“මම ආසයි මගේ තීරණවලට වග කියන්න”

February 15, 2017 | 11:03 am    0   1078

“මම ආසයි මගේ තීරණවලට වග කියන්න”

මම නිවේදකයෙක් නෙමේ. ඒ මමමයි

හිනාවෙන්න අපි හැමෝටම පුළුවන්. හැබැයි තව කෙනෙකුගේ මුවඟකට හිනාවක් ගෙන්න හැමෝටම බෑ. තවත් කෙනෙක්ගේ හිනාවකට ලක් නො වී ඒ හිනාවට හේතු ගේන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ හැබෑ දක්ෂයෙක්. විවිධාකාර මනෝලෝකවල ජීවත් වෙන කාගෙත් මුවඟට එක විදියටම හිනාවක් ඉනාවක් කළ ඔහු ගැන කියන්න තවත් උදාහරණ ඕන වෙන්නේ නෑ. DJ අරා කියපු ගමන් අදට විතරක් නෙමේ තව කල්ප ගාණකට වුණත් නො මැකෙන ප්‍රතිරූපයක් ඔහු හදවත්වල සටහන් කරලා ඉවරයි. ගොඩක් අයගෙ හිත්වල එක එක විදියට චිත්‍රණය වෙලා හිටපු අරාගේ රූපෙත් ඔහුගේ නිවේදන කලාව වගේම සිත්ඇඳගන්නාසුලුයි. ඒ හැමදේටම වඩා වචන එක්ක හරඹ කරන ඔහුගේ කතා කලාවෙන් එහාට ගිය ඔහුගේ ජීවත්වීමේ කලාව අපි හිතනවටත් වඩා ගැඹුරුයි. හැමදාම සරල වචනවලින් ඔබ පිනවූ ඔහු අද ‘මෙහෙම ඉඳලා හරියන්නෑ’ වෙනුවෙන් දුන්න හරබර උත්තරවල තිබුණේ සාර්ථකත්වය තුළින් ඔහු ලබාගත්ත පරිණත බවයි. අභියෝග මතින් ජීවිතය ජයගත්ත DJ අරා ඔබට කියන හින්දම ඔබ තවත් මෙහෙම ඉඳලා හරියන්නෑ කියලා ඔබට පිළිගන්න සිද්ධ වේවි.

මතක ඇති කාලෙ ඉඳලා මට නිවේදනයට උණක් තිබුණා.
මම කලා පවුලක පුරුකක් නෙමේ. හැබැයි මට මතක ඇති කාලෙ ඉඳලා මාධ්‍ය කලාවට පුදුමාකාර ආසාවක් තිබුණා. පානදුර සුමංගල පාසලෙන්, වේයන්ගොඩ ශාන්ත මරියා පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබපු මම කොළඹ රාජකීයට ආවේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා. එතන ඉඳලා මම හඳමාමා වැඩසටහනට සම්බන්ධ වුණා. එතනින් මුතුහර වැඩසටහනට, ඒකෙන් පස්සේ රූපවාහිනී හඬකැවීම් වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ළමා ශිල්පියෙක් විදියට SLBC එකට සම්බන්ධ වෙලා ඉන්නකොට මේ ක්ෂේත්‍රයේ හිටපු යෝධයන්ගේ ආශ්‍රය මට ලැබුණා. ඒ විදියටයි මගේ ගමනට පාර හැදුණේ.

කැම්පස් ගියා, රස්සාව කළා, නිවේදනය කළා.
O/L, A/L කාලේ ඉඳලම වැඩ දෙක තුනක් වුණත් එකකට එකක් බාධාවක් වෙන්නෙ නැති විදියට කරගෙන යන්න පුළුවන් හැකියාවක් මට තිබුණා. කොයිතරම් බාහිර වැඩ කළත් මම O/L ඉහළින්ම පාස් වුණා. විද්‍යා අංශයෙන් A/L වලිනුත් ජය අරගෙන මම කැම්පස් තේරුණා. ඒත් එක්කම මට බැංකු ක්ෂේත්‍රයේ රස්සාවකුත් ලැබුණා. ඒ වෙනකොටත් මම ලක්හඩේ ප්‍රවෘත්ති අංශයේ හොඳ තැනක හිටියේ. ඉතින් මම ඒ තුනම කළා. රස්සාවට ගියා. ඒ අතරතුරම කැම්පස් එකටත් ගියා. ඒ දෙකම කරන ගමන් මගේ ආසාව තිබුණා නිවේදන කටයුතුත් කළා.

මෙහෙම ඉඳලා හරියන්නෑ කියලා හිතුණා.
මේ මොන දේවල් කරගෙන හිටියත් mediaවලටම තමයි මට උණ තිබුණේ. ඒකටම හරියන්න මට ඒ කාලෙම හිරු fm එකට සම්බන්ධ වෙන්න අවස්ථාවකුත් යාළුවෙකුගේ මාර්ගයෙන් ලැබුණා. ඊටපස්සේ මම හිතුවා තවත් මේ නිවේදන කටයුතු part time විදියට කරලා හරියන්නෙ නෑ කැමැත්තට මුල්තැන දෙන්න ඕන කියලා. එහෙම හිතලා ලොකු වැටුපක් ලැබුණ රස්සාව අතහැරලා රු.4500 පඩියට පූර්ණකාලීනව හිරු fm එකට සම්බන්ධ වුණා. එදා ඒ වැඩ භාරගත්ත පාර තමයි මම අවුරුදු 18ක් එතන හිටියේ.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ.
අවුරුදු 18කට පස්සේත් මට හිතුණා දැනුත් මම මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ කියලා. ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑවට වඩා කාලයක් එකම තැන ඉන්නකොට ශරීරය ඉබේම පහසුවට හුරුවෙනවා. එතකොට අපේ උපරිමට කරන්න අපිට අමාරුයි. ඒ හින්දම මට හිතුණා තවත් මෙහෙම හිටිය ඇති අලුත් දෙයකට අත ගහන්න ඕන කියලා. ඒ තීරණයත් එක්ක තමයි කලින් දරපු වගකීම්වලට වඩා වැඩි වගකීම් එක්ක සියතට සම්බන්ධ වුණේ.

අභියෝගවල ප්‍රමාණය තීරණය වෙන්නේ තමන් ගන්න අවදානම මත.
ජීවිතේ කියන්නේ ඇත්තටම අභියෝගයක්. හැබැයි ඒක අභියෝගයක් වෙන්නේ අපි අපේ ජීවිතවල ගන්න අවදානම් එක්ක. අවදානමක් ගන්නකම් ජීවිතේ අභියෝගයක් කියලා දැනෙන්නේ නෑ. ඔහේ පාවි පාවී ඉන්න ජීවිතේකට වඩා අවධානමක් අරන් අභියෝගයකට මුහුණ දෙන ජීවිතේකට ඉස්සරහට යන්න පුළුවන්. මගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ මම හදාගත්ත අභියෝග.

මං ආසයි මගේ තීරණවලට වග කියන්න.
මම කැමති නෑ system එකට කිය කිය ඒක ඇතුළේ පාවි පාවී ගෙවන ජීවිතේකට. ඊට වඩා හොඳයි අවදානමක් අරගෙන ඒ බාරගත්ත අභියෝගයට උපරිමයෙන් කැපවෙලා ප්‍රතිඵල ලබාගන්න එක. මම ගන්න තීරණවල අයිතිකාරයා මමයි. ඒ තීරණ වෙනුවෙන් මගේ ජීවිතේට වගකියන්න ඕනෙත් මමයි. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ තීරණවල වගඋත්තරකරු වෙන්න. එතකොට කවදාවත් තමන්ගෙන් තමන්ට වරදක් වෙන්නේ නෑ.

දුවනවා නම් අශ්වයෙක් වගේ දුවන්න.
ජිවිතේ ගමනක් යනව නම් අශ්වයෙක් වගේ ඒ ගමන යන්න. අශ්වයෝ කවදාවත් පිටිපස්ස බල බල දුවන්නේ නෑ. එයාල දුවන්නේ ඉස්සරහ බලාගෙන විතරයි. මමත් වැඩ කරන්නේ දුවන අශ්වයෙක් වගේ. තීරණයක් අරන් ඒකට බැස්සට පස්සේ ආයෙ හිත හිත ඉන්නේ නෑ.

දැනට මං විඳින ජීවිතය සම්පූර්ණයෙන්ම මම දැකපු හීනයක්.
ලෝකේ තියෙනවා ආකර්ෂණ නියමය කියලා දෙයක්. ඒ නියමය අනුව අපිට ඕන දෙයක් මේ විශ්වයෙන් ඉල්ලන්න ගන්න පුළුවන්. ඒකේ පලවෙනි පියවර තමයි හීනය. මොකක් ද ඔබට ඕන කියන එක. මුලින්ම ඔබ හඳුනාගන්න ඔබට අවශ්‍ය දේ. අපිට ඕන දේ අපි හරියටම දන්නව නම් අපි ඒක විශ්වාස කරනව නම් ඒක අපිට අකාර්ෂණය වෙනවා. ලෝකේ බොහෝමයක් ඉහළ තැන්වල වැජඹෙන මිනිස්සු තමන්ගේ හීන ඇත්තටම විශ්වාස කරපු අය. ඒ නිසා හීනයක බලය සුළුකොට මනින්න එපා. තමන්ගේ හීනෙ තමන් විශ්වාස කරන්න. එතකොට ඒ වෙනුවෙන් වැඩ කරන්න තවත් කෙනෙක් පොළඹවන්න ඕන නෑ. තමන්ම තමන්ගේ හීනය වෙනුවෙන් කැපවෙනවා.

මම නිවේදකයෙක් නෙමෙයි.
නිවේදක ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම ඉන්න අයටත් මට කියන්න තියෙන්නේ අමුතුවෙන් ආයාසයෙන් නිවේදකයෙක් වෙන්න හදන්න එපා. මයික් එක ඔන් කළාට පස්සෙත් තමන් තමන් විදියටම ඉන්න. ඒත් කරන්න අමාරුම දේත් ඒක. මයික් එක ඔන් කරලා ධද චඪප කියලා දැනුණාට පස්සේ තමන්ට තමන් විදියට ඉන්න අමාරුයි. හැබැයි මම නිවේදකයෙක් නෙමේ. මයික් එක පිටිපස්සේ ඉන්නෙත් මේ මමම තමයි. ඒ මගේ ජීවිතේ මම විශ්වාස කරන දේ, දන්න දේ සහ මම කරන්න ඕන දේ, ඒ දේ තමයි මම මයික් එක ඉස්සරහත් කරන්නේ.

ඔබ original වෙන්න.
අපි හැමෝම ඉපදෙනකොට ඔරිජිනල්. හැබැයි ඩුබ්ලිකේට් වෙලා මැරිලා යනවා. මම විශ්වාස කරන්නේ මම ඉපදුණ ඔරිජිනල් විදියටම මම මැරෙන්නත් ඕන කියන දේ.

වහල ඉන්න අත්ත කපලා දාන්න. ඉඟිල්ලෙන්න පුළුවන් වෙයි
එක රජ කෙනෙක්ට හිටිය ලු ගිරවෙක්. උෟ කොයි වෙලාවකවත් පියාඹන්න ගියේ නෑ ලු. හැමදාම ගහක අත්තකට වෙලා බලාගෙන හිටිය ලු. රජතුමා, පුරෝහිතගෙන් ඇහුව ලු මොකක් ද මේකට කරන්නේ කියලා. පුරෝහිත ඒ ගිරවා වහල හිටපු අත්ත කපලා දැම්ම ලු. එදා ඉඳලා ගිරවා යසට පියෑඹුවා ලු. මං හිතන්නේ හැමදාම එකම තැන ඉන්න අයටත් ඒ කතාව විතරක් ඇති. මගේ ජීවිතේ මගේ අත්ත මමම කපාගෙන තමයි එකම තැනින් වෙනස් වෙලා ඉස්සරහට ආවේ. ඒක අදටත් එහෙමයි.

පුළුවන් තැනින් පටන් ගන්න.
පටන් ගන්න තැනක් හොය හොයා ඉන්න වෙලාවේ පුළුවන් තැනින් පටන් ගන්න. මොකද අද හොඳම තැන්වල ඉන්න ගොඩක් අය හොඳම තැනින් පටන් ගත්ත අය නෙමේ. වැදගත් වෙන්න කොතනින් හරි පටන් ගන්න එක.

මාව විශ්වාස කරන ජනතාවක් මා වටා ඉඳීම තමයි ලොකුම ජයග්‍රහණය.
එදා ඉඳලා මේ දක්වාම නො වෙනස්ව මා වටා විශාල රසිකයන් පිරිසක් ඉන්නවා. ඒක තමයි මම දකින ලොකුම ජයග්‍රහණය.

සාර්ථක වෙන්න බය නැති කරගන්න.
ඔබට සාර්ථක වෙන්න ඕන නම් මුලින්ම ඒ ගමන යන්න තියෙන බය නැති කරගන්න. ඔබට ඔබ පසුපස එළවන්න දෙන්න එපා ඔබ බය පසුපස එළවන්න. එතකොට බය දුවනවා. ඕනම දෙයක් පටන් ගන්න හදනකොට හැම කෙනෙක්ම හිතන්නේ සීයට පනහක්ම ඒක අසාර්ථක වේවි කියලා. ඒ අසාර්ථක වීමේ බය මත්තෙම ඉන්නවා මිස සාර්ථක වෙන්න තියෙන සීයට පනහ ගැන කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ඒ හින්දා මුලින්ම ඒ බය නැති කරගන්න. ආත්මවිශ්වාසයයි, කැපවීමයි තියෙනවා නම් ඒ ඇති. කිසිදේකට බය වෙන්න එපා.

අචලා පියරත්න

ඡායාරූප – මධුනි අලහකෝන්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: