මද කිපුණු නැදුන්ගමුවේ ඇත් රජාට දළදා පෙරහරට යන්න බැරි වෙයිද?

July 26, 2017 | 12:41 pm    0   322

මද කිපුණු නැදුන්ගමුවේ ඇත් රජාට දළදා පෙරහරට යන්න බැරි වෙයිද?

“මල්දම්, රන්පොරොදු සහිත අලංකෘත ආයිත්තම්වලින් විරාජමානව ඇත් පන්තිය පැමිණේ…”
නන්පැහැ විසිතුරු වස්ත්‍රාභරණයෙන් විරාජමාන වී කුම්බස්තලයේ සිට කඩා හැලෙනා විදුලි බුබුළු ආලෝකයෙන්ද සෝබමාන වී තාලයකට සංයමයෙන් පාද තබන තේජස් ගමන් ලතාව දුටු දුටුවන්ගේ සිත් පහන් කරවයි”

“ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත් රජ ගමනට යන්නේ…..
පවන් සලන ලෙස කන් පොතු සලමින්
දෑලේ මිණි නද දෙන්නේ…”
ඒ අසිරිය කවි කර වැනුයේ නොයේ නම් පුදුමයකි. ඒ තරම්ම ඒ දැක්මට සිත්කවන තරම් මනරම්ය.

තිරිසන් කුලයේ ඇත්තෙකුට මේ තරම් පූර්ව වාසනාවක් හිමිවීම යනු සංසාරගත පාරමිතාවක්දෝයි විටෙක සිතෙයි.
මෙවරත් ඇසළ පෙරහැර ජූලි මස 24 දින කප් සිටුවීමෙන් ආරම්භ වීමට නියමිතව, සියලු වැඩ කටයුතු සංවිධානය වෙමින් ඇත. 2017 ජූලි මස 29 දින සිට අගෝස්තු 07 වන දින දක්වා පෙරහැර පැවැත්වීමට දින ප්‍රකාශ කර ඇත. එහෙත් මෙවර පෙරහැරේ කරඬුව වැඩමවීමට නැඳුන්ගමුවේ රාජාගේ පැමිණීම අනපේක්ෂිතය. ඒ පිළිබඳව විමසීමට පසුගිය ජුලි 19 වන දින අප නැඳුන්ගමුවේ රාජාගේ වත්මන් අයිතිකරු වන හර්ෂ ධර්මවිජය මහතාව දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ, ඔහු පවසා සිටියේ ඇතාට මද කිපී ඇති බවත් පෙරහැර සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධව නිශ්චිත තීරණයකට තවම එළඹී නැති බවත්ය.

පෙරහැරක සධාතුක කරඬුව වඩම්මවීමට බෝසත් ගණ ඇති ඇතෙකු සොයාගැනීම ඉතා භාරධූර තත්ත්වයක් සේම බෝසත් ගුණ ඇතෙකු සිටීම මුළු දිවයිනටම මහත් භාග්‍යයක් ලෙස පිළිගැනෙයි.

අලි ඇතුන් පිරිවරමින් කරඬුව වඩම්මවන ඇතුන් ගමන් කරන පෙරහැරවල් අතර, රුහුණු කතරගම පෙරහැරත්, මහනුවර දළදා පෙරහැරත් ප්‍රධාන වෙයි. ඒ අතරිනුත් ඉතා සුවිශේෂ ස්ථානය හිමිවන්නේ, මහනුවර දළදා පෙරහැරටය.
කිත්සිරි මෙවන් රජු දවස හේමමාලි කුමරිය හා දන්ත කුමරු ලංකාවට වැඩම වූ ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ බඳු බුදු හිමිගේ වම් යටි දළදා වහන්සේ පෙරටුකොට සෑම වර්ෂයකම ඇසළ මාසයේ පවත්වන මහනුවර දළදා පෙරහැර තුළ, සදාතුක කරඬුව වැඩම්ම වීම යන සැබැවින්ම ඉතා පූජනීය, වන්දනීය අවස්ථාවකි.

දළඳා කරඬුව පෙරහැරේ වැඩම කරවනු ලබන්නේ එහි පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයටය. දළදා කරඬුව ආවාට ගියාට කෙනෙකුට ස්පර්ශ කළ නොහැකිය. දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍ය උදාවන්නේ සිව්දෙනෙකුට පමණි.
ඉන් තිදෙනෙකු වන්නේ, අස්ගිරි-මල්වතු-උභය පාර්ශ්ව මහා නායක හිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේවරයාය.
අනෙක් වාසනාවන්තයා වන්නේ දළදා කරඬුව වැඩම කරවන ඇතාය.
ඇතෙකු වූ පමණින්ම ද දළදා කරඬුව වැඩම කරවීම සඳහා එකී ඇතා තෝරා ගැනෙන්නේ නැත. ඒ සදහා සම්පූර්ණ විය යුතු කාරණා කිහිපයක් ඇත.

ඇතාගේ පිට පළල් මෙන්ම පැතලි විය යුතුය. ඒ දළදා කරඬුව පිට මත තබා බැඳිය යුතු බැවිනි.
හොඬවැල, වලිගය හා ලිංගය පොළොවේ ස්පර්ශ විය යුතුය.

ඇත් දළ යුගලය ඉදිරියට නෙරා මහතට පිහිටා තිබිය යුතු අතර දළ යුගලය සමාන්තරව ද නොපිහිටිය යුතුය. වම් දළය මදක් පහත් වී තිබීම ද ඉතා වැදගත් ය.

ඇතාගේ කන් සොලවන විට මුහුණේ ස්පර්ශ වන ආකාරයට විශාලත්වයෙන් පිහිටා තිබීම ද මූලික සුදුසුකමකි.
සමහර ඇතුන්ගේ පිට ප්‍රදේශය ස්පර්ශ කරන විට කිති කැවෙයි. සුදුසුකම් සපුරා තිබුණත් එවැනි තත්ත්වයකදී ඇතෙකුගේ පිට මත දළදා කරඬුව තැන්පත් කළ නොහැකිය. එමෙන්ම ඇතා ඔළුව කෙළින් තබාගෙන තේජාන්විතව ගමන් කළ යුතුය. ඇතෙකු කෑම සොයාගෙන යන පුරුද්දට හොඬවැල බිමට තබාගෙන බිම බලාගෙන යයි නම් එවැනි ඇතෙකු කරඬුව වැඩමවීමට සුදුසු නොවේ. දළදා කරඬුව වැඩම කරවන ඇතුගේ ගමන් විලාසය ද ඉතා වැදගත් කාරණයකි. ඇතා සංවරශීලීව, උපශාන්ත අයුරින් ගමන් කිරීම දළදා කරඬුව වැඩම කරවීමට මූලික සුදුසුකමක් ලෙස සලකනු ලබයි.

ඇතා සිය හාම්පුතා කෙරෙහි දක්වන ලැදියාව, ප්‍රචන්ඩත්වය පළනොකිරීම, මිනිසුන් මරා නොතිබීම වැනි ගුණාංග ද ධාතු කරඬුව වැඩම කරවීම සඳහා ඇතුන් තෝරා ගැනීමේදී සැලකිල්ලට යොමු කරයි.

තවද ඇතාගේ උස, ශරීරය ප්‍රමාණය හා වයස යන කරුණු ද දළදා කරඬුව වැඩම කරවීමේ උතුම් කාර්යයට පැවරීමට පෙර සලකා බැලේ.
ඇතාගේ උස සහ ශරීරයේ මහත වැදගත් වන්නේ ධාතු කරඬුව විශාල ප්‍රමාණයෙන් ප්‍රදර්ශනය වීම වළක්වා ගැනීමටය. ඊට ගැළපෙන උස මහත ශරීරවලින් හෙබි ඇතුන් හමුවන්නේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන් පමණි. තායිලන්තය, මියන්මාරය වැනි රටවලින් පැමිණෙන ඇතුන් එම ලක්ෂණ පළ නොකරන බවට මේ සම්බන්ධ විද්වතුන් අදහස් දක්වා තිබේ.
මෙම කාරණය අරබයා සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ඉක්මවූ ඇතුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ එම ඇතුන් තැන්පත් ඉරියව්වෙන් හැසිරෙන නිසාය.

දන්ත ධාතූන් වහන්සේ උදෙසා පැවැත්වෙන ආරම්භක පෙරහැරේ සිට අද දක්වාම ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා ඇතුන්ගේ මෙකී ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වී තිබේ.

දළ¼දා පෙරහරක් ප්‍රථමවරට පවත්වා ඇත්තේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේදීය. ඒ ලංකාවට දන්තධාතූන් වහන්සේ වැඩම කර වූ වකවානුවේදිය. එවකට පෙරහැරේ ධාතු කරඬුව වැඩම කරවා තිබෙන්නේ ඓරාවණ නමැති ඇතාය.

එතැන් පටන් මේ තාක් සුදුසුකම් ලත් ඇතුන් රාශියක්ම දළදා කරඬුව වැඩම්මවීම සිදුකොට ඇත. මේ වන විට දළදා කරඬුව වැඩම කරවීමේ සද්කාර්යය භාර වී තිබෙන්නේ නැඳුන්ගමුවේ හර්ෂ ධර්මවිජය වෙද මහතාට අයත් නැඳුන්ගමුවේ රාජාටය.

1953, මයිසූර් ප්‍රාන්තයේ උපත ලබන නැදුන්ගමුවේ රාජා පස් හැවිරිදි වියේදී ලංකාවට සේන්දු වන්නේ, ඉන්දියාවේ මහාරාජා කෙනෙකුගෙන් නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබෙන තුටු පඬුරක් වශයෙනි.

තමන්ගේ ඥාතියෙකු දීර්ඝ කාලයක් පටන් පීඩා විඳි රෝගයක් සුව කිරීම නිමිත්තෙන් එම මහරාජා විසින් නීලම්මහර හාමුදුරුවන්ට ඇත් පැටව් දෙදෙනෙක් තුටු පඬුරු ලෙස එවා ඇත. නැදුන්ගමුවේ රාජා හා නවම් රාජා යනු ඒ දෙදෙනාය.

නීලම්මහර හාමුදුරුවන් ළඟ අවුරුදු 25 පමණ කල් ජීවත්වන නැදුන්ගමුවේ රාජා, වර්ෂ 1978දී මිලදී ගන්නේ හර්ෂ ධර්මවිජය මහතාගේ පියා වන නැදුන්ගමුවේ ධර්මවිජය වෙද රාළහාමි විසිනි.

ඒ වන විට ඇතාට වයස අවුරුදු 30ක් පමණ වන්නට ඇත. රාජාට නැඳුන්ගමුව නම පටබැඳෙන්නේ එතැන් සිටය. උසින් අඩි 11.5 පමණ වන ආසියාවේ උසම ඇතා ලෙස විරුදාවලි ලත් නැඳුන්ගමුවේ රාජා මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ වන්නේ 2005 වර්ෂයේ සිටය. එදා පටන් පුරා අවුරුදු 12ක්ම පෙරහැරට සහභාගී වීමට දින 5ක් මුළුල්ලේ පයින්ම ගමන් කරන නැඳුන්ගමුවේ රාජා සිහිකැඳවන්නේ එදා වෙස්සන්තර රජතුමාට සිටි සුදු ඇතාය. ඒ තරමටම නැඳුන්ගමුවේ රාජා අපට ජාතික සම්පතකි. සෞභාග්‍යයේ සංකේතයකි. නැඳුන්ගමුවේ රාජාට දැන් වයස අවුරුදු 64ට ආසන්නය.

මෙවර නැඳුන්ගමුවේ රාජා පෙරහැරේ කරඬුව වැඩමවීම සිදුවිය හැකි නමුත් ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ කරඬුව වැඩමවීම සඳහා තායිලන්තයෙන් ඇතෙකු ගෙන්වීමට ද සූදානමක් ඇති බවය.
කෙසේ නමුත් දැන් දළදා කරඬුව වැඩම කරන්නට සුදුසුකම් සම්පූර්ණ කළ ඇතුන් වශයෙන් සිටින්නේ තිදෙනෙකි. ඒ කතරගම වාසනා, ඉන්දි රාජා හා නැඳුන්ගමුවෙ රාජා යන ඇතුන්ය.

නමුත් මෙවර කතරගම පෙරහැරද යෙදෙන්නේ දළදා පෙරහර හා ආසන්න දිනයන්හිදී වීම හේතුවෙන් කතරගම වාසනා ද මහනුවර ඇසළ පෙරහැරට පැමිණීම පිළිබඳව නිශ්චිත කර නැත.
මේ සිදුවීම සැලකීමේදී පසුගිය අවුරුද්දක ඇසළ පෙරහැරකදී ඇතුන් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධ සිදුවීමක්ද මතකයට නැගෙයි.
එවර කරඬුව වැඩමවූයේ ඉන්දි රාජාය. මියන්මාරයෙන් ගෙනා ඇතෙකු දෑලට යොදා තිබුණි. නමුත් පෙරහැර අතරවාරයේදී මියන්මාරයෙන් ගෙනා රාජා පෙරහැරේ යන අතරදීම ඉන්දි රාජාට පහරදෙන්නට පටන් ගත් අතර ඉතා උත්සාහයෙන් තත්ත්වය සමතයකට පත් කර ගැනුණි.
එනිසා මෙවරද දළදා පෙරහැරේ ගමන් කරවන ඇතුන්ද දළදා කරඬුව වැඩමවන ඇතා ද තෝරාගැනීම සම්බන්ධ සුවිශාල වගකීමක් අදාළ බලධාරීන් වෙත පැවරෙනු ඇත.
කෙසේ නමුත් රටටත් රට වැසියාටත් යහපත පිණිස තුණුරුවනේ ගුණ පෙරටුකොට ගෙන අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 07 වන දින වීදි සංචාරයේ යෙදෙනු ඇත.
ඒ අතර නැඳුන්ගමුවේ හස්ති රාජයා දළදා කරඬුව වැඩමවමින් විරාජමානව සිටිනු දැකීමට අප මඟ බලා සිටින්නෙමු.

අනුපමා ගල්කඩවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: