මගේ ගම මගේ වීරයා – ජයලත් මනෝරත්න

February 16, 2017 | 8:10 am    0   729

මගේ ගම මගේ වීරයා – ජයලත් මනෝරත්න
මෙතනදි කතාව කොතනින් ද පටන්ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ?
හරි… දැන් මම කියන්න ඉන්නේ මගේ වීරයා මගේ ගම කියලා. ඒක ඇතුළේ ඔක්කොම තියනවා. එහෙම පටන් ගමු ද?
ඒක වෙනස්ම කතාවක්. ඔබතුමාගේ ජීවිතයේ ගමට එච්චරම තැනක් එන්නේ කොහොම ද?
වීරයා මගේ ගම කියලා මට තේරෙන්න හේතු ගොඩක් තියෙනවා. මාව ගොඩනැංවීමේ ප්‍රධාන සාධකය මගේ ගම. ඒක මට අවිවාදයෙන් තොරව කියන්න පුළුවන්. මේ දක්වා මම කරපු කියපු හැමදෙයකම පදනම මගේ ගමේ විසිරිලා තිබුණා. ඒ පරිසරය කියන්න බැරි තරම් සුන්දරයි දිමුතු. මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ කියන අතිශය පිටිසර ඒ වගේම අතිශය සුන්දර ගමක්. ප්‍රධාන ජීවිකාව ගොවිතැන. ගම කඳුපන්තියකින් වටවෙලා. කන්ද පල්ලෙහා එළවළු, දුම්කොළ, කුඹුරු වගාව. කන්ද උඩ තේ වගාව. සෘතු විදියට ගත්තත් අපේ ගම ඒ ඒ කාලවල වෙනස් හැඩයක් ගන්නවා. අපි පස්සේ කාලෙක මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ලංකාවේ නාට්‍ය කලාවේ ඉතිහාසය ඉගෙන ගන්නකොට මුලටම තියෙන්නේ සොකරි, කිඳුරු, කෝලම්, නාඩගම් වගේ නාට්‍ය. ඉතින් ඒ ආරම්භක අවස්ථාවට අපේ ගමත් සම්බන්ධයි. ඔය සොකරි, කිඳුරු කියන නාට්‍යය අපේ ගමේ තිබුණු  නාට්‍යය.
ඒක සරච්චන්ද්‍ර සර් එයාගේ විශ්ලේෂණවලත් තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් මගේ ජීවිතයට දැවැන්ත විදියට බලපෑම් කළා. ගොයම් කපලා කුඹුරක් නිදහස් වුණාම ඒ හිස්වෙච්ච කමතේ අපේ ගමේ ගැමියෝ මේ නාට්‍ය රඟපානවා. අපි පුංචි දරුවන්ට මේක පුදුම ආශ්චර්යයක්. වීරකමක්. උදේට හේන කුඹුර එක්ක ඔට්ටු වෙන උදවිය රෑට ඔටුණු දාගෙන රජ වෙලා. කෙනෙක් කිඳුරිය වෙලා. තව කෙනෙක් කිඳුරා වෙලා. අන්තිමට ගැමියෝ අපිට වීරයෝ වෙලා. ගමේ ඉස්කෝලෙත් මතක් නො කළොත් අඩුවක්. දෙහිපේ ප්‍රාථමික පාඨශාලාව. අපි සරමයි බැනියමයි ඇඳගෙන තමයි ඉස්කෝලේ ගියේ. ලොකු මහත්තයා වික්‍රමසිංහ සර්. කබායට ටුවීට් රෙද්ද ඇඳගෙන තමයි එන්නේ. ඒ චරිතය තමයි මගේ ගුරුතරුව නාට්‍යයේ ඉන්නේ. අනිත් කෙනා හෙන්රි ජයසේන මහත්තයා. තමන්ගේ පළමු ගුරුපත්වීම අරන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට එන්නේ අපේ ඉස්කෝලෙට. මගේ පලවෙනි නාට්‍යය තලමල පිපිලා කියන්නේ තනිකරම දෙහිපේ ගම. ඉතින් මේ හැමදේම කැටි කරලා ගත්තාම ඒ
මහා පෞරුෂය මගේ ගම
ඔබතුමා ඔය කියන පෞරුෂයටම නේද අපි සංස්කෘතිය කියන්නෙත්? 
ඔව්. ඔය පස්සේ කාලෙක ප්‍රශ්න කළානේ එහෙම ගමක් නෑ කියලා. ඕක ඔය මනසින් හදාගත්තු එකක් කියලත් කිව්වනේ. නමුත් මම කියනවා මේ කියන දේවල් සංස්කෘතිය නම් අපේ ගමේ ඒක හැබැහින්ම තිබුණා. නැත්නම් අදටත් මට ඒක හෘදයාංගම වෙන්නේ නෑනේ. ගමේ සොබාදහම  පන්සල, පාසල, බෙදාහදා ගැනීමේ සෞන්දර්යය, ගැමියෝ ඒ හැමදේම අපේ ගමේ ඇත්තටම තිබුණා.
ඔය කියන දෙහිපේ ගමේ ඔබතුමාගේ පවුල නිර්මාණය වෙලා තිබුණේ කොහොම ද?
තාත්තයි, අම්මයි, අයියලා තුන්දෙනයි, අක්කලා දෙන්නයි, මමයි සේරම හයයි. මම පවුලේ බාලයා. කලින්ම කියන්න ඕනේ මගේ තාත්ත පිළිබඳව මට සුළු මතක සටහනක් තියෙන්නේ. මම කුඩා කාලයේම තාත්තා මිය යනවා. නමුත් එයා අපේ පවුලට ඉතිරි කරලා ගියපු දේවල් බොහෝමයක් තියෙනවා. ඒවා සල්ලිවත් භෞතික වස්තූන්වත් නෙමෙයි. එයා රියදුරෙක්, තේවත්තක. මම අර කලින් කිව්ව සුන්දරත්වය සිහිපත් කරනව නම් ඒ තේවත්ත පිහිටලා තිබුණේ ගම ඉහළින්ම පිහිටලා තිබුණ කන්දක. ඒ වත්ත පාලනය කළේ සුද්දන්. තාත්තගේ ස්වාමිවරුන් වුණේ ඔවුන්. ඉතින් ගමේ අන් ගැමියන්ට සාපේක්ෂව අපේ තාත්තගේ හරි පිළිවෙලක් තිබුණා. ඒක කැපී පෙනුණ පිළිවෙලක්. උදාහරණෙකට තාත්තා හරි පිළිවෙලට අඳිනවා. වෙලාවට වැඩ කරනවා. කන්න, බොන්න ගියාමත් එහෙමමයි. බඩුවක් ගත්තොත් නැවත හරියටම එතනින් තියනවා. වැදගත්ම කාරණේ තමයි අපේ ගමේ ගොඩක් වැඩිහිටියන් දරුවන්ට ඉගැන්නුවේ නෑ. නමුත් අපේ තාත්තට පෙර දැක්මක් තිබුණා අපි ඉගෙන ගත්තොත් ගොඩක් සාර්ථක වෙයි කියලා. එයා ඒකට පදනම දාලා තමයි අපි අතරින් නික්ම ගියේ. කොටින්ම කියනවා නම් මගේ ලොකු අයියා ගියේ නුවර ධර්මරාජේ. ඒ වෙලාවේ අපේ ගමේ මිනිස්සුන්ට ධර්මරාජෙට ළමයෙක් දාගන්න එක හීනයක්. ඒ හැම දැනුමක් එක්කම එයාගේ තිබුණා අව්‍යාජ ගැමිකමක්. ඒක අර කලින් කිව්ව වීරයා මගේ ගම නිසා පෝෂණය වුණ දෙයක්. ඒවා අපිටත් පිහිටියා. අම්මටත් තිබුණා ඊට එහා ගිය ගැමිකමක්. මට මතකයි එයා ඒ දවස්වල නෙළුම්කවි කියනවා. අම්මා අෑත ඉඳන් කවි කියනවා අපි අහන් ඉන්නවා. අනික තමයි කතන්දර. අෑ කිව්ව කතන්දර හුඟාක් මතක හිටියා. මම දවස තාම තරුණයි කියලා නවකතාවක් ලිව්වා. ඒකේ භාෂාව යෙදුම්, උපමා රූපක සියල්ලම අම්මගේ. ඉතින් අයියලා තුන්දෙනාගෙයි, අක්කලා දෙන්නගෙයි මේ හැමෝගෙම ආදරේ ලබපු පවුලේ බාලයා මම. අපි හුඟාක් අමාරුවෙන් ආපු ගමනක් මේක. මට මතකයි අයියලා නො සෑහෙන්න මහන්සි වෙලා වවපු එළවළුවලට මිලක් නො ලැබුණාම ගෙදර ඇවිත් කියන කතා. ලොරි කුලියත් අතින් ගෙවලා ආපු දවස් තියෙනවා. මට මේවා ඇහුණම පුදුමාකාර දුකක් ඇතිවෙන්නේ. මම පහේ ශිෂ්‍යත්වේ සමත් වෙලා පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වුණා. මම උපාධිය දක්වා කිසිම විභාගයක් ෆේල් නො වී ඉගෙන ගත්තේ ෆේල් වුණා නම් මට ශිෂ්‍යත්වේ නැති වෙනවා. අධ්‍යාපනය මඟදි නතර වෙනවා. නමුත් එහෙම ඉගෙන ගත්තා කියලා අනිත් පැත්තෙන් අපි අසීමිත නිදහසක් භුක්ති විඳපු ළමයි. නිදහස කියන්නේ ගමේ ඉපනැල්ලේ, කැළේ කොලේ, ගහේ වැලේ මේ හැමතැනම දඟලලා මඩකරි වගේ ගෙවල්වල ගියපු ළමයි තමයි අපි. ඒකට වැඩිහිටියන් බාධා කළේ නෑ. අද එහෙම දඟලන්න පරිසරයකුත් ළමයින්ට නෑ. නිදහසකුත් නෑ. ඒක වෙනම කතාවක්.
හැබැයි අද දවසේ දෙමව්පියන්ගේ අසීමිත සැලකිල්ලක් භුක්ති විඳින දරුවෙකුට මෙහෙමත් හිතෙන්න පුළුවන්. අපේ දෙමව්පියෝ වගේ ඒ කාළේ අම්මලා තාත්තලා දරුවන් ගැන හොයලා බලලා නෑනේ. ආදරේ කරලා නෑනේ කියලා.
නෑ ඒක වැරදියි. ඒ අම්මලා තාත්තලා අසීමිතව ආදරේ කළා. හැබැයි පෙන්නුවේ නෑ. ඒ වගේම ඒ අය දරුවන් පරිසරයට මුදා හැරලා තිබුණේ ඒක බය වෙන්න දෙයක් නෑ කියලා හැඟීමක් තියෙන්න ඇති. සොබාදහමත් එක්ක ජීවත්වීමට බයක් නෑ දිමුතු. අද දවසේ මේවා පොත්පත්වල ලියවෙනවා. වඩා ජීවිතය පහසු වෙන්නේ සොබාදහමත් එක්ක ළඟාවෙන තරමට කියලා. සොබාදහම කියන්නෙම ප්‍රකෘතියක්. ඒක සියටැල්ගේ ඉ¼දලා සේකර දක්වාම කිව්වනේ. සේකර කියනවානේ ප්‍රකෘතියෙන් තොර සත්‍යයක් නෑ කියලා.
එතකොට මේ වෙලාවේ මිනිස්සු තාක්ෂණයට ද බය වෙලා තියෙන්නේ? නමුත් ජීවත් වෙන්න ඔවුන් තාක්ෂණයේම පිහිට පතනවා. දරුවන් ගැන කතා කළොත් සමහර දෙමව්පියන් දරුවන් ඉන්න තැන හොයාගන්න ඔවුන්ගේ ඇඟේ උපකරණ පවා පළඳවනවා.
ඕකට උත්තරේ හරි පළල්. මිනිසා ශිෂ්ටාචාරයේ මුල ගත්තොත් එතන කාරණා දෙකක් තියෙනවා. ක්‍රියාකාරිත්වය සහ චින්තනය. ක්‍රියාකාරීත්වය කියන්නේ මූලික අවශ්‍යතා සොයාගැනීමට අවශ්‍ය වූ ශාරීරික ජවය. කාලයත් එක්ක තමයි චින්තනය දියුණු වෙන්නේ. ඊට පස්සේ තමයි විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙන්නේ. නමුත් අපේ ශුද්ධ වූ මිනිසා ඉන්නේ ආරම්භයේ. එයා ප්‍රකෘතියේම කොටසක්. සොබාදහමේම කොටසක්. අද මිනිසා තාක්ෂණයෙන් ගලවාගන්න බැරි තැනකට ඇවිල්ලා. ඔයා දැන් කියපු එකම හොඳම උදාහරණයක්. මිනිස් ශරීරය ඇතුළටත් උපකරණ ඇවිල්ලා. ඒකට දරුවන් ද වැඩිහිටියන් ද කියලා විශේෂයකුත් නෑ.
ඔය සම්බන්ධයෙන් ඔබතුමාගේ පෞද්ගලික අදහස මොකද්ද? ඒ කතාව ගමටත් සම්බන්ධ කරලා කියන්නකෝ.
මට තාමත් පරිගණකයකින් ඡ් ඡධධඬ එකක් කියවනවට වඩා පොතක පිටු පෙරලමින් කියවනකොට ආශ්වාදයක් තියෙනවා. පොතක පිටුවක සුවඳ, ඒ ස්පර්ශය නැති වුණොත් මොකක්දෝ අඩුවක් තියෙනවා. ඒ මට. නමුත් අලුත් පරම්පරාවට එහෙම නො වෙන්න පුළුවන්. සත්‍යය නම් අපි මේ වෙනස්වීම්වලට මුහුණ දිය යුතුයි කියන එක. මම මේ කියන ගමත් අද වෙනස් වෙලා. මම සමහරවිට ගමට යද්දි මම හිතින් හිතන් ඉන්නේ අර මම පුංචි කාලේ හිටපු තානා බාප්පා, මාතුපාල මාමා, කුඩ්ඩි අයියා ඒ විදියටම ගමේ කඩපිල්වල ඉන්නවා ඇති කියලා. නමුත් ඇත්ත ලෝකේ එහෙම නෑ. අපිටත් එහෙම ඉන්න බැරි වුණ සාධාරණ හේතු ජීවිතේ ඇති වුණා. එතකොට විශාල අතීතකාමයක් ඇති වෙනවා. මේ අර්ථක්‍රමය දේශපාලන ප්‍රවාහය, සන්නිවේදනය සහ දැනුම, ලෝකය කිට්ටු වීම ගමට මිශ්‍ර වෙලා මගේ ඔළුවේ තියෙන ගම කුඩුපට්ටම් වෙලා තියෙන්නේ. මගේ අන්දරේලා නාට්‍යයේ මේවා අපි කතා වෙනවා. මම පෞද්ගලිකව උදාහරණයක් දෙන්නම්. දැන් මම නුවරඑළියේ ඉඳලා කොළඹ පවුල් ජීවිත හදාගෙන ජීවත් වෙනකොට මගේ අම්මා දෙමව්පියන් හැටියට මාව බලන්න කොළඹ ආවා. අද මමයි, මගේ බිරිඳයි දෙමව්පියන් විදියට අපේ දරුවන් බලන්න කොළඹ ඉඳන් විදේශ රටකට යනවා. මේ ක්‍රමය කොයිතරම් වෙනස් වෙලා ද?
නමුත් මේ ක්‍රමේ ඇතුළෙත් ගම හදලා පෙන්නනවා. ඒ කියන්නේ ගමට තාමත් වටිනාකමක් තියෙනවා.
ඒකට මම විරුද්ධයි. ගම කියන එක එහෙම පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඔය සමහර ගම නිර්මාණය කරන වැඩසටහන්වල කතා කරන්න කියලා ආරාධනා එනවා. මම හරි අකමැත්තෙන් සහභාගී වෙන්නේ. ඒවායේ ගම කියන එක පෙන්නන්නේ භෞතිකව හදලා. මිනිසුන්ට සරම් අන්ඳනවා. ගැහැණුන්ට රෙද්දයි, හැට්ටෙයි අන්ඳනවා. වී බිස්සක් තියනවා. හරකෙකුත් ගැට ගහනවා. ඊට පස්සේ ගම කියලා මේවා පෙන්නනවා. මට මේව දැක්කම දුක හිතෙනවා. ගම කියන්නේ එහෙම හදලා පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලොකූ සංස්කෘතික ක්‍රියාවලියක්. ගම සහ නගරය වෙනස් වෙන්නේ යටිතල පහසුකම් එක්ක. මේ දෙකේ තියෙන සංස්කෘතියයි වෙනස්. මේ නගරවල මේ යටිතල පහසුකම් එක්ක නේද අපි මේ දුවමින් ඉන්නේ. දුවන්න වෙලා තියෙන්නේ. තරුණයන් පැත්තකින් තියන්න. මේ වයසක මම දිහා උඩ ඉඳන් කවුරු හරි බලන් හිටියොත් හිතෙයි මේ මනුස්සයා මොන දිවිල්ලක් ද මේ දුවන්නේ කියලා. මටත් ආපස්සට හැරිලා බලද්දි අන්න අර ප්‍රකෘතිය සංස්කෘතිය අතෑරිලා කියලා තේරෙනවා. ජීවිතය මඟ ඇරිලා. එතනදී මට මගේ ගම නැවතත් වීරයෙක් විදියට පේනවා.
හරි. ඔය ජීවන චාරිකාවේ හැරවුම් ලක්ෂ කෙටියෙන් හරි මතක් කරමු ද?
ආපහු කියන්නේ එක ගම. දෙහිපේ ගමේ ඉස්කෝලේ සහ ඒකේ ලොකු සර්. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වේ සහ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය. ඒකේ සුනිල් ශ්‍රියානන්ද සර්. එයා නාට්‍ය ගුරුවරයා. එතුමා අපිත් එක්ක එකතු වෙලා මුළු ලංකාවෙම පාසල්වලට අභියෝගයක් දුන්නා නාට්‍ය තරගවලින්. ඒ ඉස්කෝලෙම අනිත් වැදගත්ම පුද්ගලයා තමයි අපේ හොස්ටල් එක භාරව හිටපු වික්ටර් ඊ.පීරිස් සර්. එයා තමයි අර තාත්තගෙන් පදනම වැටුණ විනය තව දුරටත් මගේ ජීවිතේ ර¼දා පැවැත්තුවේ. හොස්ටල් ජීවිතේ සියල්ලම අතිශය පිළිවෙලයි. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. උසස් පෙළ කරද්දි මට හීන තුනක් තිබුණා. එක, විශ්වවිද්‍යාලයට යාමට. දෙක, පේරාදෙණියටම යාමට. තුන, සරච්චන්ද්‍රයන් දැක ගැනීමට. ඔය හීන තුනම මම සැබෑ කරගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමානයි සරච්චන්ද්‍ර සර්. නාට්‍ය කලාවේ සම්පූර්ණ සාරයනේ අපිට හම්බුණේ. එතනින් පස්සේ කොළඹ ජීවිතේ. එතනදි හම්බ වුණ සුවිශේෂී චරිත. උදාහරණෙකට ලංකාවේ නූතන වංශ කතාවේ පුරෝගාමී නාට්‍යකරුවන් පස්දෙනෙක් හඳුනාගෙන තියෙනවා. සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල සිල්වා, ගුණසේන ගලප්පත්ති. මේ පස්දෙනා එක්කම මං වැඩ කරලා තියෙනවා. හරියට විශ්වවිද්‍යාල පහක පාඨමාලා පහක් කළා වගේ. අදත් චාමික හත්ලාහවත්ත වගේ තරුණ විශිෂ්ට නාට්‍යවේදීන් එක්කත් මම වැඩ කරනවා. ටෙලිනාට්‍ය, චිත්‍රපටි ගත්තත් මට මඟඇරුණේ එක අතක ඇඟිලි ප්‍රමාණයක විශිෂ්ටයන් පමණයි. ඊළඟ හැරවුම කියනවා නම් මම කරපු නාට්‍ය ඒවා සියල්ලක්ම පර්යේෂණ. හැමදාමත් මම මොනව හරි ඉගෙනගත්තා. පශ්චාත් උපාධි තුනක් කළා. පීඑච්ඩී එක කළා. මගේ සිහින විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හම්බ වුණා. මේවා මම කියන්නේ අහංකාරකමකින් නෙවේ. නිහතමානී ආඩම්බරයකින්. ගුරුතරුව, අන්දරේලා, ලෝකේ තනි යායක්, බූරුවා මහත්තයා මේ ඔක්කොම අවුරුදු එක හමාරක දෙකක පර්යේෂණ.
ඔය හැමදේමත් එක්ක ඔබතුමා හොඳ යාළුමිත්‍ර සමාගමකුත් පවත්වනවා.
අපොයි. ඒක නම් කෙලවරක් නෑ. අමාරුම දේ තමයි එයාලව නම් වශයෙන් කියන එක. අපේ ජීවිතවල වෙහෙස දැනෙන්නේ නැත්තේ ඒ මිනිස්සුත් එක්ක ජීවත් වීම තුළ. ඒ සංවාදය තුළ. උදාහරණයක් කියන්නම්. නාට්‍ය බස් එක්කම ඇවිල්ලා උපසංස්කෘතියක්. ඒක ඇතුළේ පුදුමාකාර ජීවිතයක් තියෙන්නේ. සරච්චන්ද්‍රගේ බස් එකේ ඉඳලා හෙන්රි ජයසේනගේ බස් එකේ සහ අද දක්වා අනෙකුත් සියලුම නාට්‍ය බස් ඇතුළේ අපි අපේ ජීවිත භාර දීලා තියෙනවා. අදහස් කෝටි ගණන් හුවමාරු කරන් තියෙනවා. හුඟාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. අනන්ත අප්‍රමාණ සතුටු වෙලා තියෙනවා. ඒ කාලේ සිංදු කියන්න ඉගෙන ගත්තෙම බස්වල ගිහිල්ලා. වේදිකාවේ එහා කොනට ඇහෙන්න කෑ ගහන්න ඉගෙන ගත්තේ නාට්‍ය බස් එකෙන්. ඇයි එන්ජින් එකේ සද්දෙට බස් එකේ ඉන්න අයගේ සද්දෙට වඩා හයියෙන් කෑ ගහලා කතා කරන්න එපැයි. ඒක වෙනම ජීවිතයක්.
මේ වෙලාවේ ඔබතුමාගේ පවුල් ජීවිතේ සහ බිරිඳ ගැන අහන්නම හිතෙනවා.
අනිවාර්යෙන්ම. අපි ප්‍රේම සම්බන්ධෙකින් විවාහ වුණේ. අපි හමුවුණේ නාට්‍ය ජීවිතෙන්. ඒ ආදර සම්බන්ධතාවය ඇතුළේ රසබර කතා ගොඩක් තියෙනවා. කැපකිරීම් අතින් මම ඇත්තටම ඇය ගැන කියන්නමයි හිටියේ. බොහොම නිහඬව ඇය අද දක්වාම සෙවණැල්ල වගේ මගේ ජීවිතේ එක්ක ආපු ගමන වීරකමක්. කොටින්ම මම ගෙදරින් එළියට බහිනකොට ඒ ඒ අදාල වැඩේට අනුව නාට්‍ය ඇඳුම්, අදාල කෑමබීම, බෙහෙත් වට්ටෝරු පිළියෙල කර දීමත් සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ. දරුවන් සම්බන්ධයෙනුත් ඇය කළ කැපවීම මෙහෙම වචනෙන් දෙකෙන් කතා කරන්න බැහැ. නමුත් ඒ කැපකිරීම්වලට මගේ බිරිඳ අද දවසේ සතුටු වෙනවා ඇති. මගේ දරුවනුත් ඉන්නා තැන ගැන මමත් සතුටුයි. අපිට දරුවන් දෙදෙනයි. පුතෙක් සහ දුවෙක්. දෙදෙනාම ඉගෙනීම අතින් ඉහළම තැන්වල ඉන්නේ. පුතා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරමින් පදිංචියි. එයාටත් දරුවන් තිදෙනෙක් ඉන්නවා. දුව ලංකාවේ ජීවත් වෙන්නේ. වෘත්තියෙන් මූල්‍ය ආයතනයක රැකියාව කරන්නේ. අපේ දරුවන් දෙදෙනාම බොහොම හොඳ ජීවිත ගත කරනවා. දරුවන් දෙදෙනාත් ඔවුන්ගේ අම්මා තාත්තා ගැන ආඩම්බර වෙනවා ඇති. ඉතින් අද දවසේ මේ චාරිකාවේ නැවතත් අර චක්‍රය කරකැවිලා තියෙනවා. බිරිඳ සහ මම ගෙදර නැවතත් තනියෙන් ජීවත් වෙනවා.
ආපහු මුලටම යමු. මිනිස්සු ගැන කතා කරද්දි ගමේ මිනිස්සු ද නගරේ මිනිස්සු ද වඩා කුහක?
මිනිස්සුන්ගේ කුහකකම්වලට ගම ද නගරය ද කියලා නෑ. නමුත් හිතන්න ඕනේ හොඳ මිනිස්සුත් එහෙමයි. ගම ද නගරය ද කියලා නෑ. හැමතැනම ඉන්නවා.
කතාබහ – දිමුතු පරාක්‍රම ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: