බුකිය හාරා ජීවිතයක් බේරා ගන්නට කැපවුණු ගාල්ලේ තරුණයා

January 23, 2017 | 10:08 am    0   1244

බුකිය හාරා ජීවිතයක් බේරා ගන්නට කැපවුණු ගාල්ලේ තරුණයා

පරක් තෙරක් නො පෙනෙන සයිබර් අහස තුළ බොහෝඅය බොහෝ දේ සොයා සැරිසරති. සමහරුන් එහි මිත්‍රත්වය සොයද්දී සමහරුන් ආදරය සහ සෙනෙහස සොයති. තවත් සමහරුන්ට නම් සයිබරය දැනුම ගබඩාවකි. එහෙත් තවත් අය සයිබරයට එන්නේ පාළුව හෝ තනිකම මකාගන්නට ය. මේ අතරම බොහෝ අය පහත් ගණයේ ආශාවන් සන්තර්පණය කරගන්නට ද සයිබරය හොඳ හැටි භාවිතා කරයි. එකී මෙකී නො කී බොහෝ දේ අතර ඔහු ද දිනපතා සයිබරයට එන්නේ මූණුපොතේ සැරිසරමින් මිතුරන් හා විනෝද වන්නට ය. තවමත් ජීවන ගමනේ 24වෙනි කඩඉම පමණක් පසු කර ඇති ඔහුට ඇය මුණගැහෙන්නේ මූණුපොත නිසා ය. ඔහුගේ අරමුණ වෙනස් වන්නේ ඇය නිසා ය. ඇගේ හමුව ඔහුට නව අරමුණක් දුන්නා සේම ඇයට ජීවිතය ලබාදුන්නා ය.

දැන් බොහෝදෙනෙකු තුළ ඇත්තේ කුතුහලයක් බව අපි දනිමු. ඔහු කවුද? ඇය කවුද? මේ කියන්නට යන්නේ ඇපල් අපට හමුවුණ අලුත් කතාවකි. ඔහු නමින් හිරාන් කල්හාර ය. ගාල්ලේ ඉපිද කොළඹට එන්නේ වෙන කිසිවක් නිසා නොව මුදල් සොයන්නට ය. ඒ පස පිළිබද පර්යේෂණ කරන ආයතනයකට ය. ඔහු එහි වැඩ පරීක්ෂකවරයෙකි (සුපර්වයිසර්). කාර්යබහුල රාජකාරී ජීවිතය තුළ විවේකයක් ලැබෙන සෑමවිටම ඔහු මූණුපොත සොයා එයි. ඒ අන් අයට මෙන්ම ඔහුට ද එය විනෝදය පාලුව මෙන්ම තනිකම ද මකන ස්ථානයක් නිසා ය. එලෙස තනිකම පාලුව හා එදිනෙදා තොරතුරු දැන ගන්නට මූණුපොත කරා එන එක්තරා සවස් යාමයක ඔහුගේ හද කම්පාවට පත් කරන දසුනක් නෙත ගැටේ. ඒ ඇගේ මුල්ම සේයාරුව ය. තවමත් වයස අවුරුදු 03ක් පමණක් වූ ඇය දුටු විගස ඔහුට දැනුණේ දැඩි අනුකම්පාවකි. ඒ සිඟිති ඇයගේ මුහුණේ තිබූ හුරුබුහුටිකම නිසා නොව ඇගේ සේයා රුවට පහළින් ලියා තිබූ දේ නිසා ය.

කවුරුන් හෝ නො දන්නා අයෙක් විසින් සකසා කිහිපදෙනෙකු ෂෙයා කර තිබූ එම සේයාරුව රැගත් පෝස්ටුවේ යටින් තිබුණේ ඇය දරුණු ගණයේ රෝගයකින් පෙළෙන බව ය. සැබවින්ම ඇයට තිබුණේ දුර්ලභ ගණයේ රෝගයකි. එනම් අක්මාවෙන් රුධිරය වහනය වීමේ රෝගයකි. ඇය සහේලි රෙහන්සා ය. ඇගේ රුව දුටු මුල්ම දිනයේම ඔහුගේ නින්ද පළා ගියේ ය. වෙන වැඩ කෙරෙහි තිබූ උනන්දුව නැති වී ගියේ ය. ඔහුට තිබූ එකම අරමුණ ඇය සොයා ගොස් ඇයව දැක බලාගැනීම පමණි. ඔහු ඒ නිසාම පහුවදා අවදි වූ සැණින් ඇගේ සේයාරුව රැගත් පෝස්ටුවට යටින් තිබූ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දුන්නේ ය. එයට පිළිතුරු දුන්නේ ඇගේ මව ය. ඇගේ මව සමඟ කතා කිරීමෙන් පසු ඔහු ඇය ඉන්නා තැන ගැන තොරතුරු දැනගත්තේ ය. ඇය ද ඔහු උපන් ගමේම ය. එය දෛවෝපගත ය. ඒ එදින නිවාඩු දිනයක් වූ බැවින් ඔහු කොළඹ සිට සිය නිවස කරා යාමට සියල්ල සූදානම් කරන අතරතුර මේ දුරකථන ඇමතුම ගන්නට ඔහුට සිතුණු බැවිනි. සැබවින්ම ඔහු මිටින් මුදා හල කුරුල්ලෙකු මෙන් ගාල්ල බලා පිටත් වුණා ය. ඔහු ගියේ ඔහුගේ නිවසට නොව ඇගේ මව කී මන් සලකුණු ඔස්සේ ඇගේ නිවසට ය. මෙතෙක් සේයාරුවකින් පමණක් දැක සිටි ඇයව මුල් වරට ඔහු හැබැහින් දැකගත්තා ය.

ඔහු ඇයට සිනාසුණා ය. එහෙත් ඇය ඔහු සමඟ සිනාසුණේවත් නැත. ඇය ඒ තරමටම අපහසුවෙන් සිටින බව ඔහුට වැටහුණා ය. මවගේ ඇකයට වී මුළු ඇඟ පුරා වසා ගත් තුවාලවල වේදනාවෙන් ඇය කෑගැසුවා ය. ඇගේ සිඟිති මුහුණේ සතුට වෙනුවට තිබුණේ දැඩි වේදනාවකි. ඒ නිසාම ඇගේ පවුලේ අයට තිබුණේ ඇය ඒ වේදනාවෙන් මුදවා ගැනීමට නො හැකිකම නිසා ඇති වුණ වේදනාවකි. මේ සියල්ල දුටු අපේ කතානායකයාගේ අරමුණ අලුත් විය. සැබවින්ම ඔහු කොළඹ සිට ගාල්ලට එන්නේ ඇය දැක බලාගෙන තම අතේ ඇති මුදලින් ආධාරයක් කොට ගෙදර යන්නට ය. එහෙත් ඇය හැබැහින් දැකගත් පසු ඔහුට ඇයව සුවපත් කිරීමට අවශ්‍ය විය. ඔහු ඇගේ මවගෙන් ඒ සදහා වැයවෙන මුදල විමසුවා ය. එය ඔවුන්ට පහසුවෙන් සොයා ගත හැකි මුදලක් නොවී ය. ලක්ෂවලින් නම් එය ලක්ෂ 80ව ද ඉක්මවා යන අතිවිශාල මුදලකි. පවුලේ නෑදෑයන් හා හිතමිතුරන්ගෙන් ලැබුණු ලක්ෂ නමයක පමණ මුදලක් සහේලිගේ මව සතුව දැනටමත් තිබුණි. එහෙත් එය ඇය වෙනුවෙන් ඉන්දියාවේදී කළ යුතු ශල්‍යකර්මය සඳහා වැය වෙන මුදලෙන් භාගයක් තරම්වත් නොවන්නේ ය. ඒ නිසාම දැන් සහේලිගේ පවුල සිටින්නේ දැඩි අසරණ තත්ත්වයක ය. හිරාන් ලබාගන්නා මාස 03ක වැටුප ඔවුන්ට පරිත්‍යාග කළ ද සහේලිගේ ශල්‍ය කර්මයට එය ද ප්‍රමාණවත් නැත. සහේලිගේ නිවසින් ඒ නිසාම හිරාන් පිටව ගියේ විශාල දුකක් හිතේ හිර කරගෙන ය. ඔහුට ඇය සිහිනෙන් ද පෙනුණේ ය. ඇගේ සිඟිති මුහුණේ තිබූ වේදනාව ඔහු දුටුවේ ය. අක්මාවෙන් රුධිරය වහනය වන නිසාම ඇගේ ශරීරය මතුපිට සැරව පිරුණු තුවාල රැසක් තිබුණි. ඇය ඒවා පහුරු ගෑවේ දැඩි වේදනාවකිනි. සහේලිගේ මව කියූ ලෙස නම් ඒ තුවාල කසන ස්වරූපයේ ඒවා ය. ඒ නිසාම කෙතරම් ඉවත් කළ ද ඒවා පෑරෙන තරමටම සහේලිගේ දෑත් තුවාල කරා දිව්වා ය. ඇත්තටම ඇය වේදනාවෙන් ඒවා නිතරම කැසූ නිසාම ඒවා පෑරී තව තවත් ඇයට වේදනා දුන්නා ය. හිරාන් දෙවන වර ඇය දුටු විට ද ඒවා එලෙසම තිබුණා ය. ඇය සුරතල් වචන කියමින් හිරාන් හා දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්තා ය. ඒ නිසාම හිරාන්ට ද ඇයව සුවපත් කිරීමට දැඩි උවමනාවක් ඇති වුණි. ඔහු ඔහුගේ මිතුරන් සොයා ගියා ය. සුළු ආධාරයක් හැරෙන්නට ඔහුට වැඩි දෙයක් නො ලැබිණි. ඔහු ඒ නිසාම සහේලි සුවපත් කරන්නට මුදල් සොයාගත හැකි වෙනත් මාර්ගයක් සොයන්නට විය. එවිට ඔහුට මූණුපොත මතක් විය.

හිරාන් කරන්නේ සහේලිගේ නිවසට ගොස් ඇගේ සේයාරූප කිහිපයක් ගෙන ඒවා ද එක් කොට පෝස්ට් සකසා තම ෆේස්බුක් ගිණුමට ඒවා එක් කිරීම පමණි. මුලින්ම කමෙන්ට් දෙක තුනකින් ආරම්භ වී කමෙන්ට් සීයය ද ඉක්මවමින් ඔහුට ප්‍රතිචාර ලැබෙන්නට විය. දෙවන වතාවට ඔහු ඇය වේදනාවෙන් පෙළෙන වීඩියෝ කිහිපයක් ඔහුගේ ගිණුමට එක් කරයි. ඒ සමඟම ඊට ප්‍රතිචාර දක්වන්නට මෙරට සිටින අය පමණක් නොව විදේශගත වූ ශ්‍රී ලංකීකයන් ද එක් වුණි. ඔහු බොහෝදෙනෙකුට කීවේ ඇගේ ගිණුමට රුපියල් දහසකින් ආදර කරන්නට කියා ය. ඒ ඔහුට කෙසේ හෝ ලක්ෂ දහයක මුදලක් ඇගේ දෙමාපියන්ට සොයාදීමට උවමනා වූ නිසා ය. එහෙත් ඔහුවත් නො සිතන ප්‍රතිචාර බොහෝමයක් සහේලිට ලැබුණි. ඒ ඔහු මෙලෙස ආධාර ඉල්ලමින් සහේලිගේ ඡායරූප එක් කොට සතියක් ඉක්ම යන්නට මත්තෙන් ඇගේ ගිණුමට ලක්ෂ 80 ඉක්මවා මුදල් ලැබිම නිසා ය. දැන් ඇගේ ශල්‍යකර්මය කිරීමට අවශ්‍ය මුදල ඇගේ දෙමව්පියන්ට ඔහු සොයාදී අවසාන ය. ඔහුම කියනා පරිදි ඒ ඔහුවත් නො සිතූ මුදල් ප්‍රමාණයකි. ඒ නිසාම දැන් ඔහුට ඇත්තේ පුදුමාකාර සතුටකි. ඔහු ඇපල් අපට පැවසූ පරිදි සහේලි වෙනුවෙන් ආධාර කළ බෙහෝදෙනා කොරියාව වැනි රටවල සිටින ශ්‍රී ලාංකීක තරුණයන් ය. ඒ සියලුදෙනාට ඔහු ස්තූති කරන්නේ හෘදයාංගමව ය. ඔහු සහේලිට උදව් කළ පරිදිම තවත් මෙවැනි ක්‍රියා ඉදිරියට ද නො නවත්වාම සිදු කරන බව ඇපල් අප සමග පැවසීය.
සහේලිගේ කතාව එතනින් අවසන් වූව ද එවැනි අසරණ වූ අය ලංකාව පුරාම අනන්තවත් සිටින බව ඇපල් අපි දනිමු. එහෙත් ඔවුන්ට උදව් කරන්නට හිරාන් වැනි උත්සාහවන්ත තරුණයන් ලංකාව පුරාම එතරම් නැත. බොහෝදෙනෙකු මූණුපොත භාවිත කොට මත්ද්‍රව්‍ය සාද තියද්දී හිරාන් වැනි තරුණයන් සැබවින්ම රටේ තාරුණ්‍යට ආදර්ශයක් බව කිව යුතුම ය. ඒ නිසාම ඇපල් අපි තාරුණ්‍යයේ ජාතික පුවත්පත ලෙස ඔහුගේ ක්‍රියාව අගය කරන අතරේම ඔහුගේ අනාගතයට සුබපතන්නෙමු. එසේම දවස පුරා අරමුණකින් තොරව අනුන්ගේ ඕපාදූප සොයමින් අරමුණක් නැතුව මූණුපොතේ සැරිසරන බොහෝ තරුණ තරුණියන්ට ඔහු ආදර්ශයක් බව ද මතක් කරන්නෙමු.

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: