මොකක්ද මේ අලුත් ව්‍යවස්ථාව ? – නීතීඥ චමින්ද්‍රි සපරමාදු – ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ මණ්ඩල සභික

July 27, 2017 | 11:31 am    0   134

මොකක්ද මේ අලුත් ව්‍යවස්ථාව ? – නීතීඥ චමින්ද්‍රි සපරමාදු – ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ මණ්ඩල සභික

රට දෙකඩ වෙනවායි කියන, බුදුදහමට නිසි තැන නැතැයි කියන, රටට මර උගුලක් යැයි කියන, මොකක්ද මේ අලුත් ව්‍යවස්ථාව ?
නීතීඥ චමින්ද්‍රි සපරමාදු – ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ මණ්ඩල සභික

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලංකාව තුළ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ආන්දෝලනාත්මක සාකච්ඡා රැසක් සිදුවෙමින් පවතියි. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ යටතේද, මේ පිළිබඳ කමිටු සහ වාර්තා ඉදිරිපත් වූ අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේද මේ පිළිබඳ සාකච්ඡාවන් කෙරෙමින් පවතියි. එමනිසා අලුතෙන් සම්පාදනය වන ව්‍යවස්ථාව පිළිබඳ ව්‍යවස්ථා සම්පාදක විද්වත් උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු සමඟ මෙසේ සංවාදයක යෙදුණෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාමාන්‍ය මිනිස්සුන්ට සමීප දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ අයට තේරෙන විදිහට පැහැදිළි කරන්න, මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්‍රධාන නීතිය ඇතුළත් ලියවිල්ලක්. ඒකෙ තමයි රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රධාන නීති රීති අන්තර්ගත වෙලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක රාජ්‍ය පාලනය, රජයේ ස්වරූපය, අන්තර්ගත වෙනවා. ඒ අතරම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන රජයේ ප්‍රධාන අංගවලින් පාලනය වෙන්නේ කොහොමද කියලා අන්තර්ගත ලියවිල්ලක්. ඒ වගේම සාමාන්‍ය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳවත් මෙහි අන්තර්ගතයි. මේක තමයි රටේ උපරිම නීතිය.

 

නව ව්‍යවස්ථාවක් සම්පාදනය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම හා ඔවුන්ගේ දැනුම්වත්භාවය මෙනා වගේ එකක්ද?
ඔව්. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. පාර්ලිමේන්තුවේ දැන් කෙරෙන ක්‍රියාවලියට පෙර කලින් රජයෙන් පත් කරපු මහජන මෙහෙයුම් කමිටුවක් තිබුණා. ඒකෙන් හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන විදිහට මහජනතාවගේ අදහස් විමසුවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මොන විදිහෙ වෙනස්කම් වෙන්න ඕනේද මොනාද මේකට ඇතුළත් වෙන්න ඕනෙ කියලා මහජන විමසුමක් කළා. එකේ වාර්තාව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඒ කමිටුව විසින් අගමැතිතුමාට ඉදිරිපත් කළා. ඊට අමතරව සිවිල් සංවිධානවලින් මේ ගැන දැනුවත් කිරීම කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ලේකම් කාර්යාලයෙනුත් පුළුල් ලෙස මේ දැනුවත් කිරීම් කරනවා.

 

ඒ ලැබුණු මහජන මත අදහස් අනුව මහජනතාව කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතුයි කියලාද? නැතිනම් නව කෙටුම්පතක් සැකසිය යුතුයි කියලාද?
කතා කළේ ව්‍යවස්ථාවේ අන්තර්ගත වුණු කරුණු සම්බන්ධව මිසක් මේ ක්‍රියාවලිය ගැන නෙමෙයි විවිධ ජන කොටස් මේ ගැන විවිධ විදිහට අදහස් පළ කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රඳා පවතින්නේ එහි නීත්‍යානුකූලභාවය ජනතාව විසින් පිළිගන්නවා නම් විතරයි. මොනම නීතියක්වත් බලෙන් මිනිස්සුන්ගේ ඇගේ ගහන්න බැහැ.

 

මීට කලින් සම්පාදනය වෙච්ච සහ සංශෝධනය වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ජනතා මත අදහස් ඒ ආකාරයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවාද?
මීට කලින් 1972,1978 ව්‍යවස්ථාවන් සම්පාදනය වුණු ක්‍රියාවලිය වෙනස්. ජනතාව අතරට ගිහින් ජනමත විමසපු, ජනතාව සෑහෙන දුරට මේකට සම්බන්ධ කරගත්තු පළමු වතාව තමයි මේ.

 

ව්‍යවස්ථාව සකසද්දී කොහොමද ඒ මහජන අදහස් ව්‍යවස්ථාව අදාළව කරගන්නේ?
මහජන කමිටු වාර්තාවේ මහජන මත අන්තර්ගත වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුකාරක සභා සහ මෙහෙයුම් කාරක සභා ඒවා ඒගොල්ලන්ගේ සාකච්ඡාවලට සහ වාර්තා සකසද්දී අන්තර්ගත කරගෙන තියෙනවා. ඊට අමතරව එක් එක් ජන කොටස්වලින් විවිධ මත අදහස් ලබාගෙන තියෙනවා. උදාහරණයක් හැටියට ආබාධිත පුද්ගලයින් සමඟ වැඩ කරන සංවිධානවලින් ආබාධිත පුද්ගලයන්ට අදාල කරුණු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මත අදහස් ලබාගන්නවා. මේ හැමදෙයක්ම සලකා බලලා තමයි ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ.

මේ වගේ අලුතෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරද්දී එයට නීති උපදෙස් ලබාගන්නේ කොහොමද?
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලේ උපදේශක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. එතනින් සියයට 90% ක්ම වෘත්තියෙන් නීතීඥ පසුබිමක් තියෙන පුද්ගලයින් තමයි ඉන්නේ. ඒ අය තමයි දැනට කෙටුම්පත් සකස් කිරීමේදී නීති උපදෙස් ලබාදෙන්නේ. තාම වාර්තාවක් විතරයි සකසන්නේ. පනත් කෙටුම්පත් සකසද්දී නීති කෙටුම්පත් කරන රජයේ දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වය ඇතුව තමයි නීති කෙටුම්පත සකසන්නේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙත් සහයෝගය ලබාගන්නවා.

 

පාර්ලිමේන්තු සභිකයින්ගෙන් මේකට ලැබෙන සහයෝගය කොහොමද?
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරනවා පාර්ලිමේන්තු මෙයෙහුම් කාරක කමිටුව. ඒ වගේම අනුකාරක සභාවල හැම පක්ෂයකම නියෝජිතයින් ඉන්නවා. උදාහණයක් හැටියට රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකමිටුවේ සභාපති ධූරය දැරුවේ බන්දුල ගුණවර්ධන. ඔහු ඒකාබන්ධ විපක්ෂේ මන්ත්‍රීවරයෙක්. සරත් අමුණුගම, රාධ ක්‍රිෂ්ණන්, අනෝමා ගමගේ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මුත්තු ශ්‍රී ලිංගම්, කෙහෙලිය රඹුක්වැල්ල, සුනිල් හඳුන්නෙත්ති, සරවණපාවන්, තාරක බාලසූරිය යන මැති ඇමතිවරුන් ඒ අනුකමිටුවේ සාමාජිකයින් හැටියට කටයුතු කළා. සියලු දේශපාලන පක්ෂවල සක්‍රීය දායකත්වය මේ විදිහට ව්‍යවස්ථා සම්පාදනය සඳහා ලබාගන්නවා.

 

78 ව්‍යවස්ථා සම්පාදනය සහ වත්මන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයයි අතර වෙනස මොකද්ද?
78 ව්‍යවස්ථා සම්පාදනයේදී මහජන දායකත්වයක් තිබුණේ නැහැ. මේ නව ව්‍යවස්ථා සම්පාදනයේදී මහජන දායකත්වය පුළුල් ලෙස ලබාගත්තා අපි.

 

මේ ආණ්ඩුව බලයට පත්වුණේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා. ඒත් මේ වෙද්දි ඒක මන්දගාමී වෙලා තියෙනවා. ඇයි ඒ?
රටේ දේශපාලන තත්ත්වයත් එක්ක මතුවෙන ගැටලු හේතුවෙන් මේ ව්‍යවස්ථා සම්පාදනය කල් යනවා. ගංවතුර ගැලීම වගේ ස්වභාවික ව්‍යසනවලදී ඒවාට පිළියම් යොදන එක ගැන රජය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ මූලික අවධානය යොමු වෙනවා. ඇත්තටම මේකට කලින් හිතුවට වඩා වැඩි කාලයක් ගතවී තියෙනවා. ඒකට තවත් හේතුවක් තමයි හැම පක්ෂෙකම එකඟතාවය මේ සඳහා ගන්න එක අභියෝගයක් වීම. ලංකාවේ දේශපාලනය විශාල පිල් බෙදීමක් සහිතයි. ඉතින් ඒ නිසා පවතින වෙනස්කම් සහ ඝට්ටන එක්ක ටිකක් ප්‍රමාද වීමක් තියෙනවා.

 

මේ වෙද්දි ව්‍යවස්ථා සම්පාදනය මොන මට්ටමේද තියෙන්නේ?
දැන් අනුකමිටු වාර්තා 6 ගිය නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මෙහෙයුම්කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. අගැමතිවරයා කියලා තියෙනවා ඒක බොහොම ඉක්මනින් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා.

මේ ක්‍රියාවලියේ ඊළඟ පියවර මොකක්ද?
ඉන්පස්සෙ ඒ වාර්තා පාර්ලිමේන්තුවේ විවාද කරලා, නැවත ජනතා මත අදහස් විමසන්න අගමැතිවරයාගේ අදහසක් තියෙනවා. ඉන්පසු නැවත පාර්ලිමේන්තුවේ මේ ගැන විවාදයක් කරලා, ඡන්දයක් අරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය හෝ කරන්න 2/3 ක ඡන්ද ලබාගත යුතුයි.

මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුවක විවිධ මත දරන පුද්ගලයින් එක්ක මේ සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට එන්න අමාරු නැද්ද?
අමාරු නැත්තේ නැහැ. අමාරුයි. ඒත් මේ නව ව්‍යවස්ථා සම්පාදයේ සහ සංශෝධනවල ඉතිහාසය දිහා බැලුවාම මේක පහුගිය දශක දෙකක විතර කාලයක පැවතුණු සාකච්ඡාවක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විවිධ කරුණු සම්බන්ධව. මැතිවරණ සංශෝධන උදාහරණයක් විදිහට ගත්තොත් 1948-77 වෙනකන් පාර්ලිමේන්තු ක්‍රමය තිබුණා. එතකොට තිබුණේ කේවල ඡන්ද ක්‍රමයෙන් මහජන නියෝජතයෝ තේරීමක්. ඒකේ තිබුණ ඒකාධිපති බලය හා සුළු ජාතික නියෝජනයේ දුර්වලතා මත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුපාත ඡන්ද ක්‍රමය ඉදිරිපත් වුණා. ඒ දුර්වලතා හේතුවෙන් 2003 පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ සභාපතීත්වයෙන් පත්වුණා. ඒ කමිටු වාර්තාවක් 2004 පෙබරවාරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඉන්පසුව 2006 දී නැවත කමිටුවක් පත් කළා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේම සභාපතීත්වයෙන්. කලින් වාර්තාවේ තිබුණ යෝජනා හා තහවුරු කිරීම් සලකා බලලා මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2012 පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ.

ඒ නිසා මේක එක දේශපාලන පක්ෂෙකට අයිති දෙයක් නෙමෙයි. හැම දේශපාලන පක්ෂයක් යටතේම සාක්ච්ඡා වෙලා තියෙනවා. 2000 වසරේදී බලය බෙදීම පිළිබඳව නව කෙටුම්පතක් හදලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒත් ඒක සම්මත වුණේ නැහැ. බලය බෙදී යාම පිළිබඳ බොහොම පුළුල් විදිහට එහි විස්තර කරලා තිබ්බා. 2006දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්දැද්දි APRC කියලා කමිටුවක පත් කළා, තිස්ස විතාරණගේ සභාපතීත්වය යටතේ. 2006, 2008 දීත් නැවත යෝජනා ආවා මේ සම්බන්ධව.

ඒ නිසා කිසිසේත්ම මේක දේශපාලන පක්ෂයක වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ රටේ කාලීන අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නවලට විසඳුමක් හොයන එක මිසක් මේක දේශපාලන පක්ෂයක වැඩක් නෙමෙයි.

මේ ඉතිහාසය දිහා බැලුවාම මේ වතාවෙත් මහජන මත අදහස් සමඟ සංශෝධනයක් හෝ දළ කෙටුම්පතක් සම්පාදනය වෙයි ද?
සංශෝධන යෝජනාවල මහජනතාවගේ ඉල්ලීම්වලට පිටින් කිසිදෙයක් වෙන්නේ නෑ කියලා මට තහවුරු කරන්න පුළුවන්. නමුත් දේශපාලන වාතාවරණය තුළ 100%ක් කියන්න බැහැ. ඒ නිසා 100%ක්ම කියන්න අමාරුයි සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය වෙයි ද කියලා.

ව්‍යවස්ථා සංශෝධනය කියපු ගමන්ම රටේ මහා ආන්දෝලනයකට තුඩු දුන් කරුණ වන “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” මේ නව ව්‍යවස්ථාවේ අඩංගු වෙනවා ද?
ඒ ගැන සාකච්ඡාවන් මේ වෙනවිටත් සිදුවෙමින් පවතිනවා. ඒත් ඒක කෙරෙයි ද කියන්න බැහැ. දේශපාලන පක්ෂ අතරේ තාමත් සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා.

 

මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් පාලන ක්‍රමය පිළිබඳ අන්තර්ගත වෙනවා ද?
පළාත් පාලන ක්‍රමය යටතේ ඡන්ද ක්‍රමය නෙමෙයි, පළාත් පාලන ආයතන ශක්තිමත් කළ යුතුයි කියලා යෝජනා වෙලා තියෙනවා. ඒක අනුයෝජිතතා මූලධර්මය යටතේ පහළම මට්ටමේ ආයතනවලට ප්‍රශ්න විසඳන බලය ලබාදිය යුතුයි කියන කරුණ යටතේ වැදගත් වෙනවා.

 

මෙහිදී කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ නව නීති සම්පාදනය වෙනවා ද?
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, කාන්තා දේශපාලන නියෝජනය, ඒ වගේම ගෘහස්ථ හිංසනය, ලිංගික හිංසනය වගේ දේවල් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති සම්පාදනය වෙනවා. ඒ වගේම ළමා අයිතිවාසිකම් පිළිබඳවත් පුළුල් වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා.

 

මහානායක හිමිවරු නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේලාගේ බල අධිකාරිය ව්‍යවස්ථා සම්පාදනයට කොයි විදිහට ද බලපාන්නේ?
මහ නායක හිමිවරු මේ පිළිබඳ වැරදි දැනුවත් වීමකින් හිටියේ. අසත්‍ය කරුණු නිසා තමයි උන්වහන්සේලා මේ සඳහා එරෙහි වුණේ. කෙටුම්පතක් නොදැක අනවශ්‍ය බියක් තමයි තිබුණේ. නමුත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඔවුන් බැහැදැක කරුණු පහදා දුන්නා.

මේ නව ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ පාලකයෙක් අනවශ්‍යයි කියලා සඳහන් වී පැවති බවට රාවයක් තියෙනවා. මේක ඇත්තක් ද?
ඇත්තටම 9 වෙනි වගන්තියේ තියෙන බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය නැති කරයි කියන අනවශ්‍ය බියෙන් හට ගත්ත කතාවක් මේක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ජාති බේද ඇති කිරීම හා මානව අයිතිවාසිකම් කඩ කිරීමට පටහැනි නිසා සිංහල බෞද්ධ නායකයෙක් රටට පත්විය යුතුමයි කියලා ව්‍යවස්ථාවක සඳහන් කරන්න බැහැ. ඒක සමානාත්මතා නීතියටත් පටහැනියි. ඒ අයිතිය ඡන්දදායකයා සතුයි.

ජනතාවගේ මූලික නිදහස හා මානව අයිතිවාසිකම් පිළිබඳ යෝජිත වාර්තාවේ නව ප්‍රවණතා අන්තර්ගත වෙනවා ද?
සැහෙන හොඳ මට්ටමකින් ජනතා අයිතිවාසිකම් තහවුරු කරපු වාර්තාවක් විදිහට මෙවර අනුකමිටු වාර්තාව විචාරකයන් අගය කරලා තියෙනවා. ලොකේ අනිත් රටවල් එක්ක බලද්දි ඒ මානව අයිතිවාසිකම් පරිච්ඡේදයන්ට වඩා හොඳ, සංවර්ධිත වාර්තාවක් මෙවර තියෙනවා. 78 ව්‍යවස්ථාවේ යෝජනාවලට වඩා සංවර්ධිත යෝජනා පවතිනවා. පුද්ගලික නිදහස, ජීවත් වීමේ අයිතිය, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සමානාත්මතාවයේ අයිතිය වගේ දේවල් පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙනවා.

මේ නව යෝජිත ව්‍යවස්ථාවේ, 78 ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවූ නව යෝජනා මොනවා ද?
ආර්ථික සංවර්ධන හා සමාජීය අයිතිවාසිකම් 78 තිබුණේ නැහැ. අධ්‍යාපනයට තියෙන අයිතිය, සෞඛ්‍යට තියෙන අයිතිය, තමන්ට සුදුසු නිවසක ජීවත්වීමේ අයිතිය, වගේ බොහෝ දේවල් මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම පරිසරය පිළිබඳ අයිතිය, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතීන්, ආබාධිතයින්ගේ අයිතිවාසිකම් වගේ ගොඩක් යෝජනා අනුකමිටු වාර්තාවේ ඉදිරිපත් වෙලා තියෙනවා.

තොරතුරු පණතෙන්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති රාජ්‍ය ආරක්ෂක හේතූන් මත හෙළි කරන්න බෑ කියනවා. මොනවගේ කරුණු පිළිබඳව ද හෙළි නොකරන්නේ?
තොරතුරු පණතේ කාරණා කීපයක් තියෙනවා හෙළි නොකරන. ඒවා මහජන හිත සුව පිණිස ප්‍රයෝජනවත් කියලා සමාලෝචනයක් කළොත් පමණයි ලබාදෙන්න පුළුවන්. පුද්ගලික තොරුතුරු, වානිජ තොරතුරු, රාජ්‍ය ආරක්ෂාවට අදාල තොරතුරු වගේ තොරතුරු වාරණයක් කරනවා.

උතුරු නැගෙනහිර බලය බෙදී යාම පිළිබඳ නව ව්‍යවස්ථාවේ අඩංගු යෝජනා මොනවා ද?
පළාත් සභා ක්‍රමය තුළින් බලය තවදුරටත් බෙදාදී ශක්තිමත් කිරීම ජනවාර්ගික ප්‍රශ්නෙට විසඳුමක්. මේ ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් නොලැබුණොත් සමගිය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගෙනවා. මේ පිළිබඳ මෙහෙයුම් කාරක සභාවේ දැනටත් සාකච්ඡා වෙන නිසා වැඩිපුර තොරතුරු කියන්න බැහැ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳව අනුකාරක සභාවෙන් ඉදිරිපත් කළා යම්කිසි යෝජනා කීපයක්. පළාත් පාලන ආයතනය ශක්තිමත් කිරීම, යෝජිතතා මූලධර්මය පදනම් කොට බලය ශක්තිමත් කිරීම, පලාත් රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම, මූල්‍ය බලතල ලබාදීම, ලබාදීම පිළිබඳ යෝජනා රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා.

සංවාදය – නිර්මාණි බණ්ඩාරනායක
ඡායා – ජගත් නානායක්කාර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: