රජයේ වෛද්‍ය නිලධාරින් ආණ්ඩුව පෙරලන්න හදනවා

April 11, 2017 | 9:00 am    0   110

රජයේ වෛද්‍ය නිලධාරින් ආණ්ඩුව පෙරලන්න හදනවා

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඇතැම් නායකයින්ට සංයමක් නෑ. ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ රජ‍ය පෙරළා දැමීමයි. ඔවුන් උත්සාහ කරන්නේත් එයටයි. ඔවුන්ගේ එම වැඩපිළිවෙළට එරෙහිව දැඩි තීන්දු තීරණ ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ හෙද හෙදියන් 1290කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරුණු 2012 “ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති වැඩවර්ජනවලට කැමතියි. වැඩවර්ජන පවත්වලා සාර්ථකයි කියනවා. මිනිස් ජීවිත සමඟයි ඔවුන් සෙල්ලම් කරන්නේ. එය තමයි සාර්ථකත්වය. වැඩ වර්ජනය දියත් කළ යුත්තේ සාකච්ඡා බිඳවැටීමෙන් පසුවයි. හැබැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මුලින්ම ප්‍රකාශ කරන්නේ “බහිනවා” කියලා. එය වෘත්තීය සමිතිවල ශක්තිය නොවෙයි. රජය මානව දයාවෙන් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට උත්සාහ කරනවා. නමුත් වෘත්තීය සමිති එසේ කරන්නේ නැහැ. ප්‍රශ්න ඇතිවුණත් මේ රජය කාටවත් හොලවන්නත් බැහැ. වෘත්තීය සමිතිවලට රෝගීන් ගැන අයිතියක් නැද්ද කියලා මම අහන්න කැමැතියි. මිනිස් ජීවිතවල වටිනාකම බිල්ලට දෙන්න එපා. වෘත්තීය සමිති කරන නොසන්ඩාල වැඩ ගැන රජය දැඩි තීන්දු තීරණ ගත යුතුයි. මම නම් එම තීන්දුවේ තමයි සිටින්නේ. නිදහස් අධ්‍යාපනය ලබමින් වෛද්‍ය වෘත්තියට ගොස් සිදුකරන ඇතැම් ක්‍රියා උචිත නැහැ. මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඇතැම් සෞඛ්‍ය සේවකයෙක් විනය විරෝධී වැඩක් සිදු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යාංශය ලිපියක් යොමුකිරීමෙන් පසු වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා වර්ජන දියත් කරන බව. වෛද්‍යවරු හැදෙන්නේ නැතිව අනික් සෞඛ්‍ය සේවකයින් හදන්න බැහැ. වෛද්‍යවරු ඉන්නේ 19 වන ශතවර්ෂයේ. වෛද්‍ය හොරු සාකච්ඡාවට කැමති නැහැ. හෙද ගැටලු පිළිබඳව අපි රාත්‍රී කාලයෙත් සාකච්ඡා පැවැත්වූවා. මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ මොන වෘත්තීය සමිති නායකයා කිව්වත් සාධාරණ හා අසාධාරණ බව සලකා බලා වර්ජනවලට එක්වන ලෙසයි. රෝගීන් දෙස බලන්න.”
“එදා වර්ජන දියත් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව බේරා ගැනීමටයි. නමුත් අද වැඩවර්ජන අවම වී තිබෙනවා. වෘත්තීය සමිති රැසක් සංයමයෙන් කටයුතු කරනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සංයමයෙන් කටයුතු කරන්නේ නැහැ. එහි නායකයින් කිහිපදෙනකු තමයි එහෙම කරන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා රජයේ රෙගුලාසි අනුව තමයි මම වැඩකරන්නේ කියලා. එවිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නායකයින් ප්‍රකාශ කර තිබෙනවා වසර 03කින් ආණ්ඩුව පෙරළනවා. එවිට ඔබ ගැන බලාගන්නම් කියලා. රජය පෙරළන්න තමයි ඔවුන් වැඩවර්ජනය දියත් කරන්නේ. එම මානසිකත්වය තුරන් කිරීමට පියවර ගත යුතුයි. යහපාලන රජය බණ්ඩාරනායක රජය වගේ ගුටිකෑමට සූදානම් නැහැ. මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා. රජය ජනතාව වෙනුවෙන් කැපවෙනවා. මෙම රජය සෙලවීමට කාටවත් ඉඩ ලබාදෙන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: