මානව හිතවාදියෙකු වූ නව යුද හමුදාපතිවරයා

July 20, 2017 | 2:53 pm    0   225

මානව හිතවාදියෙකු වූ නව යුද හමුදාපතිවරයා

ජාතියේ සුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය සියළු අසම්පූර්ණ වපසරියන් අවැසි සෑම මොහොතකම සම්පූර්ණත්වයට පත්කිරීමට ඉදිරිපත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අපගේ සමාජ පද්ධතියේ පරාවර්තනයකි. ඇත්තෙන්ම, එය ධාරිතා අවකාශයේ හිඩැස සම්පූර්ණත්වයට ගෙනන සමාජ ප්‍රගමනයට උරදී කටයුතු කරනා අත්‍යවශ්‍යම ප්‍රධාන ධාරාවකි. එම පුරෝගාමී මෙහෙවරට උරදෙන යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාපති ලෙස සැමගේ ප්‍රියමනාපයට ලක්වූ පෘථුල දර්ශනයක් සහිත පුරෝගාමී යුද සෙන්පතියෙක් වූ ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පත්වීම අතිශයින්ම මහත් සතුටක් ජනනය කරන පුවතක්ම වූයේ මොහු සැබෑ මානව හිතවාදියෙක් හා ‘අනුනට සැමවිට ඇහුම්කන් දෙන’ දුලභ ගුණයෙන් පිරි විශිෂ්ඨ නිළධාරියෙක් හා මහත්මයෙක්ම වන බැවිනි.

සේනාවිධායක වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් නව පත්වීම් ලිපියත් සමඟ ලබාදෙන ලුතිතන් ජෙනරාල් නිලයට උසස්කිරීමේ නිවේදනයත් පසුගියදා නිහතමානිව ලබාගත් නව හමුදාධිපති නිලමය වශයෙන් තනතුර සංකේතවත් කිරීමට අදාළ සම්ප්‍රදායික ‘යෂ්ටිය’ චාම් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේදී හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් අනතුරුව එදිනම බාරගත්තේය.

සිත වසඟ කරනා මද සිනහවකින් මුව සරසාගෙන නිතර කටයුතු කරනා මෙම අභීත සෙන්පතියා සම්භාවනාවට ලක්ව ඇති යුද්ධ හමුදා විශේෂ බළකායේ (Special Forces) හී අසමසම පුරුකකි. ප්‍රතාපවත් නිළධාරියෙකි. ඒ හැමදෙයටම වඩා නන්දිරි උපේන්ද්‍ර මහේෂ් මැගිලියොන් වීරතුංග සේනානායක (N.U.M.M.W) අපේ කාලයේ රණවිරුවන් අතරේ කැපී පෙනෙන රටේ ස්ථිරසාර සාමය සඳහා සුවිශේෂ ලෙස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නාවු හා එලෙස කටයුතු කළ මානව හිතවාදියකි. එම දැවැන්ත ප්‍රතිරූපය මිනිසත්කමේ, එඩිතරබවේ, මනුෂ්‍යත්වයේ,  නිහතමානීත්වයේ සහ කැපවීමේ විශිෂ්ට සංකේතයක් බව පැවසිම අතිශෝක්තියක් නොවේ. මෙතැන් සිට දැවැන්ත සංවිධානයක දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස ලක්ෂ දෙකකට ආසන්න වු රණවිරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඔහු අරඹනු ඇත. සිය අවදානම් රාජකාරි ජීවිතයේදී මරුවසඟයට කිහිපවිටක්ම ඇදගෙන යද්දී හා මරණය අභිමුඛ වුවද රට වෙනුවෙන් අසමසම වීරත්වය හා ස්ථානෝචිත ප්‍රඥාව විද්‍යාමාන කරමින් උපක්‍රමශිලීව තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් අපූරු චරිතයකි.

සිය සත්‍ය කතාව හදවතට එකඟව නොවලහා සහ සෘජුව පැවසීමත් ඔහු සතු නිසග ගුණයක් බව වැටහුණු නිසාදෝ ඔහුගේ තරුණ කාලයට එබී බැලුවෙමි. නිවාස ව්‍යාපෘතියක් තුල වෙල්යායක් වැනි පරිසරයක් වාසභූමිය කරගෙන අසලින් ගලාබසින ගංගා කොමලියගේ මදනල පහසින් සැනහී දිවිගෙවනා මේ විරු චරිතය ‘නිසල පරිසරය’ ‘ජීවිතයේ සැබෑ අරුත දනවන බව’ ප්‍රබුද්ධ ලෙස විශ්වාස කරයි. ඝෝෂාකාරී වටපිටාව අප්‍රිය කරයි.

තමන් සිප්සතර ප්‍රගුණ කල කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වූ සදාදරණීය කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්‍ෂ සද්ධන්තයාණෝ අපගේ සාරධර්ම පද්‍ධතීන් තුළ ඇති ගැඹුර උකහාගෙන අපතුල ඇති නිසග කුසලතාවයන් මනාව හඳුනාගත්තා බව පවසන නව හමුදාධිපතිවරයා සිය හඩ අවදිකරයි. “මා ඇතුළු මාගේ සමීප මිතුරන් කිහිපදෙනෙක්ම විද්‍යාලයීය කෙඩෙට් පුහුණුවට යොමුකර, ඉන් නොනැවතී යුද්ධ හමුදාව වැනි විශිෂ්ට සේවාවකට අප අනාගතයේදී එක්විය යුතු බව තරසේ අවධාරණය කරනු ලැබූයේ ඔහුට අප පිළිබඳව මනා සංවේදී සංජානනයක් තිබූ බැවින් යැයි දැන් අපට හැ‍‍‍‍ඟෙනවා. මෙම යෝජිත අදහස හා ඒකාබද්ධ වු තවත් කාරණයක් වුයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් සිටි මාගේ ආදරණීය සීයා සහ එවකටත් පොලිස් සේවයේ යෙදී සිටි මාගේ පියාණන් නිසයි. ඔවුන් දෙපළ අප‍ගේ පරමාදර්ශී චරිත වුණා. විනය, ආචාරශීලීත්වය, සෘජුබව හා අදීනත්වය එම චරිත තුල පැහැදිලිව ගැබ්ගත් සුවිශේෂ  සාධක. මේ පවුල් පසුබිම මාගේ හමුදා වෘත්තියට ලබාදුන්නේ ප්‍රබල උත්තේජනයක්. ලොව කුරිරුම ත්‍රස්තවාදය පිටුදකිමින් ජාතිය ගොඩනැංවීමට අත්‍යයන්තයෙන්ම කැපවී සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අද්විතීය හැකියාවන් හා විශිෂ්ටත්වය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ මම අත්විදිමි. එම ප්‍රෞඩ මිනිසුන්ගේ සහෘදයෙක් වීමට මට හැකිවීම මා ලද දුර්ලභ භාග්‍යයක් යැයි මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි”. එම හේතුව කුමක් දැයි පෙරලා විමසූ විට ඔහු සිනාසෙයි. අනතුරුව තවත් වතුර වීදුරුවකින් පහස නිවා ගනී.

තවත් හෝරා කිහිපයකින් මෙරටෙහි දැවැන්තම සේවා සපයන්නා වන යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස පත්වන බව ස්ථිරසාර ලෙසම දැනගෙන සිටියද ඒ පිළිබඳව ඔහු කිසිම වික්‍ෂිප්තබවක් හෝ තැතිගත් ස්වභාවයක් නොපෙන්වීමේ රහස කුමක්ද? තමා සතු ‘උපේක්‍ෂා ගුණයන් සියල්ල නිසල සමාධියෙන් යුතුව යථාවාදීව වටහාගැනීම බව’ පවසන හේ කරන කාර්යයට නිසි ගරුත්වය පෙන්වා විටින් විට කෑමොරදෙන සිය ජංගම දුරකථනය විසන්ධි කරයි. එහෙත් මනෝභාවයේ වෙනසක් නොපෙන්වයි. විටෙක හුනස්නෙන් නැගිට කිසිවක් අමතක නොවූ බවක් පෙන්වා අසීමිත ජවයක් ලබාදුන් කල්‍යාණ සඟයන් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.සී. රඹුක්පොත, මේජර් ජෙනරාල් ජගත් ඩයස් වැනි රණවිරු විශිෂ්ඨයෝ ගැන ආවර්ජනය කරයි.

“යුද්ධ හමුදාවට බැඳී මගේ පියා මට දියතලා හමුදා විද්‍යාපීඨයේ දීර්ඝ පාඨමාලාවට යොමුකර ඉන්පසුව පියාණන්ද විශ්‍රාම සුවයට එළඹ අපගේ අභිවෘද්ධියටම වැඩිකාලයක් ගතකරනවා. දියතලා විද්‍යාපීඨය කියන්නේ අපගේ දෙවන උත්පත්තිය ලැබූ තැනයි. එහි ප්‍රධාන උපදේශකවරයා වූ මෙරට තැනු තවත් විශිෂ්ඨ ගණයේ සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි නායකයන් අපගේ ගුරුවරුන් ලෙස කටයුතු කරමින් හමුදා ශාස්ත්‍රය ලබාදෙන ගමන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරනා ලෙස අපට ප්‍රබලව පෙරැත්ත කර ඒ සඳහා විවිධ පුහුණු ක්‍රමයන් ද අපට ලබාදුන්නා. ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. වසර තුනක පුහුණුව ලබා 1983 ජූනි මස විසිරයන උත්කර්ෂවත් උත්සවයේදී මා අප කණ්ඩායමේ විශිෂ්ටයා වී බුහුමනට පාත්‍රවන (ගරුත්වයේ අසිපත) හෙවත් Sword of Honour සම්මානයට හිමිකම් කියනවා. එය ලබාගැනීම තමා විද්‍යාපීඨයේ දුෂ්කරම හා අභියෝගාත්මකම කර්තව්‍යය. ජානක පෙරේරා වැනි විශිෂ්ඨයෝ දේශමාමක මහා පුරුෂයන් ලෙස අදත් අපගේ ප්‍රණාමයට ලක්වන්නේ අප තුල සැගව තිබු සහජ නිසග කුසලතා අනාවරණය කර ඔවුන් අපව විනිවිද දැකීමයි. එහි ප්‍රතිඵල ලෙස මා පසුකාලීනව විශේෂ බළකායට එකතු වූවත් මට අවශ්‍යව තිබුණේ අද විජයබාහු පාබල හමුදාව ලෙස නිර්මාණය වී ඇති එහෙත් එවකට රණකාමී ‘රජරට රයිෆල්’ නම් වූ රෙජිමේන්තුවට එකතු වීමටය. එහෙත් I යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ නිලධාරියකු ලෙස පිටව ගියත් පසුව අන්තර් ඒකක මාරුවක් හරහා  විශේෂ බළකාය ප්‍රතිස්ථාපනය කරන අවධියේම එයට එකතු වුණා. එලෙස විශේෂ බළකාය ප්‍රතිස්ථාපනය කරනු ලැබුවාට එයට බැඳීමට පෙර කමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණුව අනිවාර්යයෙන්ම අප ලබාගත යුතු තිබුණා, ” හේ මතකය අවදි කරයි.

තුන්මාසයකට වඩා සියලු සැපයුම් හා සන්නිවේදන විසන්ධි කොට ප්‍රාණ ඇපකරුවන් ලෙස යාපනය කොටුව ඇතුලේ කොටි ග්‍රහණය නතුවට ගෙන තිබු අපගේ සියලු විරුවන් නිරුපද්‍රිතව බේරාගැනීම අතිශය බිහිසුණු හා තීරණාත්මක සන්ධිස්ථානයක්. ජිවිත පරදුවට තබා මාද ඇතුලු විශේෂ බලකායේ ‘සීඝ්‍රගාමී ප්‍රහාරක’ සෙබලුන් කලපු වතුරේ කිඳා බැස ඒ ඓතිහාසික සටන කලා. එමෙන්ම මාරාන්තික මුලතිව් මෙහෙයුම්, අලිමංකඩ හා මුහමාලේ, කලවන්චිකුඩි    ක්‍රියාන්විතයන් සහ අනෙක් හමුදා මෙහෙයුම් සහ සියලු මානුෂීක මෙහෙයුම්වලදි තමන්ට ද සක්‍රීයව දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ ඔහුට ඇත්තේ අභිමානයකි. ගෞරවාන්විත හැඟිමකි. එහෙත් සතුරු ප්‍රහාර හමුවේ තම සඟයින් අහිමි වීම සංවේදීව සිහිපත් කරයි.

නව විප්ලවීය හා විකල්ප මතවාද

“මා පරමාදර්ශී චරිත ලෙස ගෞරවයෙන් සැලකු දිවංගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව රණවිරුවෙකුටත් වඩා අති විශීෂ්ඨ මානව හිතවාදියෙක්. ඔහු මහත්මා ගතිවලින් හෙබි සොල්දාදුවාගේ හදවත සංවේදි ලෙස නිවැරදිව හදුනාගත්ත උදාර පුරුෂයෙක්. ඔහු එවකට තරුණ අපගේ හදවතට තදින්ම ගිලාබැසගත් චරිතයක්. කාලය ඇවෑමෙන් හමුදා විධානය අතටගත් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අපගේ යුද්ධය දිනිම පිළිබඳ මෙතෙක් අවධානයට ලක් නොවි තිබු ‘විප්ලවිය හා විකල්ප ශීල්ප ක්‍රමවලට’ හා ඒවා භාවිතය පිළිබදව මහත් උත්තේජකයක් ලබා දුන්නා. එවකට ගතානුගතික හා සම්ප්‍රදායනුකුලව දියත්ව තිබු සටන් ක්‍රම වෙනුවට අපි යෝජනා කළ සංකල්ප ෆිල්ඩ් මාර්ෂල් ‍ෆොන්සේකා තර්කානුකුලව පිළිගනීමින් ‘දිගදුර ගමන් කරන කුඩා කණ්ඩායම්’ සමඟ මෙහෙයුම් අතිශය සාර්ථක බවට ඒත්තු ගැන්වූවා. ඒකාලේ මම 3  විශේෂ බලකායේ අණදෙන්නා. එම ක්‍රමවේද නොසිතූ විරු පරිද්දෙන් සාර්ථක වුණා. මෙම ක්‍රමවේද සතුරාට බරපතළ හානිගෙන දෙමින් ඔවුන්ව පුදුමයට පත් කෙරුවා. ‘මාවිල්ආරු’ මෙහෙයුම සාර්ථකවී ඉදිරියට ඇදෙන විට නිලධාරින් හැටියට අපට නැවත ජනනය  වෙමින් තිබුණේ විශාල විශ්වාසයක්. ෆිල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා “ත්‍රස්තවාදය නැති කිරීම සිය අනුප්‍රාප්තිකයාට ඉතිරි නොකරන බව” ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමත් සමඟම අපට තවත් ප්‍රවර්ධනය වු ධෛර්යයක් ලැබුණා. ඔහු වැනි විශීෂ්ඨ විධානයක් හිමි කෙනෙකු නොසිටියානම් අදටත් කුමක්වේදැයි සිතාගත නොහැකි,” යැයි සැහැල්ලු සිතින් එහෙත් ගැඹුරු ස්වරයකින් නව හමුදාපතිතුමා පවසන්නේ ආඩම්බරයෙනි. ඔහු මොහොතකට සිතුවිල්ලක නිමග්න වෙයි.

2010 ජනාධිපතිවරණයෙන් පසු පැවති ඔවුන් හඹා ගිය ‘අඳුරු භිෂණය’ සංවේදි ලෙස සිහිපත් කරන නව හමුදා ප්‍රධානියා තමන් ඇතුළු නිලධාරින් 14 දෙනෙක් සිය ජිවිත බේරාගැනීම අරභයා පවුල් සාමාජිකයන් සීසීකඩ විසුරුවා ගම්බිම්-ගෙවල් දොරවල් අතහැර  අස්ථානගතවු හැටි චිත්‍රපටයක් ලෙස මතකයට කැඳවයි. “රට වෙනුවෙන් මෙවැනි කැප කිරිම් කළ අපට එක පෑන් පහරකින් හෝරා කිහිපයක් තුලදි සියල්ල අහිමි වුණා. ‘සේවාව අනවශ්‍ය බව’ ලියු කොළයක් මගින් අපගේ වැටුප, නිළය, හමුදා නිවාස, විශ්‍රාම වැටුප හා කීර්තිමත් සේවාව නිර්දය ලෙස හා ක්ෂණිකව අවසන් කළා. මෙවැනි ව්‍යාකූල තත්වයක් යටතේ සාමන්‍යයෙන් හමුදා පිළිවෙත අනුව මුලික පරික්ෂණ උසාවියක් පවත්වා සත්‍යය සොයා ගතයුතු වුවත් ඒ කිසිවක් අවාසනාවට කෙරුණේ නෑ. ඒ වෛර තිරණවල පසුබිම බලය රුක ගැනිම පමණක්ම වුණා. එකම පැතිරුණු චෝදනාව වුයේ ‘අපි ‍ෆොන්සේකාගේ සහචරයන් වු බවයි’. මෙය ඉදුරාම සත්‍යයෙන් තොර වුවකි,” ලුතිනන් ජෙනරාල් සේනානායක සදහන් කරයි.

“රට අස්ථාවරව දරුණු යුද්ධයක් තීරණාත්මක මොහොතකට එන විට නිලධාරීන් ලෙස අපි හමුදාපතිගේ නියෝග ක්‍රියාත්මක නොකර කුමක් කරන්නද ? අපි කාගේවත් දේශපාලනයක් කලේවත්, ඒවාට සහයක්වත් දුන්න අය නොවේ. එහෙත් අපගේ හමුදා තනතුරුවලට අනුකූලව විධානය දෙන නායකයා සමඟ ත්‍රස්තවාදයට විරුද්ධව ඒකාත්මිකවී කටයුතු කළා හැර වෙනකුමක් කරන්නද? එනිසා අපව ‘දේශපාලන’ කෝණයකට  කොටුකර චුදිතයන් කරන්නට උත්සාහ කිරීම රටට කළ අපහාසයක් හැටියටයි අප දැක්කේ. අසාධාරණ ලෙස  පදනම් විරහිතව අපට දුන් ශාරීරික හා මානසික වද විස්තර කළ නොහැකි තරම් සහාසිකයි. මම ඒවා පිළිබද උපේක්ෂාවෙන් දකින්නේ. එනිසා අපට සිදුවු දේ ‘පැවති සතුරු තත්වයන්’ යටතේ සිදු කළ ක්‍රියාබවයි අපගේ හැඟිම. එවකට හමුදා ලේකම්වරයා හැටියට කටයුතු කළ මගේ පුර්වාගාමී ක්‍රිෂාන්තත් එවකට හමුදාපති වු ජෙනරාල් ජයසුරියත් අපි වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරමින් ශක්ති ප්‍රමාණයෙන් පෙනී සිටියත් ඔවුන්ගේ මතය ඒවා අභිබවා ගියා. කිසිවිටකත් හමුදාව ඉදිරි කාලයේදි හෝ දේශපාලනීකරණයට ලක්නොවනු ඇතැයි යන්න තමා තදින්ම විශ්වාස කරන බව” හමුදාපති සේනානායක අවධාරණාත්මකව පවසන්නේ ඉතා සංවේදි ආවේගයකින්ය.

නිර්දේශපාලනය කිරීම

හමුදාවත් දේශපාලන කටයුතුවල යෙදෙමින් විවිධ අපරාධවලට දායකත්වය ලබාදුන් බවට නැගෙන චෝදනා ගැන ලුතිනන් ජෙනරාල් සේනානායක මෙසේ පවසයි.

“සත්‍යයම කියනවානම් 2015 මේ රජය බලයට පත්විමත් සමඟම මා දන්නා පමණින් කිසිම දේශපාලන බලපෑමක් හමුදාව වෙත ඇති වෙලා නෑ. එහි ගෞරවය හිටපු හමුදාපතිතුමාටයන්ට ඕන. හොඳම උදාහරණය තමයි 2015 අගෝස්තු මැතිවරණයේදි හමුදාවට විරුද්ධව එකම පැමිණිල්ලක්වත් කිසිවෙක් හෝ කර නොතිබිම. එය ඉතා හොඳ ප්‍රවණතාවයක්. මගේ පුර්වාගාමීන් මට ඉගැන්නුවේ නිවැරදි දේ බය නැතිව කරන ලෙසයි. එනිසා හැමදෙයක්ම මගේ යහපතටම සිදුවු දේ හැටියටයි මම දකින්නේ. ජිවිත අවදානම නිසා පවුල් සාමාජිකයන් අතහැර රටින් පිටව ගියත් එය වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. ලෝකය ගැන දැනගන්න මට තවත් හැකි වුණා. ඉරාකයේ, ඉරානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ තවත් රටවල් කිහිපයකම යුද්ධය නිසා පිඩාවට පත් දහස් ගණනක් දිවිගෙවන හැටි එම කාලය තුලදි මගේ ඇස්දෙකෙන්ම දැක්කා. අපේ සොල්දාදුවන් හා හමුදාවන් කොටි සටන්කාමින්ට සහ කොටි ග්‍රහණයෙන් මිදී පැන ආ සිවිල් ජනතාවට සැලකු අන්දම කොතරම් විශිෂ්ඨ ද, යන්න මට ඉතා හොදින් මේ සංචාර හරහා ප්‍රත්‍යක්ෂ වුවා. ශ්‍රී ලංකා යුද හමුදාවටම පහරදුන් 12,000 කට අධික කොටි සටන්කාමීන්ට සමාව දී පුනරුත්ථාපනය කර සමාජගත කිරිමේ මහ මෙහෙවර කොතරම් අද්වීතියද, මානුෂීකද යන්න එහිදි මට වැටහුණා. කණගාටුවට කරුණක් වුණේ එවැනි අද්විතීය මෛත්‍රිසහගත උතුම් සමාජගත කෙරුණු කර්තව්‍යයක් ප්‍රමාණවත් ලෙස ජාත්‍යන්තරයේ ඇගයිමට ලක් නොවිමයි. කාලය වේගයෙන් ගෙවිමත් සමඟම අද ඒ සටන්කාමී පරපුරේ සාමාජික සාමාජිකාවන් මව්වරුන්, පියවරුන් බවට පත්වි වැඩිහිටියන්ව තවත් අලුත් පරම්පරාවක් හා අනුබද්ධ වෙමින් සිටිනවා. ආයුධ සංස්කෘතීයෙන් මිදුනු ඔවුන්ව අප නැවත එක්කරගත යුතුව තිබෙනවා. ආර්ථික වශයෙන් ඒ අයව ශක්තිමත් කර සමාජයට සම්පත් දායකයන් ලෙස එකතු කර ගැනීමෙන් මෙම ප්‍රශ්ණ වැඩිහරියක් විසදාගන්න පුලුවන් යැයි මම තරයේ අදහන දෙයක්,” නව හමුදාපති පවසයි.

යාපනයේ සුහදත්වය

2009 ට පෙර යාපනයේ හේ සේවය කළත් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති හැටියට 2016 ජනවාරි සිට මාස 14 ක් වැනි කෙටි කාලයකදි අමතක නොවන දැවැන්ත ප්‍රජා මෙහෙවරකට හා සංහිඳියාව උදෙසා අතදුන් මේ පුළුල් හදවතක් ඇති රණවිරුවාගේ භුමිකාව එක් අතකින් ‘ඇලඩින්ගේ පුදුම පහනෙන්’ කළ විස්මිතයන්ට සමානකමක්ද දක්වයි. ඒ තරමටම ඔහුට යාපනය ජනතාවත්, රට නොබෙදන්න උත්සාහ කරන හා රට බෙදන්න උත්සාහ කරන දේශපාලඥයිනුත්, තරුණ පරපුරත් දැක්වු හිතවත් ඇලුම්කමත් විශ්වාස කළ නොහැකි තරම් වු බව ආඩම්බරයෙන් පවසයි. “ඔව්, මා ඉතාම තදින් අදහන සරලම දෙයක් තමයි ‘සැම කෙනෙකුටම ඉතා සාවධානව ඇහුම්කම් දිය යුතුයි’ කියන එක. ඒ සඳහා පුළුල් හදවතක් හා සංවේදනයක් තිබිය යුතුයි. ඔහුගේ ප්‍රශ්නයට මම තවත් ප්‍රශ්නයක් නොවි එහි විසඳුමේ ‘කොටස්කාරයකුවි’ ඔහුව අස්වැසිල්ලට ලක්කළ හැකි නම් අපට බොහෝ ප්‍රශ්න සුහදව විසඳගන්න පුළුවන්. උදාහරණයකට ගත හොත් යාපන අර්ධද්විපයේ පමණක් සිය තාරුණ්‍යය අපේ රට වෙනුවෙන් පුදා ඉසිඹු ලැබ දැන් වියපත්ව, බොහෝවිට අසරණවද වෙසෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ 105 ක පමණ පිරිසක් ජිවත් වෙනවා. මේ අය තමන් එවැනි ආරක්ෂක සේවාවක් රටට කලා යැයි කීමට පවා දැඩිව මැලිව සිටියේ ඒ කාලයේ තිබුණු ත්‍රස්තවාදය හේතුවෙනි. නමුත්, ඔවුන්ට හිමි ගෞරවය නැවත ලබාදි ඔවුන්ව සංවිධාන ගතකර වැඩදායි සම්පතක් ලෙස යාපනයේ කටයුතු කිරීමට වැඩපිළිවෙලක් අපි එහිදි දියත් කළා. එමෙන්ම, ඔවුන් ජිවත්වන පළාත්වල හමුදා කණ්ඩවලට ඔවුන්ට අවශ්‍යදේ සහ සිවිල් ආරක්ෂාව ලබා දෙමින් සියලු පහසුකම් සලසන්න මා වැඩපිළිවෙලක් දියත් කළා. ඔවුන් අද අභිමානයෙන් යුතුව රට බේරාගත් ආරක්ෂක හමුදාවන්හි විශ්‍රාමික සාමාජිකයෙක් ලෙස සමාජය ඉදිරියට  පැමිණ සුහද ලෙස නැවත සම්බන්ධකම් අලුත් කලා. එපමණක් නොවෙයි, යම් හෙයකින් ඔවුන් වියපත්ව මිය ඇදුනුවිට සියලු හමුදා හෝ පොලිස් ගෞරවාචාර එම අවමංගල්‍යට ලබාදි අපි කටයුතු සිදු කරනවා. දැනටම එවැනි එක අවස්ථාවක් පසුගිය වසරේදි මා සේවය කරන කාලයේ අපි අත්වින්දා. යුක්තිසහගත තත්ත්වය, සමානාත්මතාවය හා සාධාරණත්වය පෙනිල විතරක් මදි, එය ක්‍රියාවෙන්ද ඔප්පුකර ප්‍රායෝගිකව පෙන්විය  යුතුයි. ඒවාගේම තරුණ මදයෙන් මත්වි ආවේගශිලිව හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණකරුවන් පිරිසක්ද එකම කදුලු ගැස් ප්‍රහාරයක්වත් එල්ල නොකර කරුණාවෙන් විසුරුවා හරින්න අපට පුළුවන් වුණා.” ඒ කොහොමද? පෙරලා පැනයකි.

“සරලවම කියතොත් ‘තිබෙන සමාජ-දේශපාලන ක්‍රමය වෙනස්කල යුතු බව හෝ විප්ලවිය සංශෝධනයකට ලක් විය යුතු’ බව නව පරපුර හැමවිටම විශ්වාස කරන දෙයක්. දකුණෙත් එහෙම නම් එය උතුරටත් එසේමයි. එහි මම කිසිම වරදක් දකින්නේ නෑ. මම උද්ඝෝෂකයන් වෙතට තනියෙන්ම ගොස් ඉල්ලා සිටියේ හැකි පමණ ඔබ හදවතේ ඇති කැකෑරෙන ආවේගයන් පිටකරන ලෙසත් ඔවුන්ගේ විශ්ව විද්‍යාල සගයන් දෙදෙනෙක් වැරදිමෙන් පොලිස් වෙඩි වැදිමකට ලක්විම ගැන මමද සත්‍යලෙසටම ශෝකවන කරුණක් බවයි. එහෙත් මම ආයාචනාත්මක ස්වරයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ‘තරුණ පුතාලා’ ලෙස පොදු දේපළට හෝ ජන ජිවිතයට හානි නොකරන ලෙසයි.  එමෙන්ම නිතිය අතට නොගත යුතු බවයි. මේ අය ඉතා තැන්පත්ව මා ඉල්ලු දෙයට අවනතවි සාමකාමීව පැය කිහිපයකින් විරෝධය අවසන් කළා. ඔවුන් මට පසුව දුරකතනයෙන්ද කතා කර පැසසුවා. අපි සුහදව සිවිල්- හමුදා සම්බන්ධතා පුළුල් කරමින් සංහිඳියාවේ වැදගත්කම පතුරවමින් ජන ජිවිතය යහපත් බවට පත් කිරීමට උත්සාහ කරනවා. මට පෙර සිටි ආඥාපතිවරුන්ද ඒ කාර්යය ශක්ති ප්‍රමාණයෙන් ඉටුකර තිබුණා. අවශ්‍ය වන්නේ ජනතාව සමඟ කුළුපගවී ඔවුන්ගේ මනස හදුනාගෙන සියලු ස්ථර වලදි ඔවුන්ට සහය ලබාදිමයි, ඔවුන් සියුම්ව හදුනාගැනිම පමණයි”.

යාපනය සමඟ ඇතිවු මේ සබැඳියාව හදවතේ කිසිවක් නොසඟවමින් ඔහුට කිසිසේත් අමතක කළ නොහැකි එකක් බව තවත් තහවුරු කරමින් ඔහු සිය හඩ නැවතත් අවදි කරයි. “අපි නල්ලිනාක්කපුරම්හි පලාලි යුද්ධ හමුදා ආරක්ෂක ජනපදයට ආසන්නවම තිබෙන රජයේ ඉඩමක මාස දෙක හමාරක් තුළදි අලුත්ම ගෙවල් 100 ක් හදලා යාපනයේ අවතැන් කඳවුරුවල හිටි අයට නිවාස ලබාදුන්නා. තවත් තිස්ගණනක්  ඊට පසුව හදා දුන්නා. අතිගරු ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමිය, අමාත්‍යවරු ඇතුළු සියලුදෙනාම ඒ ව්‍යාපෘතියට සහය පළ කරමින් අපව දිරිමත් කළා. භුමියේ සිට සොල්දාදුවා ඒ මට ශක්තිය ලබාදුන්නා. සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමත් සුදුසු පරිදි සිදුවෙනවා. දැන් මං දන්නවා යාපනයේ මගේ අනුප්‍රාප්තිකයාත් ඒවා දිගටම කරගෙන යනවා කියලා. ඊට අමතරව වැන්දඹුවන්, ගර්භනි මාතාවන්, පාසල් සිසුන්, ආබාධිත පිරිස් ඇතුළු උපකාර අවශ්‍ය සියලු කොටස්වලට පෞද්ගලික අංශයේ දානපතියන් හා විවිධ පෞද්ගලික සමාගම් එකතු කරගෙන ඔවුනට පිටිකිරි, පොත්පත්, මිල අධික බෙහෙත් වර්ග, පාසල් හා වෛද්‍ය උපකරණ   ආදිය නොකඩවා බෙදාදිමේ සුභසාධන වැඩපිළිවෙල්ද දියත් කර තිබෙනවා. යාපනයේ ජනතාව මට ඇලුම් කලා. දේශපාලන භූමිකාවලදී මොනව ප්‍රකාශ කලත් මහ ඇමති විග්නේෂ්වරන් මගේ හොදම යාලුවෙක්,” යැයි හේ සතුටෙන් ප්‍රකාශ කරයි.

අනාගත දැක්ම හා ප්‍රයෝගිකත්වය

චාම් ලෙස කරුණු ගොනු කර ගනිමින් ඔහු නැවත සුහද සාකච්ඡාවට එකතු වෙයි. “මධ්‍යගත කෙරුණු පාලනය සහ විමධ්‍යගත කළ සේවාවන් කාර්යක්ෂම ක්‍රියාත්මකකිරිම මා විශ්වාස කරනා ක්‍රමවේදයයි. එය නිවැරදිව හදුනාගෙන ඔබේ භුමිකාව ඉටුකරනා ලෙස මම සියලු හමුදා සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබේ හැකියාව හා දැනුම තවත් ප්‍රවර්ධනය කිරිමට මම ඇපකැප වෙනවා. අපි මතක තබාගතයුතු කරුණක් වන්නේ ඊලඟ යුද්ධයක් ඇතිවෙතොත් එය මෙහෙයවිමට සිදුවන්නේ අපේ සෙසුනිලවල සිටිනා කෝප්‍රල්වරුන්ට බවයි. පැරණි පරිණත සමාජය පිටුපසට තල්ලු කරමින් නව තාක්ෂණ නවෝත්පාදන මෙවලම් වර්තමානයේ තරුණ ක්‍රමවේදයන් හමුවේ ලෝකය සංකීර්ණ වෙමින් සිටින වේලාවක් මේක. ඒ නිසා අපේ හමුදාවද එම සංකීර්ණය වු නවීකරණයට අනුගත විය යුතුයි. ඒ වගේම ලෝක හා දේශිය මට්ටමෙන් ඇතිවිය හැකි හා ඇතිවෙමින් පවතිනා විවිධ ‘තර්ජන’ මනාව හදුනාගෙන එම තත්වයන්ට අනුගත විය හැකි නැනවත් හා ගුණාත්මක බවෙන් යුත් හමුදා පිරිසක් බිහිකල යුතුයි. ඔවුන්ගේ ඇති සැඟවුණු කුසලතා එළියට ගෙන  නව ලෝකයට සරිලන පරිදි ඔවුන් තැනිය යුතුයි. ආරක්ෂක තර්ජන හැමවිටම වෙනස් වෙනවා. ඒ නිසා සොල්දාදුවාගේ ධාරිතාවය හා හැකියාවන් ප්‍රවර්ධනය කල යුතුයි. ඒ වගේම ඔවුන්ගේ හෙට දවසත් සුභසාධනයත් පිළිබඳව නැවත ඉතා සුපරික්ෂාකාරිව සමීප අයුරින් තක්සේරු කර බැලිය යුතුයි,” මේ අභිනව හමුදාපතිවරයා සිය දැක්ම පවසන අයුරුයි.

වසර 35 කට වඩා වැඩිකාලයක් උපරිම සේවය සලසමින් හදවතට සමීපම ආයතනය තමන් සිය දිවි දෙවනි කොට සලකන හමුදාව බව සෘජුව පවසන ලොකු-පොඩි කා අතරත් ප්‍රසාදය හිමිකරගෙන ඇති මේ රණවිරුවා සංග්‍රාම භුමියේදි  තනියෙන් හෝ එකතුව දැක්වු අභිත රණශුර වික්‍රමාන්විත ස්වභාවය වෙනුවෙන් ‘රණවික්‍රම පදක්කම’ (RWP) මගින් ද කිහිපවතාවක්ම පුදන ලද වෙනත් පදක්කම් මගින් ද බුහුමනට ලක්ව ඇත. හමුදාවන් තුල කීර්තියට පත් වු ජර්මන් ජාතික යුද සෙන්පතියෙකු වු ජෙනරාල් ප්‍රීඩෝ උන්ඩ් සෙන්ගර් පැවසු ආප්තෝපදේශය පරිදිම ‘සත්‍ය නායකත්වයේ සලකුණ වන්නේ පවතින තත්වයන් නිසිව ක්‍රියාත්මකවන්නේ දැයි ඇගයිමට හැකි සමර්ථභාවයයි’ යන්න මෙම සෙන්පතියාගේ චරිතය අපූරුවට පැහැදිලි කර පෙන්වයි.

නව  හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යනු මේ සිද්ධාන්තයේ අව්‍යජ ලකුණක් බව හමුදාවේ සියල්ලගේම අවිවාදිත පිළිගැනිමයි. ඔහුගේ ඉදිරි භුමිකාව සාර්ථක වනු  දැක්ම යනු ජාතියේ මුරදේවතාවුන්ගේ අපේක්ෂාවන් පමණක්ම මල්ඵල ගැන්වීමක් නොවනු ඇත. තවදුරටත් දේශය රකිමින් එයට අභීත හමුදාමය නායකත්වයක්  ලබාදෙමින් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හෙතෙම කැපවී සිටින බව  පමණක් ගෞරවයක්  ලෙස මෙහි සටහන් කළ යුතුයි. එය අනාගතයේදී වැඩිපුරම විද්‍යාමාන කරගැනීම සදහා සැමගේ කැපවීම ඔහුට ලැබිය යුතුය.

සිසිර විජේසිංහ

යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: