රජය මුනිවත රැක්කොත් දවස් දහ නවයකින් අඛණ්ඩ GMOA වර්ජනයක්

May 11, 2017 | 12:00 pm    0   240

රජය මුනිවත රැක්කොත් දවස් දහ නවයකින් අඛණ්ඩ GMOA වර්ජනයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයාට නඩු පැවැරීමට කටයුතු කරන්නේ නම් ඔහු වෙනුවෙන් සංගමයේ සියලු සාමාජිකයින් පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කිසිවිටෙකත් තමන්ගේ පෞද්ගලික මතය සංගමය මඟින් ප්‍රකාශයට පත් කර නොමැති බවත් ඔහු සෑමවිටම නියෝජනය කරනුයේ සංගමයේ මතය පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය. සංගමයේ සභපතිවරයා කිසිවිටෙකත් අධිකරණයට අපහාස කර නොමැති බවත් සෑමවිටම සංගමයේ සාමාජිකයන් පවතින නීතියට සහාය දක්වමින් කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ(09) ප්‍රකාශ කළේය.
අධිකරණයට අපහාස වන පරිදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ නිකුත් කළා කියන දෙය සම්බන්ධයෙන් නීතිමය ලියැවිල්ලක් සංගමයට ලැබී නොමැති බවත් මාධ්‍යයෙන් වාර්තා වන විදියට මේ නඩුව ගොනු කර තිබෙන්නේ ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරිය මහත්වරු බව දැන ගැනීමට ලැබී තිබෙන බවත් ඔහු කීය. සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුනිවත රකින්නේ නම් එළැඹෙන 15 වැනිදායින් පසුව සති දෙකක් කල් ලබාදී මේ මස 29 වැනිදායින් පසුව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සංගමයේ මධ්‍යම කාරක සභාව අවසර ලබා දුන් බව ද ඔහු මතක් කළේය.
සයිටම් එක සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා රට හමුවේ එක් දෙයක් කියන බවත් උසාවියට ගොස් වෙනත් දෙයක් ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවැසුවේය. සයිටම් තත්ත්වය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය මේ ඇමැතිවරුන් දෙදෙනා උසාවියට ගොස් ඉදිරිපත් කරන්නේ නම් මේ ගැටලුවෙන් අඩක් විසඳෙන බවත් එහි තත්ත්වය තවදුරටත් වසන් කිරීමට දරන උත්සාහයෙන් සිදු වනුයේ ගැටලුව තවදුරටත් උග්‍ර වන බවත් ඔහු කීය. සෞඛ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාට බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති බවත් තර්ජන සහ මර්දනයන් සිදු කිරීමෙන් සංගමයේ ක්‍රියාශීලි බව නතර කිරීමට නොහැකි බවත් ඔහු පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: