බියකරු වූ සමයක පිත්තෙන් ආලෝකය මැවූ බ්‍රෙන්ඩන් කුරුප්පු..

March 23, 2017 | 1:00 pm    0   411

බියකරු වූ සමයක පිත්තෙන් ආලෝකය මැවූ බ්‍රෙන්ඩන් කුරුප්පු..

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී කෙටි කාලයක් යාමට මත්තෙන් ශ‍්‍රී ලංකාවට නවසීලන්තයේ ක‍්‍රිකට් සංචාරයක නිරත වීමට අවස්තාවක් ලැබුණි. නමුත් නවසීලන්තය හමුවේ මුල් වරට රිදෙන්නම බැට කෑ අපිට ආයේ ක‍්‍රිකට්වලින් ඔලූව උස්සන්න හැකි වූයේ වසර ගණනාවකට පසුවය. මේ කාලවකවානුවෙන් අනතුරුව නැවතත් 1987 වර්ෂයේ නවසීලන්තය ශ‍්‍රී ලංකාවට දෙවනි වරටත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට පැමිණියේ පෙර මෙන්ම අපට එලව එලවා පහර දෙන්නට සිතා විය හැක. නමුත් එවර තරගාවලිය ඊට හාත්පසින්ම වෙනස් වූ තරගාවලියක් බවට පත් විය.

කෙසේ වෙතත්, 1987 වර්ෂය කියූ පමණින් ශ‍්‍රී ලාංකීය දේශපාලන සමාජයේ කුරිරුම යුගයක් පසු කළ වකවානුවක් බව පෙනේ. නවසීලන්ත කණ්ඩායම ලංකාවට පැමිණෙනු ලබන්නේ ටෙස්ට් තරග 3 කින් යුත් තරගාවලියක් සඳහාය. නමුත් ඒ අවධිය තුළ දිවයිනේ පැවති රුදුරු කොටි ත‍්‍රස්තවාදී බලපෑම හේතුවෙන් පැවැත්වීමට හැකියාව ලැබුණේ පළමු ටෙස්ට් තරගය පමණි. දෙවන සහ තෙවන ටෙස්ට් තරගයන් ත‍්‍රස්තවාදී බලපෑම් මත සහ අයහපත් දේශපාලන පසුබිම මත නතර කර දමන්නට සිදු විය. මේ හේතුවෙන් එකී බියකරු සමයක පැවති එකම ටෙස්ට් තරගයට ආලෝකයක් වන්නට බ්‍රෙන්ඩන් කුරුප්පුට අවකාශය ලැබුණි.

කොළඹ සී.සී.සී ක‍්‍රීඩාංගණයට හා හෝ කියාගෙන එවර ශ‍්‍රී ලාංකික රසිකයන් පිරෙන්නට වූයේ උණුසුම් තරගයක් නැරඹීමේ අපේක්ෂාවෙන් විය යුතුය. එදා ද අද මෙන් වියළි කාළගුණයක ස්වරූපය දිස්වූයේ දින පහ තුළම කණ්ඩායම් දෙකටම කාළගුණයෙන්ද ආශිර්වාදය එක් කරමිනි. බක් මහේ සැණකෙළිය අවසන් වීමට මත්තෙන් ක‍්‍රිකට් වසන්තය උදා වූයේ අවුරුදු සිරිය දෙගුණ තෙගුණ කරමින්ය.

කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා කරන ලද්දේ එවරද අපට රිසි සේ පහර දෙන්නට සිතා ගෙන විය හැක. මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රොෂාන් මහානාම සමගින් බ්‍රෙන්ඩන් කුරුප්පු ය. එවර කඩුලු පිටුපස වික‍්‍රමය කිරීමටද බාර වූයේ බ්‍රෙන්ඩන් කුරුප්පුට වීම හේතුවෙන් ඔහු සතුව විශාල වගකීමක් පැවරී තිබූ බව පෙනේ. මංගල ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ බ්‍රෙන්ඩන් කුරුප්පුට මෙම තරගය කිසිදා අමතක නොවන තරගයක් විය. ත‍්‍රස්තවාදී පීඩන හමුවේ ජීවිතයේ සතුට උදුරා ගෙන තිබූ මෙවන් සමයක සියල්ලන්ම පොඩි හෝ අස්වැසිල්ලක් ලබන්නට ඇත්තේ මෙම ක‍්‍රිකට් තරග නිසා යයි වරකට සිතේ.

මංගල තරගයට සහභාගි වන  ඕනෑම කෙනෙකුට පාහේ යම් චකිතයක් ගොඩනැගීම සාමන්‍ය පොදු කරුණකි. නමුත් එකී පීඩනය ශක්තියක් කර ගත් බ්‍රෙන්ඩන් කුරුප්පු මෙම තරගයේ පළමු ඉණිමේදීම අගනා ලකුණු 201 රැුස්කරමින් වාර්තා කිහිපයක් ඉදිරියේ තම නම ලියා දමන්නට වාසනාවන්තයෙකු විය. මිනිත්තු 777ක කාලයක් පන්දුවත් පිත්තත් අතර ඒ කළා වූ වික‍්‍රමය සිහිවෙන විට දැනෙන හැ‘ගීම වචනවලට සීමා කළ නොහැක්කකි. ඔහු පන්දු 548ක් තුළ හතරේ පහර 24 ක් සමගින් ලකුණු 201 ක් රැුස්කිරීමට සමත් වූයේ  ද්විත්ව ශතකයක් රැස් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික ටෙස්ට් ක‍්‍රීඩකයා බවට පත් වෙමින්ය. ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තම නාමය රන් අකුරින් ලියාගන්නට බ්‍රෙන්ඩන් කුරුප්පුට හැකියාව ලැබීම ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙන් අපටද ආඩම්බරයකි. බ්‍රෙන්ඩන්ගේ මෙම ඉණිම ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තෙවනි දීර්ඝතම ඉණිම ලෙස එදා සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී වාර්තා පොත් අතරට එක් වූයේ ලාංකීය අභිමානය මනාව ඔප් නංවමින්ය.

භීෂණ මැදින් නොබියව ගමන් කොට ද්විත්ව ශතකයක හිමිකරුවා බවට පත් වූ බ්‍රෙන්ඩන් කුරුප්පු ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් වංශ කතාවේ එකී යුගයේ නොමැකෙනා ක‍්‍රිකට් විරුවෙක් බවට පත් විය. ක‍්‍රීඩාවට සමු දෙන විට ඔහු ක‍්‍රීඩා කර තිබුණේ තරග 7ක් වැනි කුඩා සංඛ්‍යාවක් වුවද පන්දුවට පහර දීමේ වේගය 53.33 ලෙස රඳවා ගනිමින් තිබුණි. කෙටි කාලයක් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ද එකී කෙටි කාලය කණ්ඩායමේ ප‍්‍රධාන පුරුකක් බවට පත් වීමට ඔහුට අවකාශය ලැබුණු බව මින් පෙනී යයි.

දිනෙන් දින වාර්තා පොත ලියවෙන්නා සේම වාර්තා බිඳ හෙලමින් ඉදිරියට පැමිණෙන ක‍්‍රිකට් තරු වර්ථමානයේද වරින් වර මෙම දර්ශන තලයට පායා එන්නේය. නමුත් එකී තරු නැවතත් ක්ෂණිකයෙන් බොඳවී යාමට හේතුව කුමක්දැයි වර්ථමාන ක‍්‍රිකට් දෙස බැලීමේදී පෙනෙන ප‍්‍රධාන කරුණකි. මේ හේතුවෙන් මොවුන් ආරක්ෂා කර ගැනීම ක‍්‍රිකට් ආයතනයේ වගකීම මෙන් ම ඔබගේද වගකීමකි.

සමීර ගොඩපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: