මගහැරීම් – පසුතැවීම්වලින් කෙළවර නොවන්නට නම්…

May 16, 2017 | 2:00 pm    0   181

මගහැරීම් – පසුතැවීම්වලින් කෙළවර නොවන්නට නම්…

ශ්‍රී ලංකාවේ ඩෙංගු අවදානමේ අති භයංකර තත්ත්වය මගහැරීම සදහා දැවැන්ත වැඩ කොටසක් බිමෙහි සිදුවිය යුතු වුව ද එම ප්‍රයත්නයන් හි දී අප දිනෙන් දිනම අසාර්ථක වෙමින් සිටිමු. ඩෙංගු වසංගතය දිනෙන් දිනම අති භයංකර ලෙස අපගේ සමීපතමයන් බිලිගනිමින් සිටී. 2017 වසරේ පළමු කාර්තුවේදී ඩෙංගු රෝගීන් ප්‍රමාණය (වර්ෂාව පටන් ගැනීමටත් පෙර ) 2016 පළමු කාර්තුවට සාපේක්ෂව 220%ක වර්ධනයක් පෙන්වා ඇත. වර්ෂාව ආරම්භයත් සමග මේ ප්‍රමාණය නිශ්චිතවම තවත් භයානක තත්වයකට පත්වීමේ අවදානමක් පවතී.

ඔබේ නිවස, රැකියා ස්ථානය, ඔබේ දරුවාගේ පාසල, පන්තිය අවට ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි හැකියාවක් ඇත්නම්, මීළගට් ඔබ මිතුරන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් සුදු කොඩිවලින් සරසන්නට, 2017 ඔබේ පවුලේ සමීපතමයන්ගේ ජීවිතවල අමිරිහිම මතකය උදාකරවන්නට දායක වන්නේ, ‘ඔබගේ මරණය, ඔබගේ දරුවාගේ මරණය හෝ පවුලේ සමිපතමයකුගේ මරණය’ විමට ඉතා වැඩි ඉඩ කඩක් ඇත.

2004 වසරේ සුනාමියට රටේ ජීවිත විශාල ගණනක් බිලිවීමෙන් අනතුරුව, මගදී මුණ ගැසුන ඕනෑම අයෙකුගේ පවුලෙ කෙනෙක්, සමීපතමයෙක් හෝ හිතවතෙක් ඊට බිලි වූ බව අසන්නට ලැබුණා සේම, මෙවර ඩෙංගු වසංගතය ඔබට දෙවැනි සුනාමියක අමිහිරි මතකය ළගාකරවීමට සුදානමින් පසුවෙයි.

ඔබට, දරුවාට, හිතවතෙකුට, පවුලේ අයෙකුට පමණක් නොව හැකිනම් ආගන්තුකයෙකුට හෝ මේ දිනවල උණ ලක්ෂණ පෙන්වන්නේ නම්, ඔවුන්ව හැකි ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරවන්න. උණ ලක්ෂණ පෙන්නුම් කර දින දෙකක් ඇතුළත ‘ඩෙංගු ඇන්ටිජන්’ වාර්තාවක් ලබා හෝ දින තුනක් ගත වී ඇත්නම් ‘ෆුල් බ්ලඩ් රිපොර්ට්’ වෛද්‍ය නියමයන් අනුව ලබාගැනීමෙන්; සම්පූර්ණයෙන්ම තහවුරු නොකළද, රෝගයේ ස්වභාවය ගැන අදහසක් ලබා ගැනීමට හැකි වේවි.

විශේෂයෙන්ම, මින් පෙර ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අයෙක්නම්, ඩෙංගු ඇන්ටිජන් වාර්තාව, ඩෙංගුදැයි තහවුරු කිරීමේ නිවැරදි ප්‍රථිපල නොදෙන බවටද වෛද්‍යවරු මත පළ කරන නිසා, එහි ප්‍රථිපලය සුබදායක වුවද මේ දිනවල උණ රෝගීන්ට සැහැල්ලු ලෙස රෝගය ගැන සිතිය නොහැකි බව වෛද්‍යවරු පවසති.

එසේ වන්නේ නම්, උණ වැළදී දින 6ක් ගත වූ පසු සිදුකරන IGM ඇන්ටිබොඩි, IGG ඇන්ටිබොඩි වැනි වාර්තා ඔස්සේ ඩෙංගු බව තහවුරු කිරීමේ හැකියාවක් පැවතියද, ඒ වනතුරු රෝගි තත්වය සාමාන්‍ය තත්වයක් ලෙස නොසලකා හැර සිටියේ නම් රෝගියා මාරාන්තික තත්වයට වැටීමට ඉඩක් ඇත. එසේම මේ දිනවල පැතිර යන වෙනත් වෛරස් උණ රෝගවල සමහර ලක්ෂණද ඩෙංගුවලට බොහෝ සමාන විය හැකි නිසා මෙය ඉතා සංකීර්ණ තත්වයක් ඇති කරන බව වෛද්‍ය මතයයි.

අද ඔබට අසන්නට ලැබුනේ ඔබ දන්නා වෙනත් අයෙකුගේ මරණයක් වන්නට පුළුවන. හෙට ඩෙංගු මාරයා සුදු කොඩි එල්ලන්නේ ඔබේ ගෙදර ඉදිරිපිට නොවන්නට නම්, ඩෙංගු මදුරුවාට සුදුසු වාතාවරණ විනාශ කිරීමේ සහ උණ රෝගියෙකු නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමේ වගකීමෙන් ඔබට කිසිසේත් ගැලවිය නොහෑක.

එක්ව නැගිට අපේ ආදරණීයන්ගේ ජීවිත සුරක්ෂිත කරමු.

___________________________________________

සටහන – මංජුල සමරසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: