මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් දක්වා ගිය රුක්මාල් ගමගේගේ කතාව

March 24, 2017 | 6:00 pm    0   337

මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් දක්වා ගිය රුක්මාල් ගමගේගේ කතාව

මළකඳන්වල ඡායාරූප ගන්නට ලොව කොතැනක වුව ඡායාරූප ශිල්පීන් තුළ එතරම් කැමැත්තක් ඇත්තේ නැත. එහෙත් තිස් වසරක් තිස්සේ උතුරෙත් දකුණෙත් නිරායුද මිනිසුන්ගේ මළකඳන් මතින් ඊනියා ඊළමට පාර කැපූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළකඳේ මුල්ම ඡායාරූපය ගැනීමට හැකිවීම නම් ඡායාරූප ශිල්පියකුගේ දිවියෙහි සුවිශේෂීතම අවස්ථාවක් වෙයි.

ප්‍රභාකරන්ගේ අවසන් පැය කිහිපයේ ඡායාරූප ගන්නට ඉඩ ලබමින් ඒ සුවිශේෂී අවස්ථාව සිය වෘත්තීය දිවියට එක්කර ගත් ඡායාරූප ශිල්පීන් ඉන්නේ ඉතා ස්වල්පයකි. ඡායාරූප ශිල්පී රුක්මාල් ගමගේ සිව්වැනි ඊළාම් යුද්ධය ඇවිලුණු වසර තුනකුත් මාස නවයක් තිස්සේම කැමරාව එල්ලාගෙන. උතුරෙන් නැගෙනහිරටත් දකුණටත්, දකුණෙන් උතුරටත්, නැගෙනහිරටත් මාරු වෙමින් කල් ගෙවා තිබුණි. සිව්වැනි ඊළාම් සටන ඇවිලුණු මාවිල්ආරුවේ සිට ප්‍රභාකරන් මරුමුවට පත් වූ නන්දිකඩාල් දක්වාම සටනෙහි ඡායාරූප ගත් එකම ඡායාරූප ශිල්පියාද රුක්මාල් ගමගේ වෙයි. ඒ ගමනෙහි කූට ප්‍රාප්තිය නන්දිකඩාල් කලපුවෙහි මියගොස් සිටි වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය ගැනීමට ලද අවස්ථාවයි.

ප්‍රභාකරන් මියගිය බවට ආරංචිය පැතිර යද්දී රුක්මාල් සිටියේ නන්දිකඩාල් කලපුවෙන් බැහැර සටන් ඇවිලුණු වෙනත් තැනකය. නන්දිකඩාල්වල රැය පහන් වනතෙක්මත් මුහුණට මුහුණලා සටන් ඇවිළෙමින් තිබිණි. පසුදා උදෑසන එල්.ටී.ටී.ඊ. නායකයා මරුමුවට පත් වූ බවට ආරංචිය ලද විගස උතුරේ සිටි රුක්මාල් හා අතළොස්සක් මාධ්‍යවේදීන් පිරිස වහ වහා නන්දිකඩාල් වෙත පැමිණ තිබුණි.

“ඒක හරිම අනපේක්ෂිත අවස්ථාවක්. හමුදාව අවුරුදු තුනකුත් මාස නවයක් තිස්සේම කරපු මෙහෙයුමේ විශේෂ ප්‍රතිඵලයක් ඒක. ඒත් යුද්ධෙන් ප්‍රභාකරන්ගේ මිනිය හම්බ වෙයි කියල කාටවත් විශ්වාසයක් තිබුණේ නෑ. වැඩි දෙනෙක් හිතුවෙ ප්‍රභාකරන් කොහෙට හරි පැන ගන්න ඇති කියලයි. මිනිය හම්බ වුණාට පස්සෙත් ඒ ප්‍රභාකරන්මද කියල සැකයක් තිබුණා. කවුරුත් අන්තිම කාලෙ ප්‍රභාකරන්ව දැකල තිබුණෙ නෑනෙ. ඒත් පින්තූරවලින් දැකල තිබුණු හින්දා ආමි ලීඩර්ස්ලා ප්‍රභාකරන්ව අඳුන ගත්ත. වෙඩි වැදිලා තිබුණෙ ප්‍රභාකරන්ගේ මූණ හරිය බේරල නළල හරියට හින්දා ලීඩර්ස්ලට අඳුනගන්න පුළුවන් වුණා. හවස කරුණා ඇවිල්ලා තමයි මේ ප්‍රභාකරන් කියලා හරියටම තහවුරු කළේ”.

ප්‍රභාකරන්ගේ මිනිය හඳුනා ගන්නට ඒ වන විටත් අවි අතහැර රජයට සහය වෙමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකු වූ කරුණා අම්මාන් ගෙනවිත් තිබුණේද දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බව ප්‍රකටය. ඔහු එතැනට රැගෙන ඒම හමුදා ප්‍රධානීන්ට අතිශය අවදානම් කටයුත්තක්ද වී තිබේ. ප්‍රභාකරන්ගේ මළකඳ වටා ජයග්‍රහණයේ උද්දාමයෙන් රැස්ව සිටි සෙබළ කැල දුටු කරුණා අම්මාන්ද දැඩි වික්ෂිප්තභාවයට පත් වූ වගද තරමක් ප්‍රසිද්ධය. ඔහු සිට ඇත්තේ කොයි මොහොතක හෝ තමන්ට ප්‍රහාරයක් එල්ල වේ යැයි චකිතයෙන් මෙනි. එහෙත් අවසන් මොහොත තෙක්ම අවි   අතදරා හුන් ප්‍රභාකරන්ගේ දිවි තොර වූ යුද්ධයෙන්ම අවසන් මොහොතට පෙර අවි අතහැර සාම මාවතට පිළිපන් කරුණා අම්මාන්ගේ දිවි බේරිණි

ප්‍රභාකරන්ගේ ඡායාරූප ‍ලේක්හවුස් පුවත්පත්වල පළ වීමෙන් පසු විදෙස් පුවත් වබේ අඩවි එම ඡායාරූප ‍ලේක් හවුසියෙන් ගෙන පළ කර තිබුණි.

ආරක්ෂක හමුදාව යුද්ධයේ අවසන් අදියර සනිටුහන් කරද්දී රුක්මාල් ගත් තවත් එක් ඡායාරූපයක් ලොව පුරා ගියේ හමුදාව වෙත ලෝකයෙන්ම ලකුණු එක්රැස් කර දෙමිනි. ඒ වන විටත් මාවිල්ආරුවෙන් පටන් ගත් ඊළාම් සටනට ත්‍රිවිධ හමුදාව නමදී තිබුණේ මානුෂීය මෙහෙයුම ලෙසිනි. රුක්මාල් ගමගේ යුද්ධයේ අවසන් අදියරේදී ගත් ඡායාරූප මානුෂීය මෙහෙයුමක් නම් මෙසේ විය යුත්තේ යැයි ලොවට කියාපානා අන්දමේ එකක් ලෙසින් හැඳිනිය හැකිය. එහි සටහන් වී ඇත්තේ හමුදා සෙබළෙකු වෙඩි ප්‍රහාරවලින් කම්පනයට පත් වයස්ගත මවක් දෝතින් ගෙන එන අවස්ථාවකි.

“මිනිස්සු හිටියෙ යුද මුක්ත කලාපයේ ඒ ආච්චි හිටිය හරියෙ වෙඩි පුපුරනවා. ඒ ළඟම ලොරියක් ගිනි ගන්නවා. ඒ ආච්චි ඉඳලා තියෙන්නේ ලොරියක් යට. කම්පනය හින්දා ඇවිද ගන්න බැරුව ඉඳලා තියෙන්නේ. මම දකිනකොට ඔය හමුදා සෙබළා ආච්චිව උස්සගෙන අරන් එනවා.”

සිව්වැනි ඊළාම් යුද්ධයේ මුල මැද අග ඡායාරූප ගත් රුක්මාල් යුද්ධය හමාර වීමෙන් ඉක්බිති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වීමේ ලියුමට අත්සන් තබන ඡායාරූපයද ගෙන තිබුණි. ඔහු සිය ධුරයෙන් ඉවත් වන ඓතිහාසික ඡායාරූපය හොර රහසේ ගන්නට තමන් කැඳවා ඇති බව ඔහු දැනගෙන තිබුණේ අවසන් මොහොතේය. රුක්මාල් සරත් ෆොන්සේකා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියමන අත්සනු තබනු ඡායාරූපයට ගෙන ජංගම දුරකථනයද නිවා දමා එදින දවල් වරුවම නිවසට වී කල්ගත කර තිබුණි. ඒ නිසාම එය මේ දක්වාම කිසිදු මාධ්‍යයක පළ නොවූ ඡායාරූපයක් විය.

“කලින් දවසේ මට කිව්වා පින්තූර ටිකක් ගන්න තියෙනව හෙට ඇවිල්ල කරල දෙන්න කියල. මම ගියාට පස්සෙයි දැන ගත්තෙ ෆොන්සේකා මහත්තයා ඉල්ලා අස්වීමේ ලියුම අත්සන් කරනවා කියල. මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. මම පින්තූර ටික අරගත්තා. පස්සෙ ගෙදර ඇවිත් ෆෝන් එක ඕෆ් කරන් දවල් දවසම හිටියා. කන්තෝරුවෙන් දැනගෙන මම උදේ ජෙනරාල් හම්බ වෙන්න ගියා කියලා. ඒත් ෆෝන් ඕෆ් කරන් හිටිය හින්දා කාටවත් මාව සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ හින්දා ඒ පින්තූරෙ පිට ගියේ නැහැ.”

“සරත් ෆොන්සේකා මහත්තයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විදියට ඉඳලා ඉල්ලා අස්වෙන වෙලාවෙ ගත්ත පින්තූරෙ විතරක් ‍නෙවෙයි එතුමා ඡන්දෙ ඉල්ලද්දි ‍පෝස්ටරේට පාවිච්චි කළෙත් මගේ පින්තූරයක්” රුක්මාල් ගමගේ කියයි.

යුද්ධය පැවැති වකවානුවේ එල්.ටී.ටී.ඊ.ය මගින් රටේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණි. රටේ ආර්ථිකය කඩා වැටෙන බවට කතා අග නගරයේද ගම් ගොඩේද පැතිරිනි. කටුනායක ගුවන් තොටද බෝම්බ ප්‍රහාරයට ලක් විණි. අනුර ප්‍රියදර්ශන යාපා, පී.බි. ජයසුන්දර, ජනදාස පීරිස් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නොදරුවකුට වුව පෙනෙන ඇත්ත ප්‍රසිද්ධියේ වසන් කිරීමට යත්න දැරූහ. ඔවුන් සඳහන් කළේ ආර්ථිකයට එතරම් බලපෑමක් එල්ල වී නැති බවකි.

පුවත්පත් සාකච්ඡාව පැවැත්විණි. රුක්මාල් පින්තූර ගත්තේය. “මට ඕනෙ වුණේ ඒ ගොල්ලො කියන දේ නමෛයි පවතින ඇත්ත පෙන්වන විදිහෙ පින්තූරයක් ගන්න. ඒ හින්ද තුන්දෙනාම බැරෑරුම් ඉරියව්වල ඉන්න පින්තූරයක් මම ගත්තා. ජනදාස පීරිස් අත්දෙකෙන්ම මූණ වහගෙන හිටියා, අනුර ප්‍රියදර්ශන ඔරවගෙන වගේ හිටිය, පී.බි. ජයසුන්දර බර කල්පනාවක හිටියා. එයාල මොනව කිව්වත් පවතින ඇත්ත ඒ ෆොටෝ එකෙන් පෙන්නන්න පුළුවන් වුණා.”

රුක්මාල් ඉතා මෑතකදී ගත් ඡායාරූපයක් පුවත්පත්වල පළ වීමෙන් පසු එය ෆේස්බුක් පිටුවලද යළි යළි පළ වනු දක්නට ලැබිණි. හම්බන්තොට උද්ඝෝෂණය අතරතුර ඊට සහභාගි වූ පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළ ‍පොලීසියේ නිලධාරී ඉදිරියට විසි වී ගොස් මුණින් වැටෙන අවස්ථාව රුක්මාල්ගේ කැමරාවට හසුවී තිබුණි.”

“හම්බන්තොට උද්ඝෝෂණයේදී මිනිසුන් විසුරුවන්න අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළා. ඒ විසි වෙලා වැටෙන්නෙ ‍පොලීසියෙ ලොක්කෙක්. එයා පිටිපස්සෙ ඉඳල මිනිස්සු ඉන්න හරියට දුවන් එද්දි තමයි වතුර පාර වදින්නෙ. අනිත් අය පිකට් එකත් එක්කම එක ‍පොදියට හිටිය හින්ද වතුර පාර වැදුණට ලොකු බලපෑමක් වුණේ නැහැ. වතුර පාර වැදිල එයා විසිවෙලා වැටෙන්න යන්නෙ තත්පර දෙකක් වගේ සුළු කාලයක්.’ ඒ සුළු කාලය සිද්ධිය රුක්මාල්ගේ ඇස ගැටී කැමරාවේ බොත්තම් එබෙන්නට තරම් ප්‍රමාණවත් කාලයකි. කැමරාකරුවකු සතු මේ ඉක්මන හොඳ ඡායාරූපයක් ඉතිරි කරයි.

“කෝටි ගණන් වටින කැමරා තිබ්බට වැඩක් නැහැ ඇහැයි ඇඟිල්ලයි හරියට වැඩ කළේ නැත්නම්. කාලයක් තිස්සෙ පින්තූර අරන් හොඳ පළපුරුද්දක් ලැබුණට පස්සේ සිද්ධ වෙන්න යන දේ ඊට තත්පර ගාණකට කලින් දැනෙනවා. හැම තිස්සෙම නොහිතන දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනව කියන දේ ඔළුවෙ තියෙන්න ඕනෙ” ඔහු කියයි.

කලක් තිස්සේම පින්තූර ගෙන පළපුරුද්ද ඇතිව සිදුවන්නට යන දෙය පිළිබඳ ඉවද ඇතිව සිටින රුක්මාල් ගමගේ සිදු නොවිය යුතු දෙය පිළිබඳවද දැනුවත්ව සිටියි. මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වාම සිවුවැනි ඊළාම් සටනේ මතක සටහන් ඡායාරූප බවට පෙරලූ රුක්මාල් කියන්නේ යුද්ධය යනු ලොව කොතැනකවත් ඇති නොවිය යුතු දෙයක් ලෙසයි.

“යුද්දෙ කියන්නේ ආයෙත් කවදාවත් ඇති නොවිය යුතු දෙයක් විදිහටයි මම හිතන්නේ. උතුරෙ යුද්ධෙන් වැඩිපුරම දුක් වින්දෙ දෙමළ මිනිස්සු. ඒ මිනිස්සු ජීවත් වුණේ යුද්ධෙ මැද. අන්තිමේදී ඒ මිනිස්සු ඇඳගෙන හිටපු ඇඳුම පිටින් විතරක් පණ බේරගෙන දුවගෙන ආවා. ඒ මිනිසුන්ට යුද්ධෙන් හැමදේම නැති වුණා. අවුරුදු තිහක් යුද්දෙ තියෙන අතරෙත් දකුණ ඉස්සරහට ගියා. ඒත් උතුරෙ දෙමළ මිනිස්සු හිටපු තැනිනුත් පහළට වැටුණා” රුක්මාල් කියයි.

රුක්මාල්ගේ යුද ඡායාරූප ගැනීම ගැන ලියවෙන විට අපට මතක් වෙන්නේ ලෝකයේ හොඳම යුද ඡායාරූප ශිල්පියා වන ඇමෙරිකාවේ ජේම්ස් නැච්වේය. ඔහුගේ වෘත්තීය දිවිය ඇසුරෙන් පසුකලක ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ වෝර් ෆොටෝ ග්‍රැෆර්” යනුවෙන් චිත්‍රපටයක්ද නිපදවිය. එහෙත් ලංකාවේ රුක්මාල් ගමගේලාට තමන්ගේ වටිනාකම ඔවුන්ට නොදැණුන බව අපට හිතෙන්නේ තවමත් යුද්ධයේ විශිෂ්ට ඡායාරූප එකතුව ප්‍රදර්ශනයකටවත් නොතබා ඇති නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: