“පේ‍්‍රමවන්තයෝ” මං ඔයාට ආදරෙයි

February 15, 2017 | 12:34 pm    0   637

“පේ‍්‍රමවන්තයෝ” මං ඔයාට ආදරෙයි

ආදරේ කියන්නෙම ප්‍රෙහෙලිකාවක්. මම හරස් පදයක් වුණ හැමවෙලේම නුඹ සිරස් පදයක් වුණා. සමහර වෙලාවට අපේ ගැලපීම ලස්සනම වස්තුවක් නිර්මාණය කරා. තවත් වෙලාවකට අපේ ගැලපීම අවුල් ජාලයක් නිර්මාණය කරා. සමහර වෙලාවට අගක් මුලක් ගලපගන්න බැරුව අපි දෙන්නම බලාගෙන හිටියා මේ ප්‍රෙහෙලිකාව පුරවගන්න. අන්න ඒ නිසාම මට හිතෙනවා ආදරේදී බලා හිඳීම කියන්නේ හරිම වැදගත් දෙයක් කියලා.

ආදරේදී තරම් ‘බලාහිඳීමට, එහෙමත් නැත්නම් නතර වෙලා හිඳීමට’ වටිනාකමක් ලැබෙන වෙන තැනක් නෑ කියලා වෙලාවකට හිතෙනවා.
ඒත් ඕනම කෙනෙක්ට කරන්න අමාරුම දෙයක් තමයි බලා හිඳින එක. දෙයක් වෙනකම් රැඳී ඉන්න එක. ආදරේ තවත් පැත්තක් තමයි බලා හිඳීම. ආදරේදී මේ දේ හරිම අමාරු දෙයක්. හිතෙන්නේ නැද්ද ඔයාට මිනිස්සුන්ට ඉවසීම නැත්තෙම ආදරේදි කියලා. ආදරේ රැඳිලා තියෙන්නෙම හරිම චංචල හදවත් දෙකක් අතරේ. ඒ චංචල බව තේරුම් අරගෙන ඔයාට ඒ ආදරේ ඇතුළේ රැඳී ඉන්න පුළුවන් නම් ඔයා හිතනවටත් වඩා ඔයාගේ ආදරේට පැවැත්මක් තියේවි. ආදරේදි සමහර දේවල් හම්බවෙන්නේ අපි හිතන්නෙවත් නැති විදියට. තවත් වෙලාවකට ආදරේදී අපට දේවල් අහිමි වෙන්නේ අපි හීනෙකින්වත් නො හිතපු විදියට. අපිට මේ ජීවිතේ ගත කරද්දී වැඩිපුරම අමතක නො වෙන පාඩම් කියල දෙන්නෙ ආදරේදී කියලත් හිතෙනවා.

ඔයා ආදරේ කරන්න ගත්තේ හිතේ කිසිම චකිතයක් නැතිව නේද? ඒක හරි දෙයක් ද වැරදි දෙයක් ද කියලා හිතන්නවත් ඔයා නැවතුණේ නැහැ. ආදරේ කියන්නෙ හරිම සරල අකුරු හරඹයක් වුණාට ‘මම ඔයාට ආදරෙයි’ කියන අකුරු ටික හසුරුව ගන්න ඔයාට, මට අමාරු වුණා. මොකද මේ පුංචි වාක්‍යය අපිට කියන්න පහසු වුණේ ඇත්තටම ආදරේ දැනුණ තැනකදි විතරයි. එතනදි විතරයි ඔයාගේ චකිතේ නැති වුණේ. ඒ තරම් සිතුවිලි සම්මතයකින් හටනකින් පස්සේ ඔයා දිනාගත්ත ආදරේ ළඟ පොඩ්ඩක් නැවතිලා බලා ඉන්න බැරි තරමට ඔයා කලබල වුණේ කොහොම ද? ඇයි ඔයාට එතනදි ‘බලා හිඳීම’ ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි ඔයා එතනදි විතරක් අතහරින්න ඉක්මන් වෙන්නේ?
ආදරේදී සංකීර්ණ වෙනවට වඩා සරල වීම තුළ හරිම සුන්දර පැවැත්මක් තියෙනවා. ඔයා ආදරේ ඇතුළෙදි සංකීර්ණ වෙන්න වෙන්න ඔයාට රිදෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ආදරේ එහෙමයි. සදාකාලික ප්‍රේමයක් ඇතුළේ තියෙන කටුකතම මානය තමයි ‘නිමේෂය’ කියන්නේ’. තවත් අතකට එය සරලව කිව්වොත් ‘බලා හිඳීම’. ප්‍රේමයේදී එක නිමේෂයක බලා හිඳීම නිසා ඔයා නො හිතන විදියකට ඔයාගේ ආදරේ ඓශ්චර්යක් වෙන්න පුළුවන්.

ආදරේදි හදිස්සි වෙලා බලෙන් ඔයාටවත් මටවත් ඕන දේ කරගන්න බැහැ. ආදරය කියන්නේ බලපෑම තුළ බලාගන්න දෙයක් නෙමෙයි. ඒක ස්වභාවිකව ඔයාට ලැබෙනකම් බලන් ඉන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. දෙයක් ඔයාට ලැබුණත් නැතත් ආදරයෙදි දෙයක් ලබාගන්න නම් ඔයාට ගොඩක් ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ආදරේදි ඔයාට දෙයක් ලැබෙනකම් බලන් ඉන්න බැරි නම් ඒ ආදරේ අතරින්න පුළුවන්, අඩුවෙන්ම රිදෙන විදියක් ගැන හිතන්න ඕන. ඒකයි ආදරේදි තියෙන පොදු ධර්මතාවය.

ලස්සනම ලස්සන මැණික් බිහිවෙන්නේ අවුරුදු ගාණක් පතල් යට උණුසුමත් පීඩනයත් එක්ක හරි හරියට පොර බැදලා. ඒ වගේම ලොවක් වසඟ කරන මුතුඇටයක් බිහිවෙන්නේ අනන්ත අප්‍රමාණ විදියට බෙල්ලෙක් වේදනා විඳලා. මට හිතෙනවා ආදරෙත් ඒ වගේ කියලා. ගොඩක් අමාරුයි ඉවසීමෙන් බලන් ඉඳලා, ආදරයක් තමන්ගේ කරගන්න එක. ආදරෙත් රෑ වුණාම එළියට බහින කණාමැදිරියෙක් වගේ. උන්ව බෝතලේකට දාලා හිර කරගෙන ලස්සන බලන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උන්ට පියාඹන්න දීලා ලස්සන බලන්නත් පුළුවන්. ඒ කණාමැදිරියා යනකම් බලන් ඉන්නත් ඕන නම් ආයෙත් එනකම් බලන් ඉන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ආදරේ නිසා ඒ අතාරින කණාමැදිරි ආයෙත් එන්නත් පුළුවන් නො එන්නත් පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් වෙන්න ඕන ඒ දෙකම බලාපොරොත්තුවෙන් ආයෙ නාවත් ඉවසගෙන ඉන්න. ආදරේ එහෙමයි.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: