මැකෝ කට අරී

August 2, 2017 | 2:51 pm    0   258

මැකෝ කට අරී

ඉදිරියේදි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට මොකද වෙන්නේ?
පළාත් පාලන ඡන්දය ප්‍රමාදයි. හේතුව පාර්ලිමේන්තුව පනතට අදාළ සංශෝධන සිදු කරන්නේ නැති නිසා. ඡන්දය ප්‍රමාද වෙන්න හේතු තුනක් තියෙනවා. එකක් 2012 අංක 22 දරණ පනතට අනුව කොට්ඨාස ක්‍රමය හඳුන්වලා දුන්නා. එතකොට සීමා නීර්ණයක් කරනකන් ඡන්දය තියන්න බැරිකමක් තියෙනවා. ඒ එක්කම සභිකයෝ ගාණ වැඩි වුණාම ඒ වැඩි වෙන ගාණ දාලා සභා සංස්ථාපනය වෙන ගැසට් එක සභාපතිතුමා දාන්න ඕනේ. මේ ගැටලු දෙක දැන් විසඳිලා තියනවා. නමුත් සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් එක ආපහු කල් දාලා තියනවා.
අනිත් හේතුව තමයි 2013 සිට අපි පෙන්වන මැතිවරණ පනතේ සංශෝධන දැන් තමයි පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ. ඒ කෙටුම්පත එනකං ඡන්දයක් තියන්න බැහැ.

ඔබ ඔය කියන්නේ තාමත් ප්‍රමාද වීමට හේතුව පාර්ලිමෙන්තු යාන්ත්‍රණයේ තිබෙන ප්‍රමාදය නිසා කියලද?
මේකට මම එක උදාහරණයි කියන්නේ. මැච් එක ගහන්න පුළුවන් පිට්ටනි තියෙනවා නම්, ක්‍රීඩකයෝ ඉන්නවා නම්. ඒත් ධ්ඛ්ඛ් එකෙන් ක්‍රීඩා නීති කියන්න ඕනේ. නැත්නම් මැච් එක ගහන්න බැහැ. අපේ ධ්ඛ්ඛ් එක තමයි පාර්ලිමේන්තුව. එයාලා කියනකන් අපිට ඡන්දෙ තියන්න බැහැ.

මෙච්චර කල් මැතිවරණය ප්‍රමාද වීමට පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයත් හේතුවක් කියලා චෝදනාවක් තියනවා නේද?
නීති හදන්න මැතිවරණ කොමිසමට බලය තියනවා නම් අපි නීති හදලා ඡන්දය පත්වනවා. අපිට නීති හදන්න බලන තැන්තන් අපි මොකද කරන්නේ? පනතේ නීති රහිතව ඡන්දය තියන්න ගියා නම් ඉදියේදී අපිට නීතියෙන් බලපෑම් එල්ල වෙනවා. පෙත්සම් ගහනවා. දේශපාලන පක්ෂ එහෙම ඡන්ද තියන්න පුළුවන් කිව්වාට, එහෙම බැහැ. පුදුකුඩිඉරිප්පු ඡන්දෙදි ඒ වගේ ප්‍රශ්නයක් 2012 ඇතිවුණා. ඡන්දෙ තියන්න ගියාම එක පක්ෂයක් උසාවියට නඩුවක් දැම්මා බිම්බෝම්බ අයින් කරලා නැහැ, ඡන්ද තියන්න එපා කියලා.
මේක 2013 ඉඳන්ම ප්‍රමාද වෙච්ච දෙයක්. මඩකලපුවේ පළාත් පාලන ඡන්ද සියල්ලම තිබුණේ 2013 මැයි මාසේ. ඒ ඡන්ද දැනට කල් ගිහින් අවුරුදු 04කට වැඩියි. ඡන්දෙ තැබීම ප්‍රමාද වීමේ වගකීම 2013 සිට බලයේ හිටපු සියලුදෙනාම ගන්න ඕනේ.

මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන බොහෝදෙනා කතා කරනවා. ඔබතුමා හිතන විදිහට මැතිවරණ පැවැත්වීමට සුදුසුම මැතිවරණ ක්‍රමය මොකද්ද?
මම හිතන්නේ සමානුපාතික ක්‍රමය වඩා යහපත් කියලා. නමුත් ලංකාවේ ජනතාව අතරේ මතයක් තියෙනවා කොට්ඨාස ක්‍රමය හා ඒ කොට්ඨාසවලට මන්ත්‍රීවර පත්කිරීම හොඳයි කියලා. ඒ සීමා නීර්ණ සහ සමාජීය ගැටලු නිසා.

ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය සඳහා දින නියමයක් තියනවාද?
පළාත් පාලන මැතිවරණයට දින නියමයක් නැහැ. පනතේ සංශෝධන ටික වෙනකම්. නමුත් පළාත් සභා ඡන්ද සඳහා දින නියමයක් කරලා තියෙනවා. ඔක්තෝම්බර් 2 වෙනිදා ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතිය. හැබැයි මේකට මොන වෙට්ටුයක් දාවිද කියන එක විශ්වාස නැහැ. මොකද දැනටත් අපට පැමිණිලි 6ක් ලැබිලා තියෙනවා දේශපාලන පක්ෂවලින් සහ වෙනත් සංවිධානවලින්.

ඡන්දය දිනෙන් දින කල් දැමීමෙන් මේ රට තවත් අරාජික වෙලා දැනටමත් පළාත් පාලන ආයතන විසුරුවලා ඉවරයි. බොහෝ සමාජ දේශපාලනික ප්‍රශ්නවලට විසඳුම මැතිවරණය ඉක්මන් කරන එක නේද?
ඇත්තටම සමහරු මට චෝදනා කරනවා මේ ඩෙංගු ප්‍රශ්නෙත් ඡන්දෙ පරක්කු නිසා වෙච්ච එකක් කියලා. නිලධාරීන් වැඩ කරනවා නම් දේශපාලකයෝ හිටියයි නොහිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් අපේ රටේ කුණු ගිහින් දාන්න තැනක් නැති නිසා එක තැන කුණු වෙන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුද්දක් දෙකක් යනකොට බස්වල, පාරේ සිගරට් බීම නැවතුණා වගේ මේ කුණු ප්‍රශ්නේ හරියයි.
අර්බුදයක් එනවා. නමුත් මහජනතාවගේ මතයක් තියෙනවා “අපේ කෝට්ඨාසෙට මන්ත්‍රී කෙනෙක් ඕනේ” කියලා. නමුත් සියයට සීයක් කොට්ඨාස ක්‍රමයෙන් සෑම ඡන්දයකටම නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ. උදාහරණයක් හැටියට 1977 සියයට 29ක් ඡන්ද ගත්ත ශ්‍රී.ල.නි.පෙට ලැබුණේ ආසන 27යි. සමානුපාත ක්‍රමය තිබුණේ නැත්නම් 1989දි ශ්‍රී.ල.නි.පෙට ආසන 3ක් විතරයි ලැබෙන්නේ. නමුත් සමානුපාතික ක්‍රමය නිසා ආසන පනස් ගාණක් ශ්‍රී.ල.නි.පෙට ලැබුණා. මේ සමානුපාත ක්‍රමයේ සහ කොට්ඨාස ක්‍රමය යන දෙකේම ගැටලු තියෙන නිසා මිශ්‍ර කමයක් ඕනෙයි කියන මතය රට තුළ ඇතිවෙලා 2015 ජනවාරිවල පැවති ඡන්ද විමසීමට තරග කරපු හොඳම අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපතිතුමාත් සහ හිටපු ජනාධිපතිතුමාත් යන දෙදෙනාම මිශ්‍ර ඡන්ද ක්‍රමයකට යන්න තීරණය කළා. ඡන්දෙ දුන්න සංඛ්‍යාවෙන් 99.9%ක්ම ජනතාව මේ ක්‍රමයට එකඟ වෙලා තියෙනවා කියලා පේනවා. ඒ නිසා කේවල ක්‍රමයෙයි, සමානුපාත ක්‍රමයෙයි මිශ්‍රණයක් ඇරෙන්න වෙන ක්‍රමයක් ගැන හිතන්න බැහැ.

මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කුමන ඡන්ද ක්‍රමයක් පදනම් කරගෙනද?
ඒක මිශ්‍ර සමානුපාතික ක්‍රමයට තියෙන්නේ. උදාහරණයක් විදිහට අම්බලන්ගොඩ නගරයේ කොට්ඨාස 12ක් තියෙනවා. කොට්ඨාස 12ට 12 දෙනෙක් පත් කරගන්නවා. දිනන අය ඇතුළට යනවා. එතනින් පරාද වෙන අපේක්ෂකයන්ගේ ඡන්දවලින් තව තුන්දෙනෙක් සමානුපාතිකව පත්වෙනවා. ඊටපස්සේ කාන්තාවෝ පස්දෙනෙක් මුළු කොට්ඨාසයේම ඡන්ද අනුපාතය අනුව පත් කරනවා. ඒ නිසා ක්‍රම තුනකට පත්වීමට දැන් තියන ක්‍රමය නියමිතයි. මේවා තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා.

මේ පිළිබඳව ජනතාව දැනුවත්ද?
මේ දේවල් ගැන අපි රැස්වීම් තියලා ජනතාව දැනුවත් කිරීම් කරනවා. ගුරුවරුන්ට, තරුණයන්ට, ධීවරයින්ට, ගොවියන්ට, කාන්තාවන්ට, පැවිදි උතුමන්ලාට ආදී සියලුම සමාජ කණ්ඩායම්යලට අපි මේ යාන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීම් කරනවා. ඒ වගේම ඒවා මාධ්‍ය මඟිනුත් ජනතාවට සම්ප්‍රේෂණය වෙනවා.

වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගැන මොකද හිතෙන්නේ?
වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225ක් ඉන්නවා. ඒත් ඡන්ද ලයිස්තුවේ සියයට 52ක් කාන්තාවෝ ඉන්නවා. එහෙම වෙනකොට අනුපාතික වශයෙන් අඩුම ගාණේ පාර්ලිමේනතුවේ 225න් 120ක්වත් කාන්තාවෝ ඉන්න ඕනේ. ඒත් ඉන්නේ 13 දෙනයි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.8යි. පළාත් සභාවල කාන්තා නියෝජනය සියයට 4.2යි. පළාත් පාලන ආයතනවල ඉන්නේ සියයට 1.8යි. ඉතාම කණගාටුදායක තත්ත්වයක් මේක. දකුණු ආසියාවෙන්ම අවම කාන්තා නියෝජනයක් තියෙන්නේ ලංකාවේ විතරයි.

කොතනද වැරදිලා තියෙන්නේ?
අපේ නීති පනවලා නෑ කාන්තා නියෝජනය ගැන. කාන්තා නියෝජනය සඳහා පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා ආයතනවලවත් අඩුම ගානේ මේ නීති නොදැම්මොත් කාන්තා නායිකාවෝ දේශපාලනයට බිහිවෙන්නේ නැහැ. කාන්තා නායිකාවෝ එන්න නම් තාත්තා මැරෙන්න ඕනේ, එක්කෝ සැමියා මැරෙන්න ඕනේ. නැත්තම් නිළියෙක් වෙන්න ඕනේ, ක්‍රීඩිකාවක් වෙන්න ඕනේ. මගේ තර්කය පිරිමි කොච්චර ඉන්නවාද එහෙම පදනමක් නැතුව ඇවිල්ලා? මෙතන ගැටලුව කාන්තාවන්ට එන්න අවස්ථාවක් නොදෙන එක. දේශපාලන පක්ෂවල නිලධාරීන් හයසීයෙන් අඩුම ගානේ 200ක්වත් කාන්තාවෝ නැහැ. ලංකාවේ කාන්තා නිලධාරීන් ඉන්නේ මරණාධාර සමිතියේ සහ කුලඟන සමිතියේ විතරයි. අපි යෝජනා කරලා තියෙනවා දැන් දේශපාලන පක්ෂවලට අඩුම ගානේ නිලධාරී මණ්ලයෙන් සියයට 20ක්වත් කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා.

මැතිවරණ සඳහා ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා සිදු කරන්න යනවා කියලා පහුගිය කාලේ කතාවක් තිබ්බා. ඒකට මොකද වුණේ?
ඔන්ලයින් ලියාපදිංචිය කරන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නොත් ඒ වැඩේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. සියයට 100ක් මේ ක්‍රමවේදය හරියාකාරව කරන්න බැහැ. නමුත් තමන්ගේ ඉල්ලීම්, ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවුණු අයට විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අපේ වෙබ් අඩවියෙන් එහෙම නැත්තන් එස්.එම්.එස්. එකක් දාලා හරි, ෆේස්බුක් එකෙන් හරි අපට තොරතුරු දන්වන්න පුළුවන්. තමන්ගේ ඡන්දෙ ලියාපදිංචි කරගන්න තමන්ගෙත් උනන්දුවක් තියෙන්න ඕනේ. මිනිස්සු හිතන්නේ අපි ඡන්ද ලැයිස්තු හදන්නේ ඉස්කෝලවලට ළමයි දාන්න කියලා. ඒත් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද ලැයිස්තුව හදන්නේ සර්වජන ඡන්ද බලය ජනතාවට ලබාදීම සඳහායි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් පළාත් පාලන ආයතනවලට බලය බෙදා දිය යුතුයිද?
මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් බිම් මට්ටමෙන් ලංකාවේ බලය විමධ්‍යගත කිරීම දැනටමත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. 1930 විතර ඉඳන් අම්බලන්ගොඩ නගර සභාව අපිට තිබ්බා. දිස්ත්‍රික් සංවර්ධන සභා තිබුණා. පළාත් සභා තිබුණා. ඒක ශක්තිමත් කළ යුතුයි ද නැද්ද කියන එක මට මැතිවරණ කොමිෂන් සභාවේ ඉන්නකං කියන්න බැහැ.

අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීමේදී වත්කම් බැරකම්, දූෂණ චෝදනා, අධ්‍යාපනය යන කරුණු ගැන අවධානය යොමු කරන්නේ නැද්ද?
නැහැ. අධ්‍යාපනය ලංකාවේ මැතිවරණ අපේක්ෂයයෙක් වීමට සුදුසුකමක් නෙමෙයි. සුදුසුකම් වගේම අපේක්ෂකයන්ට නුසුදුසුකම් කීපයකුත් තියෙනවා. ඒ නුසුදුසුකම්වලට යටත් කෙනෙකුට මන්ත්‍රීවරයෙක් වෙන්න බැහැ. හැබැයි නාමයෝජනා දෙනකොට අපි බලන්නේ නැහැ. මොකද නාමයෝජනා දෙනකොට අහන ප්‍රශ්නේ “ඔබ නුසුදුසුකමකට යටත්ව තිබේද?”කියලා. අපේක්ෂකයා “නැත” කියලා කියනවා නම් ඒ ගැන අපිට අභියෝග කරලා නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපිට “විමර්ශන” කරන්න බලතල දීලා නැහැ.

එහෙම නැති නිසා නේද ලංකාවේ දේශපාලකයා සහ දේශපාලන මේ තරම් දූෂිත වෙලා තියෙන්නේ?
දේශපාලකයන් විතරද වැරදි කරන්නේ? එයාලා වෙන රටකින් ආපු අයද? අපි කියනවා රණවිරුවන්ට “අපේ එකෙකි මේ මිනිසා” කියලා. දේශපාලකයොනුත් “අපේ එකෙකි මේ මිනිසා” තමයි. එයාලත් ලංකාවේ පුරවැසියො තමයි. සමාජේ කරුණුවලින් ව්‍යුක්ත කරලා ඒ ගොල්ලන්ව ගන්න බැහැ. ලංකාවේ මතයක් තියෙනවා ඡන්දේ දිනන්න නම් මැරයෝ ඕනේ, සල්ලි ඕනේ කියලා. ඒත් අද පාර්ලිමේන්තුවේ මේ මුකුත් නැතිව ආපු කීදෙනෙක් නම් ඉන්නවාද? හැබැයි දිස්ත්‍රික් ඡන්දවලදී නම් මනාප ගන්න මුදල් වියදම් කරන්න ඕනේ. මොකද ලංකාවේ මිනිස්සු මනාප දෙන්නේ වැඩියෙන් බඩු බෙදන කෙනාට. මිනිස්සු ඒවා බලාපොරොත්තු වෙන ඒවා. අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශපාලඥයොන්ට කරන්න බැරි දේවල්.

එතකොට ඔබතුමා කියන්නේ මේ දේශපාලයෝ දූෂිත ක්‍රියා කරලා මුදල් හම්බ කරන්නේ ජනතා හිත සුව පිණිස කියලාද? එතකොට රටේ මහජනතාවද මේකට වැරදි?
නැහැ. මම මේකට රටේ ජනතාව පිට වැරැද්ද දාලා දේශපාලාකයන්ව සුද්ද කරන්නේ නැහැ. මේ වෙන දේවල්වලට හවුලේ මුළු රටම වග කියන්න ඕනේ. නිලධාරීන් වෙන අපිත් ඇතුළුව. මේ දූෂිත ක්‍රියා අවම කිරීම අපේ රටේ පුරවැසියොන්ගේ වගකීමක්.

ඇයි ඔබතුමා ඔච්චරටම දේශපාලකයොන්ව බේරන්න හදන්නේ?
මම දේශපාලකයෝ බේරගන්න හදනවා නෙමෙයි. දේශපාලකයෝ නොමිනේෂන් දෙද්දී වත්කම් බැරකම්, අධ්‍යාපන සුදුසුකම් දුන්නත්, නැතත් නාමයෝජනා ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි කරන්න ඕනේ. මගේ මතය යම් අයෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්න ඕනේ, ඔවුන් දූෂිතද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ, ජනතාව මිසක් මැතිවරණ කොමිසම නෙමෙයි.
ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නෙදි මම තර්ක කරනවා උපාධිය ඕනේමද රට පාලනය කරන්න කියලා. උපාධි සහතිකය තිබුණට වැඩක් නැහැ ප්‍රායෝගික දැනුම නැත්නම්. කොච්චර ඉහළ නිලතලවල රාජ්‍ය සේවකයෝ ඉන්නවද, පත්තරවල කොච්චර ප්‍රධාන කර්තෘවරු ඉන්නවද O/L විතරක් සමත්වෙලා පසුව වෘත්තිය කරන අතරතුර විභාග ලියලා උපාධි ගත්ත.

ඒත් බොහෝ තරුණ උපාධිධාරීන් චෝදනා කරනවා “සා.පෙළවත් සමත් නැති මැති ඇමතිවරු අපිව රස්සාවලට ගන්න උපරිම සුදුසුකම් බලනවා” කියලා. ඒක ඇත්තක් නේද?
මේවා රැල්ලට කියන කතා. අධ්‍යාපනයට උපාධිය අනිවාර්ය කරපු දකුණු ආසියාතික රටට මොකද වුණේ? මාස හයේ පාඨමාලාවන් කළාම උපාධිය දෙන විශ්වවිද්‍යාල හැදුණා. එහෙම වුණාම රටේ ශිෂ්‍යයෝ ටික පාර බැස්සා. සුදුසුකම් තියෙනවා නම් ඒ තියෙන කෙනාට රැකියා දෙනවා. අනිත් එක තමයි උදාහරණයක් විදිහට ගත්තොත් පැසිපික් දූපත්වල අවුරුදු නවයේ ළමයෙක්ට රෑට දූපත් අතර හැතැප්ම පහක් හයක් තනියම යන්න පුළුවන් නම්, ඒ ළමයා සුපර් කියලා කියනවා. ශුද්ධ වූ කුරාණය කටපාඩමෙන් කියන්න පුළුවන් නම් පොඩි ළමයෙක්ට ඒ ළමයි සුපිරි ද නැද්ද?

හරි එතකොට ඔබතුමා මේ තර්කය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අධ්‍යාපනය නැති සියල්ලම සුපිරියි කියලා?
නැහැ. මම කියන්නේ උපාධි සහතිකෙන් උගත්කම මනින්න බැහැ කියලා. උපාධි සහතිකය අපේක්ෂකයන්ගේ අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා පාර්ලිමේන්තුවෙන් කියනවා නම් ඒක අපිට පිළිපදින්න වෙනවා. මේක ලංකාවේ අධ්‍යාපනය ගැන තියෙන වැරදි මතයක්. උගත් අය අතින් වරදින්නේ නැද්ද? එහෙම කියලා දේශපාලඥයොන්ට උගත්කම අනවශ්‍යයි කියන්නත් බැහැ.

මෙවර මැතිවරණ කටයුතු නිරීක්ෂණයටත් විදේශ රටවල නියෝජිත කණ්ඩායම් සහභාගී කරගන්නවාද?
ඡන්දෙ ඉල්ලක අපේක්ෂකයොන්ගෙන් ඉල්ලීමක් ආවොත් ඒ ගැන අපි සලකා බලනවා. ඒත් මගේ අදහස නිරීක්ෂකයෝ ආවත් නාවත් අපේ රටේ ඡන්දෙ හොඳට තියෙනවා.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ඔබතුමා ගැන මහජනතාවගෙ හිතේ ලොකු ප්‍රශංසාවක් තියෙනවා.
නැහැ. ඒක මට අයිති දෙයක් නෙමෙයි. මම එතනින් එක කෙනෙක් විතරයි. අපේ කාර්යාලයේ දෛනික වැටුපට සේවය කරන සනීපාරක්ෂක කම්කරුවෙක්ගේ ඉඳලා අපේ ඉහළම නිලධාරියා වෙච්ච ජනධිපති ලේකම් දක්වා, පොලීසියේ සහ හමුදාවේ ආධුනික භටයාගේ සිට එම ප්‍රධානීන් දක්වා, සමස්ත රජයේ සේවකයන් ජනමාධ්‍යවේදීන්, සංස්ථා සේවකයන් ඇතුළු සමස්ත පුරවැසියන්ටම යන ප්‍රශංසාවක් මිසක් ඒක මට තනියම ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකේ තනි ගෞරවය මහින්ද දේශප්‍රියට භාරගන්න බැහැ. නමුත් ඡන්දෙදි කිසියම් අක්‍රමිකතාවයක් වුණොත් ඒක මම තනියම භාරගන්නවා.

ඉදිරි මැතිවරණවලදිත් මේ මැතිවරණ දූෂණ අවම කරන්න ඔබතුමා සතුව වැඩපිළිවෙලක් තියෙනවාද?
ඉස්සර මැතිවරණ කොමසාරිස් තනියම. ඒත් දැන් මුළු කොමිසන් සභාවමයි ක්‍රියා කරන්නේ. අලුතෙන් මොකුත් දූෂණ අවම කරනන ඕනෙ නැහැ. අපි දැනට ලංකාව වටේම ජනතාව දැනුවත් කරගෙන යනවා. අපේ තේමාව “සර්වජන ඡන්ද බලය සුරකින දේශයක්”. ඒක ප්‍රායෝගික කරන්න නම් පැන්සල පාවිච්චි කරන අලුත් සේනාංකයක් හදන්න ඕනේ… අපි දැන් ඒ සේනංකය හදමින් ගමින් ගමට යනවා. ඒ නිසා මේ සැරේ යම් කෙනෙක් මැතිවරණ නීති කැඩුවොත් ජනතාවස ඒක නවත්තයි. ආයි පොලීසියට ඔළුවට වෙඩි තියන්න වෙන්නේ නැහැ. ජනතාවම ඒ කලබලකාරයෝ පන්නලා දායි.

ඔබතුමාගේ ධූර කාලය තුළ මැතිවරණ දූෂණ ක්‍රියා වෙලාම නැද්ද?
හොර ඡන්දයක් දැමීමක් ඇරෙන්න මම මැතිවරණ කොමසාරිස් ධූරයට පත්වුණාට පස්සේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට තරම් දෙයක්වත් ඡන්ද විමසීමේදී සිද්ධ වෙලා නැහැ. හැබැයි මම සහකාර මැතිවරණ කොමසාරිස් වෙලා ඉද්දි දූෂණ වෙලා තියෙනවා.

දියුණු මට්ටමේ ඡන්දයක් දකින්න අපි තව කොයිතරම් කාලයක් බලන් ඉන්න ඕනේද?
අපේ ඡන්ද දියුණු නැහැ කියලා කාටවත් කියන්න බැහැ. අපේ නැත්තේ E.V.M. (Elecronic Voting Maching) එකක් නැතිකම විතරයි. ඒත් දියුණුයි කියන එංගලන්තය වගේ රටවල් තවමත් පැන්සලෙන්මයි ඡන්දෙ සටහන් කරන්නේ.

ලංකාවේ ජනමාධ්‍ය ගැන මොකද හිතෙන්නේ?
ඡන්ද තියනකොට මැතිවරණ කොමිසන් සභාවට මාධ්‍ය බොහොම උදව් වෙලා තියෙනවා. නමුත් දැන් මාධ්‍යයේ දේශපාලන වාර්තාකරණය ගැන නම් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ. දේශපාලකයෙක් විනාඩි 20ක් හොඳට කතා කරලා විනාඩි දෙකක් ආවේගෙන් කතා කළා නම් එතනිනුත් ඉතාමත් ආවේගෙන් කතා කරපු තත්පර 20 තමයි මාධ්‍යයෙන් පෙන්වන්නේ. හිට් වෙන කෑල්ල තමයි පත්තර හෙඩ්ලයින් කරන්නේ. ජනතාව ඉල්ලන දේ මිසක් දැන් මාධ්‍ය සැබෑ ජනමාධ්‍ය වගකීම් ඉටු කරන්නේ කලාතුරකින්. මුද්‍රිත මාධ්‍යවලට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා අපට ජනතාව අතරට අදහස් ගෙන යාමට අවස්ථාව ලබාදීම ගැන.

මේ මොහොතේ තියෙන ගැටලුව තමයි වැඩ වර්ජන. ඛණිජ තෙල් සංස්ථා සේවකයෝ, වරාය සේවකයන්, වෛද්‍යවරු සියල්ලම වර්ජනවල. මේ රට අරාජික වෙලා කියලා සමහරු චෝදනා කරනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?
මේකට උත්තරේ පෞද්ගලිකව මහින්ද දේශප්‍රිය ළඟ තියෙනවා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිට මේකට උත්තර දෙන්න බැහැ. මේකට උත්තර දුන්නොත් එක්කෝ ප්‍රවර්ධනයක් වෙනවා. නැත්නම් අගතියට පත්වෙනවා.

සංවාදයනිර්මාණි බණ්ඩාරනායක
ඡායාජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: