බුද්ධාලම්භන ප්‍රීතිය වෙනුවෙන් දියවන්නා වෙසක් කලාපයට එන්න

May 8, 2017 | 3:00 pm    0   369

බුද්ධාලම්භන ප්‍රීතිය වෙනුවෙන් දියවන්නා වෙසක් කලාපයට එන්න

බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලැබූ රටවල් අතුරින් ශ‍්‍රී ලංකාවට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි.

ශ‍්‍රී ලංකා රජය විසින් කරන ලද යෝජනාවක් ජාත්‍යන්තරය විසින් පිළිගෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල ශ‍්‍රී ලංකාවට ලැබීම ඉතා සුවිශේෂී තත්ත්වයකි.

මෙමගින් බෞද්ධ රාජ්‍ය තාන්ති‍්‍රිකභාවයටත්, ලොව පුරා පවතින පාරිසරික ගැටලු සඳහාත් විසඳුම් සැපයීමේ අවස්ථාවක් බවට මෙවර ජාත්‍යන්තර වෙසක් දිනය අපට පත් කර ගත හැකිය. එය අර්ථවත් කරමින් රට පුරා නන් දෙස පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් කලාප අතුරින් දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය සංවිධානය කිරීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් සියලු කටයුතු සකසා සපුරා ඉටු කර අවසන් ය.

පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය වෙසක් මස 10 වන දා සිට 14 වන දා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ සිදු කරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ සහ ආසියානු රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙන ඒ ඒ රටවල්වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී ඔබට දැක ගත හැකිය.

අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජලතිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතා වස්තුව නිර්මාණය කර ඇත. අඩි 60 ක් උස අඩි 40 ක් පළල ලේසර් තොරණෙහි දි සිදුහත් උපත සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිතුවම් නිර්මාණය කෙරේ.

දියවන්නා ඔය ආශ‍්‍රිතව නෙළුම්මල් 2,500 ක් පා කරමින් පළමු වරට ආලෝකමත් කෙරෙන ජල පුෂ්පයක් ද, පොල්දූව මංසන්දියේ දියවන්නා ඔයේ ස්ථාපිත කර ඇත. ජපන් මිත‍්‍රත්ව පාරේ, අපේගම පරිශ‍්‍රයට යාබද  වෙසක් උද්‍යානයේ ඩිජිටල් තොරන්, වෙසක් කූඩු, ශ‍්‍රී ලංකාවට උරුම චෛත්‍ය සම්ප‍්‍රදාය ඇතුළු අලංකෘත වෙසක් සැරසිලි රාශියකින් සමන්විත ය. 10 වන දා රාත‍්‍රී 7.30 සිට 12 වනදා රාත‍්‍රිය දක්වා දිනකට 75,000 කට සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම කි‍්‍රයාත්මක නූඞ්ල්ස් දන්සල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ. මේ සියලුම දේ ඔබේ නෙතින් දරාගෙන බුද්ධාලම්භන ප‍්‍රීතිය උපදවාගෙන යහපත් සිතින් දැකබලා සතුටුවන්නට ඔබත් පැමිණෙන්න.

11 වන දින උදෑසන 3,000 ක් දෙනා වෙනුවෙන් සිදු කරන විශේෂ භාවනා වැඩසටහන සහ එදිනම දහවල් මහාසංඝරත්නය 500 නමක් උදෙසා මහා පිණ්ඩපාත චාරිකාව සහ සංඝත දක්ෂිණාව ද කථානායක නිල නිවසේ දී පැවැත්වේ. දියවන්නා වෙසක් කලාපයේ ආරම්භක දවස මැයි 10 වන දා සවස 6.30 ට දියත උද්‍යානයේ විශේෂ පීඨිකාවක අතිගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ආසියානු කලාපයේ නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනයේ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ ශ‍්‍රී ලංකාවයි. පසුකාලීනව වෙළඳ හා යුධ ආදී විවිධ ආක‍්‍රමණ නිසාත් දේශපාලන මතවාද හේතුවෙනුත් ආසියාව තුළ බෞද්ධ දර්ශනයේ තරමක පසුබෑමක් දක්නට ලැබුණි. නමුත් අද දේශපාලනික සහ ආර්ථික වශයෙන් ප‍්‍රධාන බලවේගයක් බවට ආසියාව ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී උතුම් බුද්ධාලම්භන ප‍්‍රීතිය උපදවාගෙන අඛණ්ඩ ශ‍්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අගනා පණිවුඩය ලබාදීමට මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉවහල් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: