මිතුරු වෙසින් ළඟට එන facebook තනිකම් දෝෂය

March 14, 2017 | 3:00 pm    0   442

මිතුරු වෙසින් ළඟට එන facebook තනිකම් දෝෂය

ඉස්සර නම් මිනිස්සු හුදකලා වුණේ කාත් කවුරුවත් නැතිකමට. ඒත් අද වෙනකොට තමන් වටේ සියදහස් ගාණක් පිරිවර හිටියත් මිනිස්සු තැන් තැන්වල හුදකලා වෙලා. අඩුම තරමේ ඒ හුදකලාව ඇතුළෙ තමන් අතරමං වෙලා කියලවත් නොතේරෙන තරමට මිනිස්සු හුදකලා වෙලා. උදේ පාන්දර නිදි පැදුරෙන් ඩේටා හරි වයිෆයි හරි ඇක්ටිව් කරගෙන අන්තර්ජාල ගතවෙන ජීවිත ඒ සයිබර් අවකාශය ඇතුළේ ගහන කරක් ගැහිල්ල නතර වෙන්නෙ ගොඩක් දේවල් අහිමි කරගෙන. බිලියන හතක් විතර ඉන්න ලෝකෙක තමන්ට තමන්වත් නැති කරලා දාලා හුදකලා කරන්න පුළුවන් හැකියාව මේ අන්තර් ජංජාලයට තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නෑ. තමන්වත් නොදැන මිහිපිට තමන් හුදකලා වීම තමයි ලොකුම අහිමිවීම. අන්න ඒ අහිමිවීම තවදුරටත් කට කහනවට කියන කතාවක් නෙවේ. හේතු සාධක සහිත ඇත්තක් කියලා මේ වෙනකොට වෛද්‍ය විද්‍යාවෙනුත් සනාථ කරලා ඉවරයි. ෆේස්බුක්, ට්විටර්, පින්ටරෙස්ට් වගේ සමාජ මාධ්‍ය භාවිත කරන බහුතරය හුදකලා වෙනවා කියලා අද වෙනකොට ඇමරිකානු මානසික වෛද්‍යවරුන් පිරිසක් තහවුරු කරලා තියෙනවා. ෆෝන් එක හරි කම්පියුටරේ එහෙමත් නැත්නම් ලැප්ටොප් එක හරි දාගෙන නොකා නොබී දවසම වුණත් ඒවා ඉස්සරහ ඉන්න පුළුවන් කියා අපි හැමෝම අත්දැකීමෙන් දන්නවා. ඒ තරමට අපි ඒ සමාජ මාධ්‍යවලට ඇබ්බැහිවෙලා. ඒ ඇබ්බැහිවීමේ අවසාන ප්‍රතිඵලය අපි විශ්ව දැනුමැති බුද්ධිමතුන් හරි ඉහළ සමාජානුගත මානවයන් හරි සංස්කෘතික විසරණ ක්‍රියාවලියක ප්‍රවාහකයො හරි වෙනව කියන එක නම් ඒක තවදුරටත් පට්ටපල් බොරුවක් විතරයි කියලා අද වෛද්‍ය විද්‍යාවෙන්ම ඔප්පු වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් කොච්චර කොහොම කතා කීවත් අපි ෆේස්බුක් එකේ උදේ දවල් රෑ උඩට පහළට දුවන වාරයක් ගාණේ අපිම දන්නවා අපි මේ අපේම කාලේ තමයි කාලා දාන්නේ කියලා. අපි අපිටම බාධාවක් කරගන්නෙ කියලත් අපි හොඳටම දන්නවා. ඒත් අපි කොච්චර හිතුවත් අපි දන්නෙම නැතුව අපේ අතේ ඇඟිලි ෆෝන් එක ගන්න වාරයක් ගාණේ ෆේස්බුක් ඇප් එක ළඟට ඇදිලා යනවා. ඒක තමයි සහසුද්දෙන්ම ඇත්ත. ඒ තත්ත්වයේ පසුවෙන අපි හැමකෙනෙක්ම සමාජ මාධ්‍ය තුළින් ආතුර වූ මානසික රෝගීන් කියන එක අද මේ මොහොත වෙනකොට විද්‍යාත්මකව තහවුරු වෙලා. ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක් විසින් හොයාගත්ත මේ ඇත්ත ලංකාවේ මනෝ විශේෂඥ වෛද්‍යවරුන් එකහෙලාම තහවුරු කළේ ලංකාවේ මේ වෙනකොට ඒ තත්ත්වයට ලක් නොවුණ කෙනෙක් හොයා ගන්නත් අමාරු හින්දයි. දවසකට පැය දෙකකට වඩා සමාජ මාධ්‍ය තුළ පැලපදියම් වුණ ඕනෑම කෙනෙක් සමාජය තුළින් හුදකළාවීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩියි කියලයි වෛද්‍යවරු කියන්නේ. ඒ විදියට බැලුවොත් නම් අපි අතරින් කවුරුවත් හුදකලා නොවුණු කෙනෙක් නෑ නේද? අපිට නොදැනුවත්වම මේ විශ්වය ඇතුළෙ අපි තනිවෙලා. තනිවෙලා විතරක් නෙමේ හදවත් ඇතුළින් අපි අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න අන් අයව අනුකරණය කරන්න පෙළඹිලා. අන්තර්ජාලය ඇතුළෙ සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මේ හුදකලාවත් එක්ක ගණුදෙනු කරන ජීවිත ඇතුළෙ දවසින් දවස ඒ විදියට පිරිහෙනවා කියලයි ඇමරිකානු වෛද්‍යවරුන් තවදුරටත් පෙන්නලා දීලා තියෙන්නේ. ඉන්ස්ටාග්‍රෑම්, ස්නැප් චැට්, ටම්බ්ලර්, ට්විටර්, පින්ටරෙස්ට් වගේ සමාජ මාධ්‍ය වගේම අතිශයින්ම සමීප ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යයන් භාවිත කරන පිරිසක් ඇසුරින් සිද්ධ කරපු පරීක්ෂණයකින් හෙළිවෙලා තියෙන මේ මානසික අවුලේ ප්‍රතිවිපාක තවදුරටත් වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කරන්න ඕන දෙයක් නෙමේ. මොකද තම තමන්ගේ ජීවන රටාව ඇතුළෙ අපි අපේ දෛනික වැඩවලට, අපි අපේ දෙමාපිය සහෝදර යහළුවන්ට දීලා තියන කාලයයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට දීලා තියෙන කාලයයි ගලපලා බැලුවොත් ඇත්තටම අපිටම අපි තනිවෙලා ඉන්න තරම තේරුම්ගන්න පුළුවන් වේවි. ඒ හින්දා ‍ෙදාස්තරලා ලෙඩේ හොයාගත්තට බෙහෙත් දෙන්න පුළුවන් ඔබට හින්ද තමන් ආදරය කරන තමන්ට ආදරය කරන ලෝකෙක සමාජ මාධ්‍ය හින්දා තනිවෙන්න එපා. කාත් කවුරුවත් නැතුව තනිකම දරාගන්න බැරිව මිනිස්සු ජිවිතෙන් අසරණ වෙනකොට විඳින්න ජීවිතයක් නැතුව විඳවන කොට විඳින්න හැමදේම තියෙන ඔබ මේ වගේ තාක්ෂණික ප්‍රයෝගවලින් තනිකඩයන් වෙන්න එපා. දවසක අපි වටේ ඉන්න අය අපිව හුදකලා කරන්න පුළුවන්. හැබැයි සමාජ මාධ්‍යවලට ඔබේ ජීවිතය තනි කරන්න ඉඩ තියන්න එපා.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: