මහ ජනතාවට පොදු ප්‍රවාහනය

March 10, 2017 | 12:40 pm    0   423

මහ ජනතාවට පොදු ප්‍රවාහනය

ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතාවට හුරු කෙරෙනු ඇති බව වාර්තා වේ. මහා නගර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක විසින් මේ බව අවධාරණය කෙරුණේ ප්‍රමුඛතා මංතීරු හදුන්වාදීමේ නියමු වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකදී ය.

“වර්තමානයේදී බස්නාහිර පළාත් පදිංචිකරුවන් විසින් පමණක් දිනකදී සිදු කරන ගමන්වාර ගණන මිලියන දහය ඉක්මවයි. මින් සියයට 50ක පමණ ගමනාන්තය වන්නේ කොළඹ නගරය සහ තදාසන්න ප‍්‍රදේශ වන අතර මෙම ගමන්වාරවලින් වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ පොදු ප‍්‍රවාහන සේවය හරහායි.

අසූව දශකයේ සියයට 85ක් පමණ දෙනා පොදු ප‍්‍රවාහන සේවය පාවිච්චි කළත් දිනෙන් දින ඉහළ නගින පෞද්ගලික ආදායම් ප‍්‍රමාණ සහ පහළ බසින පොදු ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක බව හේතුවෙන් වර්තමානයේදී පොදු ප‍්‍රවාහන සේවය පාවිච්චි කරන පිරිස අඩු වෙමින් පවතිනවා. මේ හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ, යතුරුපැදි භාවිතය සහ කුලී ත‍්‍රීරෝද රථ භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, එක් බසයක ගමන් කරන හතලිස් දෙනා එම ගමනට යෑමට පෞද්ගලික වාහන යොදා ගතහොත් එම වාහන සඳහා බස්රථ දහයක පමණ මාර්ග ඉඩක් අවශ්‍ය වනවා.

පුද්ගලික රථ වාහන ගණන හේතුවෙන් වැඩි ඉඩකඩ ඇති මාර්ගවල ඉල්ලූමක්ද මතුව තිබෙන නමුත් මෙම ඉල්ලූමේ සීඝ‍්‍රතාවයට අනුව ඉඩ ප‍්‍රස්තා ඇති මාර්ග ඉදිකිරීමට රජයට අපහසුයි. මාර්ග පුළුල් කිරීමටද ඉඩම් ලබාගැනීම අපහසු කරුණක්.

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමෙන් සමහර මංසන්ධි සහ පදිකයින් මාරු වන ස්ථානවලදී බස්රථ මංතීරුවට වාසිදායක තත්ත්වයන් ලබාදීමේ ඇති ඉඩකඩ නිසාම බස් මගීන්ට ඉක්මණින් ගමනාන්තය කරා ළඟාවීමේ හැකියාව තිබෙනවා.” යැයි ඇමතිවරයා වැඩිදුරටත්  පැවසීය.

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරිමේ ප‍්‍රධාන අරමුණ වන්නේ දැනට නගරය තුළ ගමනාගමනයේදී පෞද්ගලික මෝටර් රථයකින් ගමන් කරන්නෙකුට වඩා අඩු වේගයකින් එනම් පැයට කි.මි. 08ක වේගයකින් පමණක් යන්නා වූ පොදු ප‍්‍රවාහන සේවයන් කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයන් හට සාධාරණය ඉෂ්ඨ කිරීම වේ.

පාර්ලිමේන්තු මාර්ගය හා පරණ කෝට්ටේ මාර්ගය ආශ‍්‍රිතව හඳුන්වා දෙන මෙම බස්රථ මංතීරුව 2017 මාර්තු මස 17 වෙනිදා සිට කි‍්‍රයාත්මක වීමට නියමිත අතර කාර්ය බහුල වේලාවන්හිදී පැයක කාලසීමාවක් ඇතුළත බස්රථ 180 තුළ මගීන් 8000ක් පමණ ගමන් කරනු ඇති බවට තක්සේරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: