මං හිතන්නේ හෙට දවස පිළිබඳව විතරයි. නැති නම් වෙන වැඩපිළිවෙලක් වෙනවා – නන්දන වීරසිංහ

February 23, 2017 | 4:43 pm    0   607

මං හිතන්නේ හෙට දවස පිළිබඳව විතරයි. නැති නම් වෙන වැඩපිළිවෙලක් වෙනවා – නන්දන වීරසිංහ

ගිං ගඟේ විලාපය, කිරි සුවදැති රාත්‍රිය කාව්‍ය සංග්‍රහයන් රචනා කරමින් පුවත්පත් ගණනාවකට නියෝජ්‍ය කතෘ ධූරය තෙක් පැමිණි ඔහු සාහිත්‍ය පිටු, කවිපිටු අතර නිතර නම හුරු නන්දන වීරසිංහ ය. ඔබ මා වලව්වට වැසි ඇවිත් කාව්‍යයෙන් ඔහුගේ කවි රස විඳි අය වුව ද ඔහු ඊට එහා ගිය පරිචයක් තිබේ. ලෝක සාහිත්‍ය ගැන ද ඔහුගේ පරිචය මනා ය.

කවියේ වෙනස්කම්වලට භාජනය කරමින් පර්යේෂණවල නිරත වන ඔහු අද සැදෑ සුවය ගත කරමින් ජීවත් වන්නේ මහරගම ප්‍රදේශයේ මනරම් වෙල්එළියක් සහ හරිත වර්ණයෙන් යුතු පරිසරයක ය. මම එදා සිතූ පරිදි එය සිතලුවක් නො කර සැබෑවක් කර ගැනීමට නන්දන වීරසිංහගේ නිවහනට ගොඩවන්නේ ඔහුගේ පිළිගැනීමත් සමඟ ය.

මේ ලෝකයේ හැමදාම වෙනස් වුණේ කාගේ හෝ මතවාදයත් චින්තනයත් මත ය. එය කෙසේ වුව ද මා කියනා අය එසේ වූවා ද නැති ද යන්න මං නො දන්නෙමි. එහෙත් ඔහුගේ ලියූ කියූ දේ ජන හදවත් කම්පනය කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ නූතන පද්‍ය ලෙස වලව්වට වැසි ඇවිත් කවිය ඔබ දන්නවා ඇත. එය කලා විෂය හැදෑරූ අය අනිවාර්යෙන් දන්නවා ඇති ය. ඉතින් මා ඔහු හමුවීමට යන විටත් ඔහුගේ සියලු කවි සටහන් මකා වෙනත් කවියක් එතැනට ආදේශ කර ඇත. එහෙත් ඔහු එය උපේක්ෂාවෙන් විඳ ගනිමින් සිටින්නේ කවියාට අටලෝ දහමට මුහුණ දීමට හැකි නිසා ය.

“මොකද දැන් වලව්වට වැසි කවියට වුණේ? අයින් කරල ද?”
“ඔව් එයාල නිර්දේශය හදල ඉවරයි.”

“කවුද ඔයා නිර්දේශ කරන්නේ”
“රත්න විජේතුංග, අගලකඩ සිරිසුමන, අරංගල ඔය අරංගල මහත්තය මං අවුරුදු ගාණක් දන්න අය.”

“අරංගල සර් තරහක ද ඉන්නේ නන්දන වීරසිංහ සමඟ?”
“අනේ මගේ නම් නෑ. මුල් කාලයේ අපේ කවි ගැන කතා කළා. ඒත් පසුකාලීනව එහෙම නැතිව ගියා.”

එහෙම කියා මඳක් නිහඬව සිටි ඔහු මා සසලවන ලෙස හුස්මක් පිට කර ඉතාමත් සෙමින් නැවත කතාවකට මුල පිරුවා. වැඩ අහවර වෙමින් තිබූ ඉහළ මාලය දෙස බලා මා පඩිපෙළේ උඩම පඩියේ සිට පහලම පඩිය තෙක් සිතින් පියමං කළෙමි.

“මෙහෙම සතුටක් තියෙනවා. මොකද මං මෙච්චර කල් කවියෙක් කියලා හිතාගෙන හිටිය නම් දැන් දන්නවා මං කවියෙක් නො වන වග. මං රාජ්‍ය සම්මාන පස් පාරක් ගත්තා. ඒත් අද මං හිත හදාගෙන ඉන්නවා අර අරගොල්ල මාව කවියෙක් නො වන ගොඩට දැම්ම නිසා සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා. මං කවිය වගේ දෙයක් නැවත ලියන්න හිතාගෙන ඉන්නවා.”

“ඔහු කවීන් හැටියට යෝජනා කරන්නේ කවුද?”
“ජී.බී.සේනානායක ඉඳලා රත්න ශ්‍රී වෙනකං අරගෙන තියෙනවා.”

“කොහොම ද නූතන පද්‍ය සංග්‍රහය මුද්‍රණයට සූදානම් කරල තියෙන්නේ?
“එක කවියෙකුගෙන් කවි තුනක් අරගෙන. අනික තවම එය මුද්‍රණයට යැවීම තහනම් කරල තියෙනවා. මෙම කප්පාදුවට විරුද්ධව හඬ නඟපු අයගෙන් දැනට ඔය පොතට ඇතුළත්ව ඉන්නේ ප්‍රවීන කිවියර පරාක්‍රම කොඩිතුවක්කු.”

“එතකොට නන්දන වීරසිංහ කවියා ඉතිහාසයෙන් කප්පාදු කරන්න ද හදන්නේ?”
“ඔව්නේ. අවුරුදු ගණනාවකට අපිව දන්නේ නැතිව යනවනේ.”

අම්මා තාත්තෙකුට තම දරුවන් තරම් අගනා වස්තුවක් වෙන කිසිවකට සම නැත. එහෙත් ඔවුන් කොතැනකදී හෝ ප්‍රතික්ෂේප වූ විට ඒ වෙනුවෙන් අප්‍රමාණ දුකක් දැනේ. ඒ සඳහා මැදිහත් වේ. හුණුවටය කතාව ඔබට මතක නම් එහිදී සැබෑ මව කරනුයේ තම දරුවගේ අයිතිය විඳ දරාගෙන අතින් අල්ලා තමාට ජයග්‍රහණය ලබාගැනීම ඇඳීම නො කිරීමයි. එය සැබෑ සෙනෙහස හා මව් ගුණයයි. ඉතින් කලාකරුවාට හෝ කවියාට තම නිර්මාණය හෙවත් කවියා එතරම්ම අගනේ ය. එය ප්‍රතික්ෂේප කිරීම සාධාරණයක් වේ නම් ගැටළුවක් නැත. එහෙත් එය එසේ නො වන වග කලා විෂයන් හදාරා නැති මම ද දන්නෙමි. එහෙනම් ඔබට එය ඊට වඩා දැනිය හැකි ය. ඔහු කවියෙන් ජීවත් වූවෙක් නො වන නිසා එය කිසිම ආකාරයක ආර්ථික පරිහානියට ඉවහල් නොවෙයි. එහෙත් මානසික තෘප්තියට බලපෑමක් ඇති විය හැකි ය. නමුත් මා කතා කිරීම හැර වෙන කුමක් කරන්න ද? අපි දිගට කතා කරමු. ඔබ සාවදානව කියවා තේරුම් ගන්න. වෙන කුමක් කරන්න ද?

“දැන් එතකොට හිතන්නේ ඔබ හිතන කවි යුගය අහවර වෙමින් තියෙනවා ද?”
“නෑ. එහෙම නෙවෙයි තව අවුරුදු කීපයක් තියෙයි. දැන් කවිය කියල ඒ වෙනුවට මොකක්ද එකක් එමින් තියෙනවා.”

“ඒ කියන්නේ මුහුණුපොත හරහා ද?”
“නෑ. ඒවායි යම් යම් හොඳ දේවල් තියෙනවා”

“ඒක කවියක් ද නැතිනම් තියෙන කවියටත් වඩා පහල කවියක් ද?’
“මට පැහැදිළි නැහැ.”

“නෑ. මං අහන්නේ කවිය වෙනුවට ආදේශ වන දෙය හොඳ එකක් ද නරක එකක් ද?”
ඒක හොඳ එකක් වෙන්න බෑ. හැබැයි බලාපොරොත්තු තබාගත හැකි කෘතියක් දෙකක් එළි දකිනවා.”

මට මුණගැසෙන සහ මා මුණ ගැසීමට යන අය ඉදිරියේ මා හැමදාම අබඇටක් තරම් කුඩා වස්තුවක් බවට පත්වේ. මං බියවෙමි. කලන්තව වැටෙයි සිතෙයි. චවන පැටලෙයි. ඒ ඔවුන්ගේ සාගරය වන් අත්දැකීම් පරිචය දැනුම් පරිචය අසල ය. එහෙත් ඔවුන් සොඳුරු නිසා මා කතාකරන කිසිවක් මඟ නො හැර මා ද නිවැරදි කර කතා කරගෙන යයි. ඔවුන් නිර්ව්‍යාජව මට සමහර අදහස් කියයි. ඉතින් සබඳ ඒවායින් මා උදම් නො වී ප්‍රීති ප්‍රමෝදයට පත්වෙමි.

“ලියාගෙන ආපු ප්‍රශ්න නෙවෙයි ද?”
පළමු වතාවට මගෙන් නන්දන වීරසිංහ සොඳුරු රස්තියාදු සාමාජිකයා වන ඔහු අද මාව ප්‍රශ්න කළේ ය.
“ඔව්. ඔන්න ඔහේ මම කතා කරනවා. ආකෘතියකගත ප්‍රශ්න නෑ. ලියාගෙන එන්නෙත් නෑ.”
“ඒක හොඳයි. වෙනස්නේ. මං බැලුව හැම තැනින්ම ප්‍රශ්න අහන්නේ මොකද කියලා.”

රස්තියාදුව එය බව පසක් වන්නට අපි ඉඩ හැරියෙමු. ඒ තමයි සොඳුරු බව.

“ඔබේ කවිවල සියලු සමාජ පීඩනය ගැන කතා කරනවා. හැබැයි ප්‍රේමය හරි දුබලයි.”
“මගෙන් එහෙම ආවේ. ඇත්තටම දුලබයි.”

“ප්‍රේමය නෑ වගේ ද?”
නිහඬව සිටි ඔහු කල්පනා කරයි.
“නෑ. ඒ විෂයට මං කවි නො ලිව්වා විය හැකියි.”

ඔබ හිතන්න ඒ මොහොත තුළ කුමක් දෝ ගුප්ත බවක් ඇත. එහෙත් මට එය නැවත නැවත ඇසිය නො හැකි ය. මන්ද අපි සිටියේ එහෙම ප්‍රේමයක් ගැන කළ හැකි වයසක නො වන නිසා ය. ඔහු ඉතා ප්‍රවීණ ජේ්‍යෂ්ඨ කවියෙකි. මා නුවන් වෙමි. එපමණකි. ඉතින් මා ඔහුගේ ඒ ප්‍රේමය අසා දැන ගැනීම අත්හලෙමි.

“ඔබ ආභාෂය ලැබුව කවියෝ කවුද?”
“සිරි ගුණසිංහ සහ ජී.බී.සේනානායක.”

“ඔබට ගොඩක් මිනිස්සු හමුවුණා. කතා කළා. ප්‍රශ්න ඇහැව්වා. හැබැයි ඒ තැන්වල ඒ ප්‍රශ්නකරුවන්ට මඟ

ඇරුණ ප්‍රශ්නත් ඇති. ඔබ උත්තර දෙන්න බලා ඉන්න. අන්න එහෙම කියන්න හිතාගෙන ඉන්න යමක් නැද්ද?”

“අනේ එහෙම විශේෂ දෙයක් නෑ”
“අනාගතය ගැනවත්?”

“නෑ. මෙහෙමයි. මං එහෙම හිතන්නේ හෙට දවස පිළිබඳව විතරයි. නැති නම් එය වෙනම වැඩපිළිලෙක් වෙනවා. එතකොට හරි වෙහෙසයි. ඒ නිසා හෙට දවසේ මොකක් කළ යුතු ද බලනවා.”

“ඔබේ කවි නො කියවනවා ඉස්සරහදි ළමයි. ඉතින් ඔවුන්ට කියන්නේ?”
“අනේ එහෙම බලෙන් කියන්න බෑ මොනවත්. අපේ කවි කියෙව්වෙ නැහැ කියලා කමක් නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද මේ යන විදිහට ඕවා වැඩකුත් නෑ. අනාගතය ගැන අදහසක් නෑ. දැනට අවුරුදු දහයකට ඉස්සරත් මං හිතුවේ මීට වඩා අනාගතය යහපත් වෙයි කියලා. එහෙම්ම අදත් හිතනවා. හැබැයි එදා එහෙම වුණා නම් අද තමයි යහපත්ම මොහොත එහෙනම්.”

ඔහුගේ කියවීම් දැනීම් එසේය. ඔබගේ කියවීම්, දැකීම් කෙසේ ද ලියන්න ලියන්න පහත ලිපිනයට. අපි ලියමු, කතා නො කර.
සොඳුරු රස්තියාදුව,
ඉරිදා ඇපල් ජාතික පුවත්පත,
නො.237/47, බී, 1/1,
පූර්වාරාම පාර,
කිරුළපන,
කොළඹ 05

නුවන් හෙට්ටිආරච්චි
ඡායාරූප – මධුනි අලහකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: