මගේ වීරයා තාත්තා – වික්ටර් රත්නායක

December 26, 2016 | 12:44 pm    0   1274

මගේ වීරයා තාත්තා – වික්ටර් රත්නායක

මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?
සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.

තාත්තා ගැන තවත් අහන්න කැමතියි.
අපි බොහොම නැති බැරිකම් මැද්දේ හැදුණු උදවිය. අපේ පවුලේ උදවිය නව දෙනෙක් තාත්තගේ පුංචි රස්සාවේ පඩියෙන් තමයි ජීවත් වුණේ. මට අපේ තාත්තාගේ සමහර ප්‍රතිපත්ති ගැන පුදුමත් හිතෙනවා. මොන තරම් අඟහිඟ තිබුණත් එයා අපිට හොඳට කන්න බොන්න දුන්නා. ඒ වගේම අපිට හොඳ ඇඳුම් අරන් දුන්නා. සල්ලි නැති වෙලාවේ වුණත් මම ටොකු කාපු වෙලාවේ එයා මට ෆුට් බෙලෝ සර්පිනා එකක් අරන් දුන්නා. එයා දරුවන්ව තේරුම් ගත්ත ආකාරයට ඒක හොඳම නිදසුනක්. ඒ වගේම එයා ගෙදරට දරදඬු පාලකයෙක් වුණා. ඔහුගේ පාලනයට අපි ඔක්කොට යටයි. ඒ වගේම තාත්තට සාමාන්‍ය දැනීම පුදුමාකාර විදියට පිහිටලා තිබුණා. එයා මුළු ලංකාවේම තියෙන දුම්රිය පොළවල්වල නම් කවියෙන් කියනවා. ලෝකයේම ගුවන්තොටුපලවල නම් කවියෙන් කියනවා. මුල් වකවානුවේ තාත්තාගේ චින්තනය සහ පෙළඹවීම තමයි මේ ගමන එන්න මූලික අඩිතාලම වැටුණේ. ඔහු ගීත කියනවා අහන්න මම ආසයි. මුල් කාලේ මම තාත්තාගේ රසිකයෙක් වුණා. පස්සේ කාලෙක තාත්තා මගේ රසිකයෙක් වුණා. මගේ ගායනා එයා  හරි ආසාවෙන් රසවින්දා.

ඔය කාලේ රේඩියෝ එක අහන්නේ නැද්ද සර්?
ඇත්තටම අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණේ නෑ. අපේ ගෙවල් ගාව බාබර් සාප්පුවක් තිබුණා. මට තාම මතකයි ජයසේන කියලා අයියා කෙනෙක් තමයි කොණ්ඩේ කපන්නේ. සැලුන් එකේ රේඩියෝ එකක් තිබුණා. ඕක අහන්න අපි නිතරම සැලුන් එකට යනවා. ධර්මදාස වල්පොල, මොහිදින් බෙග්, මොහොමඩ් රාෆි ඒ දවස්වල හරි ජනප්‍රියයි. එයාලගේ ගොඩක් ගීත චිත්‍රපට ගීත. ඔය කාලේ අපේ ගමේ ටෙන්ට් ගහලා චිත්‍රපටි පෙන්නනවා. ඉතින් එවා බලන්න ගියාමත් අර ඇහෙන සිංදු අලුතින් දකිනවා.

ඊටපස්සේ ඉස්කෝලේ කාලේ… විශ්වවිද්‍යාල කාලේ… ගැන කෙටියෙන් හරි කියමු සර්?
ඔව්. පාසල් කාලේ පොඩි වයසටම තාත්තා අරන් දුන්නු සර්පිනාව මට පුළුවන් විදියට වාදනය කරමින් ස්වතන්ත්‍රව ගීත ගායනා කිරීමට මම අතහුරු කරගෙන හිටියේ. ඉස්කෝලේ කලා උළෙලවලදී සාහිත්‍ය උත්සවවලදී ගීත ගායනා කිරීමට මට බොහෝ දෙනෙක් ආරාධනා කරනවා. මම මේ වෙලාවේ අපේ ඉස්කෝලේ සංගීත ගුරුවරයා වෙච්ච ම්.ර්. සුගතපාල සර්ව මතක් කරනවා. ඉස්කෝලෙදි මම සංගීතය විෂයක් විදියට හැදෑරුවේ නැතත් ඔහු මාව අන්තර් පාඨශාලීය තරගවලට යොමු කරනවා. මට මතකයි 1958 අවුරුද්දේ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ගායනා තරගේ හොඳම ගායනය කුසලතාවය මම හිමි කරගන්නවා. ඔය අතරේ අපේ තාත්තා මාව මහනුවර ර්.ට්.ර්ථී. කලායතනයේ සිරිල් පෙරේරා සර්ට සංගීතය කියලා දෙන්න කියලා භාරදෙනවා. එතකොට අර කණෙන් අහලා ස්වර ඥාණයකින් තොරව ගීත ගායනා කරපු වාදනය කරපු කාලේ ඉවර වෙනවා. සර්පිනාව එවකට විභාගවලදී අදාල වාදන භාණ්ඩයක් නෙවෙයි. ඒක නිසා සිරිල් පෙරේරා සර්ගෙන් දැනුවත් වෙලා තාත්තා මට වයලීනයක් අරන් දෙනවා මේක ඉගෙන ගන්න කියලා. වයලීන් වාදනයේ මුල එතන. ඒ වගේම මගේ සංගීත ජීවිතයේ තව සන්ධිස්ථානයක් තමයි ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ.චන්ද්‍රසේනයන් මුණගැසීම. ඔහුගේ ආධුනික ගායකයන් බඳවා ගැනීමේ පරීක්ෂණයකින් සමත්වෙලා මම කොළඹ එනවා. ඔහුගේ සංගීත කණ්ඩායමේ වයලීන් වාදකයෙකු විදියට කටයුතු කරා. ඔහුගේ ප්‍රසංගවල ගීත ගායනා කරන්නත් ඔහු අවස්ථාව දුන්නා. ඔය අතරවාරේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ වැඩිදුර හදාරලා 1996දී සංගීත ගුරුපත්වීමක් එක්ක මම බණ්ඩාරවෙලට යනවා. පසුකාලීනව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වුණ සුජාතා අත්තනායක මර්වින් පෙරේරා, සරත් දසනායක, අමරසිරි පීරිස්, අමිතා වැදිසිංහ විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීනයන්.

ඔය කාලේ ඇත්තටම දක්ෂයින්ට විතරයි නේද ක්ෂේත්‍රයට පිවිසෙන්න පුළුවන් වුණේ?
සහතිකවම. හැමෝටම ගායනයට, වාදනයට අවස්ථාව දෙන්නේ නෑ. ගුවන්විදුලියේ පරීක්ෂණයක් තියෙනවනේ. විශිෂ්ට ශේ‍ර්ණියේ, ඒ ශේ‍ර්ණියේ, බී ශේ‍ර්ණියේ ඉන්න අයට විතරයි අවස්ථාව හිමි වුණේ. ගුවන්විදුලිය විතරමනේ තිබුණේ. ඉතින් කෙනෙක් මේ ක්ෂේත්‍රයට එනවා නම් මේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනි. එතනින්ම පිළිගන්න වෙනවානේ ගායකයින් වීමට අපේක්ෂා කරපු අයව කිසියම් ප්‍රමිතිගතකරණයට ලක්වෙලයි ජනතාකරණය වෙන්නේ කියලා. අදටත් ඒ නිර්මාණ මිනිස්සු රසවිඳින්නේ ඒ ප්‍රමිතිය නිසානේ. අද මාධ්‍ය ආයතනවලට මුදල් දීලා තමන්ගේ ගීත මිනිස්සුන්ට බලෙන් අවුස්සවනවා. කෝ ප්‍රමිතියක්?

වැඩ කරද්දි තනි තනියෙන් වීරකම් හදාගන්න ගියා නම් මෙච්චර දුරක් එන්න වෙන එකක් නෑ නේද?
ඇත්තටම. හැකියාවන් කුසලතාවයන් ඇති අතිදක්ෂයෝ තමයි එකට එකතු වෙන්නෙත්. ගායකයා තනු නිර්මාණය කරන්නා, ගේය පද රචකයා මේ තුන්දෙනාම ගමුකෝ. දැන් ගායකයනේ වැඩිපුර කැපී පේන්නේ. නමුත් අනිත් දෙන්නටත් ගෞරවයක් සහ ආදරයක් ඇති වෙන විදියට ඒ වෙලාවේ ගායකයෝ කටයුතු කරා. උදාහරණයකට ප්‍රේමකීර්ති සිංදුවක් ලියනවා. මම තනුව දාලා ගායනා කරනවා. ගීතය ප්‍රචාරය වෙද්දි අපි ප්‍රේම්ව මතක් කරනවා. වැඩසටහන්වලදී නිවේදකයෝ මේ සියලුදෙනාම මතක් කරනවා. ඔවුන් සියලුදෙනාගේම නිර්මාණශීලීත්වය අගය කරනවා. තනි තනිව වීරයා වෙන්න කටයුතු කරන්නේ නෑ. එකිනෙකා අගය කරගැනීම අපේ සදාචාරාත්මක ගුණනේ. ඒ සදාචාරය අද නෑ. අපි හුදු විනෝදය තකාම හමුවුණ අය නෙවෙයි. වැඩක් කරන්න නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්න හමුවුණු අය. නමුත් අද බලන්න. අද කණ්ඩායම් වශයෙන් හමුවෙන්නේ අධ්‍යනයකට නෙවෙයි වෙන වෙන අරමුණ ­ සමහර විට පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන්. ඒකයි බිහිවෙන නිර්මාණවල පෝෂණීය ගුණය අඩු.

නමුත් මේ මොහොතෙත් වික්ටර් රත්නායක වගේ වීරයෙක් වෙන්න හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.
කොටින්ම වෙන කෙනෙක්ව අනුකරණය කරන කෙනෙක් වීරයෙක් වෙන්නෙ නෑ නේද? තමාගේ අනන්‍යතාවයක් නේද හදාගන්න ඕනි. මම ලෙළුම්ටයි, ජයන්තටයි කිව්වෙත් මගේ සිංදු කියන්නේ නැතිව ඔයාලගේම අනන්‍යයතාවයක් හදාගන්න කියලා. නමුත් පහුගිය දවසක මම ඒ දෙන්නට කිව්වා මගේ සිංදුත් කියන්න කියලා. මොකද නැත්නම් මට අර ඔයා කිව්ව වගේ වෙන පුතාලා හැදෙනවා.

ඔබතුමාගේ කොණ්ඩය සහ රැවුලේ විලාසිතාව හිතට එන්නේ කවුරුන් නිසා ද?
අනේ නෑ. මම හිතලා තමයි මෙහෙම හිටියේ. විලාසිතා කරද්දී කිසිම කෙනෙක්ව මම අනුකරණය කරලා නෑ. ගායනයේදී පවා මම මගේම හඬක් තමයි හදාගන්න ඕන වුණේ. කොටින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් විතරයි අනුන්ගේ ගීත පවා ගායනා කළේ. ශිල්පියෙක් වුණාට පස්සේ මම ගායනා කළේ ස්වතන්ත්‍ර ගීත විතරයි.

සර්.. ප්‍රේමකීර්ති ගැනත් කතා කරමු ද?
ප්‍රේම් කියන්නේ ඇත්තම ඇත්ත වීරයෙක්. අවුරුදු හතලිස් දෙකයි ජීවත් වුණේ. නමුත් අවුරුදු අසූවක් ජීවත් වුණ කෙනෙකුට වඩා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම එයාගේ නිර්මාණවල මූල්‍යමය වටිනාකම් නො සිතුව හිත හොඳ කෙනෙක්. එතුමා අකාලයේ ඝාතනය කිරීම පිළිබඳව මහා දුකක් තියෙනවා. නමුත් ඒ එක්කම මම හිතනවා ඔහු ඒ විදිහට අපෙන් සමුගත්ත නිසා තමයි අදටත් එතුමා ගැන සමාජය කතා කරන්නේ කියලා.

ඔබතුමාලගේ මිත්‍රසමාගම්වල අග්‍රඵලයක් තමයි “ස” කියන්නේ. පටන් ගත්ත විදිය බොහෝදෙනා දන්නවනේ. “ස” නැවැත්තුවේ ඇයි සර්?
ඔයා කියන එක හරි. “ස” පටන් ගන්නකොට ක්ෂේත්‍රයේ මම අවුරුදු නමයක් ගීත ගායනා කරලා තිබුණා. අපි අතරේ තිබුණු සහයෝගීත්වයට හොඳ උදාහරණයක් “ස”. ප්‍රසංග එක්දහස් හාරසියයකට වැඩි ප්‍රමාණයක් කරා. අතිශය රසික ආකර්ෂණයට නතු වුණා. තවදුරටත් ප්‍රසංග කරන්නත් ඉල්ලුම තිබුණා. නමුත් ඔය ගීත අහලා අත්පොලසන් දෙන විසිල් ගහන තව එකක් කියලා කෑ ගහන කට්ටියම තමයි කිසියම් දවසක වැරදුණොත් හූ කියන්නෙත්. දැන් එයාට බෑ කියන්නෙත් ඔය රසිකයින්ම තමයි. ඒක රසික චර්යාවේ කොටසක්. ඉතින් ඊට කලින් මේක නවත්තගන්න නම් හොඳයිනේ. ඒක ප්‍රසංගයේ ගෞරව රැකීමට මට කරන්න පුළුවන් දේ තමයි හරි වෙලාවේ නැවැත්වීම.

නමුත් සමහර උදවිය ගීත ගායනයෙන් පස්සේ දේශපාලන වීරකම් හදාගන්නත් ගියා?
නො දැනුවත්කමනේ. කෙනෙක් වීරත්වය හොයන්න ඕනි තමාගේ විෂයානුබද්ධවනේ. තමන් යන ගමන ගැන අවබෝධයෙන්නේ. කලාකරුවෙක් නම් වීරයෙක් වෙන්නේ කලා නිර්මාණවලින්නේ. දේශපාලනය කරන්න ගියා කියලා මොන කලාකරුවට ද වීරත්වයක් ඇති වුණේ. අඩු ගාණේ එයාලට දේශපාලනයෙන් මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් වුණේ මොනව ද?

ඉදිරියට සර්ලාගේ පරම්පරාවේ වගේ වීරයින් ක්ෂේත්‍රයේ බිහිවෙයි ද?
බිහි වෙන්නෙම නෑ. මොකද හැමෝම ජනප්‍රිය වෙන්න සහ ප්‍රසිද්ධ වෙන්න උත්සාහ ගන්නවා මිසක් විෂය හදාරන්නේ නෑ. හැදෑරීමක් නැති තැන කෝ පැවැත්මක්. පැවැත්මක් නැති තැන කොයින් ද වීරයෙක්.

ක්ෂේත්‍රයේ ඔය වගේ පිරිහිලා නම් තියෙන්නේ ප්‍රවීණයෝ විදියට හිත්රිදීමක් නැත්ද?
මම කලාකරුවෙක් නිසා ඔයා ඔය ප්‍රශ්නේ මගෙන් අහනවා. මම ඔයාගෙන් මෙහෙම ඇහැව්වොත්. දැන් ඔයා මට කියන්න ලංකාවේ මොන ක්ෂේත්‍රය ද පිරිහිලා නැත්තේ?

කතාව : දිමුතු පරාක්‍රම ලියනගේ
කැමරාව : නිශාන්ත යටගම්පිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: