පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද – ප්‍රදේශයට තවමත් පොලිස් ආරක්ෂාව

July 11, 2017 | 4:25 pm    0   117

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද – ප්‍රදේශයට තවමත් පොලිස් ආරක්ෂාව

මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි වේරුන්දම් සුසාන භූමියේදී අද (11) දහවල් සිදු කෙරේ

මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (10) රාත්‍රියේ සිදුකල අතර එහිදී අනාවරණය වුයේ වෙඩි ප්‍රහාරය පපු ප්‍රදේශයට වැදීමෙන් අනතුරුව හෘදය වස්තුවට ලේ ගලායාමෙන් සිදුවූ මරණයක් බවයි. එම මරණ පරීක්ෂණය යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. මයුරධරන් මහතා විසින් පැවැත්විය.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඊයේ රාත්‍රියේදීම නෑදෑයන්ට භාරදී ඇත.

මනල්කාඩු ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් ඇල්ලීමට පොලිසිය ගිය අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය වූ වැලි පටවාගත් කැන්ටර් රථයකට වෙඩි තැබීමේදී එහි ගමන්ගත් තරුණයෙකු වෙඩි වැදී මියගිය අතර, එම මරණයට සැකපිට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

මෙම සිදුවීමෙන් අනතුරුව එම ප්‍රදේශවල ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්වූ අතර, යාපනය, පේදුරුතුඩුව වැනි ප්‍රදේශ වල ටයර් පුලුස්සා කලහාකාරී ලෙස හැසිරුණ බවද වාර්තා විය.

එම නොසන්සුන්තාවය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ අවසන් වී ඇති අතර, අවසන් කටයුතු සිදුකරන අද (11) දිනයේදී යලිත් එම ප්‍රදේශවල එවැනි කලහාකාරී සිදුවීම් ඇතිවීම වැලක්වීමේ අරමුණින් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇත. ඊයේ දිනයේදීත් මෙලෙස පොලිස් අරාක්ෂාව ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: