය සැකකරයි.

පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටින සිසුන්ව සැකකාර සිසුන් විසින් මහනුවර සිට වෑන් රථයකින් අදාළ නිවසට පෙරේදා (19) දහවල් රැගෙන ගොස් තිබෙන අතර එහිදී ඔවුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නොයෙක් වධ හිංසන පමණුවා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

සැකකාර සිසුන් මෙම නිවස කුළී පදනම මත ලබාගෙන ඇත්තේ තමන් ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව කියමින් බවද වාර්තාවෙයි.

ප්‍රදේශවාසියකු විසින් ලබාදුන් තොරතුරකට අනුව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා ඇතුඵ කණ්ඩායමක් සමඟ කෘෂි පීඨයේ පීඨාධිපති මහචාර්ය ගාමීණී පුෂ්පකුමාර,විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක,නියෝජ්‍යය විනය පාලක (කෘෂි පීඨය) ආචාර්ය සුරංග කොඩිතුවක්කු,විශ්ව විද්‍යාලයේ වැඩබලන ආරක්ෂක ප්‍රධානී දීපාල් රත්නායක යන නිලධාරීන් අදළ නිවස වැටලීමේ අවස්ථාවට සහභාගීවී ඇත.

මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ විශ්ව විද්‍යාලය තුළ අමානුෂික අන්දමින් සිදුවන නවක වදය පාලනය කිරීම සඳහා පාලනාධිකාරිය විශේෂ අවධානයක් යොමුකර ක්‍රියාකරන බවත් ඊට ශිෂ්‍යය සංගම්වල සහාය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ලලිත් ජයසිංහ,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක,මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන් මහේන්ද්‍ර,සහකාර පොලිස් අධිකාරී එස්.බී දියකෙලින්නාව යන මහත්වරුන්ගේ උපදෙස් මත පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.

 

  • දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: