මම කතා කරන දේවල් සමාජගත වෙන්නෙ ටිකක් කල් ගිහින්… – බූඩි

May 22, 2017 | 9:00 am    0   236

මම කතා කරන දේවල් සමාජගත වෙන්නෙ ටිකක් කල් ගිහින්… – බූඩි

‘සිහින දේශයෙන්’, ‘මාතා’ සහ ‘මිල්ලෙ සොයා’ සිනමා කෘති බිහි කළ සිනමාවේදී විශ්වනාත් බූඩි කීර්තිසේනගේ නවතම සිනමා නිර්මාණය ‘නිම්නයක හුදෙකලාව’ චිත‍්‍රපටය මැයි 19 වැනි දින ප‍්‍රදර්ශනය ඇරඹීය. එය අළලා ඔහු සමගින් කළ කතාබහක් මෙහි පළවේ…

ඔබ තමයි ලංකාවේ පළමු වතාවට ඩිජිටල් තාක්ෂණයෙන් සිනමා නිර්මාණයක් (නිම්නයක හුදෙකලාව) සිදු කරන්නෙ. ඒ මීට අවුරුදු නවයකට කලින්. නමුත් ඔබේ ‘නිම්නයක හුදෙකලාව’ ලංකාවේ ප‍්‍රදර්ශනය කරන්නට කලින් පසු කලෙක ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය වුණු සිනමාපටයක් තිරගත වෙනවා. ඒත් ඔබට හිමිවිය යුතු ඇගයීම ලැබෙන්නෙ නැහැ…

මම කොහොමත් ටයිම් එක චුට්ටක් ගන්නවා දෙයක් හදන්න. මොකද මට දඩබඩස් ගාලා එහෙම නිර්මාණයක් දාන්න බැහැ. මම ඒ නිර්මාණය විඳිමින් තමයි නිර්මාණ කරන්නෙ. ඒ නිසා මම ටිකක් වෙලාව ගන්නවා. නමුත් අපි හිතමු මට හඳට යන්න ඕන. කොහොමද යන්නෙ කියලා ප්ලෑන් කර කර ඉඳිද්දි අල්ලපු ගෙදර මනුස්සයා හඳට යන්න ට‍්‍රයි කරනවා. එයා රොකට් එක හදනවා, ටෙස්ට් කරනවා, එහෙට මෙහෙට යනවා. එතකොට මටත් හිතෙනවා යන්න පුළුවන් නේද කියලා. ඊට පස්සෙ සල්ලි ටිකකුත් හොයාගෙන රොකට් එකකුත් හොයාගෙන අරයට කලින් මං යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකෙ මම වැරැද්දක් දකින්නෙ නැහැ. නමුත් ඒ රටවල්වල එහෙම ගිහිල්ලා කියනවා මට ආභාෂය ලැබුණෙ අල්ලපු ගෙදර මිනිහගෙන් කියලා. නමුත් ලංකාවේ එහෙම කියන්නෙ නැහැ. එතැන තමයි වෙනස තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ලංකාවේ සදාචාරයක් නැහැ.

බූඩි කියන්නෙ සිනමාව කියන විෂයය ඇතුළට අලූත් දේවල් ගෙනාපු නිර්මාණකරුවෙක්. සරවුන්ඩ් ඩීටීඑස් සිස්ටම්, ඩිජිටල් ෆිල්මින්, විෂුවල් ඉෆෙක්ට්ස්, අයි ෆෝන් වගේ දේවල්. එවැනි පිමි පනින්න හේතුපාදක වුණේ මොන වගේ කාරණාවන්ද?

මම කවදාකවත් අලුත් දෙයක් කරන්න ඕනෑ කියලා වැඩකට අත ගහන්නෙ නැහැ. අමුතු වැඩක්, මාර වැඩක්, කවුරුත් කරපු නැති එකක් එහෙම එකක් මම හිතන්නෙ නැහැ. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම වැඩේ කරන්න ගියපුවාම මට දැනෙනවා දැනට තියෙන දේවල්වලින් ඒ වැඬේ කරන්න විදියක් නැහැ කියලා. එතකොට මම බලනවා කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා. මගේ ඉමැජිනේෂන් එකේ තියෙන දේවල් මට එළියට දාගන්න බැරි වෙනකොට මම ඒක දා ගන්න මාර්ග හොයනවා. අන්න එතකොට දන්නෙම නැතුව අලුත් දේවල් වෙනවා. ඕක තමයි වෙන්නෙ. ඒකෙන් මම තෘප්තියක් ලබනවා. නිර්මාණය බිහි වුණාට පසුව නෙමෙයි මම තෘප්තිමත් වෙන්නෙ. ඇත්තටම මම තෘප්තිමත් වෙන්නෙ නිර්මාණය සිදු කරන අවස්ථාවේදී.

‘සිහින දේශයෙන්’,‘ ‘මාතා’ සහ ‘මිල්ලෙ සොයා’; මේ චිත‍්‍රපට ත‍්‍රිත්වය පෙරළිකාර චිත‍්‍රපට තුනක්. නමුත් මේ සිනමාපට තුනට නිසි අගයීමක් ලැබුණේ නැහැ. ඒක මගේ පෞද්ගලික අදහස. ඔබේ අදහස කුමක්ද ඒ සම්බන්ධයෙන්?

මම ඉගෙන ගත්තෙ ඇමරිකාවෙ. ‘සිහින දේශයෙන්’ ෆිල්ම් එක ඇමරිකාවෙ පෙන්වද්දි ඒකට ලොකූ අගය කිරීමක් තිබුණා. ‘මිල්ලෙ සොයා’ ඇමරිකාවෙ පෙන්වද්දි ලොකු අගය කිරීමක් තිබුණා. ‘මාතා’ ජර්මනියෙ පෙන්නුවා එතන නම් දෙගොල්ලක් හිටියා අගය කරන කට්ටියයි. ‘වයලන්ස්’ වැඩියි කියන කට්ටියකුයි. නමුත් ලංකාවෙ මම දකිනවා දේශපාලනය කියන එක කන කොටත් තියෙනවා, නිඳාගන්න කොටත් තියෙනවා, නිඳාගන්න තැනෙත් තියෙනවා. ඒක එච්චරකට මුල් බැහැලා තියෙනවා. එතකොට ෆිල්ම්වලිනුත් ‘පොලිටික්ස්’ කතා කරන්න වෙනවා. නිකං ෆිල්ම් එකක් කළත් ඒකෙත් පොලිටික්ස් ඇදලා ගන්නවා. හැම ෆිල්ම් එකකම පොලිටික්ස් තියෙනවා. හැම දේකම පොලිටික්ස් තියෙනවා. නමුත් අපි කාර් එකක් පදවගෙන යනකොට මම දැන් ගියර් එක දානවා. දැන් වටේ රවුම කපනවා. එහෙම එකක් නැහැනෙ. අපි එළවාගෙන යනවා. ඒක තමයි ජීවිතේ කියන්නෙ. නමුත් අපි හරි ආසයි සමාජයක් වශයෙන් දේශපාලනය උලුප්පලා ගන්න. මගේ චිත‍්‍රපටිවල දේශපාලනය තිබෙනවා. ඒක ඒ චිත‍්‍රපටයේ එක කොටසක් විතරයි. නමුත් මම එහෙම උලුප්පලා ගන්නෙ නැහැ.

සෘජු දේශපාලන මාතෘකා අමුවෙන් කතා කරන සිනමා කෘතිවලදී පේ‍්‍රක්ෂකයන්ගේ බෙදීමක් ඇති වෙනවා. එය නිර්මාණකරුවන්ට අවාසි සහගත තත්ත්වයක් නේද?

අනිවාර්යයෙන්ම. ඒක මම පැහැදිලිව කිව්වා ‘මාතා’ ෆිල්ම් එකේදී. මාතා ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ස්ලට කිව්වා ටේ‍්‍රලර් එක කපද්දි පොලිටික්ස් කරන්න එපා කියලා. මොකද ඒක ඇතුළේ තිබෙන්නෙ ‘ලව් ස්ටෝරි’ එකක්නෙ. මම කිව්වා ඒ ලව් ස්ටෝරි එක මතු කරලා ගන්න කියලා. මොකද මිනිස්සු එතකොට සිනමා ශාලාවට එන්නෙ යුද්ධය එක්ක තිබෙන ලව්ස්ටෝරි එකක් බලන්න. නමුත් අපි සිනමා ශාලාවට එන්න ඉස්සෙල්ලා පොලිටිකල් එකක් දුන්නා. ”සෑම මිනිහෙක් පිටුපසම දේශපාලනයක් තිබිණි. ඒ දේශපාලනය පිටුපස අවියක් තිබිණි.” කියලා කියපු ගමන් ඒක පොලිටිකල් කරලා ඉවරයි. අපි විසින්ම කරලා ඉවරයි. මම නෙමෙයි ටේ‍්‍රලර් එක කැපුවෙ. නමුත් කවුරුහරි කපපු කෙනා එහෙම කරපුවාම ඒක දේශපාලනික වෙනවා. එතකොට මිනිස්සු දෙපැත්තට බෙදිලා යනවා. අපිට එහෙම වැඩක් නැහැනෙ. අපි නිර්මාණයක් කරන්නෙ හැමෝටම බලන්න. ඒ නිසා මම හිතන්නෙ මාතා ෆිල්ම් එකේ ටේ‍්‍රලර් එක විසින් පෙන්නුවා මේක දේශපාලනික චිත‍්‍රපටයක් කියලා. එතකොට මිනිස්සු ටිකක් අවුල් වෙනවා. මම හිතන්නෙ ඒක නැති වෙන තරමට හොඳයි. මොකද කෘතිය නිදහස් වුණාම පේ‍්‍රක්ෂකයන් ඒ වෙත ඇදෙනවා. ඒ නිසා කලාව සහ පොලිටික්ස් කියලා මේ දෙක වර්ග කරන්න පුළුවන් කියල තමයි මට හිතෙන්නෙ.

‘නිම්නයක හුදෙකලාව’ සිනමා පටය මනෝ විද්‍යාව, ගුප්ත සිද්ධීන් සහ බෞද්ධ දර්ශනයේ මතවාදයන් සහිත සාකච්ඡාවක් නේද?

ඔබ කියපු ඔක්කොම තිබෙනවා මේ ෆිල්ම් එකේ. මේ චිත‍්‍රපටයෙ subconscious (උපවිඥානය) කතා කරනවා. psychology (මනෝ විද්‍යාව) කතා කරනවා.science fiction (විද්‍යා ප‍්‍රබන්ධ) තියෙනවා. ඔය ඔක්කොම තිබෙනවා මේක ඇතුළේ. හැබැයි මම ප‍්‍රධාන වශයෙන් අදහස් කළේ අපි සමහර වෙලාවට මේ ලෝකයේ යම් යම් දේවල් දකිනවා. දැක්කාම අපි හිතනවා සත්‍යය දෙයක් අපි දැක්කෙ කියලා. ඒ වුණාට ටිකකින් හිතනවා එහෙම වෙන්න බැහැ ඒක මගෙ මනස ඇතුළේ වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් හිතෙනවා ඇත්තටම එතන මට නොතේරෙන දෙයක් සිද්ධ වුණා හිතා ගන්න බැහැ කියලා. ඒ කියන්නෙ අපහැදිලි සිතිවිලි (Unexplainable thinking). ලෝකයේ එහෙම දේවල් තියෙනවා. හිතා ගන්න බැරි කියා ගන්න බැරි දේවල් තිබෙනවා. අන්න ඒ දේත් එක්ක තමයි, මේ චිත‍්‍රපටය ගොඩනැඟිලා තිබෙන්නෙ.

සමහර සිනමා කෘතිවල තිබෙන්නෙ පැතිරුණු මතවාද. ඒවා සමහර වෙලාවට නිශ්චිතව තේරුම් ගැනීමට අපහසුයි. ඔබේ සිනමා භාවිතාවත් ඇතැම් විටකදී එහෙමයි…

දවසක් කෙනෙකුට ඩේවිඞ් ලින්ච් උත්තරයක් දෙනවා. එක්කෙනෙක් ඔහුගෙන් අහනවා ඔබේ mulholland drive කියන ෆිල්ම් එකේ සමහර දේවල් අපිට තේරුම් ගන්න බැහැ කියලා. ඒක කොහොමද අපි තේරුම් ගන්නෙ. එතකොට ලින්ච් කියනවා ”ඒක ගැන කලබල වෙන්න එපා. දැන් ඔයාලා ෆිල්ම් එක බලලා ගිහිල්ලා කොහේ හරි සෙට් වෙලා කතාබහක යෙදෙනවනෙ. එතකොට එක්කෙනෙක් කියනවා ඔහුගෙ අදහස. තව එක්කෙනෙක් ඔහුගෙ අදහස කියනවා. මෙහෙම මේ අය ෆිල්ම් එක දකින හැටි කතා කර ගන්නවා. අන්න ඒක තමයි ඔය කියල තියෙන්නෙ” කියලා ලින්ච් කියනවා. එතනින් එහාට දෙයක් හිතන්න යන්න එපා කියල ඔහු කියනවා. නමුත් අපේ අය දිගට ගිහිල්ලා ඇණේ ගහලා ආ හරි අහුවුණා කියලා කියනවා. නමුත් කලාවේ තිබෙන සමහර දේවල් ‘පින් පොයින්ට්’ කරලා ගන්න බැහැ. ඒවා හරි විවෘතයි.

ඔබේ ‘මාතා’, ‘සිහින දේශයෙන්’ වගේ සිනමා කෘති ඒ මොහොතේ කියවා ගන්න බැරි වුණු සිනමා කෘති. නමුත් පසුකාලීනව ඒවා නිවැරදිව කියවා ගන්න ලැබුණා. ඔබ මේ සම්බන්ධයෙන් මොකක්ද හිතන්නෙ ?

මම ඒ පිළිබඳව දුක් වෙන්නෙ නැහැ. මොකද අද වෙනකොට තාරුණ්‍යයේ චිත‍්‍රපටය බවට ‘මිල්ලෙ සොයා’ පත්වෙලා තිබෙනවා. ඊට කලින් ‘ජෙනරේෂන්’ එකේ චිත‍්‍රපටිය ‘සිහින දේශයෙන්’ බවට පත් වෙලා තිබෙනවා. එතකොට මම කතා කරන දේවල් සමාජගත වෙන්නෙ ටිකක් කල් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒකෙ හානියක් නැහැ. නමුත් මිනිස්සු අවුරුදු ගාණක් ගිහිල්ලත් කතා කරනවා. ඒකම මම හිතන්නෙ තෘප්තිමත් වීමට හොඳ කාරණයක්. කලාකාරයෙක්, දාර්ශනිකයෙක්, වෙනස්ව හිතන මිනිහෙක් ඒ වගේ දේවල්වලට අකමැති නැහැ. නමුත් අපිට මේක පරණ වෙනවා. මට දැන් ‘නිම්නයක හුදෙකලාව’ පරණයි. මම අලුත් එකකට යන්න ඕනෙ.


සංවාදය හා සටහන – භාතිය ගුණසේන
bhathiyagunasena@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: