මෙය පෞද්ගලිකව සල්ලි හොයන වැඩක් නෙවෙයි

January 20, 2017 | 10:36 am    0   684

මෙය පෞද්ගලිකව සල්ලි හොයන වැඩක් නෙවෙයි

මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරයක සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සුදානම් වේ.

“Kings of 70s by Marians” නමින් නම්කර ඇති මෙම ප්‍රසංගයේදී සී.ටී. ප්‍රනාන්දු, එච්. ආර් ජෝතිපාල සහ ක්ලැරන්ස් විජේවර්ධන යන යුගපුරුෂයන්ගේ ගීත ගායනා කිරීමට නියමිතය.

මෙම ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් නම් මෙය පෞද්ගලික මුදල් ඉපයීමේ අරමුණින් පවත්වන ප්‍රසංගයක් නොවීමයි.

මේරියන්ස් නායක නලින් පෙරේරා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ දවස්වල අලුත් ප්‍රසංගයකට සූදානම් වෙනවා නේද?

අවුරුද්දේ මුලින්ම නෙළුම්පොකුණ භූමියේ පවත්වන ‘අති මෙගා’ එළිමහන් ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. මේක පෞද්ගලිකව මුදල් උපයන්න සිදුකරන කාර්යයක් නෙවෙයි. එයින් ලැබෙන මුදල්වලින් වැලිකන්ද මහා විද්‍යාලයට වතුර පිරිසුදු කිරීමේ යන්ත්‍ර දෙකක් ලබාදීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය අපි පවත්වන්නේ. එහි අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ගේ හෙට දවසේ සෞඛ්‍ය තත්ත්වය සුවපත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට තමයි මේ වෑයම දරන්නේ. ඒ පළාත්වල පානීය ජලය බොහොම අපිරිසුදු තත්ත්වයක තමයි තියෙන්නේ.

ඇයි එළිමහන් සංගීත ප්‍රසංගයක් සූදානම් කළේ?

අපි විශේෂයෙන්ම මේ ප්‍රසංගය එළිමහනේ තියන්න අදහස් කළේ එවිට විශාල ප්‍රමාණයකට සහභාගී විය හැකි නිසා සහ වැඩි මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමේ පරමාර්ථයෙන්. හැමෝගෙම සහයෙන් සහ සහභාගීත්වයෙන් ඒ ළමයින්ගේ හෙට දවස ආලෝකමත් කරගන්න, ශරීර සෞඛ්‍යය නිරෝගීව තියාගන්නට අපි ලබාදෙන අතහිත ලොකු උපකාරයක් වෙයි. සහභාගීවෙන හැමෝගෙන්ම උපකාරයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. කොළඹ ප්‍ර‘දේශයේ සහ ඒ අවට අපේ ප්‍ර‘දේශවල රසික රසිකාවියන්ට, විශේෂයෙන්ම කොළඹ පාසල්වල දුවා දරුවන්ගේ දෙමව්පියන්ට මම ඇරයුමක් කරනවා ඔබේ ළමයි යැයි සිතා මේ කර්තව්‍යයට සහයෝගයක් දෙන්න කියලා.

පාසලක් සඳහා මෙවැනි දෙයක් කරන්න හිතුවේ ඇයි?

මම සාමාන්‍ය මනුෂ්‍ය‘යෙක්. අපේ ජීවිතයේ අපට ලැබීම් අනන්තවත් තියෙනවා හැම පැත්තෙන්ම. ජීවිතයේ අඩුපාඩු තිබුණත් අපිට ලැබිලා තියෙන දෙයින් අපි සෑහීමකට පත්විය යුතුයි කියලයි මම හිතන්නේ. රටේ පැවතුණු හා පවතින ආණ්ඩුවලට මේ සියලු දේ ගැන සොයා බැලීමට නොහැකි වෙන්න පුළුවන්. එකිනෙකාට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව, මනුස්සකමින් අපිට කළහැකි කොටසක් තියෙනවා. මේ රටේ පුරවැසියෙක් සහ පියෙක් ලෙස මම හිතුවා මේ කර්තව්‍යයට මම මුලපිරිය යුතුයි කියලා. නමක් හදා ගැනීමේවත්, ජනප්‍රියත්වයක් ලබාගැනීමේ අරමුණක්වත් මෙතන නෑ. අපේ සිත් තුළ තිබෙන උතුම් ගුණාංගයක් මනුෂ්‍යන් සමග බෙදාගැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. මම මෙතනින් නතර වෙන්නේ නෑ. දුෂ්කර පළාත් තෝරාගෙන කළහැකි උපරිම දෙයක් දුවා දරුවන් වෙනුවෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: