මාලිංගට දඩත් එක්ක මාස 6 පරිවාස කාලයක්

June 28, 2017 | 10:16 am    0   130

මාලිංගට දඩත් එක්ක මාස 6 පරිවාස කාලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංගව මාස 6 පරිවාස කාලයකට යටත් කර ඇති අතර, ඊට අමතරව ඔහු සහභාගී වන පළමු තරගයේ තරග ගාස්තුවෙන් 50% මුදලක් දඩ වශයෙන් ගෙවීමට ද නියම කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (27) රාත්‍රී නිකුත් කල මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

ලසිත් මාලිංග ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සම්බන්ධව ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යට අදහස් දැක්වීම නිසා ඔහුට විරුද්ධව ක්‍රිකට් ආයතනය මගින් විනය පරීක්ෂණයක් පවත්වනු ලැබිය. එම පරීක්ෂණය පැවැත්වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා හා විනය පරීක්ෂණ කමිටුවේ සභාපති අසේල රේකාව මහතා යන ත්‍රි පුද්ගල කමිටුව හමුවේදීය.

මෙම ඇතිවූ තත්වය පිළිබඳව ඉරිදා ඇපල් පුවත්පත මගින් අප පෙන්වා දුන් අතර, එහිදී අප විසින් පෙන්වා දෙනු ලැබුවේ ලසිත් මාලිංග මෙම විනය පරීක්ෂණයෙන් වරදකරු බවට පත්වුවහොත් ඔහුව කණ්ඩායමෙන් ඉවත්කිරීමේ අවදානමක් මතුව ඇති බවයි. එපරිද්දෙන්ම මාලිංගට මාස 6 අත්හිටවූ දඩුවමක් හෙවත් මාස 6 පරිවාස කාලයකට යටත් වීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ සඳහන් ආකාරයට තත්වය මෙසේය.

එම විනය පරීක්ෂණයෙන් අනතුරුව මාලිංග තමාට එරෙහිව එල්ල වූ විනය විරෝධී චෝදනා ඔහු පිළිගෙන ඒ සම්බන්ධයෙන් ලිඛිතව සමාව අයැද සිටි බව ද, ඉන් අනතුරුව ඔහුව මස 6 පරිවාස කාලයකට යටත් කළ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. එම කාලය තුළ මෙම වරද යලිත් සිදුකළහොත් මාලිංගව වසරක තරග තහනමකට ලක්කිරීමට කටයුතු කරනු ඇත.

මේ අතර ඉදිරියේ දී ඔහු සහභාගී වන පළමු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී මාලිංගට හිමි වීමට නියමිත තරග ගාස්තුවෙන් 50% මුදලක් දඩ ලෙස නියම කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: