යතුරු පැදියෙන් රටක් ජයගත් ආනන්ද රටම හඬවමින් ජිවන ගමනින් පැරදුන හැටි

May 30, 2017 | 3:21 pm    0   305

යතුරු පැදියෙන් රටක් ජයගත් ආනන්ද රටම හඬවමින් ජිවන ගමනින් පැරදුන හැටි

මෙරට ප්‍රසිද්ධ යතුරු පැදි ධාවන ශුරයෙකු වූ ආනන්ද වෙඩිසිංහ මහතා නුවරඑළියේ පැවතී “වසන්ත සැණකෙළිය” මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගයේදී හිසට සිදුවූ බරපතල අනතුරක් හේතුවෙන් මහනුවර මහා රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඊයේ (29)  සවස මරණයට පත්ව ඇත. සිව් දැරූ පියෙකු වූ ඒ මහතා මිය යන විට 47 වැනි වියේ පසුවිය.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මහතා මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් (කෝමා) පසුවිය.මොළය සහ පෙනහළු ඇතුළු ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා පැවතී බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇත.

නුවරඑළියේ පැවති තරගාවලියේ සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ ආනන්දගේ යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වෙඩිසිංහ, කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද හිමිකම් කියා තිබේ. ඔහු අනතුරට ලක්වූ තරගාවලියේදීද මුල් තරග වට කිහිපයේදී ජය ලබා ඇත්තේ ඔහුය.

අවස්ථා කිහිපයකදීම වෙඩිසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් කළ උපකාර පිළිබඳව විමසීමකදී ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු මෙන්ම ප්‍රවීන මෝටර් රථ තරග සංවිධායකයකුද මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“වෙඩිසිංහ කියන්නේ හරිම හොඳ පුද්ගලයෙක්. යුද්දෙ කාලෙදී රණවිරුවන්ට ප්‍රතිකාර කරන්න ඕන වෙන ගිලන් රථ කිහිපයක්ම වෙඩිසිංහ හමුදාවට පරිත්‍යාග කළා…. ඒ විතරක් නෙමෙයි ආබාධ වලට ලක්වෙච්ච රණවිරුවන්ට රෝද පුටු, පාපැදි වගේ දේවලුත් එයා පරිත්‍යාග කරලා තියෙනවා.”

“එයාට වඩා සල්ලි තියෙන අය ඕන තරම් ලංකාවේ රේස් පැද්දා. ඒත් එයා තරම් වෙන කවුරුවත් ශ්‍රී ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරලා නෑ” යැයිද ගම්මන්පිල මහතා පැවසීය.

වෙඩිසිංහ අනතුරට ලක්වූ නුවරඑළිය තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ තරගකරුවන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර මින් පෙරද මෙම තරගාවලිය පැවැති අවස්ථා දෙකකදී යතුරුපැදි ක්‍රීඩක රංජිත් ධනපාල සහ මෝටර් රථ රියැදුරු ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: