යිප් මෑන් බෘෘස් ලීගේ මුල් සටන් ගුරුවරයා

January 4, 2017 | 7:35 am    0   827

යිප් මෑන් බෘෘස් ලීගේ මුල් සටන් ගුරුවරයා

සටන් කලාව හැදෑරීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුගේ ඉලක්කය බෘෘස් ලී වැනි අතිදක්ෂ සටන්කරුවෙකු වීම ය. පවනට බඳු වේගයෙන් මුෂ්ටි පහරවල් එල්ල කරමින් සතුරා නිමේෂයකින් අඩපණ කිරීමට තරම් හැකියාවක් බෘෘස් ලීට පැවතිණි. වේගයට මෙන්ම සිරුරේ ප්‍රමාණයටත් වඩා ප්‍රබල ශක්තියක් ඔහුගේ සිරුර තුළ ගැබ් වී තිබිණි. ඇතැම් සටන් කලා විශේෂඥයින් ප්‍රකාශ කරන අන්දමට ඔහු සටන් කරනුයේ යම් සමාධියකට සමවැදී සිටින්නාක් මෙනි. යෝග ව්‍යායාම, නර්තනය වැනි විෂයන් ඔහු උගත් ශාස්ත්‍ර අතර විය. ඒ අතරින් ඔහු වඩාත් ප්‍රිය කළ විෂය වූයේ සටන් කලාව ය. ඔහු නව සටන් කලාවක නිර්මාණකරුවෙකි. ඔහු පැමිණි ගමන් මඟ තුළ අසීමිත කැප කිරීම් සමුදායක් විය. නොපසුබට උත්සාහය, අඛණ්ඩ පුහුණුවීම් ඔහුගේ ජීවිතය ශක්තිමත් කළේ ය. ඒ අතර ඔහුට මඟපෑදූ ගුරුවරුන් ද විය. ඔහුගේ ගමන්මඟ ඒකාලෝක කළ සොඳුරු ගුරුවරයෙකු වූයේ යිප් මෑන් හෙවත් වින් චුන් සටන් කලාවේ ප්‍රධානියා ය.

යිප් මන්, ඉප් මෑන් ආදී නාමයන්ගෙන් හඳුන්වන මෙම අද්විතීය සටන් කලා ගුරුවරයා උපත ලැබූයේ 1893 වසරේ ඔක්තෝබර් මස දෙවෙනිදා ය. ඒ චීනයේ ෆෝශෑන් ප්‍රදේශයේදී ය. ලොවක් හඳුනන සටන් කලාවක ප්‍රධාන උපදේශකවරයෙකු වන්නට ද, ලොවක් හඳුනන සටන් ශිල්පියෙකුගේ මුල් සටන් ගුරුවරයා වන්නට ද වාසනා ගුණය ලද්දේ මේ කුඩා ඉප් මෑන් ය. ඉප් මන් හට සහෝදරයෙක් ද සහෝදරියන් දෙදෙනෙක් ද විය. මොහු පවුලේ තුන්වැන්නා ය.

ඉප් මන් සිය සටන් පුහුණුවීම ආරම්භ කරනුයේ යන්තම් වයස 7ක් සපිරුණායින් පසුව ය. චෑං නම් ඔහුගේ සටන් කලා ගුරුවරයාගේ අවසන් ශිෂ්‍යයා බවට පත්වන්නේ ඉප් මන් ය. එතනත් කීකරු ලෙස සටන් කලාව ප්‍රගුණ කරන ඉප් මන් වයස අවුරුදු 16 දී හොන්කොන්හි ශාන්ත ස්ටීවන් විද්‍යාලය වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු විය. මෙතෙක් කලක් තමන් සිදුකළ පුහුණුවීම්වල ප්‍රායෝගික තත්ත්වය අත්හදා බැලීමට අවස්ථාව සැලසෙන්නේ මෙලෙස පාසල් යන අතරතුරදී ය.

දිනක් විදෙස් පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහරදෙන අයුරු තරුණ ඉප් මන් දුටුවේ ය. පොලිස් නිලධාරියාගේ මෙම ක්‍රියාව ඉවසුම් නො දුන් තරුණ ඉප් මන් වහාම ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියට බිම ඇද වැටෙනතුරු පහර දුන්නේ ඉතාමත් සුළු වේලාවකිනි. පසුව සිය මිතුරන් සමඟ සිය පාසල වෙත ඉප් මන් දිව ගියේ ය. මෙම සිදුවීමෙන් පසු දිනෙක ඉප් මන් නගරය වෙත ගියේ ය. එහිදී එක්තරා මහලු පුද්ගලයෙක් ඉප් මන් හැදෑරූ සටන් කලාව පිළිබඳ විමසුවේ ය. ඉප් මන් නිහතමානී ලෙස තම උගත් සටන් කලාව පිළිබද විස්තර කළේ ය. ඉන්පසු නො සිතූ ලෙස මෙම මහලු පුද්ගල සමඟ එම මොහොතේම සටනකට පැමිණෙන ලෙස අභියෝග කළේ ය.
ඉප් මන් එම අභියෝගය භාර නො ගත්තේ තමන්ට මෙම මහලු පුද්ගලයාට පහරදීමට කිසිදු අභියෝගයක් නොමැති බවත් තමා සතුව තරුණ ජවය පවතින නිසාත් ය. කෙසේ වෙතත් මෙම මහල්ලාගේ දැඩි ඉල්ලීම නිසා තමා අභියෝගය භාරගෙන මහලු පුද්ගලයා සමඟ සටන් කළේ ය. ගතවූයේ නිමේෂයකි. තරුණ ඉප් මන් මහලු පුද්ගලයා අතින් පරාජයට පත්විය. මෙම මහලු පුද්ගලයා නමින් ලියුං බික් නම් විය. ලියුං බික් යනු චෑන් මන් ඉප් මන්ගේ මුල් ගුරුවරයාගේ දරුවා ය. ඉප් මන් නො සිතූ විලසින් තමා වෙත නිවැරදි වින්චුන් සටන් කලාව ඉඟැන්වීමට තමන් කැමති බව මෙම මහලු ගුරුවරයා ඉප් මන්ට ප්‍රකාශ කළේ ය. ඉප් මන් ඉතාමත් උනන්දුවෙන් එම ශිල්පය ප්‍රගුණ කළේ ය.

අධ්‍යාපන කටයුතුවලින් පසුව නැවත සිය ගම්බිම් බලා පැමිණි ඉප් මන් පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණි. තමන් උගත් සටන් කලාව සිය මිතුරන් කිහිපදෙනෙකුටත් නෑදෑයින් කිහිපදෙනෙකුටත් ඉඟැන්වීමට ඉප් මන් පසුබට නො වීය. මෙම කාලයේදී ඇති වුණු චීන ජපන් සංග්‍රාමයට මුහුණ දීමට සිය හමුදාවන්ට ද සිට සටන් කලාව පුහුණු කළේ ය. එහෙත් එය විධිමත් ලෙස සිදුකිරීමට ඉප් මන්ට නො හැකි වෙයි. මෙම කාල පරිච්ඡේදය ඉතාමත් කටුක විය. ඉප් මන් විවාහ වූයේ Cheung Wing-Sing සමඟ ය. මොවුන් දෙපලට දරුවන් දෙදෙනෙකු විය. දැනට අසූ විය ඉක්මවා සිටින ඉප් චූන් එම දරු දෙදෙනාගෙන් එක් අයෙකි. ඔහු ද සිය දැනුම සිය ගෝල පරපුර වෙත ලබාදෙමින් සිටී. අපි ඔහුට දීර්ඝායුෂ පතමු.

දිනක් හීන්දෑරි තරුණයෙකු සිය පියා සමඟ යිප් මන් වෙත පැමිණියේ ය. තරමක දාංගලයක් තිබුණු මෙම තරුණයාව පියා විසින් යිප් මන් වෙත හඳුන්වා දුන්නේ ය. වසර දහසයක් වූ මෙම තරුණයා යිප් මන්ගෙන් වින්චුන් සටන් ශිල්පය උගත්තේ ය. ඔහු වෙනත් කිසිවෙකු නොවේ. ඔහු නමින් බෘෘස් ලී ය. මොහු ඉතාමත් උනන්දුවෙන් සිය ගුරුතුමන්ගෙන් සටන් ශිල්පය හැදෑරුවේ ය. සිය දැනුම නො සඟවා තම ශිෂ්‍ය බෘෘස් ලී වෙත ලබාදීමට තරම් යිප් මන් කාරුණික විය.

සැබෑ ගුරුවරයෙකු බලාපොරොත්තුවන්නේ තම දැනුම පමණක් උකහාගෙන සිටින ගෝල පරපුරක් නොවෙයි. ඉන් ඔබ්බට දැනුමේ නිම්වළලු පුළුල් කරමින් ඉදිරියටම ගමන් ගන්නා සිසු පිරිසක් ඔහු නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙයි. එම බලාපොරොත්තුව ඉටුකරලීමට බෘෘස් ලී සමත් විය. ඔහු ජිට් කුන් දෝ නමින් නව සටන් ක්‍රමයක් ද නිර්මාණය කළේ ය.

ලොවම හඳුනන සටන් ශිල්පියෙකු බිහි කළ මෙම ගුරු උතුමන් 1972 වසරේදී සිය අවසන් හුස්ම පොද මිහිතලයට එක් කළේ ය. ඉන් සත්මසක් පමණ ගත වූ පසු බෘෘස් ලී නම් සටන් කලාතරුව ද ලොවින් සමුගත්තේ ය. මෙය දෛවෝපගත සිදුවීමක් ලෙස ද සැලකිය හැකි ය.

තාරුණ්‍යය ලොව පවතින් තාක් කලක් ඔබ දෙදෙනා පිළිබඳව කතා කරාවි. ඔබ දෙදෙනා පිළිබඳ මතකය අමතක නො වන තරමටම ඔබ දෙදෙනා ලොවට දායාද කළ සටන් ශිල්පයත් ගුරුගෝල සබඳතාවයත් ලොව පිළිබඳ අපි කෘතඥ වෙමු.

අනුරුද්ධ සේනාධිලංකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: